එම්.ආර්.අයි. ස්කෑන් දිගු පෝලිමක්

86

ප්‍රධාන පෙළේ රජයේ රෝහල් රැසක ‘එම්.ආර්.අයි’ ස්කෑන් පරීක්‍ෂණ සඳහා දිගු පොරොත්තු ලේඛන පැවතීමෙන් රෝගීන් දැඩි අපහසුතාවයට ලක්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණ වේදීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ රෝහල් සතුව ඇති එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍ර 13න් 12 ක් සක්‍රීයව ඇතත් එම යන්ත්‍රවලින් පැය 24 පුරාවට පරීක්‍ෂණ සිදුකිරීමට අවශ්‍ය අනුමැතිය හා පහසුකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රෝහල් බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් මෙලෙස රෝගී ජීවිත අවදානමට ලක්ව ඇතැයි එම සංගමය කියයි.

‘එම්.ආර්.අයි.’ ස්කෑන් පරීක්‍ෂණ සඳහා පවතින දිගු පෝලිම සැලකිල්ලට ගනිමින් 24 පැය පරීක්‍ෂණ සිදුකිරීමට තමන් බලධාරීන්ට යෝජනා කළත් එයට අනුමැතිය ලබා නොදීම හේතුවෙන් තවදුරටත් පොරොත්තු ලේඛනය දිගු වනු ඇතැයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

‘එම්.ආර්.අයි’ ස්කෑන් පරීක්‍ෂණ සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල, කරාපිටිය ශික්‍ෂණ රෝහල සහ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල යන රෝහල් ත්‍රිත්වයෙහි මෙලෙස සුවිශේෂී පොරොත්තු ලේඛන පවතින බව ද ඒ මහතා පැවසීය.

මෙම රෝහල්වල මාස 6 සිට 8 දක්වා වූ පොරොත්තු ලේඛන පවතින බවත් අදාළ පරීක්‍ෂණ පෞද්ගලික රෝහල්වලින් සිදුකර ගන්නේ නම් එක් පරීක්‍ෂණයක් සඳහා රුපියල් 20,000 සිට ලක්‍ෂය දක්වා මුදලක් වැය කිරීමට සිදුවන බවත් චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

‘එම්.ආර්.අයි.’ ස්කෑන් පරීක්‍ෂණයන් මගින් මොළය සහ ස්නායු පද්ධතියේ රෝග හඳුනාගැනීම, කොඳු ඇට පෙළෙහි ස්නායු සම්බන්ධ රෝග, පිළිකා රෝග තත්ත්ව සහ රුධිර නාළ ආශ්‍රීත රෝග හඳුනා ගැනීම සිදුකරනු ලබයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment