මව් රටේ ආයෝජනය යථාර්ථයක් කරගැනීම

223

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ට පණිවුඩයක්

රජය විවිධ ආකාරයෙන් ණය ගනු ලබයි. විවිධ රාජ්‍ය ණය සුරැකුම්පත් නිකුත් කර රජය ණය ගැනීමද සිදු කරයි. රාජ්‍ය ණය සුරැකුම්පත් යනු කල් පිරීම මත ආපසු ගෙවීමේ පොරොන්දුව මත රජය විසින් නිකුත් කරන ලද ණය උපකරණයකි. භාණ්ඩාගාර බැඳුම්කර, ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වැනි රාජ්‍ය ණය සුරැකුම්පත් තිබේ. ඒ සඳහා කාලානුරූපීව කූපන් හෝ පොලී ගෙවීමට හා කල් පිරීමේදී මුල් මුදල ගෙවීමට ද පොරොන්දු වීම සිදු වේ. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් මේ රාජ්‍ය ණය සුරැකුම්පත් නිකුත් කරන අතර ඒවා කල් පිරීමේ දී ආපසු මුදල් ගෙවනු ලැබේ. රජය වගකියන නිසා මෙම සුරැකුම්පත් අවදානම් රහිත ආයෝජනයන් ලෙස සඳහන් කළ හැකිය. මේ අවස්ථාවේ රට විදේශ මුදල් හිඟයකට මුහුණ දී සිටින නිසා විදේශ මුදල්වලින් ආයෝජන ලබා ගැනීමට මහ බැංකුව සැලසුම් කර ඇත. මේ සඳහා ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට නියමිතය. ඒ නිසා මේ අමාරු අවස්ථාවේ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ට තම මව් රටේ ආයෝජනය කර, රටටත් අත දී තමන්ටත් වැඩි වාසියක් සලසා ගැනීමේ අවස්ථාවක් උදා වී තිබේ.

මේ ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDBs) යනු 1975 අංක 29 දරන විදේශ ණය පනතට අනුව ශ‍්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද ඩොලර් මගින් නාමනය කරන ලද ණය උපකරණයකි. මේවා මගින් ගන්නා අරමුදල් ආපසු ගෙවීම ශ‍්‍රී ලංකා රජය විසින් සහතික කරනු ලබයි. ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ප‍්‍රධාන ලක්ෂණ කිහිපයක් තිබේ. ඒවා නම් අර්ධ වාර්ෂිකව පොලී ගෙවීම්, අවම ආයෝජනය ඇ.ඩො. 10,000 සහ ඇ.ඩො. 10,000 ගුණාකාර වේ. (එහෙත් මේ අවස්ථාවේ එම අවම ආයෝජනය ඇමෙරිකානු ඩොලර් 1000 දක්වා අඩුකර ඇත), ආයෝජනය කරන මුදල් වර්ගය ඇමෙරිකානු ඩොලර්, ස්ථාවර හා නම්‍යශීලී (මාස 6 ක ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතිකය/ලයිබෝ හෝ එහි අනුප‍්‍රාප්තික පොලී අනුපාත/ කූපන් අනුපාතයන්ගෙන් ලබාගත හැකිය, තරගකාරී ලංසු තැබීම මගින් නිකුත් කරනු ලබයි, නිර්ලේඛිත ආකෘතියෙන් නිකුත් කෙරේ.

මෙම ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඇතුළු පොදුවේ රාජ්‍ය සුරැකුම්පත් ගැන පහත ආකාරයන් මගින් මේ ගැන උනන්දුවක් දක්වන ආයෝජකයන්ට තොරතුරු ලබාගත හැකිය.

මව් රටේ ආයෝජනය යථාර්ථයක් කරගැනීම

i. රජයේ පවත්නා සුරැකුම්පත් පිළිබඳ තොරතුරු සහ පවත්නා වෙළෙඳපොළ අනුපාත පිළිබඳ විස්තර බලපත‍්‍රලාභී වාණිජ බැංකු, ප‍්‍රාථමික වෙළෙඳුන් සහ මහ බැංකුවේ වෙබ් අඩවිය මගින් ලබාගත හැකි ය.

ii. වත්මන් වෙන්දේසි පිළිබඳ විස්තර ප‍්‍රාථමික වෙළෙඳුන් සහ බලපත‍්‍රලාභි වාණිජ බැංකු වෙතින් ලබා ගත හැකි ය.

iii. රාජ්‍ය සුරැකුම්පත් පිළිබඳ කිසියම් විස්තරයක් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත හැකි ය.

මේ ලිපිය මගින් අප විශේෂයෙන් සාකච්ඡා කිරීමට යන්නේ මහ බැංකුවේ නවතම ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව ගැනයි. එය නිකුත් කරන්නේ විශේෂයෙන් අපනයන ආදායම් උපයන සහ විදේශවල සේවා නියුක්ත ශ‍්‍රී ලාංකිකයන් ද ඇතුළුව විදේශ ව්‍යවහාර මුදල් හිමියන් සඳහාය. මේවායේ ආයෝජනය සහ ඊට අදාළ ගනුදෙනු පියවීම 2022 ජනවාරි 25 සිට නැවත දැනුම්දෙන තුරු විවෘතව පවතිනු ඇති බව මහ බැංකුව නිවේදනය කර ඇත. මෙහි පරිණත කාලයන් සහ පොලී අනුපාතයන් මහ බැංකුව විසින් දැන්වීම් මගින් ප‍්‍රසිද්ධ කර ඇත. මෙම නවතම නිකුතුවේ අවම ආයෝජනය ඇමෙරිකානු ඩොලර් දහසක් වන අතර ඉන් පසුව ඇමෙරිකානු ඩොලර් දහසේ ගුණිතයන්ගෙන් ආයෝජනය කළ හැකිය. මේවා මිලදී ගැනීම සඳහා පත් කළ නියෝජිතයන් වන්නේ තෝරාගත් බලපත‍්‍රලාභී වාණිජ බැංකු සහ ප‍්‍රාථමික වෙළෙන්දුන්ය. එම පත් කළ නියෝජිතයන්ගේ ලැයිස්තුව ද මහ බැංකුව විසින් දැන්වීම් මගින් මේ වන විට ප‍්‍රසිද්ධ කර ඇති අතර ආයෝජකයන් විසින් නිවැරදිව සම්පූර්ණ කරන අයැදුම්පත‍්‍ර එම පත් කළ නියෝජිතයන් හරහා හෝ සෘජුවම මහ බැංකුව සඳහන් කර ඇති ඊමේල් ලිපිනයට යොමු කළ හැකිය. යම් ආයෝජකයකු විසින් තම අයැදුම්පත කෙලින්ම මහ බැංකුව වෙත එවන අවස්ථාවක දී ආයෝජන විධිවිධානයන් සඳහා ආයෝජකයා විසින් කැමති නියෝජිතයකු වෙත යොමු කෙරෙනු ඇත. ඒ සඳහා ආයෝජකයාට තමා ගනුදෙනු කිරීමට කැමති නියෝජිතයකු, පත් කළ ආයතන අතරින් නම් කළ හැකිය. මීට පෙර ආයෝජකයන්ට කෙලින්ම මහ බැංකුවට මේ ආයෝජන අයැදුම්පත් එවීමේ හැකියාවක් නොතිබුණි. එහෙත් කලින් විස්තර කළ පරිදි දැන් ඒ හැකියාව තිබේ.

මෙම බැඳුම්කරවල ආයෝජනය සඳහා ආයෝජකයන් සොයා දෙන අය සඳහා ප‍්‍රවර්ධන සහ මෙහෙයුම් ගාස්තු සඳහා දිරි දීමනාවක් ලෙස ආයෝජනය කරන මුදල් ප‍්‍රමාණයෙන් පදනම් අංක 50 ක් (සියයට 0.5 ක්) ශ‍්‍රී ලංකා රුපියල් මගින් ගෙවන අතර, පත් කළ නියෝජිතයන් විසින් ආයෝජන සැලසුම් කරන්නන් එනම් ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කරන ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙක් සමග එය බෙදාගත යුතු බව මහ බැංකුව කියයි. ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ලබා ගැනීමට අදාළ උපදෙස් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සියලූ බැංකු වෙත ලබා දී ඇත. මෙම නවතම නිකුතුව පිළිබඳ විස්තර 2022 ජනවාරි 25 දිනැති ඉදිරිපත් කිරීමේ ලියැවිල්ලේ සඳහන් වේ. මේ බැඳුම්කරවල ආයෝජනය සඳහා වන පරිණත කාලයන් සහ ස්ථාවර අනුපාතිකයන් ද මහ බැංකුව සිය දැන්වීම් මගින් දැනටමත් ප‍්‍රසිද්ධ කර තිබේ. මෙම ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනයට සුදුසුකම් ලත් ආයෝජකයන් ලැයිස්තුව ද ප‍්‍රසිද්ධ කර ඇති අතර මේවා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ ද අන්තර්ගතව තිබේ.

මහ බැංකුව පවසන්නේ මේ වන විට මේ සුරැකුම්පත්වල ආයෝජන ක‍්‍රියාවලිය බොහෝ පහසු කර ඇති බවයි. ආයෝජකයන්ට මෙහි ඩොලර්වලින් කරන ආයෝජන සඳහා සිත් ගන්නා සුළු පොලියක් ද ලැබේ. ආයෝජකයා තම ගෙවීම එනම් ආයෝජන මුදල ඇමෙරිකානු ඩොලර්වලින් අදාළ බැංකුවට භාර දුන් පසු එම බැංකුව විසින් එම විනිමය ප‍්‍රමාණය මහ බැංකුවට ලබා දෙයි. අදාළ ඩොලර් ගෙවීම එම නියෝජිත බැංකුවෙන් මහ බැංකුවට වෙත ලබා ගැනීම සඳහා වන ක‍්‍රමවේදයක් එම බැංකු සමග සකස් කර ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා පවසයි. මේ ආයෝජන සඳහා සිත් ගන්නා සුළු පොලී අනුපාත ලැබෙන බව අපි මුලින් සඳහන් කළෙමු. ඒ අනුව එක් එක් පරිණත කාලයන් අනුව ලැබෙන පොලී අනුපාත වන්නේ මාස 6 ට සියයට 7.5, මාස 10 ට සියයට 7.65, වසරක් සඳහා සියයට 7.8, වසරකුත් මාස තුනක් සඳහා සියයට 7.85, වසර දෙකට සියයට 7.9, වසර දෙකයි මාස තුනට සියයට 7.9, වසර තුනට සියයට 7.9, වසර හතරට, වසර හතරයි, මාස හයට සහ වසර හතරයි මාස එකොළහට සියයට 7.95 ක් වශයෙනි.

මේවායේ ආයෝජනය සඳහා පත් කළ නියෝජිතයන් හරහා මෙන්ම ඊට අමතරව ඉදිරියට කොළඹ කොටස් හුවමාරුවේ කොටස් තැරැව්කරුවන් හරහා ද ආයෝජනය කිරීමට අවස්ථාව දීමට නියමිතය. කොටස් තැරැව්කරුවන් විදේශීය ආයෝජකයන් සමග ද
ගනුදෙනු කරන අතර එම විදේශීය ආයෝජකයන්ට තම ආයෝජනය ඩොලර්වලින්ම තබා ගත හැකි බැවින් ඔවුන්ට විනිමය අනුපාත අවදානමක් ද මතු නොවේ. මේවායේ පොලිය මෙන්ම කල් පිරීමේ දී ආයෝජනය කළ මුදල ද ඩොලර්වලින්ම ගෙවනු ලැබේ. මේවායේ ආයෝජනය කිරීම සඳහා ඉලක්ක කරන එක් පිරිසක් වන්නේ අප රටට අපනයන ආදායම් උපයන පිරිසයි. ඔවුන්ගේ අපනයන ආදායම් දැනට බැංකුවල ඔවුන්ගේ ඩොලර් ගිණුම්වල තැන්පත්ව පවතී. මේ ඩොලර් දැනටමත් ලංකාවට ලැබී ඇති ඩොලර්ය. එහෙත් අඩු පොලියට ඩොලර් රැස් කරගත හැකි ඇතැම් විදෙස්ගත පිරිස් සිටී. එසේම අපේ විදෙස්ගත ඇතැම් ශ‍්‍රී ලාංකිකයන් ඉතා අඩු පොලියට බැංකුවල ඩොලර් තැන්පතු තබාගෙන ද සිටී. මේ නිසා මෙවැනි විදේශීය ඩොලර් ගිණුම් හිමි සහ විදේශ මුදල් අතැති ශ‍්‍රී ලාංකිකයන් සහ විදේශීය ආයෝජකයන් මේ ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුවේ ප‍්‍රධාන ඉලක්කයකි. ඉහළ වැටුප් ලබන ශ‍්‍රී ලාංකිකයන් රැසක් විදේශ රටවල සිටී. ඔවුන්ගේ ඉතුරුම් විදේශ මුදල්වලින් එම රටවල බැංකු ගිණුම්වල තිබේ. විදෙස්ගතව සිටින එවැනි ඩොලර් ගිණුම් හිමි අයට දැනට ලැබෙන්නේ සාපේක්ෂව අඩු පොලියක් වන අතර ඔවුන්ට මේවායේ ආයෝජනය කිරීමෙන් වැඩි පොලියක් උපයාගත හැකිය. මෙසේ තමන් වැඩි ප‍්‍රතිලාභයක් ලබන අතර ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ මුදල් හිඟය සමනය කර ගැනීම සඳහා ද ඔවුන්ට දායකත්වය ලබා දිය හැකිය. එසේම විදේශ රටවල සිටින ශ‍්‍රී ලාංකික නොවන විදේශීය අයට (ඇමෙරිකානු පුරවැසියන් නොවන අයට) ද මේවායේ ආයෝජනය කිරීමෙන් වැඩි ප‍්‍රතිලාභයක් ලබාගත හැකිය.

අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා මෙම නවතම සංවර්ධන බැඳුම්කර නිකුතුව ගැන මෙසේ කීවේය.

‘‘ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර කියන්නේ රජය නිකුත් කරන සුරැකුම්පතක්. මේක ඩොලර් වලින් නිකුත් කරන්නේ. මේ සඳහා බොහෝම සිත්ගන්නා සුළු පොලී අනුපාතයක් තියෙනවා. කෙටි කාලයකට ආයෝජනය කරන්න පුළුවන්. මේවායේ ආයෝජනය කිරීමේ ක‍්‍රියාවලිය බොහොම පහසු කරලා තියෙනවා. ඉස්සර නම් පත් කළ නියෝජිතයෙක් හරහා තමයි අයැදුම් කරන්න ඕන. එහෙත් දැන් ආයෝජකයකුට මහ බැංකුවට කෙලින්ම අයැදුම්පත එවන්න පුළුවන්. ඊට පසු එයා නම් කරන බැංකුවකට කතා කරලා එතනින් ඒ ගනුදෙනුව සම්පූර්ණ කරන්න පහසුකම් සලසනවා. එතකොට ඒ ආයෝජකයා ඒ බැංකුවට දෙන ඩොලර් ප‍්‍රමාණය මහ බැංකුවට මාරු කර ගන්න ක‍්‍රමවේදයක් අපි හදලා තියෙනවා. මේ බැඳුම්කරවලට ආයෝජකයන් ගේන අයට සියයට 0.5 ක දිරි දීමනාවකුත් දෙනවා. එය ගණනය කරලා රුපියල් වලින් ගෙවනවා.

මේ නිකුතුව අපි දීර්ඝ කාලයක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. කෙටි කාලයකට තමයි මෙය විවෘතව තියන්නේ. විශේෂයෙන්ම අපට ඉල්ලීම් තියෙනවා මැදපෙරදිග රටවලින් මෙන්ම, ඉතාලිය, දකුණු කොරියාව, යුරෝපා රටවල් සහ කැනඩාව යන රටවල්වල වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගෙන්. අපි විශේෂයෙන්ම ඉලක්ක කරන්නේ පිටරට විදේශීය මුදල් තැන්පත් තියාගෙන ඉන්න ශ‍්‍රී ලාංකිකයන් සහ විදේශීය ආයෝජකයන් මූලික වශයෙන්ම. ඉහළ වැටුප් ලබන ශ‍්‍රී ලාංකිකන් ඉන්නවා බොහොමයක්. එයාලගේ සල්ලි එයාල ඒ ඒ රටවලම තියන් ඉන්නවා. ඒ අයට පුළුවන් මේවායේ ආයෝජනය කරන්න. එයාලට මේවායේ අයෝජනය හරහා වැඩි පොලියක් ගන්න අවස්ථාව ලැබෙනවා. ඉස්සර ඩොලර් 10,000 ක් වූ අවම ආයෝජනය ඇමෙරිකානු ඩොලර් 1000 දක්වා අඩු කර තිබෙනවා. ඒ අනුව ඩොලර් 1000 සිට ඉහළට ඩොලර් 1000 වටිනාකම්වලින් ආයෝජනය කරන්න පුළුවන්. විදේශිකයන්ට එයාලගේ ආයෝජනය ඩොලර් වලින්ම තබා ගන්න පුළුවන් නිසා එයාට විනිමය අවදානමත් සමනය වෙනවා. මෙහි පොලියයි ආයෝජනය කරපු මුදලයි ඔක්කොම ඩොලර් වලින්ම තමයි ගෙවන්නේ.

සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කරන මුදල් බැංකු හරහා මහ බැංකුවට ලැබෙනවා. මේ සල්ලි කෙලින්ම එන්නේ විදේශ සංචිතවලට. කල්පිරීමේ දී අනිවාර්යෙන්ම ඒ සල්ලි ඩොලර් වලින්ම අදාළ බැංකුවට ලබා දෙනවා එයාට අරගෙන යන්න. මහ බැංකුව ඒවාට වග කියනවා. එයාල ගේන ඩොලර් අපි දාන්නේ සංචිතයට. එයා මුදල් අරන් යනකොට අපේ සංචිතයෙන් එයාට ඒ මුදල් අපි ආපහු එයාට දෙනවා..’’

අවම ආයෝජනය ඩොලර් 1000 ට අඩු වී ඇති නිසා සුළු පරිමාණ අයට ද මෙහි ආයෝජනය කිරීමේ අවස්ථාව උදා වී ඇත. නියමිත කාලය අවසානයේ මහ බැංකුව විසින් ආයෝජනය කළ මුදල සහ පොලිය අදාළ බැංකුව හරහා ආයෝජකයන්ට ගෙවන නිසා මහ බැංකුව පවසන පරිදි මෙම ආයෝජනය කරන මුදල් පිළිබඳ කිසිදු අවධානමක් ඇති නොවේ. මෙම නිකුතුවෙන් කොපමණ මුදල් ප‍්‍රමාණයක් රැස් කර ගැනීමට අපේක්ෂා කරනවා ද යන ප‍්‍රශ්නයට පිළිතුරු ලෙස අපට දැනගන්නට ලැබුණේ එවැනි නිශ්චිත මුදල් ප‍්‍රමාණයක් නොමැති බවත් පාර්ලිමේන්තුව අනුමත කර ඇති ණය සීමාවට යටත්ව ලැබෙන ඕනෑම විදේශ මුදල් ප‍්‍රමාණයක් ලබා ගැනීමට මහ බැංකුවට හැකියාව තිබෙන බවයි.

ශ‍්‍රී ලංකාව ගැන තිබෙන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළා ඇති නිසා මෙම සංවර්ධන බැඳුම්කරවලට ප‍්‍රමාණවත් ඉල්ලූමක් ලැබේද යන ප‍්‍රශ්නය ද අපි මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතාට ඉදිරිපත් කළෙමු. මේ ඊට ඔහු ලබා දුන් පිළිතුරයි.

‘‘මෙහි ගොඩක් වෙලාවට ආයෝජනය කරන්නේ ලංකාව ගැන දන්නා අය. රේටින් ආයතන කරන්නෙත් යම් තොරතුරක් ස්වාධීනව ඉදිරිපත් කරන එක. එහෙත් යම් අයකුට ආයෝජන තීරණයක් ගැනීමේ දී බලන්න තියෙන්නේ රේටින් ආයතන කියන තොරතුර පමණක්ම නෙවෙයි. අපි පසුගිය ජනවාරි මාසේ කල්පිරුණු ස්වෛරීත්ව බැඳුම්කරය ගෙව්වා. එතකොට ජුලි මාසේ ගෙවන්න තියෙන එකත් අපි ගෙවන බව කියල තියෙනවා. අපිට දිගටම ණය ගෙවීම ගැන නිකැළැල් වාර්තාවක් තියෙනවා. අනිත් එක මේකට ශ‍්‍රී ලංකා රජයෙන් දෙන වගකීමක් තියෙනවා. ඊට අමතරව මහ බැංකුවෙනුත් සහතිකයක් දෙනවා මේ කල්පිරෙන දිනයට ගෙවීම් කරනවා කියලා.’’

මේ නිසා විදේශ මුදල් හිඟයකට රට මුහුණ දී සිටින මේ මොහොතේ රට වෙනුවෙන් සිතා බලා තම විදේශ මුදල් ඉතුරු කිරීම් මෙම ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කරන ලෙස අපි ද විදේශගත ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. ඒ සඳහා ඔවුන්ට වැඩි ප‍්‍රතිලාභයක් ද උපයා ගත හැකිය. මෙසේ තමන්ට ද වැඩි වාසියක් සලසාගෙන මේ අමාරු අවස්ථාවේ තම මව් රටට ද උදව්වක් කිරීමට හැකි වන්නේ නම් එය සුවිශේෂ අවස්ථාවකි. ඒ මහඟු අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට දැන් අපේ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ට ඉඩහසර උදා වී පවතී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment