සාරංගගේ චිත්‍රපටයේ මට හම්බ වුණේ පොඩි රෝල් එකක් – දිනක්‍ෂි ප්‍රියසාද්

330

පැමිණිල්ලක් කරන්න තරම් දෙයක් එයා කරලා නෑ…

සාරංග සහ දිනක්‍ෂි කියන්නෙ කවුරුත් දන්න නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පීන් දෙපළක්. මේ දෙන්නගෙ දස්කම් එකම නිර්මාණයකින් දකින්න දැන් රසිකයන්ට අවස්ථාව උදා වෙලා. ඒ ‘යාළුවෝද යාළුයිද. සිනමා නිර්මාණය හරහා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අපි දිනක්‍ෂි සමග සංවාදයකට එක් වුණා.

මේ දිනවල නෝනයි මහත්තයයි එකම චිත්‍රපටයක දකින්න ලැබෙනව?

ඔව් චිත්‍රපටය රූගත කළේ ගිය අවුරුද්දෙ. මේක සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය වෙනස් විදිහේ නිර්මාණයක් කිව්වොත් හරි. ගොඩක් වෙලාවට අපේ අලුත් පරම්පරාව කියනව එයාලට හරියන විදිහේ චිත්‍රපට හැදෙන්නෙ නැහැ කියල. ඉතිං මේ චිත්‍රපටය විශේෂයෙන්ම ඔවුන් ඉලක්ක කර කරපු නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. චිත්‍රපටයට වගේම පෞද්ගලිකව අපිටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව.

කොහොමද ‘යාළුවෝද යාළුයිද. චිත්‍රපටයට අවස්ථාව ලැබෙන්නෙ?

මේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ දිල්ෂාර ජයමාන්න අයියත් එක්ක මම මීට කලින් වැඩකරල තියෙනව. ඒ නිසා අපි හඳුනනව. ඒ හැඳුනුම්කම එක්ක අපි දෙන්නටම මේ නිර්මාණයට කතා කළා.

චරිත ගැන කතා කළොත්?

සාරංගගේ චිත්‍රපටයේ මට හම්බ වුණේ පොඩි රෝල් එකක් - දිනක්‍ෂි ප්‍රියසාද්

අපි දෙන්න සැබෑ ජීවිතයේ කපල් එක වුණාට මේ චිත්‍රපටයේදී අපිට ලැබෙන්නෙ වෙනස් චරිත දෙකක්. මට ලැබිල තියෙන්නෙ සාමාන්‍ය ජීවිතයේ මගේ චරිතයට වඩා ටිකක් නපුරු චරිතයක්. සාරංගටත් ලැබිල තියෙන්නෙ ටිකක් අමුතු විදිහේ චරිතයක්.

අලුත් මුහුණු රැසක් එක්ක එන චිත්‍රපටයක්?

ඔව්” මම” සාරංග” යුරේනි” ධනූ හැරුණම අනෙක් හැමදෙනාම අලුතින්ම ක්‍ෂේත්‍රයට එන අය. ඒ අතරින් එරාජ් මල්ලි හොඳ තියටර් ඇක්ටර් කෙනෙක්. ඒ වගේ දක්‍ෂතා තියෙන අයට අවස්ථාව ලැබෙන එක ගැන ඇත්තටම සතුටුයි සහ ආඩම්බරයි. මේ ක්‍ෂේත්‍රය ඉදිරියට යන්න නම් අලුත් අය වගේම දක්‍ෂතා තියෙන අය එන්න ඕන. ජනප්‍රියත්වයත් එක්ක හැමදේම බැලන්ස් එකේ තියාගෙන යන්න පුළුවන් අය එන එක ක්‍ෂේත්‍රයේ ඉදිරි ගමනට ලොකු හයියක්.

සමහර ප්‍රවීණයන් නවකයන්ට කැමති නැහැ?

මීට අවුරුදු දහතුනකට කලින් මමත් කලා ක්‍ෂේත්‍රයට ආධුනිකයෙක්. ඒ කාලෙ කවුරුවත් මා වැඩකට ගත්තෙ නැත්නම්” අලුත් කියල කපල දැම්ම නම් අද මම මෙතන නැහැ. මට ඉදිරියට එන්න එදා හිටපු අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණ. කාලයත් එක්ක මම වැඩ ටිකක් කරල තියෙනව. අත්දැකීම් ප්‍රමාණයක් ලබල තියෙනව. ඉතිං මම කැමතියි අලුත් අයට උදව් කරන්න.

මේ අතර වේදිකා නාට්‍යයකත් දකින්න ලැබෙනව?

මේ නාට්‍ය ‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්.. අපි දෙන්නම රංගනයෙන් එකතු වෙනව. කපිල රස්නායක තමයි අධ්‍යක්‍ෂණය කරන්නෙ. මේ පැමිණිල්ල කරන්නෙ සමස්ත සමාජයටම හොඳ පණිවිඩයක් දෙන්න.

කොහොමද වේදිකාවේ අත්දැකීම?

අපි දැනට අවුරුදු තුනක් පුරා මේ නාට්‍ය වේදිකාගත කරනව. මීට කලින් මම වේදිකාවට සම්බන්ධ වෙලා තිබුණත් දීර්ඝකාලීනව වැඩ කළේ මේ නාට්‍යයේ. වේදිකාවේ වැඩකරන එක හරිම තෘප්තිමත් හැඟීමක්.

සාරංගත් අධ්‍යක්‍ෂණයට යොමු වුණා?

ඔව්” සාරංග අලුත් චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කළා වගේම නිෂ්පාදනය කළෙත් ඔහුමයි. ඒකත් තරුණ පරම්පරාව ඉලක්ක කොට කරපු නිර්මාණයක්. ඉදිරියේදී දැකබලාගන්න පුළුවන් වෙයි.

සාරංගගේ චිත්‍රපටයේ මට හම්බ වුණේ පොඩි රෝල් එකක් - දිනක්‍ෂි ප්‍රියසාද්

දිනක්‍ෂිට චරිතයක් ලැබුණද?

මේ චිත්‍රපටයේ මම පෙනී ඉන්නෙ පුංචි කොටසකට විතරයි. ඒක ඔහුට වුවමනා විදිහට මාව හසුරුවල මගෙන් කරගත්තා. වෙනසකට තියෙන්නෙ අනෙක් නළු නිළියන්ට බොහොම සුහදව කිව්වත් මට ටිකක් සැර කරනව.

ප්‍රධාන නිළියට ගත්තෙ වෙන කෙනෙක්?

මෙහෙමයි ඒ ඒ චරිතයට සුදුසු කෙනාවනෙ තෝරා ගන්නෙ. පවුලේ අය කියල ප්‍රධාන චරිතවලට ගන්න ඕන කියල නීතියකුත් නැහැනෙ. ඩිරෙක්ටර් කෙනෙක් හැටියට සාරංගට විෂන් එකක් තියෙනව. ඒ විෂන් එකට මැවෙන රූප වලට හරියන අයයි තෝරා ගන්න ඕන. මගෙත් උදව් ඇතිව එයා කාස්ට් කළා. එතනදි සුදුසු අය තෝරා ගත්තා.

සාරංගගෙ මුල්ම අධ්‍යක්‍ෂණයට නතු වුණ ප්‍රධාන නිළිය කවුද?

ඔහුගේ අධ්‍යක්‍ෂණයට නතු වුණේ ටාෂි කාලිදාස. ඇය පාකිස්තාන් චිත්‍රපටයකටත් රඟපෑමෙන් එකතු වෙලා බොහොම ජනප්‍රිය වුණා. ඇයගේ කුසලතාවන් එක්ක අපිට හිතුන ඇය තමයි සුදුසු කෙනා කියල.

තරුණියන්ගේ ආකර්ෂණයත් එක්ක සාරංග ගැන බයක් දැනෙනවද?

අපෝ නෑ.. මං එයා එක්ක යාළු වෙනකොට වගේම අපි කසාද බඳිනකොටත් එයා ගොඩක් ජනප්‍රියයි. අදටත් එහෙමයි. එයා තව තවත් ජනප්‍රිය වෙනවනම් මට ඒ ගැන ගොඩක් සතුටුයි.

සාරංග පවුලේ වගකීම් ගන්නවද?

වගකීම් ගැන පැමිණිල්ලක් කරන්න තරම් දෙයක් ඔහු අතින් තවම සිදු වෙලා නැහැ. සාරංග කියන්නෙ ගොඩක් වෙලාවට තමන්ගෙ පවුලත් එක්ක ඉන්න කැමති කෙනෙක්. ඒ වෙනුවෙන් කොහොම හරි වෙලාව වෙන්කර ගන්නව.

දුව ශාරණ්‍යා ගැන කිව්වොත්?

ඇත්තටම දුව වැඩියෙන්ම ආදරේ තාත්තට. එයාගෙ කටහඬක් ඇහුණත්” ඡායාවක් දැක්කත් ඇති. ඇඟේ එල්ලුනගමන් තමයි. එතකොට කාවවත් මතක නැහැ. තාත්තම තමයි එයාගෙ ජීවිතය.

ගෙදර ජීවිතය?

ඇත්තටම ගෙදර ජීවිතය ගොඩක් හොඳයි. නමුත් ප්‍රශ්නය ගෙදර ඉන්න ලැබෙන්නෙ නැති එක. අපි දෙන්නම ටිකක් කාර්යබහුල වෙලා තියෙන්නෙ.

සාරංග දිනක්‍ෂි ශෝෂල් මීඩියාවල හරි ජනප්‍රියයි?

ජනප්‍රියත්වය කියන්නෙ හැමෝටම ලැබෙන්නෙ නැති දෙයක්. අපි කාලයක් තිස්සේ කරපු නිර්මාණත් එක්ක යම් ජනප්‍රියත්වයක් ලැබිල තියෙනව. ඒ වගේ කාලෙන් කාලෙට එක එක මීඩියම් ෆ්ලැට්ෆෝම් හරහා අපිට ජනප්‍රියත්වය ලැබිල තියෙනව. අද අපි මෙතන ඉන්නෙ දක්‍ෂතාවත් එක්ක එන ජනප්‍රියත්වය නිසා. කිහිප දෙනෙක් හැරෙන්න අපිට ගොඩක් දෙනෙක් ආදරය කරනව.

අලුත් ආරාධනා?

මේ දවස්වල නිවේදන කටයුතුවලට ආරාධනයක් ලැබිල තියෙනව. ජනවාරි මාසයේ පටන් ගන්න තිබුණත් ටිකක් පහු වුණා. බොහෝ දුරට මැයි හෝ ජුනි මාසයක පටන් ගනීවි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment