බුද්ධිගලනයෙන් ලංකාවට මොකද වෙන්නේ?

398

ඇත්තටම පහ වසරේ ශිෂ්‍යත්ව විභාගේ කියන්නේ ගොඩක් තරගකාරී විභාගයක්. ඒක පාස් වෙන්නේ ඉතින් ගමේ ඉස්කෝලේ ඉන්න දක්ෂම ළමයි ටික තමයි. ඒ දක්ෂ ළමයි ටිකට මේ විභාගෙන් පස්සේ නගරේ තියන ලොකු ලොකු ඉස්කෝලවලට යන්න අවස්ථාව ලැබෙනවා. ලකුණු හොඳටම ගත්ත දරුවෙක්ට නම් ලංකාවේ තියන අංක එකේ ඉස්කෝලෙකට වුණත් ඇතුල්වෙන්න මේකෙන් අවස්ථාව ලැබෙනවා. මේ විදියට තමයි ගමේ ඉස්කෝලවල ඉන්න දක්ෂ බුද්ධිමත්ම දරුවෝ ටික නගරේ තියන ඉස්කෝලවලට ඇදිල යන්නේ. මේකෙදි වෙන්නේ ගමේ ඉස්කෝලවල තිබුණ බුද්ධිය නගරේ තියන ඉස්කෝලවලට ගලනය වෙන එක එහෙමත් නැත්නම් ඇදිල යන එක. ඔන්න ඔය වගේ දේකට තමයි අපි සරලව මේ “බුද්ධි ගලනය” කියලා කියන්නේ.

ගමේ ඉස්කෝලේ හිටපු දක්ෂ දරුවෝ ටික නගරේ තියන ලොකු ලොකු ඉස්කෝලවලට ඇදිල යන්න ඇත්තටම මොකක්ද හේතු වුණේ? ඒකට මූලිකවම හේතු වුණේ අපි මුලින් කියපු විදියට ගමේ ඉස්කෝලෙට වඩා හොඳට නගරේ ඉස්කෝලෙදි ඉගෙන ගන්න ලැබෙනවා එහෙමත් නැත්නම් ඉගෙන ගන්න ඕන කරන පහසුකම් ඒ ඉස්කෝලවල හොඳට තියනවා කියන විශ්වාසය තමයි. ඔන්න ඔය විදියටම අපේ රට වගේ දියුණුවෙමින් පවතින රටවල්වල ඉන්න ගොඩක් ඉහළට ඉගෙන ගත්ත, බුධිමත්, ඒ වගේම යම් රැකියා ක්ෂේත්‍රයක ප්‍රවීණත්වයට පැමිණි අය තමන්ගේ මව් රට අතහැරලා දාලා වෙනත් රටකට යන එකට තමයි අපි ඇත්තටම මේ “බුද්ධි ගලනය” කියලා කියන්නේ. මේකට හේතු වෙන්නේ අපි මුලින් ගත්ත ගමේ ඉස්කොලේ ළමයි නගරේ තියන ලොකු ඉස්කෝලෙට ඇදිලා ගියා වගේම හේතු තමයි. ඒ කියන්නේ තමන්ගේ මව් රටේදී තමන්ට නොලැබෙන ජීවන මට්ටමක්, හොඳ රැකියාවක්, හොඳ ආදායමක් ලබාගන්න තියන බලාපොරොත්තුව.

තමන්ගේ රට අතහැරලා දියුණු රටවල පදිංචියට යන එක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. ඒක ඉතිහාසේ ඉඳලා එන දෙයක්. ඉස්සර නම් ඒක ගොඩක් හානිදායක විදියට වුණේ නැහැ. ගොඩක් වෙලාවට වුණේ තරමක් සුබදායි විදියට. කොහොමද ඒක සුබදායි වුණේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. ලංකාවේ විශ්වවිද්‍යාලය මගින් පිරිනමන බොහොමයක් උපාධි පාඨමාලාවල හොඳම සිසුන් පිරිසට විශේෂවේදී උපාධියක් හැදෑරීමේ අවස්ථාව උදාවෙනවා. එකේදි එක වසරකදී විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන ශිෂ්‍ය කණ්ඩායමේ ඉන්න දක්ෂම සිසුන්ට තමයි මේ විශේෂවේදී උපාධිය හැදෑරීමේ අවස්ථාව ලැබෙන්නේ. විශේෂවේදී උපාධියක් හදාරන ළමයින්ගෙන් රටක් බලාපොරොත්තු වෙන්නේ ඒ අය අදාළ විෂය ක්ෂේත්‍රයේ වැඩිදුර ඉගෙනීම් කටයුතු සිදු කරලා පසුකාලීනව පර්යේෂණ තුළින් නව දැනුම සහ නව නිර්මාණ බිහිකරයි කියලා. ගොඩක් වෙලාවට ඔය සිසුන්ට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්න සිදු වෙනවා. ඔන්න ඔය අවස්ථාවේදී තමයි අපි අර මුලින් කියපු පිරිස ඒ කියන්නේ අපේ රටෙන් ගිහිල්ලා දැනට පිටරට පදිංචිවෙලා ඉන්න අයගෙන් යම් දායකත්වය ලැබෙන්නේ. එයාල තමයි ගොඩක් වෙලාවට ලංකාවෙන් අලුතෙන් අධ්‍යාපන කටයුතු වගේ දේවල්වලට තමන් ඉන්න රටවලට එන අයට ඒ රටවල්වලට එන්න පාර කපන්නේ. උදාහරණයක් විදියට ලෝකේ ඕනෑම විශ්වවිද්‍යාලයක වගේ අපේ රටෙන් මූලික අධ්‍යාපනය ලබලා දැන් ඒ විශ්වවිද්‍යාලවල මහාචාර්ය වගේ ඉහළ තනතුරු හොබවන අය ඉන්නවා. ඇත්තටම මේ ලිපිය ලියන මටත් මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගන්න ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න අවස්ථාව හදලා දුන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සැම් හූස්ටන් විශ්වවිද්‍යාලයේ වැඩ කරන මහාචාර්ය ආනන්ද මානගේ මහතා. එතුමා අපේ රටේ දරුවෝ විශාල පිරිසකට ඇමෙරිකාවට ඇවිත් වැඩිදුර අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව හදලා දීලා තියනවා. අපේ රටේ දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහින සපුරලා දෙන්න අපේ රටෙන් එළියට ගිය අයගෙන් යම් සුබදායි දායකත්වයක් ලැබෙන්නේ එහෙමයි. එහෙම නොතිබුණා නම් අපේ රටේ ගොඩක් දරුවන්ට ඔය අවස්ථා නොලැබී යන්න තිබුණා.

ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉඳලා උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්නේ අපේ ඉන්න දක්ෂම දරුවෝ ටික. ඉස්සර නම් එහෙම විදේශගත වෙන අයගෙන් වැඩි පරිසක් තමන්ගේ අධ්‍යාපන කටයුතු නිම කරලා නැවත ලංකාවට ආවා. දැන් රටේ තියන ආර්ථික හා සමාජීය අස්ථාවර බව නිසා ලංකාවෙන් මේ විදියට උසස් අධ්‍යාපන කටයුතු සඳහා යන බහුතරයක් ආයේ ලංකාවට යන්න බලන්නේ නැහැ. ඒ කියන්නේ අපේ රටේ විශ්වවිද්‍යාලවලින් ඉහළම ලකුණු අරගෙන බිහිවෙන බුද්ධිමතුන් සේරම වගේ අපේ රටට අහිමි වෙන එක.

හැබැයි ලෝකේ කිසිම රටක් තමන්ගේ රටට වැඩකට නැති මිනිස්සු ගෙන්න ගන්නේ නැහැ. ඒක නිසා තමයි ලෝකේ හොඳ රටකට විශේෂයෙන් රැකියාවක් කරන්න යන්න වීසා ගන්න ටිකක් අමාරු. රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඔස්ට්‍රේලියාව වගේ රටකට සංක්‍රමණය වෙන්න ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ “ඔස්ට්‍රේලියානු නිපුණතා සංක්‍රමණ වීසා” වගේ ක්‍රම. ඒකෙදී සිද්ධ වෙන්නේ ඒ රටවල් වාර්ෂිකව තමන්ගේ නිපුණතා ශ්‍රමිකයන් අඩු රැකියා ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණතාවයන් ඇති අයට තමන්ගේ රටට එන්න ඉඩ ප්‍රස්ථාව සලසලා දෙන එකක්. ඒකෙදිත් එයාල ප්‍රමුඛතාව දෙන්නේ වැඩ කරන්න පුළුවන් නියම වයස් කාණ්ඩේ ඉන්න තරුණ ශ්‍රමිකයන්ට. අපේ රටේ තියන අස්ථාවර බව නිසා අපිට ඊළඟට අහිමි වෙන්නේ ඔය විදියට එක එක ක්ෂේත්‍රවල ප්‍රවීණතා ලබපු හොඳම වයසේ ඉන්න තරුණ පිරිස. කුමන ක්ෂේත්‍රයක් වුණත් ඒකේ ඉන්න ප්‍රවීණයෝ නැති වෙනවා කියන්නේ ඒක රටකට පියවා ගත නොහැකි පාඩුවක්. ඒක හරියට වසු පැටියෙක් පොඩි කාලේ ඉඳලා හදලා කිරි ගන්න කිට්ටු වෙනකොට හොරු අරන් ගියා වාගේ වැඩක් තමයි. ඉස්සර නම් අපෙන් ඔහොම හොරු ගත්තේ එක කිරි ගවයෙක් දෙන්නෙක් විතරයි. දැන් නම් පට්ටියේ ඉන්න හැම කිරි ගවයම අපිට නැති වෙලා ඉතිරි වෙන්නේ කරත්තේ බඳින්න පුළුවන් වස්සෝ විතරක් ගාණට මේ ප්‍රශ්නේ උඩු දුවලා ඉවරයි.

වීසා ගන්න එක ඔච්චර අමාරු නම් කොහොමද මෙච්චර රට යන්නේ කියලා හිතෙනවා නේද? අපි මුලින්ම ගත්ත උදාහරණේ පහේ ශිෂ්‍යත්ව විභාගේ හොඳටම සමත්වුණ ළමයි නගරේ ලොකු ඉස්කෝලවලට ගියේ තමන්ගේ ඉදිරි වැඩකටයුතු කරගන්න අවශ්‍ය මූල්‍යමය ශිෂ්‍යත්වත් අරගෙන. ඔය විදියටම අපේ රටේ විශ්වවිද්‍යාලවලින් පිට වෙන දක්ෂම දරුවෝ පිට රටවල් වලට ගෙන්න ගන්නේ බොහෝ දුරට ශිෂ්‍යත්වත් දීලා (මීයක් කඩන්නේ නිකන් අත ලෙව කන්නනම් නෙමෙයි හැබැයි). ඒ වුණාට නගරේ තියන්න ලොකු ඉස්කෝලෙකට යන්න තියන එකම විදිය ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන එක විතරක් නෙමෙයි නේද? ඒ වගේම තමයි රට යන්නත්. ගොඩක් තරුණ දරුවන් ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනේ, මැලේසියාව, තායිලන්තය වගේ රටවල්වලට යන්නේ ශිෂ්‍ය වීසා යටතේ. මෙහිදී යම් පුද්ගලයකුට ඒ රටට ගිහින් අධ්‍යාපන කටයුතු කරන්න අවශ්‍ය වත්කම් තියන බව පෙන්වන්න පුළුවන් නම් මේ වීසා එක ගොඩක් ලේසියෙන්ම ගන්න පුළුවන්. මොකද ඒ රටවල් බලාපොරොත්තු වෙන්නෙත් හැකි පමණ සිසුන් තමන්ගේ පාඨමාලාවලට ගෙන්වගෙන ඒ තුළින් විදේශ විනිමය හොයන්න. මේ දවස්වල අපේ රට යන බහුතරයක් තරුණ දරුවෝ කරන්නේ තමන්ට තියන හැම දෙයක්ම විකුණලා තමන්ගේ වත්කම් පෙන්නලා මේ වීසා එක ගන්න එක. මොකද ලංකාවේ ඉන්න බහුතරයක් හිතාගෙන ඉන්නේ මේ රටේ විතරයි ප්‍රශ්න තියෙන්නේ මේ රටෙන් එළියට ගියොත් තියන ප්‍රශ්න සේරම ඉවරයි කියලා. ගොඩක් අය හිතන්නේ අයැදුම් කළ පාඨමාලාවේ අධ්‍යාපන කටයුතු ඉවර වුණ ගමන් පහසුවෙන් රැකියාවක් හොයාගන්න පුළුවන් කියලා. ඒකත් හරියට බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යනවා වගේම අවදානම් වැඩක්. මොකද මෙහෙම යන අයට අධ්‍යාපන කටයුතු ඉවර වෙනකන් විතරයි ඒ රටේ ඉන්න වීසා හම්බ වෙන්නේ. පස්සේ රැකියාවක් හොයාගන්න බැරිවෙලා තමන්ට තිබුණ සියල්ල නැති කරගෙන නැවත ලංකාවට එන්න වෙන අවස්ථා ඕන තරම් තියනවා.

මේ විදියට රටේ තියන ආර්ථික හා සමාජීය අස්ථාවර බව නිසා දවසින් දවස අපිට වෘත්තීයවේදීන් ඒ වගේම සෑම ක්ෂේත්‍රයකම වාගේ ප්‍රවීණයන් අහිමි වෙනවා. ඒ තුළින් රටක් විදියට අපේ කාර්යක්ෂමතාව, නිර්මාණශීලීත්වය දවසින් දවස හීන වී යනවා. නුදුරු අනාගතයේදීම සෞඛ්‍ය ඒ වගේම අධ්‍යාපනය වගේ ක්ෂේත්‍රවල වෘත්තීයවේදීන් අඩුවීම තුළින් ඒ ක්ෂේත්‍ර සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වීම කාටවත් වළක්වන්න බැරි වේවි. උදහරණයක් විදියට ලංකාවේ විශ්වවිද්‍යාල තමයි බුද්ධි ගලනයේ ලොකුම ගොදුර බවට ඉස්සර ඉඳලා පත් වෙලා තිබුණේ. වැඩිදුර අධ්‍යාපන කටයුතු ලෝකේ පිළිගත් විශ්වවිද්‍යාල වලින් නිම කරලා තමන්ගේ මව් රටට සේවය කරන්න ආපු බහුතරයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු දැනටමත් රට දාලා ගිහිල්ලා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස බඳවාගත හැකි විශේෂවේදී උපාධියක් හදාරපු සුදුසුකම් සහිත කිසිම දරුවෙක් රටේ ඉතිරි නොවන තරමට දැන් ප්‍රශ්නය උඩු දුවලා තියෙන්නේ. මෙනිසා දැනට තියන පුරප්පාඩු ගොඩක් වෙලාවට පුරවන්න වෙලා තියෙන්නේ සුදුසුකම් ගොඩක් අඩු අයගෙන්. මේ වගේ දේවල් නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තිබුණ ගුණාත්මක බව දිනෙන් දින පිරිහෙමින් යනවා. ඊට අමතරව විශ්වවිද්‍යාලවලින් බිහි වන දක්ෂම දරුවන් වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට ගිහිල්ලා නැවත නොපැමිණීම තුළින් අනාගතයේදී රටේ විද්‍යාව, තාක්ෂණය පැත්තෙන් කිසිම දියුණුවක් අපට ළඟා කරගන්න බැරි වේවි. ඒ වගේම තමයි අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා රටේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න එහෙම නැත්නම් කිසියම් ක්ෂේත්‍රයක ප්‍රවීණයන් බිහිකිරීමට අවැසි පුහුණුව ලබාදීමට සෑම විටම යොදවන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි. ඒ බදු සල්ලිවලින් බිහි වෙන දක්ෂයන් රටට සේවය නොකර වෙනත් රටවලට සේවය කිරීමට යෑම තුළින් අපේ රට අධ්‍යාපනය සඳහා කළ ආයෝජනය මුළුමනින්ම සුදු අලියෙක් බවට පත් වීමත් වළක්වන්න බැරි වෙනවා. තවත් පැත්තකින් බැලුවම විශ්වවිද්‍යාල කියන්නේ අනික් බහුතරයක් ක්ෂේත්‍රවල ඉහළ පෙළේ නිලධාරීන් බිහි කිරීමේ තිඹිරිගෙය. එතන විනාශ වුණා කියන්නේ ඉතින් අපේ රටේ කොඳුනාරටිය බිඳුණා වගේ තමයි. ඔය අපි කතා කළේ බුද්ධි ගලනයෙන් එක අංශයකට තියන බලපෑම් වලින් ටිකක් විතරයි. ඇත්තටම බුද්ධි ගලනය කියන්නේ ආර්ථික, සමාජීය, ඒ වගේම සංවර්ධනය ඇතුළු අනේක විධ පැතිවලට ඉතා හානිදායක බලපෑම් ඇතිකරන්න පුළුවන් අපේ රට දෙසට මේ මොහොතේ එල්ල වෙලා තියන බර අවියක් වගේ තමයි.

අපේ රටේ බහුතරයක් මිනිස්සු කාලයක් හිතන් හිටියා අපි හම්බ කළොත් අපි කනවා අපිට මොකටද රටේ ප්‍රශ්න කියලා. දැන් අපිට තේරිලා තියනවා නේද අපි හම්බ කළත් අපිට කන්න බැරි වෙන තැනට රට පත්කරන්න රට ගැන තීරණ ගන්න අයට පුළුවන් කියලා. අපේ රටේ දේශපාලකයන් හැම තිස්සෙම උත්සාහ කළේ ඡන්දේ කිට්ටුවෙලා ටකරමක් බෙදුවම තමන්ට ඡන්දේ දෙන විදිහේ ජනතාවක් ඉන්න රටක් හදන්න. ගොඩක් වෙලාවට අපේ රටේ මිනිස්සු කළෙත් රට ගැන තීරණ ගන්න තැන්වලට තමන්ට ලැබෙන සුළු වාසියකට පාලම් බෝක්කු හදන්න පුළුවන් අය යවන එක. රටක පාර්ලිමේන්තුව කියන්නේ ඒ රටේ ප්‍රතිපත්ති හදන තැන. බුද්ධි ගලනය වගේ සංකීර්ණ ප්‍රශ්නයකට විසඳුම් නිර්මාණය කරන්න වෙන්නේ ජාතික ප්‍රතිපත්ති විදිහට. ඒ වගේ ප්‍රශ්නයකට ප්‍රතිපත්තිමය විසඳුමක් දෙන්න පුළුවන් දේශපාලකයන් අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නවද? අපි දන්නවා සතුන් වුණත් තමන්ගේ කණ්ඩායමේ නායකයා විදියට තෝරගන්නේ තමන්ගේ පැවැත්මට ප්‍රගමණයක් කරන්න පුළුවන් එකෙක්. අපි අපේ නායකයන් විදියට තෝරාගන්නේ අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් අයද? දැන්වත් අපි රටකට අවැසි ප්‍රතිපත්තිමය තීරණ ගතහැකි පුළුල් දැක්මක් සහිත බුද්ධිමතුන් රට පාලනය කරන්න යොමු කරන්න පෙළ ගැසිය යුතු නොවේද?

බුද්ධිගලනයෙන් ලංකාවට මොකද වෙන්නේ?

ආචාර්ය පුබුදු තිලාන්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ගණිත අධ්‍යයනාංශය,
රුහුණ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment