රනිල්ගේ කාටුන් රැගෙන වජිර සැකසු පොත අද එළියට

40

ආර්ථික අර්බුදයට හසුවූ රට ඉන් මුදා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජුනි මස සිට 2023 මැයි මාසය දක්වා නායකත්වය දීම පිළිබඳව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එකතු කර සම්පාදනය කළ ‘Press vs Prez’ කෘතිය අද (07 දා) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේදී එළි දැක්වේ.

කාටුන් ශිල්පීන් 40 දෙනකු සහ ජනමාධ්‍යවේදීන් 20 දෙනකුට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය ලබාදී තිබෙන අතර එම කාටුන් ශිල්පීන් සහ රූපවාහිනිය ඔස්සේ එම කාටුන් ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයන්ද මෙහිදී ඇගයීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදිත මෙම කෘතියේ පළමු පොත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමෙන අතර මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන්, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, විදෙස් තානාපතිවරු, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වෙති.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ඉන්දීය කාටුන් නිර්මාණ ශිල්පි නාලා පොන්නප්පා මහතා සහභාගී වීමට නියමිතය. ඔහු විසින් විශේෂ දේශනයක්ද සිදුකරනු ලබයි.

කෘතියේ විචාර දේශනය මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා විසින් සිදු කෙරෙනු ඇත. කෘතිය පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියාසිටියේ රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා බිහිවන්නේ දිගින් දිගටම සත්‍ය ප්‍රකාශ කිරීම නිසයි. 2023 ජුනි 23 වැනිදා ඒ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නා. ඉන් පසුව ඔහු එක දිගටම පාර්ලිමේන්තුවට සත්‍ය ප්‍රකාශ කළ බවත් අබේවර්ධන මහතා කීය.

කාටුන් දහස් ගණනක් අතරින් කාටුන් 618ක් අද (07 දා) නිකුත් වන පොතට ඇතුළත් වෙනවා. එපමණක් නොව ඒ ඇඳපු කාටුන් උදෑසන ඔබේ රූපවාහිනියේ පත්තර ඉදිරිපත් කළ නිවේදකයා ඉදිරිපත් කළ ආකාරය ද මෙහි ඇති QR කේතය ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව උදාවන බව ද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment