මහත්වරුනි,නවත්වන්න ඔල්වරසන්!

මේ සතියේ සමාජ දේශපාලන අංශවල අවධානයට හා සංවාදයට වඩාත් ලක්වූ සිදුවීම් දෙකක් විය. පළමුවැන්න සමස්ත රෝහල් පද්ධතියම අඩපණ කරන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සංවිධාන 72 ක මෙහෙයීමෙන් සිදුවූ වැඩ වර්ජනයයි. ආණ්ඩුව සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබුණි. එහෙත් වර්ජනය ක්‍රියාත්මක විය. මේ වර්ජනය තිබියදීම සමස්ත ලංකා හෙද සංගමයේ දැවැන්ත විරෝධතාවක්ද අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවිය. අද මෙරටේ සෞඛ්‍ය සේවයේ බරපතළ කඩා වැටීමක් තිබෙන බව රටම දනිති. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රමුඛ එහි ඉහළම නිලධාරීන් ගණනාවක්ම ඖෂධ මගඩියක් සම්බන්ධ චූදිතයන් ලෙස අත්අඩංගුවටද පත්ව සිටිති. ඒ හැර මෙරටට ගෙන්වන ලද මිලියන ගණනක ඖෂධ අනාරක්‍ෂිතව ගුදම්වල තිබෙන බවටද චෝදනාවක් ඇත. සෞඛ්‍ය සේවය කුණු වෙමින් හා දියවෙමින් පැවතුනත් රටේ පොදු ජනතාව එහි පිළිසරණ පතමින් රෝහල් වෙත ඇදෙන ආකාරයද අතිශය දුක්මුසු ජවනිකා ලෙස සියලුම විiුත් හා මුද්‍රිත මාධ්‍ය විසින් සමාජ ගතකරනු ලැබ තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදයට පශ්චාත් භාගය පෙන්වීම!

ආණ්ඩුවල නායකයන් ඇතුළු වරප්‍රසාදිත පන්තිවලට මහජන සෞඛ්‍ය සේවය කෙබඳු අගාධයකට තල්ලු වී ගියත් ප්‍රශ්නයක් නැත. එහෙත් මෙරටේ බහුතර ජනතාවට අදටත් තිබෙන එකම සහනය මේ නිදහස් සුව සේවය පමණි. දිනෙන් දින උග්‍රවන ආර්ථික පීඩනය, ජීවන වියදම් ගැටලු ආදියෙන් හෙම්බත්වී සිටින මැද පන්තියේ සෑහෙන පිරිසක්ද රෝහල් වර්ජනයේ වින්දිතයන් බවට පත්ව සිටි බවද රහසක් නොවේ. නිරෝගී බව තරම් සතුටක් ලාභයක් මානව වර්ගයාට පමණක් නොව මිහිපිට කිසිදු ප්‍රාණියකුට නොමැති බව බුදුහුද වදාළහ.

“සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා” යන්න මෛත්‍රී භාවනාව ලෙස වඩන්නේ බෞද්ධයෝ පමණක්ම නොවෙති. බුදුන් වහන්සේගේ ඒ ධර්මෝපදේශය වෙනත් අයුරින් බොහෝ ආගම්වලටද එකතුව තිබේ. කුමක් වුවත් අද ශ්‍රී ලංකාව දෙස බලන විට වුවද මේ නිදුක් හා නිරෝගී යන අපේක්‍ෂා දෙකම බරපතළ ලෙස බිඳ වැටී තිබෙන බව නම් ඉතා පැහැදිලිය.

අද ජනතාවට වුවමනා දුකෙන් හා බියෙන් තොර සමාජයකි. එසේම නිරෝගී ජීවිත අපේක්‍ෂාවකි. මේ අපේක්‍ෂා දෙකම යථාර්ථයක් බවට පත්නොවීමේ හේතුව රටේ සමාජ දේශපාලන අස්ථාවරභාවයයි. රටේ සමස්ත පාලනය ඇතුළු ක්‍රියාකාරකම් අර්බුදයට ලක්වීමයි. අප ඉහත දැක්වූ සෞඛ්‍ය වර්ජනවල වගකීම පළමුව අදාළ ඇමැතිවරයාත් දෙවනුව ඔහු අයත් ආණ්ඩුවත් භාරගත යුත්තකි. ඇමැතිවරයෙක් සතු දේශපාලන විචක්ණභාවය, සහජ කුසලතාවන් මෙන්ම අවංක හා අව්‍යාජ බවද ඔහුගේ කාර්ය සාධනය කෙරෙහි අත්‍යවශ්‍ය මූලධර්ම වේ. එහෙත් මෙරටේ බොහෝවිට ඇමැති, රාජ්‍ය ඇමැති වැනි ගාම්භීර ප්‍රදාහයන් හිස් දේශපාලන පංචස්කන්දවල සැරසිලි බවට පත්ව තිබේ. රාජ්‍ය නිලධාරීන් බහුතරයකටද කිසිදු පෞරුෂයක් නැති බව මේ දේශපාලන විකට රූපවල එහෙයියන් බවට පත්වන ආකාරයෙන්ම පැහැදිලිය. අද සමස්ත රාජ්‍ය සේවයම බිඳ වැටෙමින් තිබේ. එදා එනම් මෙයට දසක හතර පහකට පමණ පෙර තිබුණු විශිෂ්ට පරිපාලන සේවයත්, අභීත අදීන රාජ්‍ය නිලධාරීන් පිළිබඳවත් ආශ්වාදනීය සිදුවීම් අදත් සමහරු සිහිපත් කරති. එහෙත් නිලධාරිවාදය ලෙස එය හැඳින්වූ දේශපාලනඥයෝ ඒ වෙනුවට දේශපාලන අධිකාරිත්වයක් තහවුරු කළහ. ප්‍රතිපත්තිගරුක රාජ්‍ය නිලධාරීන්ට සිදුවන ගැහැට අපමණය. රාජ්‍ය දේපළ අත්පත් කරගන්නා දේශපාලන විකටයන් තම ප්‍රදේශයේ ලේකම්වරයා, හෝ වෙනත් අවංක නිලධාරීන් හෝ වහකදුරුය. ඒවා හෙළිකරන මාධ්‍ය ඔවුන් සළකන්නේ සතුරන් ලෙසය.

මෙරටේ ආර්ථිකය බිඳ වැටීමට වගකිව යුත්තේ රට පාලනය කරන නැතහොත් දේශපාලන නායකයන් හා ඔවුන්ට සමීපව සිටි ආර්ථික ක්‍ෂේත්‍රයේ ඉහළම ආයතනවල නිලධාරීන් බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින්ම ප්‍රකාශයට පත්ව තිබේ. එහෙත් ඒ වගකිවයුත්තන්ට පමණක් නොව ඒවා මැනවැයි අනුමත කළ තවත් දේශපාලනඥයින් පිරිසක්ද සිටිති. කුමක් වුවත් මෙරටේ ලක්‍ෂ 220 කට නොඅඩු ජනතාවගෙන් බහුතරයකට අතිශය දුක්මුසු ඉරණමක් ලබාදුන් බවට තීන්දුවූ කිසිවෙකුටද එරෙහිව ගත් කිසිදු පියවරක්ද නැත. අප ඉහත සඳහන් කළ සමාජ දුකට රටත් ජනතාවත් ඇද දමා, අදටත් සුවපහසු ජීවිත ගෙවීමටත්, ජනතාවගේ මුදලින් නඩත්තු වීමටත් ඒ සියල්ලෝම වාසනාවන්තයන් වී සිටිති.

මේ වන විට තාවකාලිකව නවත්වා තිබෙන හෝ යටගොස් තිබෙන හෝ සෞඛ්‍ය අර්බුදය හා බැඳී තිබෙන දූෂණ, වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් වුවද ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද යන්නත් පැහැදිලි නැත. ඉහත දැක්වූ ආර්ථික බිඳවැටීම මෙන්ම විධිමත් හා විනිවිද පෙනෙන රාජ්‍ය ප්‍රතිපත්තියක් මේ පාලනයෙන්ද බලාපොරොත්තු විය නොහැක. වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයාට එම ක්‍ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තිබුණත් ඔහුට මේ සෞඛ්‍ය සේවයේ කුණුවීම යථාවත් කළ හැකිද යන්න ගැටලුවකි.

දැන් අපි මේ සතිය උණුසුම් කළ අනෙක් ප්‍රමුඛ දේශපාලන සිදුවීම වෙත යොමු වෙමු. ඒ වූකලී ජනාධිපතිවරණයක් හා මහමැතිවරණයක් නුදුරු අනාගතයේදීම පැවැත්වෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන පසුබිමක ක්‍ෂණයකින් මතුවී තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවකි. එය ආණ්ඩුවේ අනුමැතිය සමඟ කෙරෙන්නක් බව බොහෝ අය විශ්වාස කරති. එහෙත් ආණ්ඩුව පාර්ශවයෙන් පුන පුනා ප්‍රකාශ වන්නේ මේ වසරේ නිශ්චිතවම ජනාධිපතිවරණය පැවැත්වෙන බවය. එය ජනාධිපති මාධ්‍ය අංශයද නිවේදනය කර තිබේ. රාජ්‍ය මුදල් ඇමැති සියඹලාපිටිය අවධාරණය කරන්නේ මේ වසර අගභාගයේදී ස්ථිරවම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්ය. එහෙත් ඒ පිළිබද විපක්‍ෂවලට මෙන්ම පොදුවේ ජනතාව තුළද අවිශ්වාසයක් පවතී. මේ ආණ්ඩුවට තිබෙන ජනතා අප්‍රසාදයත් තවමත් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් තිබෙන ගැටලුත් නිසා ආණ්ඩුව මේ මැතිවරණය කල්දැමීමට උපක්‍රම සොයන බව ඔවුහු අනුමාන කරති.

අප විසින්ද මෙයට පෙර අවස්ථා කීපයකදීම සඳහන් කළේත් මේ ආණ්ඩුව මැතිවරණ භීතියකින් පෙළෙන බවය. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණය කල්දැමීම ආණ්ඩුවේ සැලසුමකට අනුව සිදුවූ බව රටම දනී. එහිදී ජනාධිපති රනිල් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන්ද විවේචනයක් තිබේ. පාර්ලිමේන්තුවේදී ඔහු එම මැතිවරණය ගැන දැක්වූ උත්ප්‍රාසනීය ප්‍රතිචාරයද රටට අමතක නැත. නාමයෝජනා පවා භාර ගැනීමෙන් පසු පළාත් පාලන ඡන්දය නොපවත්වා අතුරුදන් වූ ආකාරයද අප විස්තර කළ යුතු නැත. මැතිවරණයක් එලෙස කල් දැමූ පාලක පන්තියක් තමන්ට අත්විය හැකි ඉරණම පිළිබඳ දැනෙන පසුබිමක කෙසේ ක්‍රියාකරනු ඇද්ද? පොදුවේ මේ ආණ්ඩුව පිළිබඳව නීතිඥ ප්‍රජාව මෙන්ම පොදු ජනතාව තුළද ඇත්තේ අවිශ්වාසයක් හා උද්ධච්ඡ මානසිකත්වයකින් ක්‍රියා කරනු ලබන පාලනයක් යන අදහසයි. ජනාධිපති රනිල් විධායකයට සියල්ලන්මත්, සියලු ආයතනත් යටපත් කරගැනීමේ අභිලාෂයෙන් ක්‍රියාකරන බවටද චෝදනාවක් ඇත. මේ වන විට විධායකය හා ව්‍යවස්ථා සභාව අතර ගැටුමක් නිර්මාණය වී තිබෙනු පමණක් නොව එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවූ නඩු නිමිත්තක් බවටද පත්ව ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට පශ්චාත් භාගය පෙන්වීම!

රාජපක්‍ෂ කඳවුරේ ඉදිරිපෙළ නියෝජනය කළ ප්‍රබලයෝ අද මේ පාලනය දැඩි සේ හෙළා දකින්නෝය. ඩලස් අලහප්පෙරුම මාධ්‍යවලට පවසා තිබුණේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට පශ්චාත්භාගය හැරවීමට පසුබට නොවන බවකි.

මේ පශ්චාත්භාගය යනු ජනවහරේ එන්නේ ප්‍රබල උත්ප්‍රාසදනීය යෙදුමකිනි) විධායකය අහෝසි කිරීමට ආණ්ඩුවට තිබෙන හදිසි වුවමනාව ඔහුගේ විවේචනයටද නිමිති වී ඇත. ජනාධිපති රනිල් විසින් රාජ්‍ය නායකයා ලෙස මේ වනවිට පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ප්‍රකාශන තුනක් ඉදිරිපත් කරනු ලැබ ඇතත් ඒ එකකවත් මේ විධායක අහෝසිය හෝ දේශපාලන ප්‍රතිසංස්කරණය ගැන පිළිබඳ වචනයක් හෝ නැති බවද ඩලස් කියයි. සැබැවින්ම එදා විධායකය අහෝසි කිරීම හා ව්‍යවස්ථාදායකය බලගැන්වීම පිළිබඳ කථිකාවේ ප්‍රමුඛයකු වී සිටි රනිල් අද එම ධුරයට පත්ව එය රසවිඳින බවද ප්‍රකට විවේචනයක්ද ඇත.

මේ විධායකය අහෝසි කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ ප්‍රතිසංස්කරණ යෝජනාවලිය සිවිල් සමාජය අනුමත කරන්නකි. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කරු ජයසූරිය සද්භාවයෙන් යුතුව ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සුරැකීමට කැපවී සිටියි. එහෙත් මේ යන එන මං නැති ආණ්ඩුවට, ජනාධිපතිවරණය පෙනෙන මානයේ සිට එය අහෝසි කිරීමට සිහිපත්වීම සැකයට තුඩු දෙන්නකි. පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල ඒ යෝජනාව පසුපස කතාවත් එයින් සිදුවිය හැකි ක්‍රියාදාමයත් ඉතා නිවැරදිව පෙන්වාදී ඇත. යම් හෙයකින් මෙම විධායකය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී එය ජනමත විචාරණයකට යොමු කිරීමෙන් පසුව එයට ශ්‍රේෂ්ඨාධිකරණය අබියස අභියෝගයක් සිදුවුවහොත් යන අවිනිශ්චිත අනතුර අපටද පැහැදිලිය. ඇත්තටම මේ තකහනියේ රට එබදු අවුලකට ඇද දැමිය යුතු නැත. වඩාත් නිවැරදි ක්‍රමය නම් මෙවර ජනාධිපතිවරණය පවත්වා පසුව සියලු පක්‍ෂ සම්මුතියකට පැමිණ ඒ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සිදුකිරීමය.

අද මෙරටේ බහුතර ජනතාවගේ සමාජ – ආර්ථික අර්බුද කිසිවකට විසඳුමක් ලබාදීමට මේ ආණ්ඩුව අසමත් බවට පොදු විවේචනයක්ද වේ. දිගු කලක් මහින්දලා සමඟ දේශපාලන වැඩබිම්වල සිටි ල.ස.ස.ප නායක මහාචාර්ය තිස්ස විතාරණ ද දින කීපයකට පෙර පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකින් ප්‍රකාශ කළේද මේ ආණ්ඩුව වැරදි පාරක යන බවය. දුගීභාවයත් පීඩනයත් නිසා ජන ජීවිත අර්බුදයක ගිලී සිටින බවද ඔහු සාධක සහිතව පෙන්වාදී ඇත. අඩු ආදායම්ලාභී ජනතාව පත්ව සිටින දුක්මුසු ඉරණමට කිසිදු සහනයක් ලබාදීමට මේ පාලනය අසමත් වී ඇති බවද ඔහු පවසා තිබේ.

ඇත්ත වශයෙන්ම අද මෙරටේ මැද පන්තියද සරණාගතයන් බවට පත්වෙමින් සිටියි. බතක් නොඉදෙන පැල්පත් පමණක් නොව මහල් නිවාසද අද තිබේ. වර්ජනයේ විපාකවලට අමතරව බොහෝ නිදන්ගත රෝගීහුද මරණය වෙත ඇදෙමින් සිටිති. බොහෝ ඖෂධ හිඟයකි. ආහාර සුරක්‍ෂිතතාව තබා කුසගිනි නිවා ගැනීමට තරම් දෙයක් ඇතැම් ගම්වල ජනතාවට නැත. මුලතිව්හි පුදුකුඩුඉරිප්පුව ප්‍රදේශයේ මවක් තම බිළිඳාට දීමට තරම් කිරි නොමැතිවීම නිසා දරු දුකින් විසංඥව ළිඳකට පැන දිවි නසාගත් පුවතක් මාධ්‍යවල වාර්තා කර තිබුණි. මේ ඛේදවාචකය තේමා කරගනිමින් ජාතික පුවත් පතක කතුවැකියක්ද ලියා තිබුණි. සියදිවි නසා ගැනීම ප්‍රශ්නවලට විසඳුමක් නොවන බව සැබෑය. එබඳු ප්‍රතිචාර අනුමත කිරීමටද නොහැක. එහෙත් දුබල සිරුරක් හා කිරි සිඳී ගිය දෙතනක් සහිත අම්මා කෙනෙකුගේ ඒ මරණය මානවවාදී ශිෂ්ට සම්පන්න සමාජයක අඳුර කියා පාන්නක් නොවේද? මේ සමාජ ඛේදවාචකය පිළිබඳ මෙරටේ කීර්තිමත් මාධ්‍යවේදියකු මෙන්ම දිවයින සමාරම්භක කතුවරයකුද වූ දයාසේන ගුණසිංහ විසින් සමාජ අවධානයට යොමු කරනු ලැබ ඇත. ඒ අසූවේ දසකයේදීය.

“වැහැරී ගිය උකුලේ නැත සුවයහනක් සෑදුණේ
වියළී ගිය දෙතනේ නැතකිරි බිඳුවක් එරුණේ
කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුණේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුණේ”
(- එතෙරගිය පොඩි දුවට – 1982)

ඒ දසක හතරකට පෙර අම්මලාගේ සැබෑ ඛේදවාචකයම අදත් සිදුවේ නම් එවන් රටක පුරවැසියන් වීම ඛේදවාචකයක් නොවන්නේද? අපට කීමට ඇත්තේ එක් දෙයකි. මහත්වරුනි ඔල්වරසන් නවත්වන්න. මේ කඳුලට මේ දුකට පිහිටක් වෙන්න.

පසුගිය දිනක ජනලේඛන හා ජනසංඛ්‍යා දෙපාර්තමේන්තුව විසින් එළිදක්වන ලද සමීක්‍ෂණයක සඳහන් වූයේද මේ වනවිට රටේ දුගීභාවය, දරිද්‍රතාවය 30% ක් බවය. දුගී පවුල් ලක්‍ෂ 14 කට සහන සලසා තිබුණත් තවත් ලක්‍ෂ 3 කට වැඩි පිරිසක්ද දුගී බවේ පත්ලට වැටී ඇතැයිද එහි දක්වා තිබේ. කොවිඩ් සමඟ උදාවූ විපත ආර්ථික අර්බුදයකට හේතුවී වැඩුණු බවද එහි සඳහන් වී තිබුණි.

කුමක් වුවත් දැන් ආණ්ඩුවේ සූදානම තවදුරටත් බලය තම අතෙහිම රඳවා ගැනීම බව පැහැදිලිය. දැඩි ජනතා විරෝධතා නොතකා ආණ්ඩුව විසින් අණපනත් සම්මත කරනු ලබන්නේත් ප්‍රජාතන්ත්‍රවාදයට වංගු ගහන්නේත් ඒ අරමුණ නිසාය. එහෙත් ආණ්ඩුවේ යටි කූට්ටු වැඩ, දුෂ්ට මෙහෙයුම් වලට ලැබෙන ප්‍රතිඵල සාර්ථක නොවීමද ආණ්ඩුවට හිමිවන පරාජයක් වැන්න. ඇත්ත වශයෙන්ම මේ ඔන්ලයින් පනත සම්මත කරගත් ආකාරය මේ ආණ්ඩුවේ තිබෙන දේශපාලන හිස් බව අනාවරණය කෙරෙන ලකුණකි. මේ සමාජ මාධ්‍ය සඳහා නීතියක් වුවමනා බව බහුතරයක් පිළිගන්නා කරුණකි. එහෙත් ආණ්ඩුව දරදඬු ලෙසත් අනම්‍ය ලෙසත් සිය සුපුරුදු අහංකාර මානසිකත්වය පළ කරමින් පනත සම්මත කර ගත්තේය.

ඇමරිකානු US AIDS ආයතන ප්‍රධානි සමන්තා පවර් මේ පනත හානිදායක එකක් බව ජනාධිපති රනිල්ට පවසා ඇතැයි වාර්තා විය. එසේම ජාත්‍යන්තර සංවිධාන, මේ පනතට සිය අසතුට ප්‍රකාශ කර තිබේ. කුමක් වුවත් කැබිනට් මණ්ඩලයට එය යළි සංශෝධනය කිරීමට සිදුවීම දෛවයේ සරදමකි. සාමාන්‍යයෙන් මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මහජන මතයටද පිටුපෑමට පසුබට නොවේ. ඔවුන්ට ඒවාට හේතු සාධක ද තිබේ. ඔවුන් බිය වන්නේ මහජන මතයට පමණි. ඔන්ලයින් පනතේ හදිස්සියද ඒ ජනහඬට අවහිර කිරීමය. පුදුමය නම් ජනාධිපති රනිල් එදා මාධ්‍ය නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී සියලු චර්යාධර්ම වෙත දැක්වූ ගෞරවය මෙන්ම ඒ වෙනුවෙන් කැපවූ සිය දේශපාලන ක්‍රියාන්විතයටද පටහැනිව අද ක්‍රියා කිරීමය. එපමණක් නොව ඔහු දූෂිතයන්ට, හොරුන්ට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමද අප තුළ විමතිය දනවන්නකි.

advertistmentadvertistment
advertistmentadvertistment