විනාඩියට රු.දහස බැගින් අය කර ඔන්ලයින් ඔස්සේ නිරුවත විකුණූ කත රිමාන්ඩ්

1044

කුඩා දරුවකුද අතැතිව නීතිඥවරයකුගේ සහාය නැතිව කත අධිකරණයේ

මුදල් අයකරමින් අන්තර්ජාලය ඔස්සේ සිය නිරුවත සජීවීව ප්‍රදර්ශනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් තරුණ කාන්තාවක අද (27දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (26 දා) නියෝග කළේය.

අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අන්තර්ජාලය ඔස්සේ ඇයගේ ගිණුමට මුදල් තැන්පත් කරන පුද්ගලයන්ට ඇය සිය නිරුවත ප්‍රදර්ශනය කර ඇති අතර ඒ සඳහා ඇය විනාඩියකට රුපියල් 1000 බැගින් අය කර ඇති බවත් වෙන්කර ගන්නා කාලය අනුව රුපියල් 2000, 5000, 10,000 වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය කරගත් බව එම විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.සැකකාර කාන්තාවගේ සැමියා බව කියන පුද්ගලයකු ඇයගේ මෙම ක්‍රියාවට සහාය ලබාදී ඇති බවද පරිගණක අපරාධ අංශය අධිකරණය හමුවේ පැවසීය.

මෙම කාන්තාව කලක පටන් මෙම ක්‍රියාවේ යෙදී ඇති බවත් මෙවැනි කටයුතුවල යෙදෙන කාන්තාවන් කිහිපදෙනකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

සැකකාර කාන්තාව බොහෝ විට රාත්‍රී කාලයේ මෙසේ සිය නිරුවත පෙන්වා මුදල් අය කර ගෙන ඇති බවට කරුණු හෙළිවී ඇති බවද එම අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසීය.

සැකකාර කාන්තාව මාස දෙකක තුනක කුඩා දරුවකුද අතැතිව අධිකරණයේ පෙනී සිටි අතර ඇය කිසිදු නීතිඥවරයකුගේ සහාය ලබාගෙන නොතිබුණි. සැකකාර කාන්තාවට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment