සර්ව පාක්ෂික ආණ්ඩුවක්ද බහු පක්ෂ රජයක්ද…!

270

විපක්ෂයේ කඹ ඇදිලි මැද ආණ්ඩුව දෙගිඩියාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයට පසුගිය සතියේත් තිබූ බරපතළම ප්‍රශ්නය යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවයි. ඒ සඳහා ජනාධිපතිවරයා මොනතරම් නම්‍යතාවයකින් යුතුව යෝජනා ගෙන ආවත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකකින් ඒ සඳහා අපේක්ෂිත සහයෝගය නොලැබුණු නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම දවසින් දවස කල් යන ව්‍යාපෘතියක් බවට පත්විය.

ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ බල තුලනයට අනුව බලවත්ම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාවයකට පත්ව සිටියේ ය. සහයෝගයක් නොලැබේ යැයි සිතූ දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් කොංග්‍රසය හා අනෙකුත් කුඩා කුඩා පක්ෂ ද ජනාධිපතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් විවේචනාත්මක එකඟතාවයකට පැමිණ සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ඒ ගැන සාකච්ඡා කළත් ඔවුන්ද සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වන බව නිසැකය. එහෙත් බරපතළම ගැටලුව තිබුණේ සමගි ජන බලවේගය පැත්තෙනි. ජාතික ජනබලවේගයේ නමින් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණද මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. එහෙත් සමගි ජන බලවේගයේ ස්ථාවරය කුමක් දැයි පසුගිය සතියේ වනවිටත් පැහැදිලි වූයේ නැත. ජනාධිපතිවරයාට ආණ්ඩුවට හා වැඩපිළිවෙළට දැඩි විවේචන ගෙන එමින් ඔවුන් ද දැඩි අභ්‍යන්තර දෙගිඩියාවක සිටිමින් කටයුතු කරන බව පිටතට පෙනෙන්නට විය.

දවසින් දවස මේ ප්‍රශ්නය ඔහේ කල් ඇදෙමින් තිබියදී රටේ ආර්ථික ප්‍රශ්න අතිශයින් සංකීර්ණ තැනකට පත් වෙමින් තිබිණි. මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ඒ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකු ආදී මූල්‍ය ආයතන සමඟ ඇතිකරගෙන තිබූ සම්බන්ධතාවය ද ස්ථාවර රජයක් නොමැතිකමින් අභියෝගයට ලක්වෙමින් පැවතිණි. ඔහු මේ පිළිබඳ රජයට මොනතරම් අනතුරු ඇඟෙව්වත් විපක්ෂයේ ප්‍රතිචාරය යහපත් නොවූයෙන් ආණ්ඩුවටත් උත්තරයක් නොවීය. මෙම පසුබිම තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය දැඩි පීඩනයක සිටියේ යැයි කිවහොත් නිවැරදිය.

පසුගිය සති අන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිණිය මෛත්‍රී වික්‍රමසිංහ ඇතුළු සීමිත දේශපාලඥයන් පිරිසක් මහනුවර බලා ගොස් සිටියේ මහනුවර දළදා පෙරහැරේ චාරිත්‍ර වාරිත්‍රවලට සහභාගි වීම සඳහා ය. ක්යින්ස් හෝටලයේ සිට දළදා පෙරහැර නැරඹූ ජනාධිපතිවරයා ඊට පසුවදා සිට පෙරහැර අවසන් කිරීමේ චාරිත්‍රවලට සහභාගි විය.

සඳුදා දිනයේ පෙරහැරට සහභාගි වූ නිළමේවරුන්ට ජනාධිපතිවරයා විශේෂ තේ පැන් සංග්‍රහයක් පවත්වා තිබිණි. සියලු නිළමෙවරු තම භාර්යාවන් ද මෙම සාම්ප්‍රදායික අවස්ථාවට සහභාගිකරවා තිබිණි.

“නිළමෙලා මැණිකෙලා ඔක්කෝටම ආයිබෝවන්… කියමින් ජනාධිපතිවරයා ඔවුන්ව ඉතා සාදරයෙන් පිළිගනිද්දී සමහරු කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා සංස්කෘතිකමය වශයෙන් විශාල පරිවර්තනයකට මුහුණදී ඇති බවකි.

රාජ්‍ය නායකයා වුණාම එහෙම තමයි… තවත් අයෙක් කීවේය.

සතර මහා දේවාලයේ නිළමේවරයෙක් වන මහේන් රත්වත්තේ තමන් අසලට පැමිණි පසුව ඔහුට රාජකාරියක් පැවරීමට ජනාධිපතිට අවශ්‍ය විය.

“මහේන්…. මහනුවර නගරය සංවර්ධනය කරන්න අපි ජපානයත් එක්ක මීට කලින් කතා කරගෙන තියෙනවා. ඒ වැඩේ අපි පටන් ගන්න ඕන. මහනුවර නගරයේ පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නගරය දියුණු කරන්නේ කොහොමද කියලා ඔයා සැලැස්මක් හදන්න මේකෙ ඉන්න දන්න කියන අයත් එක්ක එකතු වෙලා. ඒ සැලැස්ම හදලා මට කියන්නකෝ…”

සඳුදා හවසම ජනාධිපතිවරයා කොළඹ පැමිණියේ විශේෂ රාජකාරි කිහිපයක් යොදාගෙන තිබූ නිසාය. පළමු රාජකාරිය කරන්නට ඔහු කටුනායක ගුවන් තොටුපළට ගියේය. ජනාධිපතිවරයා මීට පෙර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් කළ ඉල්ලීමකට අනුව ඉන්දීය රජය ජනාධිපති රනිල්ට වටිනා තෑග්ගක් එවා තිබිණි.

ඒ වූ කලී සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු සඳහා විශේෂ පහසුකම් සහිත ඩ්‍රෝන යාත්‍රාවකි. 2018 වසරේ සමුද්‍රීය පරීක්ෂණ වෙනුවෙන් පහසුකම් සහිත යානා දෙකක් ලබාදෙන මෙන් එවක අගමැතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබිණි. හින්දි අගමැතිවරයා ඊට කැමැත්ත පළ කර තිබුණත් පසුගිය කාලයේ පැවැති කොරෝනා වසංගතයක් සමග ඇති වූ දුෂ්කර වකවානුව තුළ එය යථාර්ථයක් නොවී ය.

එහෙත් එම මතකයට හා පොරොන්දුවට අනුව ඉන්දීය නායකයා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් සතුටට පත්ව සිටියේය.

මෙම ත්‍යාගය ලබාදීම ඉක්මන් වීමට පසුගිය සතියේ ලංකාවට පැමිණි යුවාන්ග් වැන්ග් 5 නම් ආන්දෝලනාත්මක චීන නෞකාව ද හේතුවක් වූවා නිසැකය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතාමත්ම කල්පනාවෙන් චීනය හා ඉන්දියාව අතර කටයුතු හා සම්බන්ධතා කළමනාකරණය කරගෙන තිබිණි. ඒ අනුව කටුනායකට ගිය ජනාධිපතිවරයා එම ඩ්‍රෝන යාත්‍රාව භාරදීමට පැමිණ සිටි ඉන්දියානු නියෝජිත පිරිසක් හමුව කතාබහ කළහ. ඉන්දියානු නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් ද ඒ අතර සිටියහ. ජනාධිපතිවරයාගේ නියමයෙන් මේ සියලුම දෙනා සඳහා විශේෂ භෝජන සංග්‍රහයක් කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිලධාරී නිවාස්නයේ සූදානම් කර තිබිණි. ඊට ද සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණ සිටි විශේෂ නියෝජිත පිරිස සමඟ ඉතා සුහදව කතාබහ කරමින් ලංකාවත් ඉන්දියාවත් අතර අතීතයේ සිට පවතින මිත්‍රත්වය ගැන ඉතිහාසය මතක් කළේය. ඒ වූ කලී එතන සිටි නියෝජිතයන් හා නිලධාරීන් අසාවත් තිබුණේ නැති අන්දමේ ඉතිහාසයකි.

“ඕගොල්ලන්ට අද මෙහෙ ආපු එකෙන් ඕගොල්ලන්ගේ ජනරජ දිනයට සහභාගි වෙන්නත් බැරි වුණා නේද…?”

“අපේ ජනරජ දිනයට සහභාගි වනවාට වඩා සර් එක්ක මේ විදිහට කතා කරලා තොරතුරු දැනගන්න මේ ගමන ආපු එක වටිනවා. ඒක අපිට අලුත් දෙයක්. බොහොම ස්තුතියි සර්.” කියමින් ඉන්දීය නාවික හමුදා නිලධාරියෙක් ස්තුතිය පළ කළේය.

ජනාධිපතිවරයා එදින හවස කැබිනට් රැස්වීම පවත්වනු ලැබීය. ඊට පෙර කැබිනට් අනුකාරක සභාවේ රැස්වීමක්ද පැවැත්විණි. අගමැති දිනේෂ් ප්‍රමුඛ නිමල් සිරිපාල, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තවත් කීප දෙනෙක් ඊට සහභාගි වී සිටියහ. මාධ්‍යවලට විවෘත නොවූ කරුණු කාරණා රැසක් මෙම අවස්ථාවේදී සාකච්ඡාවට ගැණුනු බව පමණක් වාර්තා විය.

● ඇමැති ප්‍රසන්න ගම්පහ දිස්ත්‍රික් මහජන නියෝජිතයන් හමුවෙති..

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉකුත් සිකුරාදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් කොළඹට කැඳවා තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමටය.

මෙම සාකච්ඡාවට නාලක ගොඩහේවා, සුදර්ශණී ප්‍රණාන්දුපුල්ලේ සහ ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා සහභාගි වූයේ නැත.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අර්බුදකාරී තත්ත්වයෙන් රට බේරාගත හැකි එකම පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දුටු බැවින් ඔහු ජනාධිපති කිරීමට පොදුජන පෙරමුණ තීරණ කළ බවයි.

ගෑස් හා ඉන්ධන හිඟය තුරන්කරමින් නව ජනාධිපතිවරයා රට නිවැරදි දිශාවට මෙහෙයවමින් සිටින බව කී අමාත්‍යවරයා ඒ අනුව තම පක්ෂය ගත් තීරණය නිවැරදි බවට මේ වනවිට තහවුරුවී ඇතැයිද සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන සඳහන් කළේ පවතින තත්ත්වය තුළ රජයේ ඇතැම් නිලධාරීන් සමඟ වැඩකිරීම අපහසු බවය. ඇතැම් රජයේ නිලධාරීන් දේශපාලනඥයන්ගේ නියෝග හා උපදෙස් පිළිනොපදින තත්ත්වයක් මතුවෙමින් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාද එම අදහස සනාථ කරමින් අදහස් දැක්වීය. ඔහු සඳහන් කළේද රාජ්‍ය නිලධාරීන්ගෙන් යම් වැඩක් කරවා ගැනීම හරිම අමාරු බවය. එනිසා මෙම ප්‍රශ්නය ඉක්මනින්ම නිරාකරණය කරගත යුතු බවද ඔහු සඳහන් කළා.

එයට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ 69 ලක්ෂයේ ජනවරම අවසන් බවට ඇතැමුන් සිතුවත් පාර්ලිමේන්තුවේ තවමත් තිබෙන්නේ 2020 දී පොහොට්ටුවට ලැබුණු ජනවරම බවයි. එය අමතක කොට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් කිසිවකුටත් කටයුතු කළ නොහැකි බවත් සිය පක්ෂයේ ශාඛා සංවිධාන තවමත් අප සමඟ සිටින බවයි. එහෙත් පක්ෂය යම් පසුබෑමකට ලක්ව ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

● රත්නපුරේ භික්ෂුව සජිත්ට දුන් ඔවදන…

විපක්ෂ නායක සජිත් පසුගිය සතියේ ආරම්භ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක වැඩසටහන් සහ බල මණ්ඩල රැස්වීම්වලට එකතු වෙමිනි. ඒ සියලු රැස්වීම්වලට විශාල ජන සහභාගිත්වයක් තිබූ අතර ඔවුන් ඊට එක්ව සිටියේ ප්‍රබෝධයෙන් යුතුව ය.

“දැන් හැමෝගේම ඩීල් එළි වෙලා තියෙන්නෙ. හැමෝම රාජපක්ෂලාට යටවෙලා. ඉතිරිවෙලා ඉන්නේ ඔබතුමා විතරයි. සමගි ජන බලවේගය නම්, මේ ආණ්ඩුව එකට දීග කන්න යන්න එපා” රැස්වීමට එක්ව සිටි භික්ෂූන් වහන්සේ නමක් සජිත්ට කීවේය.

“ඔබතුමා හැම වෙලාවෙම තනතුරු තාන්න මාන්න ගැන හිතන්නේ නැතිව රටේ ජනතාවගේ ජනවරම පාවා දෙන්නේ නැතිව වැඩ කළා. ඔබතුමා හැමදාම කිව්වේ ජනතාවගේ ආශිර්වාදයෙන් බලය ගන්නවා කියලා. මැතිවරණයක් එනකම් මේ රටේ මිනිස්සු මග බලාගෙන ඉන්නේ. 2019 වෙච්ච අත්වැරැද්ද නිවැරදි කරගන්න.” ජනතාව සජිත්ට කීවේය.

මේ අතර සජිත් හේශා විතානගේ විසින් සංවිධානය කරනු ලැබූ ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු ප්‍රදානය කිරීමේ අවස්ථාවට ද එක් විය.

“2019දී ශූරත්වය වීරත්වය ගැන සිතා වැරදි මාවත තෝරාගත් බවත්, එයින් වසර දෙකකට පසු සිද්ධ වුණේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බිහි වීම” සජිත් එහිදී කීවේය.

“මේ මොහොතේ කළ යුත්තේ ඇමැති තනතුරු ඇතුළු තාන්න මාන්න වෙනුවට රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම උදෙසා අවංකව කැප වීම” බවද හෙතෙම පැවසීය.

“මං අනාවැකියක් කියන්නම්. සජිත් ප්‍රේමදාස මහත්තයා හැමදාම කිව්වේ ජනතාවගේ ආශිර්වාදයෙන් බලය ගන්නවා කියලා. එතුමා ඇතුළු සමගි ජන බලවේගය අපි ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කරනවා විතරක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ නිදහසින් පස්සේ ඉතිහාසයේ වැඩිම කලක් රට පාලනය කරපු නායකයා බවට පත්වෙනවා.” ගයන්ත කරුණාතිලක කීවේය.

“මේ අය එක පැත්තකින් සර්වපාක්ෂික ආණ්ඩු හදන්න කතා කරනවා. අනෙක් පැත්තෙන් අපේ දහයක් යනවා 12ක් යනවා 18ක් යනවා විස්සක් යනවා කියලා නිවුස් ප්ලාන්ට් කරනවා. හැබැයි ගිය කෙනෙකුත් නෑ. යන කෙනෙකුත් නෑ.” හේෂා විතානගේ කීවේය.

“අපිට ඉන්න නායකයා අවංක නායකයෙක්. එතුමා පිරිසිදු නායකයෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ තමයි සේරම ඩීල්කාරයෝ ඉන්නේ. අපි ළඟ ඩීල්කාරයෝ නෑ. අපේ ඩීල් එක තියෙන්නෙ ජනතාව එක්ක.” තලතා අතුකෝරල කීවාය.

● නිමල්ට හා අමරවීරට ඇතුලේ නැඟුණු විරෝධය

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහාය දීම හා පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සිටියේ දෙගිඩියාවක ය. දයාසිරි ජයසේකර ශාන් විජේලාල් තිලංග සුමතිපාල ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවට සහාය දීම ගැන විවේචනාත්මක ස්ථාවරයක සිටියත් දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න චාමර සම්පත් ඇතුළු කණ්ඩායමක් පෙන්වා දුන්නේ මේ වෙලාවේ රජයට එකතු වී එකතුවී වගකීම් දරමින් කටයුතු කිරීම රට වෙනුවෙන් ඉටු කරන සේවාවක් බවය. පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අසරණ විය. ඒ නිසා ඔහුට ගත හැකි හරි ස්ථාවරයක් නොවීය.

මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා තවදුරටත් පසුගිය සතිය තුළ ඉතා උණුසුම් අයුරින් ඇදී ගියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය භාවිතය ඉතා දුර්වල යැයි කලක පටන් ලොකු විවේචනයක් තිබිණි. මාධ්‍ය සමඟ සම්බන්ධ වී ජනතාවට පක්ෂය හා පක්ෂය ස්ථාවරයන් සම්බන්ධයෙන් හරි තොරතුරු ලබා දීම නිල වශයෙන් පසුගිය කාලය මුළුල්ලේම නොකෙරුණු නිසා පක්ෂයට අහිතකර ලෙස මාධ්‍ය වාර්තා පළවීම ගැන ඇතුළේම ලොකු විවිවේචනයක් විය. ඔවුන් පෙන්වා දුන්නේ පක්ෂය සඳහා මාධ්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ නම් මෙම දුෂ්කරතා මඟහරවා ගත හැකි බවයි.

ඒ අනුව පසුගිය සඳුදා (15) පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ විය. පක්ෂයේ ප්‍රචාරක ලේකම් ලෙස එම මූලස්ථාන පවත්වාගෙන යෑමේ වගකීම භාර වූයේ තරුණ මාධ්‍යවේදියකු මෙන්ම ආසන සංවිධායකවරයකු වන හබරාදූවේ තිසර සමරසිංහටය. පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන දයාසිරි ජයසේකර තිලංග සුමතිපාල රංජිත් සියඹලාපිටිය ෂාන් විජයලාල් ඇතුළු ජ්‍යෙෂ්ටයන් කීප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

“අපේ රංජිත් සියඹලාපිටිය ආර්ථික විශේෂඥයෙක් වගේම හොඳ මාධ්‍යවේදියෙක්. එතුමට පුළුවන් මේ මාධ්‍ය මධ්‍යස්ථානයේ අනුශාසක විදිහට වැඩ කරන්න.”

මෛත්‍රීපාල සිරිසේන එසේ කියද්දී ඒක හොඳ යෝජනාවක් යැයි කියමින් අනිත් අය කතාව අනුමත කළහ.

“දේශපාලනය කරද්දී මාධ්‍ය අපිට වුවමනායි. හැබැයි මාධ්‍ය කියන දේ නිතරම සර්ව සාධාරණ නෑ. ඇතැම් වෙලාවල්වලට ඇතැම් මාධ්‍ය පක්ෂපාතීව වැඩ කරන බව අපි දන්නවා. සමහර මාධ්‍යවලට වෙනම න්‍යාය පත්‍ර තියනවා. ඒගොල්ලො සත්‍යය හා නිවැරදි දේ වාර්තා කරනවට වඩා කරන්නෙ තමන්ගෙ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන එක විතරයි. අන්න එහෙම අයගෙන් හොඳට බැට කාපු කෙනෙක් තමයි මේ මම.

මේ රටේ හුඟක් මාධ්‍ය මට කිසිම සාධාරණයක් ඉටු කළේ නෑ. අසාධාරණ විදිහට මාව විවේචනය කළා. මට පහර දුන්නා. මම ජනාධිපති වෙලා ඉඳිද්දී තමයි මට වැඩිපුරම ප්‍රහාර එල්ල කළේ. ජනාධිපති හැටියට ඕන්නම් මට තිබුණ ඒ මාධ්‍යවලට එරෙහිව පියවර ගන්න. ඒ මොකද ඒ බොහෝ විවේචන වැරදියි. වැරදි තොරතුරු. එහෙම වුණාය කියලා මම ඒ මාධ්‍ය දිහා උපේක්ෂාවෙන් බැලුවා මිසක් දඬුවම් කරන්න ගියෙ නෑ. මාධ්‍යවලින් පලිගන්න ගියේ නෑ. හැබැයි සමහර අවස්ථාවලදී මම ඉතාම මිත්‍රශීලීව ඒ මාධ්‍යවලට කතා කරලා මචන් ලෙවල් එකෙන් ඇහුවා… ඇයි මට මෙහෙම කරන්නේ කියලා.”

මාධ්‍ය ගැන මෛත්‍රී මෙහිදී තවත් කරුණු ගණනාවක් අනාවරණය කළේය. එය අතර මොහු මෙම අවස්ථාව පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමකටද යොදාගත්තේය. ඒ සඳහා ඔහු සැලසුම්සහගතව මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ට ද ආරාධනය කර තිබිණි.

“මාධ්‍ය ගැන අපේ තියෙන අඩුපාඩු සාකච්ඡා කරන්න වගේම මේ වෙලාව මම යොදා ගන්නවා අපේ දේශපාලන ස්ථාවරයන් ගැන කතා කරන්නත්. මොකද අපි මේ දැන් ඉන්නේ තීරණාත්මක අවස්ථාවක. මේ වෙලාවේ රට වෙනුවෙන් කරන්න වගකීම් හා යුතුකම් කොටසක් අපටත් තියෙනවා මහජන නියෝජිතයෝ හැටියට. කරන්න අවශ්‍ය දේ ඒ අවශ්‍ය මොහොතෙ කළේ නැත්තං අපට පසුතැවෙන්න වෙනවා. මං හිතන්නේ අපි ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගය හා බරපතළ දේශපාලන තීන්දු තීරණ කිහිපයක් අපි දැන් ගත යුතුයි. අපි මොකද කරන්නේ මේ වෙලාවේ…” මෛත්‍රී ප්‍රශ්නය ග්‍රන්ථගත කළේය. ඔහු බලාපොරොත්තු වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත යුතු ස්ථාවරය ගැන ඉතා ගැඹුරින් සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමටයි.

මෙම අවස්ථාවට විශේෂ පුද්ගලයන් දෙදෙනෙක් ද පැමිණ සිටියේය. ඒ පහුගිය දිනවල ආණ්ඩුවේ ඇමැති ධුර බාර ගැනීම සම්බන්ධයෙන් පක්ෂයෙහි දැඩි විවේචනයන්ට ලක්ව සිටි මහින්ද අමරවීර හා නිමල් සිරිපාල ද සිල්වා ය.

පසුගිය දිනක මේ දෙදෙනාත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර කොළඹ දී යම්කිසි විශේෂ සාකච්ඡාවක් පැවැත් වී තිබුණු බව ඒ වන විට හෝඩුවාවක් පැතිර ගොස් තිබිණි. ඇතැම්හු කීවේ මේ දෙදෙනාගේ පැමිණීම සිදු වූයේ පක්ෂ නායකයා සමග කළ එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට බවයි.

කෙසේ වෙතත් නිමල්ට හා මහින්දට මධ්‍යම කාරක සභාවේ දී එල්ල වූ ප්‍රතිරෝධයන්හි අඩුවක් නොවීය. ආණ්ඩුවට ගොස් ඇමැතිකම් භාර ගැනීම ගැන හා පක්ෂයේ මතයට පිටින් කටයුතු කිරීම ගැන විවේචන බොහෝ විය. ඇතැම් ඒවා ඇස් රතු කරන වර්ගයේ විවේචන විය.

“අපි ඕවා කතා කරන්න නෙමෙයි මේ රැස්වුණේ. මේ වෙලාවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවලා රට වැටිච්ච ප්‍රපාතයෙන් බේරගන්න ලොකු මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න ඕන වෙලා තියෙනවා. අපි ඒ ගැනයි කතා කරන්න ඕන”

“අපි ඔය නරා වළට වැටෙන්න යන්න හොඳ නෑ… ඒකට වැටුණු මිනිස්සු වැද්ද ගන්න හොඳත් නෑ” දැඩි මතධාරීන් කිහිපදෙනෙක් කීවේය.

“එහෙම කියල බෑ… අපිටත් රට වෙනුවෙන් කරන්න මේ වෙලාවේ යුතුකමක් තියෙනවා. මම කියන්නේ ඇමැතිකම් වරප්‍රසාද අරගෙන සැප ගන්න එක නෙවෙයි. ඒ කිසිවක් නොගෙන හරි විවේචනාත්මකව සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන වැඩපිළිවෙළට අපිට සහයෝගය දෙන්න වෙනවා…” දයාසිරි පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න චාමර සම්පත් ඇතුළු තවත් කීප දෙනකුගේ මතය වූයේ සර්වපාක්ෂික ආණ්ඩුවට සහභාගි වීම වගේම එහිදී පක්ෂයට ලබා දෙන වගකීම් භාරගෙන කටයුතු කිරීම මේ වෙලාවේ පැහැර හැරිය යුතු නැති බවය. උණුසුම් වාද විවාද කීපයක් ම ඇතිවිය.

ඒ අතර තවත් වැදගත් කාරණාවක් සාකච්ඡාවට ලක්විය. මේ වූ කලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වෙනි සංවත්සරය සැමරීමයි. ලංකා නිදහස් පක්ෂය බිහි වී වසර හැත්තෑ එකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පවත්වන මෙම සංවත්සර උත්සවය ලබන සැප්තැම්බර් 2 වැනිදාට යෙදෙන බැවින් උත්සවාකාරයෙන් සැමරීම සඳහා කතාබහ වූ කණ්ඩායම උත්සවය පැවැත්වීමට ස්ථාන දෙකක් ගැන සාකච්ඡා කළහ.

පදනම් ආයතනය හොඳ යැයි පිරිසක් කීවත් වැඩි වැඩි දෙනකුගේ මතය වූයේ විශාල පිරිසකට එක්රැස් විය හැකි ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන ශාලාවේ මෙම උත්සවය පැවැත්වීම පවතින තත්ත්වය මත කාලෝචිත බව ය. සංවත්සර උත්සවය සඳහා කමිටුවක්ද පත් කළේය.

ඒ අතර යළි යළිත් සර්ව පාකපාක්ෂික ආණ්ඩුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට සහභාගි වීම යන කාරණාව සම්බන්ධයෙන් කතාව අලුත් විය. ආණ්ඩුවට සහභාගි වීම හා එහිදී පක්ෂයට ලැබෙන කෝටාව බෙදාගැනීම ගැන ද සමහරුන්ට ප්‍රශ්න තිබිණි. සමහර අය නිමල් සිරිපාලට හා අමරවීරට කීවේ ඔවුන් ගියානම් ගිය පරිදි එළියෙම සිටින ලෙසය. විවේචන රැසකි. ඔවුන් ඇතුළට පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් ලෙස යළි පෙනී සිටියහොත් පක්ෂයට ලැබෙන කෝටාවෙන් ඇමැති ධුර දෙකක් යළිත් ඔවුන්ට හිමි වීම නිසා පක්ෂයේ සෙසු අයට අවස්ථාවන් අහිමි වේ යැයි කියා බියක් ද එම විවේචනයන් ඇතුළාන්තයේ නොතිබුනාම නෙවේ.

● අනාගත දේශපාලනයට රනිල් – බැසිල් හමුවෙලා

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කිරීමට පසුගියදා තිබූ සාකච්ඡා අතර තවත් එක් වැදගත් සාකච්ඡාවක් වූයේ පොහොට්ටුව හා ජනාධිපතිවරයා කරන ලද සාකච්ඡාවයි. ජනාධිපති කාර්යාලයේ මෙම හමුව කැඳවා තිබුණේ සවස 7 .00 ට ය. බැසිල් රාජපක්ෂ ප්‍රමුඛව, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන්, රෝහිත, පවිත්‍රා, නාමල්, සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න පොහොට්ටුව නියෝජනය කළහ. ජනපති රනිල් ප්‍රමුඛ සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජයවර්ධන සහ ශමල් සෙනරත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කළහ.

“මේක ඉතාම වැදගත් රැස්වීමක්, මම ඔබට අවස්ථාව දෙනව කතා කරන්න.” ජනපති බොහොම කෙටියෙන් රැස්වීම ආරම්භය කළේය. ඊට පස්සෙ කතා කළේ බැසිල් රාජපක්ෂ.

“ජනාධිපතිතුමනි ඔබතුමාට මේ ආර්ථික ප්‍රශ්නය විසඳල රට ගොඩනගන්න අපි බොහොම අවංකව ඉදිරියටත් උදව් කරන බව මුලින්ම කියන්න කැමතියි. දෙවෙනි කාරණය තමයි හිටපු ජනාධිපතිතුමාට ආරක්ෂිතව නැවත ලංකාවට එන්න අවස්ථාව සැලසීම අත්‍යවශ්‍යයි කියල අපි ඔබතුමාට යෝජනා කරනව.”

බැසිල් රාජපක්ෂ මතු කළ කාරණා දෙකම ජනාධිපතිවරයා ඉතාම බැරෑරුම් විදිහට අවධානයට ගත්තේය.

“සර්…අපි ඉක්මනින් අංග සම්පූර්ණ ආණ්ඩුව ස්ථාපිත කරල තවදුරටත් දේශපාලන ස්ථාවරභාවය තහවුරු කරන්න ඕනි…..

“ඒ යෝජනාව ප්‍රසන්න රණතුංගගෙන්ය..

“අපි ඉක්මනින් බිමේ දේශපාලනයත් පටන් ගන්නත් අවශ්‍යයි” ජනපති රනිල් ප්‍රසන්නගේ කතාවට අඩුවැඩිය එකතු කළා.

“ආණ්ඩුවට එන්න කැමති අයව අපි එකතු කරගම්මු. ඒක ගැන කාගෙවත් විරෝධයක් නෑ. හැබැයි 225ම එකතු වෙනකම් මහන්සි වෙන්න ගියොත් නම් දොඩංගොඩ බදාගත්ත වගේ වෙයි. ඒ නිසා ඒ ගැන පරිස්සමෙන්…” බැසිල් එහෙම කියද්දි ජනාධිපති රනිල් ඒ අදහසට එකඟ බවක් සභාවට ඉඟි කළා….

සාකච්ඡාව එසේ ඇරඹී ඉතා වැදගත් මාතෘකා කීපයක් ඔස්සේ ඉදිරියට ඇදී ගියේය. පොදුජන පෙරමුණ පැත්තෙන් යෝජනා ගණනාවක්ම පැමිණ තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ බොහෝ යෝජනාවලට එකඟත්වය පළ කර සිටියේය. ඒ අතර රට මුහුණ පා සිටින අර්බුද ගැන ද කතාවක් ඇතිවිය. විශේෂයෙන්ම අරගලකරුවන් යැයි කියමින් මේ රටේ විවිධ අපරාධවලට සම්බන්ධ වූවන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද කතාබහක් ඇති විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ තමන් මේ රජය භාරව සිටිද්දී ව්‍යස්ථාව ඉක්මවා යන කිසිදු කටයුත්තකට සමාව දීමට තමන් පෙළඹෙන්නේ නැති බවකි. ීනීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ද ඒ අතර කීවේය. ඒ අතර ජනාධිපති මැඳුර සේවක පිරිසක් රැස්වීම මැද්දට තේ අරගෙන ආහ. “අපේ ජනාධිපතිතුමා ඉන්න කාලෙ නම් මේ රැස්වීම් ශාලාවට තේ ගේන්නෙ නෑ…. ඇතුළෙ කෑම හැලෙනව කියල…..” ඒ කතාව මතක් වුණේ බැසිල් රාජපක්ෂට

“අපිට මේ රැස්වීම ඒ තරමටම වැදගත්… ඒකයි ඇතුළටම තේ ගෙනාවෙ…” සාගල රත්නායක එහෙම කියද්දි සභාවේ හැමෝම හිනා වුණා.

● ශාන්ගේ උපන්දිනේ මෛත්‍රීගෙන් කේක්!

සර්ව පාක්ෂික ආණ්ඩුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කිරීමට තවත් සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා හවස් වරුවේත් පක්ෂ මූලස්ථානයේ පැවැත්විණි. ඒ සඳහා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පැමිණ සිටියහ. නිමල් සිරිපාල හා මහින්ද අමරවීර එම රැස්වීමටත් පැමිණ සිටියහ.

මෙහිදී සර්ව පාක්ෂික ආණ්ඩුව සාදා ගැනීමේ කටයුත්ත ගැන කතා කරනවාට වඩා මන්ත්‍රීවරු කතා කළේ පක්ෂ සම්මේලනය පැවැත්වීම ගැනය. සම්මේලනය ඉතා විශාල සෙනඟක් මහරගමට කැඳවා විධිමත්ව පවත්වන්නට අවශ්‍ය සංවිධාන ශක්තිය ක්‍රමවත් කරගැනීමට කමිටු කීපයක් පත් කළේය.

මෙහිදී ද අමරවීරට හා නිමල් සිරිපාලට විවේචන ඇතිවිය. ඒ අතර තවත් පිරිසක් රැස්වීම ඇතුළට ලොකු කේක් ගෙඩියක් රැගෙන ආහ…

“කාගේහරි උපන්දිනයක්….”

“වෙන කාගෙද ඉතිං… අපේ ශාන් විජේලාල් මහත්තයාගේ මිසක්…” මෛත්‍රී කීවේය.

ඒ අනුව සියල්ලෝම ශාන්ට සුබ පතන්නට වූහ. ශාන් එය අපේක්ෂා නොකළ දෙයකි. ඔහු ඉතා සතුටට පත්ව කේක් ගෙඩිය කපා සියල්ලන්ටම ඉන් සංග්‍රහ කළේය…

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment