පපුවේ අමාරු හැදෙන ණය අර්බුද?

85

මෑතදී දෙවතාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට කටයුතු කර ඇත. එහෙත් මහ බැංකුව විසින් සිදු කර ඇති මේ පොලී අනුපාත අඩු කිරීමට සාපේක්ෂව වෙළෙඳපොළ පොලී අනුපාත (විශේෂයෙන් බැංකු සහ මූල්‍ය ආයතනවල ණය පොලී අනුපාත) අඩු වී නැති බවට බොහෝ දෙනෙක් චෝදනා කරති. එය බෝටුවක් ද නොවේ. සාමාන්‍යයෙන් අපට නිරීක්ෂණය කළ හැක්කේ ද මහ බැංකුව විසින් පොලී අනුපාත අඩු කළ වහාම බැංකු සහ මූල්‍ය ආයතන විසින් තැන්පතු පොලී අනුපාත අඩු කරනු ලැබුවත් සිය ණය පොලී අනුපාත අඩු කරන්නේ සැලකිය යුතු ප්‍රමාදයකින් යුතුව බවයි. එසේම පැරණි ණය සඳහා කලින් අය කළ ඉහළ පොලී අනුපාත දිගටම අය කරන බව ද පෙනේ. අපත් සිතන්නේ මහ බැංකුව විසින් සිදු කළ ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කිරීම අනිවාර්යයෙන්ම රටේ සියලු වෙළෙඳපොළ පොලී අනුපාතවලින් ද නිරූපණය විය යුතුව ඇති බවයි. එම ක්‍රියාවලිය සිදු වීමට යම් කාල පමාවක් තිබිය හැකිය. එහෙත් එම වෙනස බැංකු හා මූල්‍ය ආයතන විසින් නිසි ලෙස සිදු නොකරන්නේ නම් සහ ඒ සඳහා බොහෝ ප්‍රමාද වන්නේ නම් ඒ සඳහා මහ බැංකුවේ මැදිහත් වීමක් අත්‍යවශ්‍ය බව අපට කීමට සිදුවේ. මේ සම්බන්ධයෙන් පසුගිය මහ බැංකු මුදල් මණ්ඩල රැස්වීමේ දී අවධානය යොමු වූ බව ද අපට දැනගන්නට තිබේ.

● මහ බැංකුවෙන් නියාමන ක්‍රියාමාර්ග

පපුවේ අමාරු හැදෙන ණය අර්බුද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට සිදු කළ පොලී අනුපාත අඩු කිරීමේ දී එනම් පසුගිය ජුලි 06 වැනිදා සිදු කළ පොලී අනුපාත අඩු කිරීමේ දී මහ බැංකුව සඳහන් කළ කාරණයක් වූයේ වෙළෙඳපොළ ණය පොලී අනුපාත අඩු වීම දිගටම ප්‍රමාද වන්නේ නම් මහ බැංකුව විසින් නියාමන ක්‍රියාමාර්ග ගනු ලබන බවයි. ඒ බව මහ බැංකුව පසුගිය ජුලි මස මූල්‍ය ප්‍රතිපත්ති විවරණයෙන් නිල වශයෙන් සඳහන් කළේ මෙසේය.

‘මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග, දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතා තත්ත්ව වැඩිදියුණු වීම මෙන්ම මහ බැංකුව විසින් සපයන ලද වෙළෙඳපොළ මඟපෙන්වීම් සඳහා ප්‍රතිචාර දක්වමින් වෙළෙඳපොළ පොලී අනුපාතික යම් ප්‍රමාණයකට අඩු වී ඇත. දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය ප්‍රකාශයට පත් කිරීමත් සමග අවිනිශ්චිතතා හා සම්බන්ධ අවදානම් අධි මිල විශාල ලෙස අඩු වූ බැවින් රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික සැලකිය යුතු ලෙස අඩු විය. මීට සමගාමීව වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම පහළ යෑමේ ප්‍රමාදයක් පෙන්වනු ලබන ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. වෙළෙඳපොළ ණය පොලී අනුපාතික අඩු වීම අඛණ්ඩව මන්දගාමීව පවතී නම් ලිහිල් මුදල් ප්‍රතිපත්තිය සහ අවදානම් අධි මිල අඩු වීම වේගවත් ලෙස වෙළෙඳපොළ වෙත සම්ප්‍රේෂණය වීම තහවුරු කිරීම සඳහා මහ බැංකුව විසින් නියාමන ක්‍රියාමාර්ග ගනු ඇත. එවැනි මුදල් තත්ත්ව ලිහිල් කිරීම මගින් ආර්ථිකයට සහ එහි පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.’

● ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීම

මෙසේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් පොලී අනුපාත අඩු කිරීමත් සමග බලාපොරොත්තු වන තවත් දෙයක් වන්නේ බැංකු මගින් පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය ක්‍රමයෙන් වර්ධනය ඇති බවයි. එසේම ඒ සමග ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇති බවයි. ණය ගැනීම වර්ධනය වීම මගින් සිදුවන්නේ රටේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීමයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පසුගිය ජූලි මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේය. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වේගවත්ව උද්ධමනය අඩුවීමේ ක්‍රියාවලිය සිදුවීම සහ පාලනය වූ උද්ධමන අපේක්ෂා ඇතුළු ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මූල්‍ය වෙළෙඳපොළ පීඩන ලිහිල් කරන අතරම මැදි කාලීනව ආර්ථිකයට එහි විභව නිෂ්පාදන මට්ටම කරා ළඟා වීමට සහ උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණු බව මහ බැංකුව ඒ අවස්ථාවේ සඳහන් කළේය. මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 200කින් අඩු කිරීම සහ 2023 ජූනි මස මුලදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 250කින් අඩු කිරීම මෙන්ම රජයේ සුරැකුම්පත් සම්බන්ධයෙන් පැවති අවදානම් අධි මිල මෑතකදී විශාල ලෙස අඩුවීමත් සමඟ වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන් ණය පොලී අනුපාතික ප්‍රමාණවත් ලෙස සහ වේගවත්ව අඩු වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කළත් අප සිතන්නේ එය ප්‍රමාණවත් මට්ටමින් සහ වේගවත් ලෙස සිදුව නැති බවයි.

මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමේ ප්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ලැබිය යුතුව තිබේ. එම වාසිය පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ලබා දෙන ලෙස බැංකු සහ මූල්‍ය අංශයෙන් ඉල්ලා සිටින බව ද මහ බැංකුව ඒ අවස්ථාවේ කියා සිටියේය. එය ඉදිරි කාලය තුළදී අප මුලින් සඳහන් කළ පරිදිම ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට ද සහායක් වේ. එහෙත් මෙලෙස ප්‍රමාණවත් මට්ටමින් ණය පොළී අනුපාත අඩු නොවීම නිසා ණය ගැනුම්කරුවන්ට තවමත් ඉහළ ණය පිරිවැයක් දැරීමට සිදුව ඇත. එවිට යම් ණය මුදලක් ගෙන ආර්ථික කටයුත්තක නිරත වීමට ඔවුන්ට ඇති උනන්දුව සහ හැකියාව අඩු වේ. මෙය රටේ පසුබෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු ප්‍රවර්ධනයට බාධාවකි. අප තවමත් සිටින්නේ බලවත් ඍණ ආර්ථිකයකය. මේ වසරේ (2023) අවසන් කාර්තුවේ සිට මේ පසුබෑම ධන ආර්ථික තත්ත්වයකට පරිවර්තනය කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් මේ වසරේ සමස්තයක් ලෙස වාර්තා කරනු ඇත්තේ ඍණ ආර්ථිකය වර්ධනයකි. මේ අනුව ලබන වසරේ (2024) සිට අපට සමස්තයක් ලෙස ධන ආර්ථික වර්ධනයකට ගමන් කිරීමට හැකිවනු ඇත.

බැංකුවල ණය පොලී අනුපාත අඩු නොවීම සම්බන්ධයෙන් මහ බැංකුවේ ද අවධානය යොමු වී තිබේ. දැන් අවශ්‍ය කරන්නේ ප්‍රමාද නොවී ඒ සම්බන්ධයෙන් මහ බැංකුව කිසියම් පියවරක් ගැනීමයි. අලුත් ණය නිකුත් කිරීමේ දී මේ පොලී අඩු වීමේ සහනය ක්‍රමයෙන් දැන් ලැබෙමින් තිබෙන බව ද සත්‍යයකි. ප්‍රශ්නය තිබෙන්නේ ලබාගත් පරණ ණයවල පොලී අනුපාත අඩුවීම සම්බන්ධයෙනි. එහිදී ස්ථාවර පොලී අනුපාතවලට ලබාගත් පැරණි ණය සම්බන්ධයෙන් බැංකු සිය පොලී අනුපාත අඩු කිරීමට පියවර නොගන්නා ස්වභාවයක් තිබේ. ඇතැම් ණය ගැනුම්කරුවන් අපට සඳහන් කළේ රටේ පොළී අනුපාත වැඩිවන විට ස්ථාවර පොලී අනුපාතවලට ලබාගත් ණය සම්බන්ධයෙන් පවා තමන්ගෙන් අයකරන පොළී අනුපාත වැඩි කිරීමට බැංකු හා මූල්‍ය ආයතන කටයුතු කරනු ලබන බවයි. ස්ථාවර පොලී අනුපාතවලට සම්බන්ධයෙන් ඒ ප්‍රශ්නය තිබුණත් නම්‍ය පොලී අනුපාතවලට ලබාගත් ණය සම්බන්ධයෙන් නම් ක්‍රමයෙන් පොළී අනුපාත අඩුවීමට හැකියාවක් තිබේ. එය ක්‍රමයෙන් දැන් සිදුවෙමින් තිබේ. ලීසිං සම්බන්ධයෙන් තිබෙන ගිවිසුම් මීට වඩා වෙනස්ය. මෙහිදී කලින් ලබාගත් පැරණි ලීසිං පහසුකම් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර තිබෙන කල්බදු ගිවිසුම අනුව පොළී අනුපාත අඩු කිරීමට නෛතික බාධාවක් තිබෙන්නේ නම් ඒ සඳහා මහ බැංකුවට නියාමන ක්‍රියාමාර්ග ගත හැකි ද යන ගැටලුවක් ද තිබේ. මේ ප්‍රශ්නය ගැන සලකා බලා එයට යම් විසඳුමක් ඇති කිරීමට පියවරක් ගත හැකි නම් එය එම ලීසිං වාරික ගෙවන අයට විශාල සහනයකි. අලුතින් ගන්නා ලීසිං පහසුකම්වල දී නම් පොලී අනුපාත අඩු කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වීමට හේතුවක් නැත. එය ප්‍රමාණවත් මට්ටමින් සහ වේගවත් ලෙස නොවන්නේ නම් මහ බැංකුවට අනිවාර්යෙන්ම මැදිහත් වී ඔවුන් කියන නියාමන ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. මේ ගැන මහ බැංකු මුදල් මණ්ඩලය විසින් කඩිනමින් අවධානය යොමුකර පියවරක් ගත යුතු දෙයකි.

● මහ බැංකුවට කඩා වැදීම

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමයේ නියෝජිතයන් සහ තවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් පිරිසක් ඉකුත් අගෝස්තු 08 වැනිදා පෙරවරුවේ කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු මූලස්ථානයට කඩාවැදී හදිසියේම විරෝධතාවක් පැවැත්වීමට පටන් ගත්තේ ද මේ කියන පොලී අනුපාත අඩු නොකිරීමේ ප්‍රශ්නය මුල් කරගෙනය.

‘විරෝධතාකරුවන් කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කර ඇති පොලී අනුපාත අඩු කිරීමට සාපේක්ෂව ලීසිං වාරික ගෙවීමේ දී සහනයක් ලැබී නැති බවත් එම ලීසිං පොලී අනුපාත අඩු වී නැති බවත්ය. මේ නිසා සිය ලීසිං වාරික ගෙවීමේදී සහනයක් සලසන ලෙස ඉල්ලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිස එම හදිසි විරෝධතාවක් සිදු කළේය. එහෙත් එය වැඩි වෙලාවක් කිරීමට ඔවුන්ට ඉඩ ලැබුණේ නැත. පොලිසිය පැමිණ මහ බැංකු මූලස්ථානයට කඩා වැදී විරෝධතා පවත්වමින් සිටි එම පිරිස වහාම අත්අඩංගුවට ගෙන බස් රථයකින් රැගෙන ගියේය.

මේ අනුව ඒ අවස්ථාවේ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 09 දෙනකු කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය. පෙර දැනුම්දීමකින් තොරව පැමිණි මේ පිරිස තරමක් කලහකාරීව හැසිරුණු බව ද දක්නට ලැබිණි. අයුතු අවහිරය සහ අයුතු ඇතුළුවීම, රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා තිබේ. මහ බැංකුව ඉදිරිපස ඇති ගේට්ටුවලින් ඇතුළු වූ මෙම පිරිස බැංකු මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදිරිපිට බිම වාඩිවී විවිධ විරෝධතා පාඨ කියමින් විරෝධය පළ කර තිබිණි. මේ අය බලහත්කාරයෙන් ඇතුළු වූ බව කිව්වත් ඇත්ත කතාව නම් මහ බැංකුව ඉදිරිපස ඇති ගේට්ටු විවෘතව ඇති නිසා පාගමනින් එන ඕනෑම අයකුට එම ගේට්ටුවලින් ඇතුළු විය හැකි බවයි. සාමාන්‍යයෙන් එන අයගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමක් සිදුවන්නේ මහ බැංකු ගොඩනැඟිල්ලට ඇතුළු වීමට යෑමේදී තිබෙන ආරක්ෂක දොරටුවෙනි. මාධ්‍යවේදීන් වශයෙන් මහ බැංකුවේ මාධ්‍ය හමුවලට සහභාගි වීමට නිතර මහ බැංකුවට යන අප එය හොඳටම දන්නා කරුණක් වන නිසා මේ පිරිස බලහත්කාරයෙන් මහ බැංකුවේ ඉදිරිපස ඇති ගේට්ටුවලින් ඇතුළු වූ බව නම් පිළිගත නොහැකිය. පොලිසිය එම පිරිස අත්අඩංගුවට ගැනීමේ දී දැඩිව ක්‍රියාකරනු ද අපට දැකගත හැකි විය. එම පිරිස පොලිස් බස් රථයේ යමින් සිටියදී ජංගම දුරකථනය මගින් ලයිව් වීඩියෝවක් මගින් කියා සිටියේ පොලිසිය තමන්ට පහර දුන් බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ලබන බවත්ය.

මේ ගැන අපට ද කීමට ඇත්තේ මෙම ලීසිං වාරික ගෙවන පිරිස පමණක් නොව අනෙකුත් බැංකු ණය ගැනුම්කරුවන් ද මුහුණ දෙන ඇත්ත ප්‍රශ්නයක් ඇති බවයි. ලීසිං පොලී අනුපාත ප්‍රමාණවත් ලෙස අඩු නොවීමට අමතරව ලීසිං ගෙවා ගැනීමට නොහැකි වූ පුද්ගලයන්ගේ වාහන සීසර්ලා මගින් පැහැර ගැනීමට ද අදාළ ලීසිං සමාගම් කටයතු කර ඇත. මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවේ නිරත වූ නියෝජිත පිරිස පැවසුවේ මේ වනවිට ලීසිං ගෙවා ගැනීමට නොහැකි වූ පුද්ගලයන් 7000 කගේ වාහන ලීසිං සමාගම් විසින් පැහැර ගෙන ගොස් ඇති බවයි. මේ ගැන වසර දෙකක් තිස්සේ කියා සිටියද මහ බැංකුව මේ ගැටලුවට මැදිහත්වී ලීසිං වාරික ගෙවීමේදී සහනයක් ලබාදීමට මේ වනතුරු කටයුතු කර නැති බවද ඔවුහු කියා සිටියහ. මෙහිදී බැංකු ණය ගැනීමේ දී අත්සන් කරන ගිවිසුමට වඩා ලීසිං ගැනීමේ දී ගැනුම්කරුවන් සමග අදාළ ලීසිං ආයතන අත්සන් කරන ගිවිසුම්වල කොන්දේසි අනුව මහ බැංකුවට එසේ පොලී අනුපාත අඩු කිරීමට කිසියම් නෛතික ගැටලුවක් ඇති බව ද දැනගන්නට ඇත. එසේ නම් මහ බැංකුව කියන නියාමන ක්‍රියාමාර්ග මේ ලීසිං සමාගම් සම්බන්ධයෙන් ගනු ලබන්නේ කෙසේ ද යන්න අපට පැහැදිලි නැත. වෙළෙඳපොළ පොලී අනුපාත විශාල ලෙස අඩු වෙමින් පවතින විට එම පොලී අනුපාත අඩු වීමේ සහනය ණය ගැනුම්කරුවන්ට පමණක් නොව ලීසිං වාරික ගෙවීමේදී ඔවුන්ට ද ලැබිය යුතු බව අපි ද සිතමු. ඒ නිසා ඔවුන් පොලී අනුපාත අඩුවීම සම්බන්ධයෙන් යම් සහනයක් ඉල්ලා සිටීම අසාධාරණ ඉල්ලීමක් නොවේ. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට අප කියා සිටින්නේ මේ ගැන වහාම අවධානය යොමු කර බැංකු ණය සම්බන්ධයෙන් පමණක් නොව මේ ලීසිං වාරික ගෙවීම සම්බන්ධයෙන් ද මහ බැංකුවේ පොලී අනුපාත අඩුවීමේ සහනය ලබා දීමට පියවර ගැනීම අවශ්‍ය බවයි. එසේ නැතහොත් මහ බැංකුව පොලී අනුපාත අඩු කිරීමෙන් බලාපොරොත්තු වන අරමුණු එලෙසින්ම ඉටුවේද යන ප්‍රශ්නය ඇති වේ. මේ නිසා අදාළ ගිවිසුම් සමබන්ධයෙන් අවශ්‍ය නම් යම් නෛතික වෙනස්කම සිදුකර හෝ මහ බැංකුව පොලී අනුපාත අඩු කිරීමේ සහනය ලීසිං ගැනුම්කරුවන්ට ද හිමි කර දීම අවශ්‍ය දෙයකි.

● මහ බැංකුවේ නව තීරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පසුගිය අගෝස්තු මස 08 වන දින පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමට මහ බැංකුව තවත් තීරණයක් ගත්තේය. එනම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමයි. මෙහි අදහස වන්නේ වාණිජ බැංකු විසින් තම තැන්පතු ප්‍රමාණය මත මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රමාණය අඩු කරන බවයි. මේ අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2023 අගෝස්තු මස 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය කර ඇත. මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව සැපයීම සහ වෙළෙඳපොළ ද්‍රවශීලතා හිඟය ස්ථිර පදනමින් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව මහ බැංකුව පවසයි.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම මඟින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 200 ක (රු. කෝටි 20,000 ක) පමණ ද්‍රවශීලතාවක් මුදාහැරීමට අපේක්ෂා කරනු ලබයි. එමඟින් වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීම ද සිදු වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමටත්, ආර්ථිකයට ගලා යන ණය ප්‍රමාණය වැඩි කිරීමටත් හැකි වනු ඇත. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් වෙළෙඳපොළ තත්ත්වයන් අඛණ්ඩව අධීක්ෂණය කරන අතර අවශ්‍ය වුවහොත් වෙළෙඳපොළ ණය අනුපාතික අඩු වීමේ ශීඝ්‍රතාව තහවුරු කිරීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ද ගනු ලබන බව ද මහ බැංකුව කියයි.

● රාජ්‍ය ණය වර්ධනය

මධ්‍යම රජයේ නොපියවූ ණය, 2021 වසර අවසානයට සාපේක්ෂව, 2022 වසර අවසානයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එහිදී මධ්‍යම රජයේ සමස්ත නොපියවූ ණය තොගය 2021 වසර අවසානය වන විට පැවති රුපියල් බිලියන 17,614.2 සිට 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 27,492.0ක් දක්වා සියයට 56.1කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ සදහා හේතු වූ කරුණු 2022 වසරේ මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.

‘රජයේ විශාල මූල්‍යන අවශ්‍යතාවල බලපෑම, විනිමය අනුපාතිකයේ තියුණු අවප්‍රමාණය වීම මෙන්ම රජය සතු ව්‍යවසායන්ගේ තෝරාගත් ණය මධ්‍යම රජයේ ණය වශයෙන් අවශෝෂණය කර ගැනීම පිළිබිඹු කරමින්, මධ්‍යම රජයේ නොපියවූ ණය, 2021 වසර අවසානයට සාපේක්ෂව, 2022 වසර අවසානයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය, 2021 වසර අවසානයට පැවති සියයට 100.1ට සාපේක්ෂව 2022 වසර අවසානය වන විට සියයට 113.8ක් දක්වා ඉහළ ගියේය. මේ අතර, 2022 වසර තුළ දී ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තියුණු ලෙස අවප්‍රමාණ වීම මූලික වශයෙන් පිළිබිඹු කරමින්, 2021 වසර අවසානයේ දී ද.දේ.නි.යෙන් සියයට 37.0ක්ව පැවති දේශීය ව්‍යවහාර මුදලින් තක්සේරු කළ මධ්‍යම රජයේ නොපියවූ විදේශීය ණය, 2022 වසර අවසානය වන විට ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 51.6ක් දක්වා ඉහළ ගියේය.’

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment