විමර්ශන සීඅයිඩියට

199

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට කලහකාරී තත්ත්වයක් ඇති කර රාජ්‍ය දේපොළ විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක පුද්ගලයන් සෙවීමේ විමර්ශනය මුළුමනින්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ආරම්භ කරන ලදී. එම දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් තුනක් පෙරේදා සිට (02 දා) විමර්ශන කටයුතු ආරම්භ කළහ.

ඒ අනුව මෙම කලහකාරී සිද්ධිය සැලසුම් කළ පුද්ගලයන් ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයන් සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම ප‍්‍රහාරයට එක්වූ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා සිද්ධිය වූ අවස්ථාවේ පටිගත කළ දර්ශන සියල්ල පරික්‍ෂා කිරීමට අපරාධ පරීක්‍ෂණ දොපර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ඉකුත් 31 වැනිදා රාත‍්‍රි ඇතිවූ කලහකාරි සිදුවීමෙන් පොලිස් නිලධාරීන්ට සහ කලහකාරි පිරිසි 80කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 84 දෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment