කොන්දේසි මැද රග්බි නඩුව අවසන්

203

ශ්‍රී ලංකා රග්බි සංගමයට නව ව්‍යවස්ථාවක් මෙම වසරේ දෙසැම්බර් 30 වැනි දිනට පෙර සකස් කර සම්මත කරගැනීම, ලබන වසරේ පෙබරවාරි 28 වැනි දිනට පෙර නව ව්‍යවස්ථාව යටතේ නිලවරණයක් පැවැත්වීම හා රිස්ලි ඉල්ලියාස් මහතා එම නිලවරණයට ඉදිරිපත් නොවී ඉල්ලා අස්වීම යන කොන්දේසිවලට යටත්ව අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කරගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව ඊයේ (13 දා) අභියාචනාධිකරණය හමුවේදී එකඟ වූහ.

එකී එකඟතාව අනුව ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම් අවසන් කර ගැනීමටද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන මහත්වරු සියලු පාර්ශ්වවලට අවසර දුන්හ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රිස්ලි ඉල්ලියාස් මහතා ආසියානු රග්බි සම්මේලනය විසින් පනවා ඇති තහනම අනුව ඉදිරි නිලවරණයට ඉදිරිපත් නොවීමට එමගින් සියලු පාර්ශ්ව එකඟ වී තිබිණ. අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment