ගාසා තීරයේ උතුරේ සිටින ශ්‍රී ලාංකික 27 ක් ඊජිප්තුවට යෑමේ සූදානමක් – ශ්‍රී ලංකා තානාපති කියයි

105

ගැටුම් පවතින ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දකුණු කොටස දක්වා ගමන් කර ඊජිප්තුවට යෑමට සූදානමින් පසුවන බවට තොරතුරු ලැබී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඊයේ (17දා) පැවසීය.

ගාසා තීරයේ උතුරේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 27 දෙනෙකු මෙලෙස දකුණු කොටස ප්‍රදේශයට ගමන් කරන පිරිස සමග එක්ව සිටින බවට පලස්තීන කාර්යාලයේ සිටින මෙරට නියෝජිතවරයා විසින් තමන්ට දන්වා ඇතැයි ද ඒ මහතා කියා සිටී.

ඊජිප්තුවට ගමන් කිරීමට සූදානමින් පසුවන මෙම පිරිස සඳහා රතු කුරුස සංවිධානයේ සහාය ලබා ගැනීමට පලස්තීන කාර්යාලය සූදානමින් සිටින බවත් ඒ සඳහා මේ වනවිටත් රතු කුරුසයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල සහ විදේශීය ජාතිකයින් 150ක් පිළිබඳව විස්තර ලබා දෙන ලෙස රතු කුරුස සංවිධානය විසින් හමාස් නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසූ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ශ්‍රී ලාංකිකයින් ඇතුළු රටවල් 36 ක පුද්ගලයින් හමාස් අත්අඩංගුවේ පසුවන බවට තොරතුරු සනාථ වී ඇතැයි ද පවසති.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment