සියලුදේම මුදල්ය එහෙත් කාන්තා සිරුර යනු මුදල් නොවේ

1147

කතුවැකි ලිවීම සඳහා සුදුසු පුවත් කිහිපයක්ම අප වෙත තිබේ. රජයේ බැංකු, ණය පොලිය අඩු කළාට වාණිජ්‍ය බැංකු තවමත් එසේ කර නැත. එයින් හැඟෙන්නේ වාණිජ්‍ය බැංකුවල ගොඩනැඟිලි මෙහි තිබුණ ද ඒවායෙහි වැඩකරන අයගේ මොළය වෙනත් රටවල තිබෙන බවකි. එසේම ආණ්ඩුව කොතරම් එපා කීවද ෆිනෑන්ස් කොම්පැනිකාරයෝ මේ මොහොතේදී මිනිසුන් බිමට ඇද දමා වාහන පැහැරගෙන යති. ඒ අතර පොසොන් වන්දනාවේ ආ බැතිමතුන් අනුරාධපුරයට කසළ ටොන් 200 ක් ගෙනත් දමා ඇත. බෙහෙත් වර්ග 60 ක මිල අඩුවී තිබේ. මෙසේ අඩු වූ මිලෙහි වාසිය රෝගියාගේ අතට යන්නේ දැයි තවමත් අපි හරියට නොදනිමු. පසුගිය ටිකේ මේ රටේ පාරිභෝගික අමුද්‍රව්‍ය මිල සෑහෙන්නට අඩු විය. තෙල් මිල බැස්සේය. ගෑස් මිල පහළ ගියේය. පාන් පිටි මිල අඩු විය. සීනි මිල ද අඩු විය. කිරි පිටි මිල ද කිලෝවකට රුපියල් 200 ක් අඩුවිය. එහෙත් අදටත් කිරි තේ එකක මිල රුපියල් 110 කි. ප්ලේන්ටි එකක මිල රුපියල් 50 කි. ආප්පයක මිල සමහර තැනෙක රුපියල් 40 කි, රුපියල් 50 කි, රුපියල් 60 කි. බිත්තරය සත 50 ට බැස්සත් බිත්තර ආප්පයක් රුපියල් 100 න් පහතට බැස නැත. මේ නිසා මූලික ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අමුද්‍රව්‍යවල මිල අඩුවීමේ වාසිය තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා යන දෙපළ විසින් ගසාකනු ලැබ ඇති බව පෙනේ. මෙබඳු වැදගත් කරුණු රාශියක් මේ මොහොතේ අප ඉදිරියෙහි තිබුණ ද අප අද කතුවැකිය මගින් සාකච්ඡා කරන්නේ වෙනස්ම කාරණයකි. මේ කතාවේ අයිතිය ඇත්තේ ද අපට නොව ඉන්දියාවටය. ඒ මෙසේය;

ඉන්දියාවේ අමුතු පොරයක් හටගෙන තිබේ. ඒ වූකලී ඒ රටේ මල්ලවපොර ක්‍රීඩිකාවන් විසින් ලිංගික සූරාකෑමට එරෙහිව කරන සටනකි. ඉන්දියාවේ මල්ලවපොර සංගමයේ සභාපතිවරයාගේ නම භූෂාන් ශාරන් සිංග් ය. ඔහු ඉන්දියාවේ භාරතීය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ද වෙයි. මේ වෙලාවේ ආණ්ඩු බලය ඇත්තේ එම පක්ෂයටය. ඔහු මල්ලවපොර ක්‍රීඩාවට ඉදිරිපත් වන තරුණියන් සිපගෙන ඇති බවත්, ඔවුන්ගේ ශරීරයේ විවිධ ස්ථාන ස්පර්ශ කළ බවත්, ලිංගික අල්ලස් ඉල්ලන බවත්, තමන් සමග යහනට නාවොත් ක්‍රීඩිකාවන් මල්ලවපොර කණ්ඩායමෙන් එළවන බව කියමින් තර්ජනය කළ බවත් මල්ලවපොර ක්‍රීඩිකාවෝ පවසති. මේ ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීම වන්නේ සභාපතිවරයා නෙරපා හරින ලෙසය.

ඉන්දියාව යනු ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රටවලින් එකකි. මේ රටේ කාන්තාව ඉතා නරක ලෙස පෑගීමට ලක්වෙයි. පවුලකට ගැහැනු ළමයකු ඉපදුනු විට ඒ දරු උපත මාරම පාඩුවක් සේ සැලකීමට ඇතැම් ඉන්දියානුවෝ අදටත් පුරුදුව සිටිති. එයට ප්‍රධාන හේතුව ගැහැනු දරුවන් කසාද බන්දා දීමේදී මනාලයාට දෑවැද්ද දීමට ඇතැම් ඉන්දියානු දෙමාපියන්ට බැරි වීමය. ඉන්දියානු තරුණියක කසාද බඳින විට කැරට් 22 පවුම් දහයේ රන් තැල්ල පමිඑ එකකි. ගෙදර අය හොරකම් කර හෝ මෙය අරන් දිය යුතුය. රන් තැල්ලට අමතරව තවත් පවුම් 20 ක් විතර බර මාල, වළලු, මුදු, කරාබු යනාදිය දෙමාපියන් මනාලියට මිලදී ගෙන දිය යුතුමය. නැත්නම් ඇගෙන් ලැබුණු දෑවැද්ද මදි බව කියමින් මුල සිටම හෙණ ඇණයක් බවට පත්වන නැන්දම්මා පසුව මනාලියගේ ඇඟට භූමිතෙල් දමා ගිනි තබා ඇය මරාදමනු ලැබේ. මෙවැනි අවස්ථාවල මනාලයා හෙවත් අර මිනීමරු මවගේ පුත්‍රයා ගල් බිල්ලකු සේ නිහඬව සිටිමින් මිය ගිය තම බිරියගේ පැත්ත නොව මවගේ පැත්තම ගනී. ඒ කවර අඩන්තේට්ටම් සිදුවුවද හඬක් වශයෙන් ගත්කල ඉන්දියානු කාන්තාව ඉතා බලවත් ය. ඉන්දියානු මල්ලවපොර ශූරියන්ගේ සටනේ ද කතන්දරය ද මෙය වේ. මල්ලව පොර යනු ස්ත්‍රීන්ට සුදුසු ක්‍රීඩාවක් නොවේ. එහෙත් ඉන්දියානු තරුණියන් පමණක් නොව ලංකාවේ තරුණියන් ද මල්ලවපොර ක්‍රීඩාව උගත යුතුය. ඒ තමන්ට ලිංගික හිරිහැර කිරීමට කිට්ටුවන ආයතන, බොස්, ඇඟලුම් කම්හලේ අයිතිකරු, මල්ලවපොර කණ්ඩායමේ ලොක්කා යනාදීන් ද සෙසු සියලුම මෝල් අමාරුකාර පිරිමින් පොළවේ ගසා කොන්ද කඩා දමනු පිණිසය.

Sexual assault and harassmen යනුවෙන් වැඩපිළිවෙළක් නූතන ලෝකයේ පවතී. මෙය අද වනවිට රැකියා ස්ථානය ද ඉක්මවා වෙනත් තැන්වලට ගමන් කර ඇත. එය සමහරවිට පාසල වීමට පුළුවන. එහෙමත් නැත්නම් ටියුෂන් ක්ලාස් එක වීමට පුළුවන. ඊටත් අමතරව ක්‍රීඩා සමාජය වීමට ද පුළුවන. විවිධ ක්‍රීඩා සඳහා නිපුණත්වයක් ඇති දැරියන් එම නිපුණත්වය දියුණු කරගැනීම සඳහා රජයෙන් හෝ පෞද්ගලික අංශයෙන් coach කෙනෙක් සොයාගෙන ඔහු අතින් අපහරණයට ලක්වේ. මෙය සෑම ක්‍රීඩාවකම දැකිය හැකිය. coach හිතන්නේ ක්‍රීඩිකාවට අදාළ ක්‍රීඩාවෙහි ආධිපත්‍ය තමන් සතු නිසා ක්‍රීඩිකාවගේ ශරීරයේ ආධිපත්‍යය ද තමන්ට ඇති බවය. කුඩා දැරියන් රැසක් අපහරණය කළ ටියුෂන් ගුරුවරයකු ගැන පසුගියදා පුවත්පත්වල පළවිය. මේ ගුරා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට ඔත්තුව දී ඇත්තේද ගුරාගේම බිරිඳ විසිනැයි කියනු ලැබේ. වැලන්ටයින්ට, අම්මාට, තාත්තාට, සීයාට, ආච්චීට විවිධ දින වෙන්කර තිබුණත් අපහරණයට හෝ දූෂණයට ලක්වූ කාන්තාවන් වෙනුවෙන් එවැනි දිනයක් යොදා නැත. මොකද මෙවැනි දිනයකින් මාර්කට් ෂෙයාර් එකේ කිසිදු කොටසක් මුදල් බවට පත්වන්නේ නැත. සියලුදේම මුදල් ය. මුදල් යනු සියලුදේ ය. මේ ඉගැන්වීම තුරන් වනදාට මේ රට යහපත් සමාජයක් ඇති රටක් බවට පත්වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment