එන්නත් වංචාවේ මහ මොළකරුවන් අත්අඩංගුවට නොගත්තොත් ලබන වසරේ උග්‍ර ඖෂධ හිඟයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

167

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් වංචාවට සම්බන්ධ ‘මහ මොළකරුවන්’ අත්අඩංගුවට නොගෙන සිටින්නේ නම් පවතිනවාට වඩා විශාල බරපතළ ඖෂධ හිඟයක් ලබන වසරේදී ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිදුකර ඇති පරීක්‍ෂණයන්ට අදාළව ඖෂධ සැපයුම් අංශයේ නිලධාරීන් කීපදෙනකු පමණක් අත්අඩංගුවට ගෙන ඇතත් කරුණු අනාවරණය වී ඇති ‘මහ මොළකරුවන්’ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නැතැයි ද එම සංගමය චෝදනා කරයි.

මෙම සිද්ධියට අදාළව පමණක් නොව, සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුළම ප්‍රසම්පාදන ක්‍රියාවලියන් හී සිදුවූ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සියල්ල පිළිබඳව අපක්‍ෂපාතී පරීක්‍ෂණයන් සිදුකළ යුතු බවද එම සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙරේදා (22දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

විශේෂයෙන් විගණකාධිපතිවරයා කළ විමර්ශනයන්ට අදාළ වාර්තා පදනම් කර ගනිමින් එම නිර්දේශයන් ක්‍රියාත්මක කළ යුතුයි. හදිසි මිලදී ගැනීම් හරහා තමයි ඉමියුනෝග්ලොබියුලින් ගෙන තිබෙන්නේ. එය සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදුකළ ගනුදෙනුවක් යැයිද ඔහු පැවසීය.

ව්‍යාජ ලේඛන සකස් කර ගෙන්වනු ලැබූ රුපියල් මිලියන 130 ක් වටිනා ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඉහත කරුණු සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment