මෙන්න රටේ හිරගෙවල්වල හැටි…ලෙඩ හැදෙන එක අහන්නත් දෙයක්ද?

214

ගාලු බන්ධනාගාරයට මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයට හේතුවූ බැක්ටීරියාව රිංගුවේ කොහොමද?

බන්ධනාගාරයේ රැඳවිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 13,241ක් වුවත් 29000ක් රඳවලා

මෙරට බන්ධනාගාර 27ක වැසිකිළි 187ක් හිඟයි. දැනට තිබෙන වැසිකිළිවලින්ද 278ක් අලුත්වැඩියා කළ යුතුයි

මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි නිසා බන්ධනාගාරගතවන සංඛ්‍යාව මෙරට බන්ධනාගාරගත වන රැඳවියන්ගෙන් තුනෙන් දෙකක්

ධාවනයට යොදා නොගන්නා වාහන 33ක් රුපියල් 363,837ක වියදමක් දරා රක්‍ෂණ ආවරණ ලබාගෙන

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. මෙරට බන්ධනාගාර බිහිවන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරට පාලනය කරනු ලැබූ කැමරන් ආණ්ඩුකාරවරයා විසින් හඳුන්වා දෙනු ලැබූ අධිකරණ ප්‍රතිසංස්කරණයෙහි ප්‍රතිපලයක් වශයෙනි. 1875 වර්ෂයේ දී එංගලන්ත බන්ධනාගාර ආකෘතියට අනුව බෝගම්බර බන්ධනාගාරය ඉදිකරනු ලැබීය. 1844 අංක 18 දරන නීති හා අධිකරණ ආඥා පනතට අනුව වැලිකඩ බන්ධනාගාරය ඉදිවන්නේ බ්‍රිතාන්‍ය බොස්ටල් ක්‍රමයේ ආකෘතියකට අනුවය. මේ අයුරින් විකාශය වූ මෙරට බන්ධනාගාර පද්ධතිය වර්තමාන සමාජ සංකීර්ණත්වය හමුවේ සුවිශේෂී වූ මෙන්ම අත්‍යවශ්‍ය වූත් ආයතනයක් බවට පත්ව ඇත්තේය. ඒ අනුව දිවයින පුරා විසිරී ඇති ආරක්ෂිත බන්ධනාගාර සංඛ්‍යාව 04කි. රිමාන්ඩ් බන්ධනාගාර සංඛ්‍යාව 18කි. තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථාන 02ක්, වැඩ කඳවුරු 10ක්, සිරමැඳිරි 23ක්, විවෘත වැඩ කඳවුරු 02ක්, බන්ධනාගාර පාසල් 01ක් බන්ධනාගාර අධිකාරිවරුන් යටතේ පාලනය වේ.

මෙකී ආයතනවල සිරකරුවන් හා සැකකරුවන් 26,176 දෙනකු බන්ධනාගාර අධිකාරිවරුන්ගේ යටතේ සිටින අතර මේ වනවිට බන්ධනාගාර තුළ ඇති තදබදය බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් රට තුළ කවර හෝ අධිකරණයක අධිකාරි බලය යටතේ බන්ධනාගාරගත කරනු ලැබූ සෑම තරාතිරමක රැඳවියන්, පිළිගැනීම, බන්ධනාගාර නීතිරීතිවලට අනුව ඔවුන්ගේ ආරක්ෂාව රැකවරණය හා පුනරුත්ථාපනය ප්‍රමාණවත් පරිදි සිදුකළ යුතුය. එමෙන්ම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළව බන්ධනාගාර තදබදය අවම කිරීම, නවීන තාක්ෂණය හඳුන්වාදීම, භෞතික සම්පත් වැඩිදියුණු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් අතුරින් ප්‍රධාන වේ. බන්ධනාගාර ආඥා පනතේ විධිවිධානයන්ට අනුකූලව රැඳවියන්ගේ මානසික හා ශාරීරික යෝග්‍යතාවයන්ට ගැළපෙන ආකාරයට ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් තිබිය යුතුය.

ඒ කොයිහැටි වුවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයිනේ සමස්ත බන්ධනාගාර ආයතන තුළ රැඳවිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 13,241කි. එහෙත් මේ වනවිට මෙකී බන්ධනාගාර තුළ රැඳවියන් 29000ක් පමණ රඳවා සිටිති. මෙම වර්ෂයේ ජුලි මස 31 වැනි දින වන විට දිවයින පුරා ඇති බන්ධනාගාරවල වැඩිපුර රඳවා ඇති රැඳවියන් සංඛ්‍යාව 18,532කි.

බන්ධනාගාරවල රඳවා සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 28927කි. මින් 19000කට අධික පිරිසක් සැකකරුවන්ය. 10000කට ආසන්න පිරිසක් සිරකරුවන්ය.

බන්ධනාගාර ආඥා පනතේ විධිවිධානවලට අනුව රැඳවියන් කාණ්ඩවලට වෙන්කොට රඳවා තැබිය යුතුය. කෙසේ වුවද ජාතික විගණන කාර්යාලය මගින් මෙරට බන්ධනාගාරවල සිදුකරනු ලැබූ භෞතික පරීක්ෂාවේදී අවස්ථා හතරකදී රැඳවියන් 2,222ක් දෙනකු වර්ගීකරණයකින් තොරව රඳවා තිබුණි.

මෙන්න රටේ හිරගෙවල්වල හැටි…ලෙඩ හැදෙන එක අහන්නත් දෙයක්ද?

බන්ධනාගාරගත වන සැකකරුවන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑම බන්ධනාගාර දෙපාර්තමේන්තුව හමුවේ පවතින ප්‍රබලතම අභියෝගයෙකි. දඬුවම් නියම නොකළ සිරකරුවන් යනු නීතියෙන් වරදකරුවන් බවට පත්නොවූ සැකකරුවන්ය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඉකුත් වර්ෂයේදී (2022) බන්ධනාගාරවලට ඇතුළත් කරනු ලැබූ සිර හා සැකකරුවන් සංඛ්‍යාව 138,581කි. මින් 108,250ක්ම සැකකරුවන්ය. මෙකී දත්ත අනුව සිරකරුවන් හා සැකකරුවන් ගහනය අතර පරතරය විශාල වශයෙන් වැඩිවී ඇත. මේ නිසා අපරාධ යුක්ති ක්‍රමයේ විශ්වාසනීයත්වයට යම් බාධාවක් වී ඇත.

බන්ධනාගාරවලට ඇතුළත් කරනු ලබන සැකකරුවන් ගේ සංඛ්‍යාව වැඩිවීම සඳහා නොවිසඳුණු නඩු ප්‍රමාණය ඉහළ යෑම හා දිගින් දිගටම නඩු කල්දැමීම, රජයේ රස පරීක්ෂණ වාර්තාවල ප්‍රමාදය, ඇප තැන්පත් කරගත නොහැකිවීම, ඇප පනත නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ආදී කරුණුද මේ සඳහා හේතුවී ඇත.

බන්ධනාගාරගත කරන සැකකරුවන් වැඩිවීම සම්බන්ධව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පොලිසියට ද චෝදනා එල්ල කරති. මේ සඳහා පොලිසියේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් බලපා ඇති බවද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන් කරයි. බන්ධනාගාර තුළ පවතින අධික තදබදය හේතුවෙන් වසංගත රෝග පැතිරී යෑම, සනීපාරක්‍ෂක පහසුකම් පිළිබඳ ගැටලු ආදි හේතු නිසා රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද ගැටලු රැසකට ලක්ව සිටිති. ගාල්ල බන්ධනාගාරය තුළ මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය පැතිරීයෑමට ද ගාලු බන්ධනාගාරයේ රැඳවියන් අතර පවතින අධික තදබදය ද එක් හේතුවක් වී තිබුණි. ගාල්ල බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි රැඳවියන් සංඛ්‍යාව 174කි. එහෙත් දැනට ගාලු බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 1080කි. ඇෂ්ලි ඩිවොස්ගේ ගාලු නගර සංවර්ධන සැලැස්මට අනුව ගාල්ල බන්ධනාගාරය බූස්ස ප්‍රදේශයට රැගෙන යෑමට යෝජනා වී තිබුණි. ඉන්පසු ගාල්ල බන්ධනාගාරයේ හෝටලයක් බවට පත්කිරීමට සැලසුම්කොට තිබුණි. එහෙත් එම සැලසුම් ලප්තැනම ලොප් වී තිබුණි.

කෙසේ වුවද ගාල්ල බන්ධනාගාරය තුළ පැතිරීගිය මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයට හේතුවූ බැක්ටීරියාව බන්ධනාගාරය තුළට ඇතුල් වූයේ කෙසේද යන්න පිළිබඳ මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භකොට ඇති බැව් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ජී. විජේසූරිය මහතා සඳහන් කරන්නේය. ගාල්ල බන්ධනාගාරයෙන් නිදහස්ව ගිය පුද්ගලයකු ඊට දින කිහිපයකට පමණ පසු අසනීප තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි. එම පුද්ගලයා මාර්ගයෙන් මෙම බැක්ටීරියාව බන්ධනාගාරයට ඇතුල් වී ඇති බවටද සැකයක් ඇතිවී තිබෙන බැව් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසූරිය මහතා පවසයි. මියගිය පුද්ගලයාගේ නිවැසියන් හා ඔහුගේ ආශ්‍රිතයන් මේ වනවිට විශේෂ පරීක්ෂණයකට ලක්කොට ඇත. මෙකී රෝගී තත්ත්වය වැළඳීමෙන් රැඳවියන් දෙදෙනකු මියගිය අතර 16 දෙනකු රෝහල්ගත කරනු ලැබීය.

කෙසේ වුවද ගාල්ල බන්ධනාගාරය තුළ පැතිරීගිය මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති අතර බන්ධනාගාරයෙන් පිටත බාහිර සමාජයෙන් මෙවැනි කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බවත් එම නිසා ජනතාව අනිසි බියක් ඇතිකරගත යුතු නැති බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සෝමරත්න කෝනාර මහතා පවසන්නේය.

මෙම රෝගී තත්ත්වය බන්ධනාගාරයෙන් පිටතට පැතිරීයෑම වැළැක්වීමට අවශ්‍ය නිර්දේශ ලබා දුන්නා. මේ පිළිබඳ ජනතාව බිය විය යුතු නැහැ. මේ වනතෙක් බන්ධනාගාරයෙන් පිටත මෙවැනි කිසිදු රෝගියකු වාර්තාවෙලා නැහැ. බන්ධනාගාරයෙන් පිටතට මෙම රෝගය පැතිරීයෑම වැළැක්වීම සඳහා අවශ්‍ය ගතයුතු ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. මෙය සමීපතයන්ගෙන් තමයි බෝවෙන්නේ. බැක්ටීරියාවක් මගින් මෙය බෝවන රෝගයක් මේ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක නොවුණහොත් ප්‍රතිපල භයානක වෙන්න පුළුවන්. මේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු ලැබුණු විගස අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. මෙකී විෂබීජය ශරීරගත වෙලා දින 02ත් 10ත් අතර කාලයක් තුළදී තමයි රෝග ලක්ෂණ මතුවන්නේ. අවසාන රෝගියා වාර්තාවෙලා දින දහයක් යනතෙක් රෝග නිවාරණ කටයුතු පිළිබඳ අවධානයෙන් සිටිය යුතුව ඇති බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එමෙන්ම බන්ධනාගාර තුළ පවතින අධික තදබදයත් සමග මෙරට බන්ධනාගාර 27ක වැසිකිළි 187ක හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වන්නේය. 2023 වර්ෂයේ අප්‍රේල් මස 30 වන දින වන විට මෙම බන්ධනාගාරවල වැසිකිළි 187ක හිඟයක් පැවති අතර දැනට තිබෙන වැසිකිළිවලින්ද 278ක් අලුත්වැඩියා කළයුතු තත්ත්වයේ පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම අනුරාධපුර, කළුතර සහ කෑගල්ල, බන්ධනාගාරවල සිදුකළ භෞතික පරීක්ෂාවලදී සිර වාට්ටු, සිරකුටි, සිරමැඳිරි අබලන් තත්ත්වයේ පවතින අතර වැලිකඩ බන්ධනාගාරයේ ඩී. චැපල් වාට්ටු පරිශ්‍රයන්ද අබලන් තත්ත්වයේ පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැක්ම වන්නේ නේවාසිකයන් පුනරුත්ථාපනය තුළින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමයි. මෙහෙවර වන්නේ ආරක්ෂාව, රැකවරණය, පුනරුත්ථාපනය යන මූලික අරමුණු ඉටුකරගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අතර මනා සම්බන්ධතාවයක් නිර්මාණය කිරීමයි. ඒ කොයිහැටි වුවද බන්ධනාගාරයේ දැක්ම, අරමුණු හා මෙහෙවරයන්ට අනුව කටයුතු කරනවාද යන්න ගැටලුසහගතය.

පසුගිය කාලයේදී බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවූ විවිධ සිදුවීම් තුළින් ඒ බව පැහැදිලි වන්නේය. ඇතැම් බන්ධනාගාර පාතාල නායකයන්ගේ තිත්පළවල් බවට පත්ව තිබේ. ඇතැම් මත්කුඩු ජාවාරම්කරුවන් සිය මත්කුඩු ජාවාරම් මෙහෙයවන්නේ බන්ධනාගාරය තුළ සිටිමින්ය. ඒ සඳහා අතළොස්සක් වූ බන්ධනාගාර නිලධාරීන්ගේ සහයෝගය මෙකී ජාවාරම්කරුවන්ට ලැබී තිබේ. මෙරට බන්ධනාගාරගත වන රැඳවියන්ගෙන් තුනෙන් දෙකක පමණ සංඛ්‍යාවක් බන්ධනාගාරගත වන්නේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙනි. ඒ විතරක් නොව නැවත නැවත බන්ධනාගාරගත වන බහුතරයක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් වෙති. ජාතික විගණන කාර්යාලය මගින් නියැඳි පදනමක් මත බන්ධනාගාර 05ක් තුළ සිදුකරනු ලැබූ භෞතික පරීක්ෂාවේදී ඉකුත් වර්ෂයේ අගෝස්තු මස අවසානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ නැවත, නැවත බන්ධනාගාරගතවී ඇති සිරකරුවන් සංඛ්‍යාව 1,029කි.

2022 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට බන්ධනාගාර උදෑසන විවෘතය අනුව රැඳවියන්ගෙන් සියයට 53ක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන වැරදි සඳහා දඬුවම් විඳින සැකපිට රඳවා ඇති රැඳවියන් බවද විගණනය මගින් ආනාවරණය කොට ඇත. මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ බන්ධනාගාර රැඳවියන්ගෙන් වැඩිදෙනකු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් වෙති. මොවුන් කොයි අයුරින් හෝ අවශ්‍ය මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලබා ගැනීමට උත්සාහ කරන අතර එම තත්ත්වය වළක්වා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට වැඩි අවධානයක් යොමුකිරීමට සිදුවී ඇත. ඒ සඳහා මානව සම්පත ප්‍රමාණවත් පරිදි නොමැතිවීම බරපතළ ගැටලුවකි.

අනික් කාරණය වන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම නිසා සැකකරුවන්ට දිගු කාලයක් බන්ධනාගාරගත වීමට සිදුවී තිබීමය. අධිකරණය මගින් බන්ධනාගාරගත කොට ඇති සැකකරුවන්ට අදාළව පොලිසිය විසින් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය සාම්පල්වලට අදාළ රස පරීක්ෂණ වාර්තා ඉදිරිපත් නොකිරීමද බරපතළ ගැටලුවකි. මෙම තත්ත්වය නිසා ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 දිනට සැකකරුවන් 5676 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේය.

මානව හා භෞතික සම්පත්වල පවතින ගැටලු හේතුවෙන් බන්ධනාගර පද්ධතියට දැඩි බලපෑමක් එල්ලවී ඇත. ජාතික විගණන කාර්යාලය පෙන්වාදෙන ආකාරයට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු 71කට අදාළව නිලධාරීන් 1,617කගේ පුරප්පාඩු පවතී. මෙකී තනතුරු අතුරින් සහකාර බන්ධනාගාර අධිකාරි (පිරිමි) 31, දෙනකු කළමනාකාර සේවා නිලධාරීන් 33 දෙනකු, හෙද නිලධාරි 40 දෙනකු, දෙවැනි පෙළ ජේලර් (පිරිමි) 75 දෙනකු, සැරයන්වරු 288 දෙනකු, බන්ධනාගාර නියාමකවරු 648 දෙනකුගේ පුරප්පාඩු පවතී. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 දිනට අනුමත නිලධාරීන් සංඛ්‍යාව 7872කි. කෙසේ වුවද තනතුරු 05කට අදාළව අතිරික්ත නිලධාරීන් 13 දෙනකු සිටින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මානව සම්පත් ප්‍රමාණවත් පරිදි නොමැතිවීම නිසා බන්ධනාගාර අභ්‍යන්තර ආරක්ෂාව හා ක්‍රියාකාරීත්වයට ද මෙය බාධාවක් වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

බන්ධනාගාර තුළ රඳවා ඇති එක් සිරකරුවකුට උදෑසන, දිවා සහ රාත්‍රි ඇතුළු ආහාර සඳහා දිනකට රුපියල් 483ක මුදලක් වැය කරන අතර රජය විසින් එක් සිරකරුවකුට දිනකට රුපියල් 1,227ක මුදලක් වැය කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වාර්තා මගින් පෙන්වාදී ඇත. රැඳවියන්ට ආහාර සැපයීම සම්බන්ධයෙන්ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට විවිධ චෝදනා එල්ල වී ඇත. අමු හා වියළි සලාක ද්‍රව්‍ය සැපයීමේ ප්‍රසම්පාදනයන්ට අදාළව ඇතැම් අවස්ථාවලදී සැපයුම්කරුවන්ට වාසි වන ආකාරයෙන් කටයුතු කර තිබූ බව විගණන වාර්තා මගින් පෙන්වා දී ඇත. වැලිකඩ, නව මැගසින්, කොළඹ රිමාන්ඩ්, මහර, මොණරාගල, මීගමුව, අනුරාධපුරය හා වටරැක යන බන්ධනාගාර ආයතනවල අමු සලාක ද්‍රව්‍ය සැපයීමේදී වෙළෙඳපොළ මිල අඩු වැඩිවන අවස්ථාවලදී කොන්ත්‍රාත්කරුවන්ට වාසිදායක වන අයුරින් කටයුතු කර තිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත. වැලිකඩ, මීගමුව හා කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාර ආයතනවලට අමු ආහාර සැපයීමේදී සැපයුම්කරුවන් පිරිවිතරයන්ට නොගැළපෙන හා පරිභෝජනයට නුසුදුසු අමු ආහාර ද්‍රව්‍ය සපයා තිබුණි.

වාර්ෂික ප්‍රසම්පාදන ගිවිසුම්වලට අනුව කොන්ත්‍රාත්කරුවන් විසින් දේශීය තැම්බූ නාඩු සහල් සැපයිය යුතු වුවත් ඒ වෙනුවට අවස්ථා 68ක දී විදේශීය තැම්බූ නාඩු සහල් කිලෝ ග්‍රෑම් 413,593ක් සපයා තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. මේ අයුරින් දේශීය තැම්බූ නාඩු සහල් වෙනුවට විදේශීය තැම්බූ නාඩු සහල් සපයා ඇති බව වැලිකඩ, නව මැගසින්, කොළඹ රිමාන්ඩ්, මහර, මීගමුව හා වටරැක යන බන්ධනාගාරවල නියඳි පදනම මත සිදුකළ භෞතික පරීක්ෂාවේදී අනාවරණය වී ඇත. කෙසේ වුවද විගණන නිරීක්ෂණ මගින් මේ පිළිබඳ පෙන්වාදීමෙන් පසු සැපයුම්කරුවන් විසින් දේශීය තැම්බූ නාඩු සහල් වෙනුවට කිලෝග්‍රෑම් 50 සහල් මිටි සඳහා දේශීය කවර යොදා විදේශීය තැම්බූ නාඩු සහල් සපයා තිබුණි. මේ අයුරින් වැලිකඩ, නව මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ආයතනවල ගබඩාවලට සහල් කිලෝ ග්‍රෑම් 11000ක් සපයා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉන් කිලෝ ග්‍රෑම් 5500ක් ප්‍රයෝජනයට ගෙන තිබුණි. අනික් කාරණය වන්නේ සැපයුම්කරුවන් විසින් බන්ධනාගාරවලට සහල් සැපයීමේ දී සහල් කිලෝ ග්‍රෑමයක ප්‍රසම්පාදන මිල ප්‍රාදේශීය මිලට වඩා ඉහළ අගයක් ගෙන තිබීමය. ප්‍රසම්පාදනයන්ට අනුව සැපයුම්කරුවන් විසින් සහල් සැපයීමට අපොහොසත් වන අවස්ථාවලදී බන්ධනාගාර විසින් ප්‍රාදේශීය මිලදී ගැනීම් යටතේ සහල් මිලදී ගෙන තිබුණි. එසේ සිදුකළ අවස්ථා 21කදී වාර්ෂික ප්‍රසම්පාදන මිලට වඩා සහල් කිලෝ ග්‍රෑමයක මිල අඩුවීම නිසා රුපියල් 3,079,304ක වියදමක් ඉතිරි කර ගැනීමට එකී බන්ධනාගාරවලට හැකිවී තිබුණි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක සුබසාධන ආපනශාලා සහ අලෙවිසල්වල සේවය කිරීම සඳහා දෙපාර්තමේන්තු නිලධාරීන් අනියුක්ත කර ඇත. මේ සඳහා ජලය, විදුලිය වෙනුවෙන්ද වැයවන වියදම් දරනු ලබන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසිනි. කෙසේ වුවද මෙකී සුභසාධන ආපනශාලා සහ අලෙවිසල් පවත්වාගෙන යෑම වෙනුවෙන් ලැබිය යුතු කුලී ආදායම හඳුනාගෙන නොතිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත. අනුරාධපුර බන්ධනාගාරයේ සැරයන්වරයකු විසින් සුභසාධක සංගමය මගින් පවත්වාගෙන යන අවන්හලක් මුවාවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සම්පත් යොදාගනිමින් පුද්ගලික ව්‍යාපාර කටයුත්තක් ලෙස මහා පරිමාණ අවන්හලක් දිගු කාලයක සිට පවත්වාගෙන යන බැව් විගණන වාර්තා මගින් පෙන්වාදී ඇත. අනුරාධපුර බන්ධනාගාරයේ සුභසාධක අලෙවිසල් සම්බන්ධව අභ්‍යන්තර පාලන පද්ධතියේ පවතින දුර්වලතා හේතුවෙන් මෙම කටයුත්ත සිදුවෙමින් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් 2014 වර්ෂයේ සිට 2022 වර්ෂය අවසානය දක්වාම ධාවනයට යොදා නොගන්නා වාහන 33ක් රුපියල් 363,837ක වියදමක් දරා 2023 වර්ෂය සඳහා රක්ෂණ ආවරණ ලබාගෙන තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එහෙත් මෙකී වාහන ධාවනයට එක්කර නොතිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment