යටත් විජිතය පරදා ඉන්දියාව ලොව අංක තුනට එයි

757

2030 වර්ෂය වන විට ඉන්දියානු ආර්ථිකය ඇමරිකා එක්සත් ජනපදය සහ චීනයට පසුව ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත් වීමට නියමිත බවට ආර්ථික විශ්ලේෂකයෝ මත පළ කරති.

ඉන්දියානු ආර්ථිකය 2022-2030 අතර කාලය තුළදී දළ දේශීය නිෂ්පාදිතයේ 6% ක සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වාගෙන යනු ඇති බවත් ඒ අනුව ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි රට බවට ඉන්දියාව පත් වනු ඇති බවට මූල්‍ය විශ්ලේෂණ වාර්තා පුරෝකථනය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යාවත්කාලීන කරන ලද ඇස්තමේන්තුවලට අනුව, ඉන්දියාව බ්‍රිතාන්‍යය අභිබවා ලොව පස්වන විශාලතම ආර්ථිකය බවට මේ වන විට පත්ව ඇත. සියවස් ගණනාවක් බි්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති ඉන්දියාව සිය 76 වන නිදහස් දින සමරන මොහොතේදී බි්‍රතාන්‍ය ආර්ථිකය අභිබවා යෑමට හැකි වීම සංවර්ධනය සඳහා වූ ඉන්දියාවේ නව ප්‍රවණතා මනා ලෙස ලොවට හෙළි කරන අවස්ථාවක් ලෙසට සැලකිය හැක.

වසර 200ක් පමණ කාලයක් ඉන්දීය උප මහාද්වීපය තුළ අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කළ බ්‍රිතාන්‍ය අභිබවා 2022 මාර්තු-අවසානයේ ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත් වීම සුවිශේෂී කාරණයකි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ පරිපාලනය යටතේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පුද්ගලික ආයෝජන සඳහා පහසුකම් සැලසීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට උත්සාහ දරමින් සිටියි. ඉදිරි වසර 25 තුළ ඉන්දියාව සංවර්ධිත ආර්ථිකයක් බවට පත් කිරීම මෝදි අගමැතිවරයාගේ අරමුණයි.

දැවැන්ත පාරිභෝගික වෙළඳපොළ, එහි ඉල්ලුමේ ශීඝ්‍ර වැඩිවීම, වේගවත් ආර්ථික වර්ධනය සහ නැගී එන තරුණ තාක්ෂණික ශ්‍රම බලකාය විසින් ආසියානු කලාපයේ ඉන්දියාව වඩවඩාත් සිත්ගන්නාසුලු සෘජු විදේශ ආයෝජන ගෙන එන ව්‍යාපාරිකයන්ගේ ගමනාන්තයක් බවට පත් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

● වාර්ෂික උද්ධමන අනුපාතිකය තනි ඉලක්කමේ සංඛ්‍යාවක

වාර්ෂික උද්ධමන අනුපාතිකය තනි ඉලක්කමේ සංඛ්‍යාවක පවත්වාගෙන යෑමට ඉන්දියාව කොරෝනා අර්බුදය සහ යුක්‍රේන අර්බුදය සමයේදී වුවද සමත් වීම කැපී පෙනෙන ලක්ෂණයකි. ඉන්දියාවේ සැප්තැම්බර් මාසයේ උද්ධමන අනුපාතිකය සියයට 7 ක අගයක් ගෙන ඇති අතර සමස්ත 2022 වර්ෂය පුරා එරට සාමාන්‍ය උද්ධමන අනුපාතිකය (6.8%) ක අගයක් වනු ඇති බවට මූල්‍ය විශ්ලේෂකයන් පුරෝකථනය කරයි.

යුක්රේන-රුසියානු ගැටුම් හේතුවෙන් ඇති වී පවතින ගෝලීය ආර්ථික අර්බුදයේ එක් පැතිකඩක් වන උද්ධමනයට සාර්ථකව මුහුණ දීමට ඉන්දියානු ආර්ථිකයේ හැකියාව අද වන විට වෙන කවරදාටත් වඩා වැඩි බව ආර්ථික විද්‍යාඥයින්ගේ මතයයි.

දැනට පවතින කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක, ගුවන් සේවා ඇතුළු ආර්ථිකයේ වැදගත් ක්ෂේත්‍ර දැඩි කඩාවැටීමකට ලක් වුවද, ඉන්දියාවේ සේවා ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2021-22 මූල්‍ය වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 250 ක් වාර්තා කර ඇත.

ඉන්දියාව සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 80 ක් වෙනත් රටවලින් ආනයනය කරන බැවින් ඉන්ධන අර්බුදයෙන් ප්‍රධාන වශයෙන් බලපෑමට ලක් වූ රටවලින් එකක් ඉන්දියාව විය යුතුය. ඊට හේතුව වන්නේ ඉන්දියානු ආර්ථිකය ඉන්ධන පරිභෝජනය මත යැපෙන ආර්ථිකයක් වීමයි.

එවැනි වකවානුවක ඇමරිකාව ප්‍රමුඛ බටහිර කදවුර ද අමනාප නොකරගෙන රුසියාවෙන් අඩු මිලට ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කිරීම ඉන්දියානු ආර්ථිකයට මහත් අත්වැසිල්ලකි. ඉන්දියාවට අවශ්‍ය ඉන්ධන රුසියාවෙන් මිලදී ගැනීමට තීරණය කිරීම ආර්ථික අර්බුදයේ බැරෑරුම්කම ඉන්දියානුවන්ගේ මුළුතැන්ගෙට බරපතල ලෙසට නොදැනෙන කාරණයට හේතුවක් විය හැකිය.

ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ පෙරගමන්කාර ක්ෂේත්‍රය වන්නේ ‘පරිභෝජන භාණ්ඩ විකුණුම්’ බව හඳුනාගත හැකිය. පරිභෝජන භාණ්ඩ විකුණුමෙහි සමස්ත ආදායමෙන් අඩකට වඩා නාගරික අංශයෙන් ලැබෙන නමුත් ග්‍රාමීය වෙළඳපොළවල් වසරින් වසර වේගවත්ම වර්ධනයක් පෙන්නුම් කරයි.

ග්‍රාමීය පරිභෝජනය වැඩි කිරීම සහ ඊ-වාණිජ්‍යය ඉන්දියාවේ වර්ධනයේ ප්‍රධාන ධාවකයන් බවට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

● විදේශ ආයෝජන

බොහෝ විදේශීය බහුජාතික සමාගම් දැන් ඉන්දියාවේ නිෂ්පාදන සඳහා ආයෝජනය කිරීමට තීරණ ගනිමින් සිටී.

නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා සෘජු විදේශ ආයෝජන භාවිත කිරීමට දැන් කාලය බව ඉන්දීය රජය පිළිගෙන ඇති අතර විදේශීය සමාගම් ඉන්දියාවේ ආයෝජනය කිරීම සඳහා පොළඹවා ගැනීමේදී අනුගමනය කිරීමට සිදුවූ දීර්ඝ සහ වෙහෙසකර ක්‍රියාවලිය මගහරවා ගැනීම වෙනුවෙන් “ගති ශක්ති” නමින් නව යෝජනා ක්‍රමයක් දියත් කර තිබේ.

ජංගම දුරකථන නිෂ්පාදනය සඳහා විකල්ප ස්ථානයක් ලෙසද ඉන්දියාවේ තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා, ජංගම දුරකථන නිෂ්පාදන ආයෝජනය ඉහළ නැංවීම අරමුණු කරගත් නව යෝජනා ක්‍රමයක් ද රජය විසින් හඳුන්වා දී ඇත. 2022 පළමු කාර්තුව තුළ පමණක්, ස්මාර්ට් ජංගම දුරකථන මිලියන 48ක් ඉන්දියාවෙන් අපනයනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 7%ක වැඩිවීමකි.

● ආහාර සුරක්ෂිතතාවය

තම රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමේ අරමුණ ඇතුව පසුගිය මැයි මස 13 දා සිට ඉන්දියාව තිරිඟු අපනයනය සීමා කිරීමට කටයුතු කරන ලදී.

මේ අතර ඉන්දියාව තම තිරිඟු නිෂ්පාදන තොග තම රටේ වෙසෙන දුගී ජනයා අතර සහනාධාර ක්‍රමයකට බෙදා හැරීමට කටයුතු කිරීමට තීරණය කිරීම රටක් ලෙස තම ජනතාව වෙනුවෙන් ගෙන ඇති ඉතා ප්‍රගතිශීලී ක්‍රියාවකි. එය ගෝලීය අර්බුදයෙන් තම ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ජීවන මට්ටම ඉහළ නැංවීමට ඉන්දියාව ගෙන ඇති එක් පියවරකි.

● විරැකියා අනුපාතයේ අඩු වීමක්

ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල ශ්‍රම සහභාගීත්වය වැඩිවීම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේ විරැකියා අනුපාතය සියයට 6.43 දක්වා තියුණු ලෙස පහත වැටී ඇති බව ඉන්දීය ආර්ථිකය අධීක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව හෙළි වී ඇත.

එම මධ්‍යස්ථානයේ ප්‍රධාන ආර්ථික උපදේශක අනන්තා නාගේස්වරන් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් කෘෂිකාර්මික, සේවා, ඉදිකිරීම් වැනි ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

ලොව පැරැණිතම කර්මාන්තවලින් එකක් වන රෙදිපිළි කර්මාන්තය සඳහා ඉන්දියාවේ දායකත්වය සුවිශේෂී වේ. ඉන්දියාව ඩොලර් බිලියන 103.4 ක වෙළඳපළ විශාලත්වයකින් යුත් ලොව දෙවන විශාලතම රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදකයා වන අතර දේශීය හා අන්තර්ජාතික වශයෙන් විවිධ වෙළඳපළ කොටස් සඳහා පුළුල් පරාසයක රෙදිපිළි නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතියි.

2022 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ඩොලර් බිලියන 4.4ක් වටිනා රෙදිපිළි සහ ඇඟලුම් අපනයනය කළ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 41%ක වැඩිවීමකි. මෙම අංශය 2025-2026 වන විට ඩොලර් බිලියන 190 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආචාර්ය තිස්ස ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment