නිකේෂණ මටත් පාරුවට නගින් කිව්වා… මම බෑ කිව්වා… උඹ මැරෙන්න බයද කියා එයා මගෙන් ඇහුවා… – මිතුරා සාක්ෂි දෙමින් කියයි

1030

පාපන්දු පුහුණුවක් අවසන් කොට නිවසට පැමිණ මිතුරකු සමඟ ගම්පොල බෝතලාපිටිය ප්‍රදේශයෙන් මහවැලි ගඟට ගිය ගම්පොළ ජිනරාජ පිරිමි විද්‍යාලයේ 10 වසර ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවකු දියේ ගිලී මිය ගොස් ඇතැයි ගම්පොල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ පදිංචි ඕවිටියා වත්තේගෙදර තත්සර නිකේෂන කුමාරසිංහ නමැති සිසුවායි.

ජිනරාජ විද්‍යාලයේ වයස අවුරුදු දහසයෙන් පහළ පාපන්දු කණ්ඩායමේ සිටින මෙම සිසුවා එහි පුහුණුව සඳහා ගොස් යළි නිවසට පැමිණ නිවස අසල සිටින දාහතර හැවිරිදි මිතුරකු සමඟ මෙසේ මහවැලි ගඟට ගොස් ඇති බව අනාවරණය වී ඇත.

මේ පිළිබඳව මරණ පරීක්ෂණය ගම්පොල රෝහලේ දී මරණ පරීක්ෂක නලීන් ඒ. මැදිවක මහතා ඉදිරියේ ඊයේ 30 දින පැවැත්විය. එහිදී ඔහු සමඟ මහවැලි ගඟට ගිය මිතුරා වන ගම්පොල කිරින්ද විද්‍යාලයේ 9 ශේණියේ විතාන ආරච්චිලාගේ රුවින්ද සිතාර විතානගේ 14 යන අය මෙසේ සඳහන් කළේය‘

නිකේෂණ අපේ ගෙදරට ඇවිත් ගඟට යන්න මට කතා කරනකොට අපේ අම්මා එපා කිව්වා. ඒත් පස්සේ අපි ගඟට ගියා. අපි නෑවේ නෑ. නිකේෂණ ගඟේ ටිකක් උඩහට ගිහින් අයිනේ තිබුණ පාරුවක් අරගෙන ඒකේ නැගලා පහළට ආවා. මටත් පාරුවට නගින්න කතා කළා මම බෑ කිව්වා. උඹ මැරෙන්න බය ද කියලා එයා මගෙන් ඇහුවා. එහෙම කියලා එයා ගඟේ පහළට යනකොට අතේ තිබුණ පාරුව පදින රිට අතෑරෙනවා වගේ මම දැක්කා. ඒත් එක්කම එයා පාරුව අත ඇරල ගඟට පැන්නා.

ගඟේ එහා පැත්තේ කට්ටියක් වැලි ගොඩ දාමින් හිටියේ. මම කෑගහලා යාළුවා ගඟට වැටුණා කියලා කීවා. එතකොට එයාලා පා රුත් අරන් මේ පැත්තට ආවා. යාළුවා ගගේ ඉවුරේ තිබුණ වල් පඳුරක් අල්ලාගෙන ගොඩට එන්න බැලු‍වත් ඒක කැඩිලා එයා ආයෙත් ගඟට වැටුණා.

පාරු වල ආව අය එයා හෙව්වත් හොයා ගන්න බැරි වුණා. මම ගෙදරට ඇවිත් මේ ගැන කීවා පැය එකහමාරකට විතර පස්සේ නිකේෂණ හොයා ගත්තා. ඊට පස්සේ එයා ගම්පොල රෝහලට අරන් ගියා. මෙහිදී මියගිය සිසුවාගේ මව හා පියා ද සාක්ෂි ලබා දෙන ලදී.

මෙම සිසුවා රෝහලට රැගෙන ඒමේදී වමනය දැමූ බව පැවසීම නිසා ගම්පොල රෝහලේ වෛද්‍යවරු පැයක් පමණ මහන්සි වී සිසුවාට ප්‍රතිකාර දුන්නද ඔහු මියගොස් තිබුණි.

පොලිස් සැරයන්ට 42578 ආරියරත්න සාක්ෂි මෙහෙයවිය‘

ගම්පොළ -සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment