ශ්‍රී ලාංකේය කතා නාද සිනමාවට වසර 77ක් ද ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 52ක් ද සපිරෙන මොහොතක සතුටු විය හැකි තත්ත්වයක සිනමාව නොතිබීම කනගාටුවට කරුණකි. දේශීය සිනමා කර්මාන්තයේ කඩාවැටීම පිළිබඳ සාකච්ඡා වන්නේ දීර්ඝ කාලයක පටන් ය. සිනමාවේ ස්වර්ණමය යුගයේ අවසානයට මූලිකවම 80 දශකයේ මුල් භාගයේ රූපවාහිනියේ ආගමනය, 83 කළු ජූලිය, තිස් අවුරුදු යුද්ධය, 88- 89 භීෂණ සමයත් හේතු වූ බව සිනමා ක්ෂේත්‍රයේ ඇතැමෙක් පවසයි. මෑත කාලීන සිනමාවේ පසුබෑමට ප්‍රධාන වශයෙන් බලපෑවේ පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් 19 වසංගත තත්ත්වයත්, ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයත් ය.

කබලෙන් ලිපට වැටුණු සිනමාවේ මළගම රහසේම ලියැවෙමින් තිබෙන බව පමණක් පැහැදිලි වන්නේ රැල්ලට වැසී යන සිනමා ශාලා හේතුවෙනි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිනමා ශාලා මේ වන විට වසා දමා ඇත. ඇතැම් සිනමා ශාලා කඩා ඉවත් කර ඇත. වෙනත් කාර්යන් සඳහා භාවිත කෙරෙන සිනමා ශාලා ද නැත්තේ නොවේ.

බිමට සමතලා වුණ ‘කඩවුණු පොරොන්දුව’

1947 ජනවාරි 21 දින කොළඹ බාබර් වීදියේ ‘කිංස්ලි’ සිනමා ශාලාවේ ‘කඩවුණු පොරොන්දුව’ තිරගත වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම කතා නාද සිංහල චිත්‍රපටය ලෙසයි. එවකට රුපියල් ලක්ෂ 30ක ආදායමක් ඉපයූ ‘කඩවුණු පොරොන්දුව’ තිරගත වූ සිනමා ශාලාව අද තිබූ තැනකවත් නැත. සිනමාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට වෙන් වූ රාජ්‍ය ආයතනය වන ජාතික චිත්‍රපට සංස්ථාව ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු පෙනේ. චිත්‍රපට සංස්ථාවේ කාර්යභාරය ලෙස ඔවුන් සලකන්නේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම පමණක් යැයි සිතෙන තරමටම අකාර්යක්ෂම ය. සිනමාවට සම්බන්ධ සුවිශේෂි සියල්ලටම කිසියම් හෝ වටිනාකමක් ලබා දිය යුතුය. චිත්‍රපට සංස්ථාව නොසලකා හරින්නේ ද එයමය. ඔවුන්ගේ නොසැලකිල්ලේ පරිමාව කොතෙක් ද යන්න අවබෝධ කර ගැනීමට ඉහත සිදුවීම පමණක් සෑහෙනු ඇත.

චිත්‍රපට සංස්ථා පනත අනුව සිනමා ශාලාවේ අයිතිය කවුරුන් සතු වුවද සිනමා ශාලාවේ පරිපාලනය හිමි වන්නේ චිත්‍රපට සංස්ථාවට ය. පනතට අනුව නම් කිසියම් සිනමා ශාලාවක් ඉවත් කිරීමට තීරණය කළ හැක්කේ චිත්‍රපට සංස්ථාවට පමණි. එසේම යම්කිසි හෙයකින් සිනමා ශාලාව කැඩී ගියහොත් හෝ ඉවත් කිරීමට සිදු වුවහොත් නැවතත් එම ස්ථානයේ සිනමා ශාලාවක්ම ගොඩනැගිය යුතුය. පනතේ එසේ සඳහන් වුවද ජාතික චිත්‍රපට සංස්ථාව එය දන්නා බවක් හෝ පෙනෙන්නට නැත.

සිනමා සංරක්ෂණය වැනි කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාවට බොහෝ දුරස්ථ කාරණා බව පෙනේ. අතීතයේ විරාජමානව තිබූ සිනමා කර්මාන්තය පිළිබඳ ආඩම්බර වීමෙන් හෝ එහි කඩාවැටීම සම්බන්ධයෙන් දුක්වීමෙන් හෝ ඵලක් නැත. ඒ වෙනුවෙන් කළ යුතු වන්නේ තවමත් විනාශ වෙමින් පවතින අපේ සිනමා උරුමයන් මතු පරපුර උදෙසා රැකගැනීම ය. බොහෝ දෙනෙක් සිනමා කර්මාන්තය නඟා සිටුවිය යුතු බව කීවද එය කළ යුත්තේ කෙබඳු ආකාරයෙන් ද යන්න පිළිබඳ නොකියයි. නමුත් සිනමා සංරක්ෂණය සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් යොදා ගත හැකි ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක් ඇති මිනිස්සුන් ද මේ අතර සිටින බව කිව යුතුය.

පැරණි සිනමා ශාලා බොහෝමයක් යටත් විජිත සමයට ආසන්න කාලයේ ගොඩ නැගුණු සිනමා හල් ය. එම සිනමා ශාලා නිර්මාණය වී තිබෙන්නේ ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ය. එම පැරණි සිනමා ශාලා කිහිපය හෝ සංරක්ෂණය කළ යුතුව ඇත. එම සිනමා හල්වල තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ ඇති උපකරණ ද, ඒ හැරුණු කොට අවම පහසුකම් මැද නිර්මාණය කළ උසස් සිනමා පට, චිත්‍රාගාර තුළ නිර්මාණය කළ පැරණි සිනමා පට, රූගත කිරීම් සඳහා භාවිත කළ කැමරා ඇතුළු අනෙකුත් උපාංග, චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කළ පෝස්ටර්, රූගත කිරීම් සඳහා යොදා ගත් පසුතල, පැරණි සිනමා පුවත්පත් සඟරා ආදිය ද සෙසු සංරක්ෂණය කළ යුතු සම්පත් ලෙස හැඳින්විය හැකිය.

සැලසුමත් අතුරුදන් කළ අධ්‍යක්ෂක

ලංකාවේ තිබෙන පළමු සහ එකම සිනමා කෞතුකාගාරය පවත්වාගෙන යන්නේ හේමප්‍රිය කණ්ඩම්බි විසිනි. ඒ ඔහුගේ පෞද්ගලික ධනයෙනි. සිනමා සංරක්ෂණය හා කෞතුකාගාර සංකල්පය පිළිබඳ ඔහු දක්වන්නේ මෙබඳු අදහසකි.

“සිනමාවේ උරුමය නිසි අවධානයක් නොමැතිකමින් විනාශ වෙමින් තිබෙනවා. මා සතු එකතුව එකවර විශාල පිරිසකට අධ්‍යයනය කරන්න පුළුවන් තරම් විශාල ප්‍රමාණයක්. නමුත් ඉඩකඩ සීමිත නිසා අධ්‍යයනය කළ හැක්කේ සුළු පිරිසකට පමණයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සිනමා කෞතුකාගාරයක් බව 2013 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පැහැදිලි කළ පසු ඔහු සංස්කෘතික අරමුදලෙන් මා සතු ඉඩමේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාසල් සිසුන්ට සිනමාව අධ්‍යයනය කිරීමට වැඩ පිළිවෙළක් සකස් කළ යුතු යැයි පවසා සිනමා කෞතුකාගාරය ඉදිකිරීමට මිලියන 9.5 සංස්කෘතික අරමුදලෙන් අනුමත කළා. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තමයි එය ආරම්භ කිරීමට සූදානම් වුණේ. මුල්ගල තැබීමට පමණක් එම ගොඩනැඟිල්ල සීමා වුණා. හිටපු අධ්‍යක්ෂවරයා එයට අදාළ ලියකියවිලි අස්ථානගත කළා. ඒ පිළිබඳ තොරතුරක් පවා දැන් සොයා ගැනීමට හැකියාවක් නෑ.

මෙම කාර්ය පෞද්ගලික මට්ටමින් නොව රාජ්‍ය අනුග්‍රහය යටතේ කළ යුතු කාර්යයක්. මේ සංකල්පය වෙනත් රටවල එතරම් ප්‍රචලිත නැහැ. මෙය නව සංකල්පයක් ලෙස ජාත්‍යන්තර ආකර්ෂණය දිනාගැනීමට හැකි මහඟු අවස්ථාවක්. මෙවැනි කටයුතු අතපසු වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අදාළ ආයතනවල ප්‍රධානීන්ට මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නෑ. එවැනි අවබෝධයක් සහ එවැනි ගොඩනැඟිලිවල වටිනාකම හැඳින සිටියා නම් 1947 තිරගත වූ පළමු සිංහල චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව පළමුවරට ප්‍රදර්ශනය කළ සිනමා ශාලාව බිමට සමතලා වෙන්නෙ නෑ. පසුගිය කොරෝනා සමයේ කිංස්ලි සිනමා ශාලාව බිමටම සමතලා කළා. ඒ වෙනුවෙන් චිත්‍රපට සංස්ථාවට නීතිය ක්‍රියාත්මක කළ හැකි වුවත් මෙතෙක් එවැනි කිසිවක් සිදු කර නැහැ.

සිනමාස්, සිලෝන් එන්ටර්ටේට්මන්ට්, සිලෝන් තියටර් සමාගම් සතුව තිබූ ඒකාධිකාරය බිඳ දැමීමේ අරමුණෙන් 1972 වසරේ ආරම්භ කළ චිත්‍රපට සංස්ථාවේ එකල ආදායම වසරකට ලක්ෂ 80 ක් පමණ වුණා. එවකට ප්‍රවේශ පත්‍රයක මිල ශත 55යි. වැඩිම ආදායම් ලැබූ සංස්ථාව වූයේ චිත්‍රපට සංස්ථාවයි. ඒකාධිකාරය බිඳ දැමීමට ගොඩනැඟූ සංස්ථාවම දැන් එම සමාගම්වලම තවත් රූකඩයක් වෙලා. තිස්ස අබේසේකර චිත්‍රපට සංස්ථාවේ සභාපති වශයෙන් කටයුතු කරන සමයේදී නැවතත් එම සමාගම් අධ්‍යක්ෂකවරු වෙතම එහි බලය ලබා දුන්නා. වෙනත් නම්වලින් පෙනී සිටියත් චිත්‍රපට සංස්ථාව පිහිටුවීමට පෙර තත්ත්වයමයි තවමත් පවතින්නේ. චිත්‍රපට සංස්ථාවට ඔවුන් සතු සම්පත පිළිබඳ අවබෝධයක් නෑ. ඔවුන් සංරක්ෂණ කටයුතු නිසියාකාරව සිදු කළේ නම් සන්දේශය වැනි උසස් නිර්මාණ අපිට අහිමි වෙන්නෙ නෑ. ප්‍රංශයේ දශක හයක් නොකඩවා ප්‍රදර්ශනය වන සිනමා පටයක් තිබෙනවා. ඉන්දියාවේ 1997 සිට තවමත් ප්‍රදර්ශනය වෙන සිනමා පටයක් තිබෙනවා. ඒ වටා වෙනමම සංස්කෘතියක් ගොඩනැගී තිබෙනවා. ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ පැරණි සිනමා පට යොදා ගෙන අපිටත් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. නමුත් ඒ වෙනුවෙන් උනන්දුවක්, දැනුම් තේරුමක් ඇති අයට ඒ වෙනුවෙන් ඉඩකඩ ඇහිරිලා.

ලේඛනාගාරයට චිත්‍රපට ගබඩාවක්

ශ්‍රී ලාංකීය සිනමාවට 77යි
හේමප්‍රිය කණ්ඩම්බි සිනමා කළා කෙෘතුකාගාරය

1957 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් Art Magazine (කලා සඟරාව) “Need for a National Film Archive” ලිපියේ සඳහන් කර සිටියේ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයක් ගොඩනැගිය යුතු බවයි. එතැන් පටන් දීර්ඝ කාලයක් තිස්සේ ඩී.බී නිහාල්සිංහ, ධර්මසේන පතිරාජ, මහින්දපාල වැනි පුද්ගලයන් පුවත්පත් මගින් ද රජය සමග ද අදහස් හුවමාරු කර මින් විවිධ සාකච්ඡා පවත්වමින් කරුණු පෙන්වාදීම සිදු කළා. පසු කාලීනව දේශපාලනික වශයෙන් මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය වැනි කලාකරුවන් ද චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු සිටි දමිත් ෆොන්සේකා ද චිත්‍රපට සංරක්ෂණාගාරයක් ගොඩනැගීම පිළිබඳව ජනාධිපතිවරු සහ ඒ සම්බන්ධ අදාළ අමාත්‍යවරු සමග විවිධ සාකච්ඡා පැවැත්වූවා. කෙසේ නමුත් පසු කලෙක දී ජාතික ලේඛනාගාරයේ කොටසක සරසවි චිත්‍රාගාරයේ සහ චිත්‍රපට සංස්ථාවේ තිබූ චිත්‍රපට වායුසමීකරණ සවිකර ගබඩා කළා. මෙය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අතින් ජනසතු කෙරුණා. වර්තමානය වන විට ජාතික ලේඛනාගාරයේ චිත්‍රපට පමණක් ගබාඩා කිරීමට සහ සරසවි චිත්‍රාගාරයේ උපකරණ යම් තරමින් හෝ සංරක්ෂණය වීමට සිනමා කෞතුකාගාරයක් ගොඩ නැඟීමට මා ගත් උත්සාහය හේතු වූවා.

සංචාරක කර්මාන්තය මූලික කරගත් රටක් ලෙස සංචාරකයින්ගේ විශේෂ අවධානය යොමු කරගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකියි. වැසීගිය පැරණි සිනමා ශාලාවක් හෝ යොදාගෙන නගරයක් කේන්ද්‍ර කර ගනිමින් මෙය පවත්වාගෙන යන්නේ නම් නගරයට සහ ගොඩනැඟිල්ල සඳහා ඇති අවධානය ඉහළ යනවා.

ලෝකයේ පැරණි සිනමා පට රූප ගත කළ කැමරා සියල්ලම ක්‍රියාකාරී මට්ටමින් මා සතුව තිබෙනවා. මා සතුව ඇති ක්‍රියාකාරී තත්ත්වයේ ඇති පැරණි යන්ත්‍ර සූත්‍ර ඒවා නිෂ්පාදිත රටවල්වල හෝ නැති වීමට බොහෝ විට ඉඩ තිබෙනවා. මන්ද ඒවා නිෂ්පාදිත රටවල් වේගයෙන් කාර්මීකරණය වූ රටවල්. ඔවුන්ගේ යන්ත්‍ර සූත්‍ර නිතර නිතර නවීකරණය වන නිසා අපේ රටේ තිබෙන උපකරණ ඔවුන් සතු නොවන්නට තිබෙන ඉඩකඩ වැඩියි. ඒවා සංරක්ෂණය කළහොත් බොහෝ විට නිෂ්පාදිත රටවල රාජ්‍ය අනුග්‍රහය ඇතිව නඩත්තු කටයුතු කරගෙන යෑමට හැකි වනවා. එවැන්නක් සඳහා උදාහරණයක් ලෙස ලංකාවේ තිබෙන ලන්දේසි බලකොටු පෙන්වාදිය හැකිය. ලන්දේසි බලකොටු ආරක්ෂා කිරීම වෙනුවෙන්, නඩත්තු කටයුතු කිරීම වෙනුවෙන් නෙදර්ලන්තය ලංකාවට ගෙවීම් කරනවා. පැරණි උපකරණ ස්වකැමැත්තෙන් සංරක්ෂණය කරන සිනමා ශාලාවක් ලෙස රත්නපුර ඉම්පීරියල් සිනමා ශාලාව පෙන්වාදිය හැකිය. එම සිනමා ශාලාවට පමණක් සීමා වී ඇති සංරක්ෂණ කටයුත්ත සංස්කෘතික අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා චිත්‍රපට සංස්ථාව මැදිහත්ව කළ යුතු කාර්යයක්.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා නිර්දේශ විෂය කරුණු අධ්‍යයනය සඳහාවත් හරිහමන් රාජ්‍ය ආයතනයක් නෑ. සිනමාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා විශ්වවිද්‍යාලයක්, පර්යේෂණායතනයක් ගොඩ නගන ලෙස කිහිප අවස්ථාවකදීම මම යෝජනා කර තිබෙනවා. නමුත් ඒ සඳහා එතරම් උනන්දුවක් දක්වන්නේ නෑ.”

පල්ලම් බහින චිත්‍රපට සංස්ථාව

වසර පනස් දෙකක් යනු ඉතා දීර්ඝ කාලයකි. හැත්තෑ හතක් යනු එයටත් වඩා දීර්ඝ කාලයකි. සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සලකන්නේ එය රිදී ජුබිලිය සැමරූ සමයේදී ය. 1972 ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටු වූවාට පසු ලංකාවේ වැඩිම ආදායමක් ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් විය. නමුත් 80 දශකයේ අග භාගයේ දී පරිපාලනමය දුර්වලතාවයක් හේතුවෙන් පාඩු ලබන ආයතනයක් විය. දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් තිස්ස අබේසේකර සභාපති ධුරයට පත් වූ පසු එය පෞද්ගලිකකරණය කළේය. මේ දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවට විසි පහකට අධික සභාපතිවරුන් ප්‍රමාණයක් තේරී පත්ව ඇත. චිත්‍රපට සංරක්ෂණය කිරීම කෙරෙහි නොව එය පෙර තිබූ පරිදි ලාභ ලබන ආයතනයක් කිරීමට හෝ නොහැකි වී ඇත. ලෝකයේ සිනමාව කලාවක් නොව කර්මාන්තයක් වී ඇති අවධියක අපි සිනමාවේ අනාගතයට නිසි සැලසුමක්, ප්‍රතිපත්තියක් හෝ නොමැතිව කල්මරන්නෙමු.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment