ආධුනික ක්‍රීඩකයන් නැති ආධුනික පාසල් බොක්සිං තරගාවලියක්

137

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සංවිධානය කරන ටී.බී.ජයා ආධුනික පාසල් බොක්සිං තරගාවලිය සඳහා සහභාගිවීමට ආධුනික බොක්සිං ක්‍රීඩකයන්ට අවස්ථාවක් නොලැබෙන තත්ත්වයක් උදාවී ඇත.

ජූනි මස 25 සිට ජූලි මස 01දා දක්වා හොරණ විද්‍යාරතන විද්‍යාපීඨයේදී මෙම තරඟාවලිය පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

ඒ පිළිබඳව පාසල් හා මාධ්‍ය දැනුවත් කිරීම් ද සිදු කර තිබියදී පැවති නීති රීති නොසලකා හැර මෙයට පෙර තරඟවලදී ජයග්‍රහණයන් ලැබූ ක්‍රීඩකයන්ට පමණක් තරගාවලියට සහභාගිවීම සඳහා අවස්ථාව සැලැස්වීමට පසුගිය 12 දින පැවති විශේෂ සාකච්ඡාවක දී තීරණය කර ඇත.

මෙම තත්ත්වය තුළ නවක පාසල් ක්‍රීඩකයින්ට තරග කිරීමේ අවස්ථාව අහිමි වීම අසාධාරණ තත්ත්වයක් බැව් එම පාසල් කණ්ඩායම් භාර ගුරු භවතුන් මෙන්ම දෙමව්පියෝ පෙන්වා දෙති. තරගාවලිය ආරම්භ වීමට දින 11 පමණක් තිබියදී මෙම තීරණයට එළඹිම යුක්ති සහගත දැයි ඔවුහු ප්‍රශ්න කරති.

මේ පිළිබඳව ජාතික පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂක තුමා සහ බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක තුමා වෙත ද වාචිකව පැමිණිලි කර ඇති අතර ඉදිරි දින දෙක තුන ඇතුළත ලිඛිතව ඉදිරිපත් කිරීමට ඔවුහු අදහස් කර ඇත.

බොක්සිං ක්‍රීඩාව පාසල් මට්ටමින් ව්‍යාප්ත වීමෙන් ක්‍රීඩක සංඛ්‍යාව වැඩි වීම සතුටට කරුණක් වුවත්, 12 වැනිදා ගෙන ඇති මෙම තීරණයට විමතියට හේතුවක් බව දෙමාපියෝ පවසති. නමුත් එසේ නොකොට සියලු ක්‍රීඩකයන්ට තරග කිරීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීම වඩාත් කාලෝචිත පියවරක් වනු ඇති බවටත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

හැඳල – ජේ. ස්ටැනිස්ලස් පයස්

advertistmentadvertistment
advertistmentadvertistment