ග්‍රීක බැඳුම්කර සිද්ධිය: මහ බැංකුවේ හිටපු ලොක්කන් 5කට නඩු

576

රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකළ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු හිටපු මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරනු ලැබීය.

2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැටහත් දහස් පන්සිය අනූපහක මුදලක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත් වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා ඇත. අධිචෝදනා හයක් යටතේ පවරා ඇති එකී නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් වන ධර්මසේන ධීරසිංහ, වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන හා එච්.ඒ. කරුණාරත්න යන සිවුදෙනා නම් කර ඇත. එම ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සුජීව සේනසිංහ මහතා විසින් 2012 වසරේදී එවකට මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල්, මහ බැංකු මූල්‍ය මණ්ඩලය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය ජයසුන්දර ඇතුළු 8 දෙනකු වගඋත්තකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි. එම පෙත්සම විභාග කළ කේ. ශ්‍රී පවන්, රෝහිණි මාරසිංහ හා සරත් ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම්කරුගේ ඉල්ලීම් හා පෙත්සම 2014.09.19 වැනිදා නිශ්ප්‍රභ කරමින් තීන්දුවක් නිකුත් කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment