කොටුවෙන් රිමාන්ඩ් කළ නතාෂාට මහාධිකරණයෙන් ඇප

696

ඇය මානසික රෝගයකට බෙහෙත් අරන් – නි.සොලිසිටර් ජනරාල් කියයි
වෙච්චි වරදට සමාව ගන්න ඇය සූදානම් – නතාෂාගේ නීතිඥ

බුදුන්වහන්සේට හා බොදු දහමට අපහාස වන පරිදි ප්‍රසිද්ධ ප්‍රහසන වැඩසටහනකදී ප්‍රකාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුරා දින 38 ක කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය රුපියල් ලක්‍ෂයක මුදල් ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (05දා) පස්වරුවේ නියෝග කළේය.

ප්‍රහසන ශිල්පිනියක වන සේවාදායිකාව විසින් සිදුකර ඇත්තේ ප්‍රහසනයක් මිස බුදුන් වහන්සේට හෝ බෞද්ධ ධර්මයට අපහාස කිරීමක් නොවන බවත් එකී ප්‍රකාශ කිසිසේත්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන වැරදි නොවන බවත් කියමින් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා දැක්වු කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකාරිය ඇපමත මුදාහරින ලෙසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

එකී සැකකාරිය වෙනුවෙන් කළ ඇප ඉල්ලීම් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මින් පෙර ප්‍රතික්ෂේප කර ඇති බවත් ඊයේ (05) දිනද එම නඩුව කැඳවු අවස්ථාවේදී සැකකාරිය ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළ බවත් ජනාධිපති නීතීඥවරයා අධිකරණයට පැවසීය.

ප්‍රහසන වැඩසටහනකදී පමණක් නොව කුමන ස්ථානයකදී හෝ එලෙස ආගමික ශාස්තෘවරයකුට හා ධර්මයකට අගෞරවයක් වන පරිදි ප්‍රකාශ කිරීම නුසුදුසු ක්‍රියාවක් වන්නේ යැයි අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කෙසේ නමුත් අධිකරණයේ අභිමතය පරිදි සුදුසු නියෝගයක් ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව අධිකරණයට පැවසීය.

එම සැකකාරිය ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (05 දා) පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

පසුව ඊයේ සවස කොළඹ මහ අධිකරණය මගින් මෙසේ ඇප මත මුදා හැරිනි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment