මේ සතිය උණුසුම් කළ සමාජ දේශපාලන සිදුවීම් අතර වඩාත් කැපී පෙනෙන හා සංවාදයට ලක්වූ මාතෘකා කීපයක්ම විය. ඒවායින් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වන මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව හා ඒ සම්බන්ධ විවාදය සුවිශේෂ විය. එසේම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ධුරය සඳහා රෝහිත අබේගුණවර්ධන පත් කිරීමද අතිශය විවාදාත්මක කරුණක් විය. ඊට අමතරව බොහෝ දෙනකුගේ අවධානයට ලක්වූ අනෙක් සිදුවීම වූයේ ආණ්ඩුව විසින් ලහි ලහියේ සූදානම් වන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ඉදිරිපත් කරන ලද යෝජනාවය. 2024 වසරේ පැවැත්විය හැකි යැයි බොහෝ දෙනකු විසින් පිළිගනු ලබන ජනාධිපතිවරණය පස්සට දමා මහ මැතිවරණයක් පැවැත්විය යුතුය යන ආණ්ඩුවේ දේශපාලන අභිප්‍රාය ගැනද විවිධ අදහස් ප්‍රකාශයට පත් වෙමින් තිබේ. මැතිවරණ අහෝසි කිරීම හා ඒවා විධිමත් ලෙස නොපැවැත්වීම යන්න සම්බන්ධයෙන් පොදුවේ හැම පාලනයකටම, හැම දේශපාලන නායකත්වයකටම එරෙහිව අධි චෝදනා පත්‍ර ඉදිරිපත් වී තිබෙන බවද රහසක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අප බොහෝ දෙනකු තුළ පවතින සාධනීය විවේචනය වන්නේ මෙරටේ තිබෙන්නේ වචනයට පමණක් සීමා වූ හෙවත් වචීපරම ප්‍රජාතන්ත්‍රවාදයක් බවය. මේ ආණ්ඩුවද මැතිවරණය කල්දමා බලයේ රැඳී සිටිනු ඇතැයි යන අවිශ්වාසය ජනතාවටද තිබෙන්නේ ඒ පසුබිම තුළය.

අපි මේ සමාජ දේශපාලන සිදුවීම් කීපයක් ඉන් රටට හා ජනතාවට කරනු ලබන දේශපාලන සන්නිවේදනය, සංඥා ආදියත් සැකෙවින් විමසා බලමු. ආණ්ඩුවත් විපක්ෂවල නායකයනුත් දෙපසට බෙදෙමින් දින තුනක් පුරා සිදු කළ පාර්ලිමේන්තු විවාදයට සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ප්‍රමාණවත් අවධානයක් යොමු වූයේද යන්නත් නිශ්චිතව කිව නොහැක. එසේ වුවද ඒ සම්බන්ධ වාර්තා පළ විය. ඇත්ත වශයෙන්ම දින තුනක් වැනි දීර්ඝ කාලයක් ඒ සඳහා වෙන්වීම පිළිබඳ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සිය කනස්සල්ල පළ කර තිබුණි. ඇය විමසා සිටියේ ඒ වෙනුවෙන් වැය කළ විශාල මුදල මෙවන් ආර්ථික පීඩා හා දුෂ්කරතා මැද සිටින ජනතාවට කරන යහපත කුමක්ද යන්නය. ඒ පිළිබඳව අපට යමක් කිව නොහැක. එහෙත් පාර්ලිමේන්තුවේ කථානායකවරයා සම්බන්ධ විවිධ විවේචන සමාජයේ තිබෙන බවද රහසක් නොවේ.

කොහේ අපි යමුද නොම තේරේ!

කථානායකවරයාගේ විශ්වාසභංගයට පදනම් වූයේ පසුගියදා සම්මත වූ ඔන්ලයින් පනත සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රියාකාරකම් හා පොලිස්පති පත්වීමටද අනිසි මැදිහත්වීමක් කළේය යන මූලික කරුණුය. කථානායකවරයකු ආණ්ඩුවේ රූකඩයක් යැයි විපක්ෂයක් කල්පනා කරන්නේ නම් එය බරපතළ තත්ත්වයකි. එහිදී ඔහුගේ අපක්ෂපාතිත්වය ගැන පවතින විශ්වාසය පලුදු වේ. එය පාර්ලිමේන්තුවේ ගෞරවය හා අභිමානය සම්බන්ධයෙන්ද ප්‍රශ්නකාරී වනු ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දෙනාම හිස නවා ආචාර කරන නිල ගෞරවයක් කථානායකවරයාට ලැබේ. ඔහුගේ නියෝග කිසිවකුට ඉක්ම වීමටද නොහැක. එහෙත් එබඳු උත්තරීතර පදවියක් දරණ පුද්ගලයා අරභයා කෙරෙන විවේචන චෝදනා අතිශය විවාදාත්මක තත්ත්වයකි.

කෙසේ හෝ මාධ්‍යවල පළ වූ වාර්තාවලට අනුව කථානායකවරයාගේ ක්‍රියාකාරකම්, බැඳීම් පමණක් නොව හැසිරීම්ද අපට දැකගත හැකි විය. පාර්ලිමේන්තුවේ ආංශික කමිටු, ඒවායේ පත්කිරීම් ආදිය සම්බන්ධයෙන් විපක්ෂ නායක මෙන්ම වෙනත් විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන්ද විවේචන එල්ල විය. ආණ්ඩුවේ මුල් පෙළ කිසිවෙකුට ඒවා නිෂ්ප්‍රභ කළ නොහැකි විය. එම සිදුවීම් මෙහිලා දැක්වීමට අදහස් නොකළත් ඒවා සිදු නොවිය යුතු දේවල් බව අපටද කිව හැකිය. අද මෙරටේ දේශපාලන සංස්කෘතියක් නැත. මේ පාර්ලිමේන්තුව විකෘතියක් බවද බොහෝ අයගේ විවේචනයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ හරයත්, ජීව ගුණයත් වියැකෙමින් තිබෙන බව බොහෝ සිවිල් සංවිධානවලද අදහස වී තිබේ. මෙයට පෙර සෞඛ්‍ය ඇමැතිව සිටි කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවද බරපතළය. ආණ්ඩුවේ වැඩි ඡන්දයෙන් ඔහු ගලවාගත හැකි වුවත් මේ වනවිට ඔහු චූදිතයකු ලෙස සිරභාරයේ සිටියි. ඔහුට එරෙහිව බරපතළ චෝදනා නැඟී තිබේ. එපමණක් නොව එදා සෞඛ්‍ය සේවයේ ඉහළම නිලතල හෙබවූවන්ගෙන්ද සෑහෙන පිරිසක් අත්අඩංගුවට පත්ව සිටිති. ඒ චෝදනාවලින් ඔවුහු වැරදිකරුවෝද යන්න අධිකරණය විසින් විසඳනු ලබන්නකි. එහෙත් ඒ සිදුවීම් මාලාව අපගේ පිළිකුලට, ගර්හාවට ලක්වන්නකි. රස තෘෂ්ණාවෙන් බැඳුණු වාත මෘගයන් සේ මෙරටේ ජනතා මුදල් ලොබ කළ අමන පිරිසක් ලෙස ඔවුහු විවේචනයට ලක් නොවෙත්ද?

ආණ්ඩුව වෙනුවෙන් විශ්වාසභංගයට එරෙහිව ප්‍රකාශ කළ අදහස් මෙන්ම විපක්ෂයේ විවේචනද වෙන වෙනම සලකා බලද්දී වුවද අපට හැඟෙන දෙය නම් අද ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය එහි සාධනීය ලකුණු අනතුරක ගිලී තිබෙන බවය. අපේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රාමාණිකයන් විසින් කරනු ලබන අර්ථ දැක්වීම් මෙන්ම දේශපාලන විකටයන්ගේ විහිළු සහගත හා මුග්ධ ඉදිරිපත් කිරීම්ද අපට ඇසුණි. නීතිය හා තර්කය මෙන්ම සදාචාරාත්මක මූලධර්ම පවත්වාගෙන යාමද අත්‍යවශ්‍යය. ප්‍රජාතන්ත්‍රවාදය යනු කටින් බතල හිටවන්නක් නොවේ. ගොරකා දඩමස් කරන දඩමස් ගොරකා බවට පත්කර පෙන්වන දේශපාලන ක්‍රීඩාවක්ද නොවේ. ලක්ෂ 220කට නොඅඩු ජනතාවකගේ ඉරණම, අනාගතය හා උරුමයන් හිලව්වට තබා කෙරෙන දේශපාලන සූදු තවදුරටත් පවත්වාගෙන යා නොහැකිය. මේ දේශපාලනය විගඩමක් බව වටහා ගත් ප්‍රබුද්ධ සමාජ හා දේශපාලන විඥානයක් සහිත ජනතාවක්ද අපට සිටිති. දේශපාලනයේ ගල් පිළිම හා බොල් පිළිම වෙන වෙනම හඳුනා ගැනීමටද ඒ ජනතාව සමත්ව සිටිති.

කෙසේ හෝ දින තුනක් වෙන් වූ එම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමටද ආණ්ඩුව සමත් විය. ආණ්ඩුව ඡන්ද 117ක්ද විපක්ෂය ඡන්ද 75ක්ද ලබාදී තිබුණි. සියල්ල අවසානයේදී විශේෂ ප්‍රකාශයක් කළ කථානායකවරයා සඳහන් කළේත් මේ වෙනුවෙන් වෙන් වූ කාලය මෙන්ම වැය කළ ජනතා මුදල ද ඉතිරි කරගත හැකිව තිබුණු බවය. එසේම විමල් වීරවංශ මන්ත්‍රිවරයා අවධාරණය කළ පරිදිම මෙහිදී විරෝධයට පාත්‍ර වූයේ පුද්ගලයකු නොව එම භූමිකාව බවය. පාර්ලිමේන්තුවේ උසස්ම භූමිකාවක් එලෙස විවේචනයට භාජනය වීම නිසැකයෙන්ම කිසිවකුගේ සතුටට හේතු නොවන්නක් බව අපටද සිතේ. අද තිබෙන සමාජ දේශපාලන කැළඹීම් දෙස බලන විට එබඳු විශෝධතා, ප්‍රජාතන්ත්‍රවාදී භූමිකාව වඩාත් නිවැරදි කර ගැනීමට ඉවහල් වේ නම් එයද සියලු දේශපාලනඥයන්ගේ අවධානයට යොමුවිය යුත්තකි.

මේ අතරම පාර්ලිමේන්තුව උණුසුම් කළ කෝප් කමිටුව සම්බන්ධ සිදුවීමද දේශපාලනිකව විමසා බැලිය යුත්තකි. කෝප් කමිටුව සම්බන්ධ අර්බුදයේ කේන්ද්‍රීය චරිතය ඒ සඳහා පත්ව සිටින රෝහිත අබේගුණවර්ධනය. රෝහිත පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ සිටින චරිතයක් මෙන්ම දේශපාලන වශයෙන් විවාදාත්මක පුද්ගලයෙක්ද වේ. ඔහු එම ධුරයට පත්වූයේ පොහොට්ටුවේ ආශීර්වාදයෙන් බව නිසැකය. ඔහුගේ පත්වීමට අප්‍රසාදය පළ කරමින් මේ වනවිට විපක්ෂයෙන් එම කමිටුවට පත්වූ බහුතරයක්ම ඉල්ලා අස්ව සිටිති. එහෙත් ඒ කිසිවක් නොතකා කෝප් කමිටුව කැඳවීමටද රෝහිත ක්‍රියා කර තිබුණි. කෝප් කමිටුවේ ඔහුට පෙර සභාපති ලෙස සිටියේ මහාචාර්ය රංජිත් බණ්ඩාරය. ඔහුගේ ශාස්ත්‍රීය හා වෘත්තීය නිපුණත්වය ගැන කිසිවෙක් ප්‍රශ්න කළේ ද නැත. එහෙත් ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද විවේචන තිබිණි. විශේෂයෙන් මෙරටේ ක්‍රිකට් පාලන කමිටුව සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනය, දූෂණ චෝදනා බොහෝය. එහෙත් දූෂිත චෝදනා ලද එම ක්‍රිකට් පාලක සාමාජිකයන් කෝප් කමිටුවට කැඳවා හෙළි කරගත යුතුව තිබුණු බොහෝ තොරතුරු ලබාගත නොහැකි වූයේ මහාචාර්ය රංජිත්ගේ ක්‍රියාකාරකම් නිසා බවට චෝදනා නැඟුණි. ඇත්ත වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව දූෂිත යැයි විවාද කළ පාර්ලිමේන්තුව අවසානයේදී ඒ වෙනුවෙන් පෙනී සිටි ක්‍රීඩා ඇමැතිවරයා දේශපාලනිකව අතරමං කර ඇතැයි ද සමහරු කීහ. මොනවා වුවද අද ඒ ඇමැති ආණ්ඩු පක්ෂ කණ්ඩායමෙන් පවා ඉවත්ව සිටියි. ඔහුගේ චෝදනාවලට ලක්වූ ක්‍රිකට් බලධාරීහු සුවසේ සිටිති.

රෝහිත කෝප් කමිටුවට පත් වූයේ ඒ විවාදාත්මක දේශපාලනය යටපත් වූ පසුබිමකය. එසේම රංජිත් බණ්ඩාර සමග සසඳන විට ඔහු ඉදිරියෙන් සිටින්නේ දේශපාලනය සම්බන්ධ ජ්‍යෙෂ්ඨයකු ලෙස පමණි. විද්වත්භාවය, ශාස්ත්‍රීය දැනුම අතින් මේ දෙදෙනා කිසිසේත් සමාන නොවෙති. ජා.ජ.බ. අනුර කුමාර කෝප් කමිටුවට රෝහිත පත් කිරීම දකින්නේ සරදම් සහිත දේශපාලන ප්‍රතිචාරයක් ලෙසය. ඔහු අවධාරණය කළේ හිටපු සභාපති රංජිත් බණ්ඩාර එපා නම් රෝහිත දානවා කියන ගේමට ගේම යන ස්ථාවරයෙන් එය සිදුවූ බවය. කුමක් වුවත් කෝප් කමිටුව යනු මෙරටේ දැඩි අවධානයට ලක්වූ ගෞරවණීය ආයතනයකි. එහිදී කෙරෙන අනාවරණයන් අල්ලස් දූෂණ ආදිය පිළිබඳ හෙළිකිරීම් ජනතාවගේ ප්‍රසාදයට හේතු වී තිබේ. ඒවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වෙත එළඹී නැති වුවද එයින් සිදුවන කාර්යභාර්ය ගැන ඇගයීමක් තිබුණි. කෝප් සභාපති ධුරයට රෝහිත පත් වූයේද වැඩි ඡන්දයෙනි. කුමක් වුවත් ආයතන, තනතුරු සම්බන්ධයෙන් කෙරෙන පත්වීම් දේශපාලන චණ්ඩිකම් හෝ බලය ප්‍රදර්ශනය කිරීමක් ලෙස කිසිවෙක් උද්දාමයට පත් වන්නේ නම් එය මුලාවක් බවද සිහිපත් කළ යුතුය. ඇත්ත වශයෙන්ම අද ජනතාවට අවශ්‍ය වන්නේ දේශපාලන බල පොර නොව මේ රටට යහපත් හෙටක් ලබාගැනීමේ සාධනීය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකි. එහෙත් මේ ආණ්ඩුව තවමත් ජනතාවගේ ඒ අපේක්ෂාවන් වටහා ගත් බවක් නම් නොපෙනේ. එපමණක්ද ආණ්ඩුව තවමත් සිය කුප්‍රකට දේශපාලන ගුණ්ඩු ක්‍රියාත්මක කිරීමට යන බවටද අධිචෝදනා පත්‍රයක් තිබේ.

කොහේ අපි යමුද නොම තේරේ!

ආණ්ඩුව ලහිලහියේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට සූදානම් වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. මෙවන් භාරදූර කාර්යක් සඳහා ගත වන කාලයත්, ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාදාමයත් සඳහා වසර දෙකකට නොඅඩු කාලයක් ගත වන බව ඒ සම්බන්ධ ප්‍රාමාණිකයන්ගේ අදහස වී තිබේ. හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු මෙන්ම සීමා නිර්ණය කමිටුවේ සභාපති ද වන මහින්ද දේශප්‍රිය ඍජුවම පවසන්නේ මෙම මැතිවරණ ක්‍රම සංශෝධනයට කාලයක් ගත වන බවත් මොනම ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කල් දැමීමට නොහැකි බවත්ය. දින කීපයකට පෙර ජනාධිපති රනිල් ආගමික උත්සවයකට සහභාගි වෙමින් සඳහන් කළේ ජනාධිපතිවරණයත් ඊළඟට මහ මැතිවරණයත් පවත්වන බවය. ජනාධිපති මීට පෙර කැබිනට් මණ්ඩලයට මෙන්ම අවස්ථා කීපයකදීත් මේ ප්‍රතිඥාව රටට ලබාදුන් බව අපට මතකය. එහෙත් මේ ආණ්ඩුව ගැන ඔවුන්ගේ ප්‍රකාශ ගැන ජනතාවට සැකයක් තිබේ.

ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් තිබේ. මේ දේශපාලන කළු පැල්ලම සුළු පටු එකක් නොවේ. අප විසින් මෙයට පෙරද මෙම තීරුව ඔස්සේම මේ සැකයට, අවිශ්වාසයට හේතු වූ කරුණු පිළිබඳව විග්‍රහ කර ඇත. පුන පුනා ඒවා පැවැසීමට අවශ්‍ය ද නොවේ. මේ ආණ්ඩුව පමණක් නොව මෙයට පෙර රට පාලනය කළ නායකයන්ටද මැතිවරණ භීතිය නමැති රෝගය තිබුණි. විශේෂයෙන් ජේ. ආර්. ජයවර්ධන විසින් සාර්ථක දේශපාලන ප්‍රතිලාභ නෙළාගත් ජනමත විචාරණය සම්බන්ධ ඉතිහාසය කෙතරම් දූෂිත හා අනීතික මෙහෙයුමක්දැයි මේ ආණ්ඩුවේම සිටින ජ්‍යෙෂ්ඨයෝ දනිති. පසුගිය කාලය මුළුල්ලේම වරින්වර ජනමත විචාරණ මුට්ටිය දැමීම සම්බන්ධ විවිධ පුවත්ද සමාජ දේශපාලන අංශවල භ්‍රමණය විය. එහෙත් මේ ආණ්ඩුව ඒ අපකීර්තිමත් දේශපාලන අභ්‍යාසයට යොමු වූයේ නැත. එමඟින් උද්ගත විය හැකි අනිටු ප්‍රතිඵල පිළිබඳ අවබෝධයක් සහිත අය මේ ආණ්ඩුවේ සිටීමද එයට එක් හේතුවක් විය. එසේ වුවද මේ තිබෙන දේශපාලන වාතාවරණය පවතින ආණ්ඩුවට හෝ එහි ප්‍රබල පාර්ශවකරුවා වන පොහොට්ටුවටද යහපත් එකක් නොවන බව ඒ නායකකාරකාදීහු දනිති.

පොහොට්ටුවේ නිර්මාතෘ ලෙස බැසිල් මාධ්‍යය අභියස කරනු ලබන බොහෝ ප්‍රකාශ හරවත් හෝ ගැඹුරු දේශපාලන විමසුමක් අනුව කරන ඒවාද නොවේ. ඒවා සිය පාක්ෂිකයන්ගේ ප්‍රබෝධය දේශපාලන උත්තේජනය දැනවීම වැනි කරුණු මත පදනම්ව කරනු ලබන උද්යෝග පාඨ පමණි. එහෙත් බැසිල් ප්‍රමුඛ රාජපක්ෂ කඳවුර හොඳින් දන්නා සත්‍යයක් ඇත. එනම් එළඹෙන මැතිවරණයකදී තම පාර්ශවයට තම අනුගාමිකයන්ට අත්විය හැකි ඛේදනීය දේශපාලන ඉරණමයි. මෙවර දේශපාලන පිටියේ මූලික සටන පැවැතිය හැක්කේ ප්‍රධාන කඳවුරු දෙකක් අතරය. ඒ රාජපක්ෂවරුන් ඇතුළු රනිල් ද අයත් වන සම්ප්‍රදායි ප්‍රභූ කඳවුර හා සජිත් මෙන්ම අනුර කුමාර ද පෙනී සිටින ඒ සම්ප්‍රදායි දේශපාලනයෙන් බාහිරව ගොඩනැඟෙමින් තිබෙන නිර්ප්‍රභූ කඳවුර යන බලවේග දෙකය. එය නිසැකයෙන්ම මෙරටේ දේශපාලන ඉතිහාසය තුළ බලය හුවමාරු වූ සම්මත රටාවට පිටින් සිදුවන්නකි. සජිත් නායකත්වය දෙන ස.ජ.බ.ය තුළ එ.ජා.ප.ය සමග සිටි කීපදෙනෙක්ද සිටිති. එසේම ආර්ථික හා දේශපාලන වශයෙන් සජිත්ගේ කණ්ඩායම හා රනිල්ගේ පාර්ශ්වය අතර බරපතළ වෙනස්කම් ඇතැයි කිව නොහැක. ඇත්තම මේ යථාර්ථය දන්නා රනිල් මෙන්ම බැසිල් ද එම පක්ෂය තමන්ගේ පාර්ශවයට ඇදගැනීමට ක්‍රියාකාරන බව පැහැදිලිය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් ස.ජ.බ. තම නායකයා වන සජිත්ට තිබෙන වාසිය දනී. එනිසා ඔහු රනිල් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පිළිගන්නේද නැත. එසේ නම් කළ යුතු එකම දෙය මහ මැතිවරණය පෙරට ගැනීම බව බැසිල් මෙන්ම පොහොට්ටුවේ මුල්පෙළද දනී. මහ මැතිවරණයකදී ලැබනෙ විසිරුණු ප්‍රතිඵලය නිසා පක්ෂ හෝ සන්ධාන ලෙස එක් කණ්ඩායමක් ප්‍රබල නොවනු ඇති බව බැසිල්ගේ දේශපාලන ගණන් බැලීමය. එහෙත් ජා.ජ.බ. අනුර කුමාරගේ තත්ත්වය කුමක් විය හැකිද? ඔහුගේ කණ්ඩායමට අන් සියල්ලන් අභිබවාලිය හැකි බලයක් අත්වීමට ඉඩක් නැති බව බැසිල්ගේ නිරීක්ෂණයකි. එහෙත් එය හිතලුවක් පමණි. ඒත් පක්ෂවල දේශපාලන රැළි දෙස බලා තීන්දු තීරණ ගැනීම නිවැරදිම නැත. එහෙත් ඒ ජනරැළි ජනමතය තුළ ඇති කරන්නේ ප්‍රසාදීන උත්තේජනයත් විය හැකිය. පොහොට්ටුව දැන් පවසන්නේද එළඹෙන මැයි දිනයේදී තමන් තිබෙන ශක්තිය රටට ප්‍රදර්ශනය කරන බවකි. එහෙත් මේ කිසිවෙක් 2022 ගාලුමුවදොර අරගලයේ ප්‍රතිචාර කෙබඳු දැයි කල්පනා නොකරති. පක්ෂවලට අයත් නොවන ප්‍රබුද්ධ දේශපාලන ප්‍රතිචාර හෝ පවතින ක්‍රමය පිළිකුලෙන් හෙළාදකින අය හෝ කුමක් කරත්ද?

මේ ආණ්ඩුව විසින් අහෝසි කරන ලද මැතිවරණ පවා ඉතා ඉක්මනින් පැවැත්විය යුතු බවද අද සමහරු කියති. දේශපාලන හා ආර්ථික ක්‍රියාදාමය මේ ආණ්ඩුවට හෝ ජනාධිපති රනිල්ට හැර අන් කිසිවෙකුට මේ රට ගොඩගැනීමට නොහැකි යැයි රනිල් පාර්ශවය මෙන්ම පොහොට්ටුවේ සමහරුද පවසති. එසේ නම් වටයක් ගොස් බැසිල් එන්නේද රනිල් හැර අන් සරණක් නැතැයි යන දේශපාලන ආස්ථනයටද?

advertistmentadvertistment
advertistmentadvertistment