රන් මාලය කඩාගත් කොල්ලකරුවන් පසුපස හඹාගිය යතුරුපැදිය පෙරළී ගුරුවරියට බරපතළයි

83

ගෙල බැඳි රන් මාලය කඩාගෙන පලායමින් සිටි කොල්ලකරුවන් පසුපස හඹා යෑමේදී යතුරුපැදි අනතුරකින් ගුරුවරියක් බරපතළ ලෙස තුවාල ලබා රෝහලේගතකර තිබේ.

මාරවිල – කොස්වාඩියේ ප්‍රදේශයේ පාසලක සේවය කරන ගුරුවරියක් මෙසේ සිය සැමියා සමග මහවැව කුඩාවැව මාර්ගයේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ. කොල්ලකන ලද රන් මාලය රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වටිනා බව තොඩුවාව පොලිසිය සඳහන් කරයි.

ගුරුවරිය සුපුරුදු ලෙස පාසල නිමවී සිය සැමියා සමග යතුරුපැදියෙන් නිවසට යමින් සිටියදී සැලසුම් සහගතව ඔවුන් පිටුපසින් යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා ගුරුවරියගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන පලා ගොස් තිබේ.

අනතුරුව ගුරුවරිය ගමන් ගත් යතුරුපැදියෙන් කොල්ලකරුවන් පසුපස හඹා ගොස් ඇති අතර අධික වේගයෙන් ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් ගුරුවරිය බරපතළ ලෙස තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කොට තිබේ.

කොල්ලකරුවන් දෙදෙනා හඳුනාගත නොහැකි ලෙස මුහුණු ආවරණය වන හිස් වැසුම් හා මුඛ ආවරණ පළඳා මෙම කොල්ලය සිදු කොට තිබේ.

මාර්ගය දෙපස ආරක්ෂිත කැමරා පද්ධති නිරීක්ෂණය කරමින් සිද්ධියට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරන බව තොඩුවාව පොලිසිය සඳහන් කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment