ජනතාවට 140 යි! රිළවුන්ට නොමිලේ! මෙන්න නැවතත් පොල් ගෙඩියෙන් ඡන්දයක්!

153

පොලය හා ඡන්දය අතර ඇති සම්බන්ධතාවය ඉතා ප්‍රබලව අපට දක්නට ලැබුණේ හැත්තෑ හතේ මැතිවරණ වේදිකාවේදී ය. එවකට විරුද්ධ පක්ෂේ සිටි ආර්. ප්‍රේමදාස මහතා පොල් පලුවක් ද රැගෙන සිය ඡන්ද වේදිකාව මතට ගොඩ වනවිට ගෙඩියක මිල වී තිබුණේ ශත 70 කි. අද පොල් ගෙඩිය රුපියල් 140 කි. හැත්තෑ හතේ මහා මැතිවරණයෙන් ජේ. ආර්. , ප්‍රේමදාස ප්‍රමුඛ එජාපයට අසීමිත ජනවරමක් ලබා ගන්නට ද රට තුළ සංවෘත ආර්ථීකයත් ඇති කිරීමේ උදාර සංකල්පය වැරදියට ක්‍රියාත්මක කළ සිරිමා මැතිනියට අන්ත පරාජයක් ලබා දෙන්නට ද ප්‍රේමදාස මහතා පෙන් වූ පොල් අඩලයට තිබූ හැකියාව ද සුළුපටු නොවීය.

මේ අයුරින් දේශපානඥයා විරුද්ධ පක්ෂයේ සිටින විට, පමණක් වටිනා ආයුධයක් බවට පත්වුණ පොල් ගෙඩිය මේ වනවිට පාරිභෝගිකයාගේ සාක්කුවට දරාගත නොහැකි මිලකට ලක්ව පෙරළී ගොස් නැවතී ඇත්තේ රිළවාගේ අතෙහිය. ඒ නිසා මෙවර ද පොල් ගෙඩිය මුල් කර ගනිමින් ඡන්දය දිනා ගැනීමේ අවස්ථාවක් අපේක්ෂකයින්ට උදාවී ඇත.

කළ යුතුව ඇත්තේ රිළවාගෙන් පොල් ගෙඩිය ආපසු ඉල්ලා දීමය.

දැන් මේ මොහොත වනවිට පොල් ගෙඩිය අරබයා දේශපාලනඥයාගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන ගැටලු තුනක් ඇත.

ඉන් පළමු වැන්න එලොව පොල් පෙනෙන තරමට පොල් ගණන් යෑමය. දෙවැන්න පොල් ගෙඩිය රිළවා අතට යෑමය. තුන්වැන්න පොල් ගෙඩිය පිළිබඳව රිළවුන්ට වඩා උනන්දුවක් තමන් තුළ ඇති කර ගැනීමය.

මෑත භාගයේ එනම් දශක දෙකකට ආසන්න කාල පරිච්ඡේදයක් මළුල්ලේ තම පොල් ඉඩම්වලින් සියයට තිහක් පමණ රිළවුන් විසින් විනාශ කර දමන තත්ත්වයක් ඇති වී තිබෙන බව පොල් අක්කර පහ දහය ප්‍රමාණයේ කුඩා ඉඩම් හිමියෝ පවසති. එමෙන්ම ගත වූ වසර දෙකක කාලය තුළ එම තත්ත්වය පෞද්ගලික මට්ටමින් අත්දකින්නට ද මෙම ලියුම්කරුට හැකි වී තිබුණේ අවිස්සාවේල්ල, කෑගල්ල ආසන්නයේ ප්‍රදේශවල පොල් ඉඩම් සම්බන්ධව කළ නිරීක්ෂණයකිනි.

ශ්‍රී ලංකාව පුරා හෙක්ටයාර් 4,40,000ක බිම් ප්‍රමාණයක් පුරා පැතිර පවත්නා පොල් වගා බිම්වලින් පොල් ත්‍රිකෝණයට අයත් දිස්ත්‍රික්ක පුරා අඩු වැඩි වශයෙන් මෙම තර්ජනය බලපවත්නා බව පෙනේ. ඉන්ධන, පොහොර, කෘමිනාශක ආදී ගොවිතැනට අදාළ නහුතයක් ප්‍රශ්න අද ඇති වී තිබුණ ද රටේ ආර්ථීක ස්ථාවරයකින් සහ නිසි කළමනාකරණයකින් අනතුරුව ඒවා විසඳාගත හැකි කාරණයක් බව පෙනේ. නමුත් පොල් වගාව අරබයා රිළවුන්ගේ ආක්‍රමණය වැළැක්වීම ඊට වඩා සංකීර්ණය.

දශක හතරකට ආසන්න කාලයක් අගනුවර ආශ්‍රීත ජීවත් වෙමින් පුවත්පත් කලාවේ නිරතවූ මෙම ලියුම්කරු සිය හිත මිතුරකු සමග අගනුවරින් කිලෝ මීටර් 100ක් පමණ දුරින් වූ ඉඩමක වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සම්බන්ධ වූයේ 2020 දී ය. සරුසාර පසක් ද ස්වභාවික ජල උල්පත් ද සහිත පොල් ඉඩමක් වූ එහි එළවළු වගාවක් ද ආරම්භ කළ නමුදු ඵල දැරන්නට පටන් ගෙන තිබූ මුළු ගොවිපළ ම වනසා දමන්නට රිළා හමුදාවකට ගත වූයේ පැයකටත් වඩා අඩු කාලයකි.

තමා ජීවත්වන වපසරියේ සෑම බිම් අගලක ම මොනවා හෝ බෝග වගාවක් කර ගැනීම ජාතික අවශ්‍යතාවයක් බවට පත්ව ඇති මෙවැනි දුෂ්කර කාලපරිච්ඡේදයක ගොවි ජනතාව පත්ව ඇති කාලයක මෙම අර්බුදයට වහා ම විසඳුමක් අවශ්‍යව ඇත්තේ රිළවුන් වතු ආක්‍රමණය කරන්නේ පොල් කෑමට පමණක් ම නොවන හෙයිනි.

උන් ගෙවත්තේ ඇති සෙසු ඵලදාවන් ද පැහැර ගෙන විනාශ කරනවා පමණක් නොව දැන් දැන් ඒවායේ සිටින ජනතාවට ද පහර දීමට ද පෙළඹී සිටිති.

මෙම තර්ජනය කුඩා ඉඩම් හිමියන්ට ඉතා තදින් බලපාන්නේ ඒවායේ පරිපාලනයට සේවකයන් පත්කර නොමැති හෙයිනි. සියල්ල ම තමුන් ම කර ගන්නා කුඩා ඉඩම් හිමියෙකුට පැය විසි හතර පුරා ම තම ඉඩම් කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාවක් නොමැත. ඔහුට ද සිය ඉඩමෙන් බැහැර වීමට අවස්ථාව යෙදේ. සාමාන්‍යයෙන් රිළවුන් සිය ආක්‍රමණයට යොදා ගන්නේ වතුපිටි කෙරෙහි මිනිසාගේ අවධානය යොමු නොවන මෙවැනි අවස්ථාවන්වලදීය. එහෙත් දැන් තත්ත්වය සපුරා වෙනස් වී ඇත. මක්නිසා ද යත් දැන් දැන් රිළවුන් ඉඩම් හිමියන් තම ඉඩම් ආශ්‍රීතව සිටිය දී පවා නොව කෑගසා එළවද්දී ද එම විරෝධතාවන්වලට බිය නොවී වගා භෝග විනාශ කිරීමේ කටයුතු කරගෙන යෑමට පෙළඹී ඇති බැවිනි. නමුත් දැන් මේ රිළා රංචු එතැනින් නැවතී නැත. තමාට තර්ජනය කරනු ලබන ගොවියන්ට පහර දීමට පෙරට එන තත්ත්වයක් ද දැන් දැන් ඇතිවී තිබේ. අවිස්සාවේල්ලට නුදුරු අමිතිරිගල ප්‍රදේශයේ වගා කටයුතුවල යෙදෙන චන්දන මහතා පවසන්නේ තමා දිග කැත්තක් අතැතිව මිස වතුපිටිවල වැඩ කටයුතුවල නොයෙදෙන බවය. ඔහුව කිහිප වතාවක්ම රිළවුන් විසින් කොටු කර ගැනීමට උත්සාහ කර ඇති බව ඔහු පවසයි. නමුත් කැත්තක් භාවිත කිරීම පහර කෑමෙන් බේරීමට විනා ප්‍රශ්නයට පිළියමක් නොවන බව ඔහුගේ අදහසයි.

තම ඉඩකඩම්වලට පනින රිළා රංචු එළවා දැමීමට රතිඤ්ඤා පත්තු කිරීම උන් ඉලක්ක කර ගනිමින් අහස්කූරු යැවීම වායු රයිෆල් වලින් වෙඩි තැබීම අව්ව ඇති අවස්ථාවල කණ්ණාඩි ඇල්ලීම වැනි උපක්‍රම භාවිත කිරීමට ඉඩම් හිමියන් පුරුදුව සිටියත් මේ වනවිට ඒ සියල්ලට ම අනුගත වීමට රිළවුන් සමත් වී සිටී. උදාහරණයක් ලෙස තමා වෙතට පියඹා එන අහස් කූරකින් බේරීමට හිස පහත් කර ගන්නා රිළවා සෙසු සියලු විරෝධතා හමුවේ නොසැලී සිටින්නට හොඳ පුහුණුවක් ලබා තිබේ. මේ සියලු යුද ප්‍රකාශ කිරීම් මධ්‍යයේ ඔබ නිවස ඉදිරිපිට නෑඹුල් පොල් ගසකින් ගෙඩි කඩාගෙන ඔබ බලා සිටිය දීම නැට්ටෙන් එල්ලාගෙන යෑමට තරම් දැන් දැන් උන් නිර්භීතය. සුනඛයින්ගේ බිරීමට උන් යම් පසු බෑමක් පෙන්නුම් කළ ද ගොවි මහතුන් පවසන්නේ ගස් මතින් ලොකු දුරක් ගමන් කරනා රිළවා සමග සටනට සුනඛයින් යෙදවීම අනතුරුදායක බවය. මන්දයත් බිම දිගේ දිව එන සුනඛයා ගසක් පාමුල තනි වූ පළමු නිමේෂය තුළ ම රිළවුන් විසින් ඌ ගස මතට ඇදගෙන මරා දමන හෙයිනි.

ජනතාවට 140 යි! රිළවුන්ට නොමිලේ! මෙන්න නැවතත් පොල් ගෙඩියෙන් ඡන්දයක්!

දැනට යම් පමණකට හෝ රිළවුන් බියක් දක්වන දෙයකට ඇත්තේ එක්තරා ගෝරිල්ලෙකුගේ වෙස් මුහුණකි. නගරයෙන් බැහැර දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල වෙළඳ සැල්වල විකිණීමට ඇති කළු පැහැති මෙම ගෝරිලි වෙස් මුහුණට වුවද රිළවා බියක් දක්වන්නේ ඌට නොපෙනෙන්නට එය පැලඳ කෑ ගසා ගෙන ඌ ඉදිරියට පැමිණියහොත් පමණි.

මෙම ලියුම්කරුට අමිතිරිගල මීතිරිගල ගෝණාගල්දෙණිය කිරිඳිවැල වෑකඩේ අත්තනගල්ල ඉඳුරාන වැනි ප්‍රදේශ ආශ්‍රීත ඉඩම් හිමියන් සහ වගා කටයුතුවල යෙදෙන්නන් කීපදෙනෙකු සමග මේ ගැන කතා කිරීමේ අවස්ථාව උදාවූ අතර ඔවුන්ගේ යෝජනා වූයේ මේවාය.

රිළවුන් විනාශකාරී ක්‍රියාවන් හේතුකොට දීර්ඝ කාලයක් මුළුල්ලේ විවිධාකාර අත්දැකීම්වලට මුහුණ දී සිටින ඉඩම් හිමි වැවිලිකරුවකු වන අත්තනගල්ලේ සුවදිවි සංවිධානයේ සභාපති වෛද්‍ය සමන් පාලිත ජයකොඩි මහතා පවසන්නේ රිළා ගහනයට මුල් හේතුව අප රටේ ජනතාව ගමේ ඉඩම් කඩම්වල කෘෂි කාර්මික කටයුතු අතහැර නගරයට සංක්‍රමණය වීම බවය. මේ නිසා එම ඉඩකඩම් රිළවුන්ගේ නිජබිම් බවට පත් වූණා. දැන් අපි ගමට ආ විට උන් සටන් කරන්නේ තම නිජබිම රැක ගැනීමට.

නමුත් පවතින තත්ත්වය යටතේ පොල් වගාව රිළවුන්ගෙන් රැක ගැනීමට නම් අද කළ යුත්තේ කෘෂි කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් වෙඩික්කාරයෙකු පත් කළ යුතු වීමයි. මා දන්නා තරමින් සැබෑ දඩයක්කරුවෙකු ඉවෙන් මෙන් හඳුනාගැනීමට රිළවුන්ට පුළුවන්. ඒ නිසා එවැන්නකු දකිනවිට පලායෑමේ සිරිතක් රිළවුන් අතර තිබෙන නිසා වෙඩි තැබීමට අවශ්‍ය වන්නේ නැහැ. තීරණාත්මක අවස්ථාවක අහසට වෙඩිල්ලක් තැබීම ප්‍රමාණවත්. මෙම මුරකාර රාජකාරිය පවත්වාගෙන යෑම හැර වෙනත් විකල්පයක් දැනට නැහැ.

අපගේ නීරීක්ෂණයට ලක් වූ පෙරකී ප්‍රදේශවල සාම්ප්‍රදායික දඩයක්කරුවන් සුළු ප්‍රමාණයක් තවමත් සිටින මුත් කිසිවකු රිළවකුට වෙඩි තැබීමට ඉදිරිපත් නොවන්නේ වනසත්ව ආඥා පනත යටතේ එය අවුරුද්දක සිර දඬුවමකට යටත් වන බරපතළ වරදක් ලෙස සලකන බැවිනි.

පාරිසරික ජන මාධ්‍යවේදියෙකු මෙන්ම ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරුවකු වන සුපුන් ලහිරු ප්‍රකාශ් මහතා පැවසුවේ ලංකාව තුළ රිළා ගහනය වැඩිවීක් ගැන කතා කරනු ලැබුවත් ජාත්‍යන්තර වනජීවී සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව රිළා ගහනය අඩු වනබව පෙනෙන්නට ඇති බවය.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස ඒ මහතා පවසන්නේ උන්ගේ වාසස්ථාන යළිත් සංරක්ෂණය කිරීම හැරෙන්නට මෙයට වෙනත් විසඳුමක් නැති බවය.

උන් ගම්වලට එන්නේ මිනිසුන් විසින් උන්ගේ වාසස්ථාන අහිමි කිරීම නිසා. උන්ගේ වාසස්ථාන යළිත් සංරක්ෂණය කළ යුතු වන්නේ අපට අවශ්‍ය ගස් කොළං වැවීමෙන් නොව උන් ආහාරයට ගන්නා ගහකොළ වැවීමෙන්. එය ඉතා ම විද්‍යානුකූලව සිදු කළ යුතු කටයුත්තක්.

අතීතයේ දී හේන් ගොවිතැනේ දී රිළවුන්ගෙන් අද තරම් හානියක් සිදු නොවූනේ රිළා ගහනය උන්ව ආහාරයට ගන්නා විලෝපීයන් විසින් පාලනය කිරීම නිසා බවද ඔහුගේ අදහසයි.

අඳුන් දිවියන් පිඹුරන් ආදි සතුන් අද වනවිට මේ රිළවුන් ව්‍යාප්තව ඇති ප්‍රදේශවල දක්නට නො ලැබීම ද රිළවුන්ගේ පැවැත්ම ස්ථාවර වීමට බලපෑ හේතුවක් වී ඇති බව සුපුන් ළහිරු මහතාගේ අදහස වී තිබේ.

කුණ්ඩසාලේ කෘෂිකර්ම විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු මෙන්ම ප්‍රධාන පෙළේ උද්‍යාන නිලධාරියෙකු ලෙස දශක කීපයක් අත්දැකීම් ඇති ගම්පහ එස්. මැදවත්ත මහතා පවසන්නේ විශාල ඉඩම්වල මායිමේ රිළවුන්ට ගසකින් ගසකට පැනිය නොහැකි ආකාරයට ගස්වල අතු පාස්සා දමා හෝ මෑන් ඒරියා එකක් නිර්මාණය කිරීම ද මෙයට යම් ප්‍රමාණයක ප්‍රතිකර්මයක් විය හැකි බවය. ඒ හැරුණු කල ඉඩ කඩම්වල නිරන්තරයෙන් ගැවසෙමින් වගා කටයුතුවල යෙදී ගොවි මහතුන්ගේ ආධිපත්‍යය පෙන්වීමත් මෙය ඔවුන්ට කුස පුරවා ගැනීමට ඉඩ නොලැබෙන තැනක් බවට ඒත්තු ගැන්වීමත් වෙනත් ගොදුරු බිමකට ඔවුන් යොමු කිරීමකට හේතුවන බව මැදවත්ත මහතාගේ අත්දැකීම වී ඇත.

මේ සම්බන්ධව ඉතා පුළුල් මානවාදී විග්‍රහයක යෙදෙන අමිතිරිගල ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන සුනිල් මහතා පවසන්නේ වනාන්තර හා ගම් අතර මායිම්ම්වල උන් ආහාරයට ගන්නා පලතුරු ගස් සිටු වීම අද ම ආරම්භ කළ යුතු බවය. උන් ගම් වදින එකම හේතුව උන්ගේ ආහාර බිම් අප විසින් අත්පත් කර ගත් නිසා බව පවසන සුනිල් මහතා අප එයට වන්දි ගෙවිය යුතු බව අවධාරණය කරයි.

නමුත් කාලයක් මුළුල්ලේ මේ ප්‍රශ්නයෙන් බැට කන ජනතාවට ඒ සියලු යෝජනා ත්‍රියාත්මක වන තුරු හෝ මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යව තිබේ. ඒ අනුව මෙයට ඇති පිළියමක් පිළබඳව අප ලුණුවිල පොල් පර්යේෂණායතනයේ ඉහළ නිලධාරී මහතකුගෙන් කළ විමසීමේ දී ඔහු පැවසූවේ මේ වනවිට රිළවුන් පලවා හැරීම සඳහා වූ තාක්ෂණික උපකරණයක් පිළබඳව තම ආයතනය පර්යේෂණ පවත්වමින් සිටින බවයි. තවදුරටත් ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම පිණිස එහි තාක්ෂණික හුවමාරු අංශයේ ප්‍රධානීන් වන ආචාර්ය ලලිත් පෙරේරා ආචාර්ය චමින්ද හේරත් සහ මෙහි අංශ ප්‍රධානී තනතුරක් හොබවනු ලබන රොෂාන් සිල්වා යන මහත්වරුන් සමග ද කතාබහක යෙදුණු අපට දැන ගන්නට ලැබුණේ රිළවුන් පැමිණි විට පළවා හැරීමේ ක්‍රම වේදයක් සකසනවා හැරෙන්නට හැර පූර්ණ විසඳුමක් ඉදිරිපත් කිරීම අසීරු බවය.

ඒ අනුව දැනට රිළවුන් බියපත් වන ආකාරයේ හ‘ඩක් සහිත උපකරණයක් එක්තරා ඉංජිනේරු මහතකු විසින් නිපදවා තම ආයතනයට පරිත්‍යාග කර තිබෙන බව ඔවුහු පැවසූහ.

ඇත්ත වශයෙන් ම මෙය වනඅලි බිය ගැන්වීම සඳහා නිපදවූ එකක්. නමුත් රිළවුන් පළවා හැරීම සඳහා ද එය සාර්ථකව උපයෝගි කර ගතහැකි බව අපට පෙනී ගොස් තිබෙනවා.

සෑම වසරක් පාසා ම පොල් අක්කර 6000ත් 10000ත් අතර ප්‍රමාණයක් ඉදිකිරීම්වලට ඉඩ ලබාගැනීම සඳහා විනාශ කර දමන රටක මේ අයුරින් රිළවාට පොල් ගස සින්නවීම නිසා ඇති වී තිබෙන්නේ පොල් කන්නට නැති වීමේ ගැටලුව පමණක් නොවේ. කන්නට කිසිම දෙයක් නැතිවීමේ ගැටලුවට ද රටේ ජනතාවට මුහුණ දෙන්නට සිදු වීමය. මන්ද යත් පොල් වත්තට පනින රිළවුන්ට එහි ඇති සෑම භෝගයක් ම කදිම කටගැස්මක් වන හෙයිනි.

මේ මොහොතේ පොල් ගෙඩියෙන් ඡන්දය ඉල්ලන අපේක්ෂකයින් සිටිනවා ද යන්න ගැන අප නොදනිමු. නමුත් කිරට මිරිසට සප්පායම් වී කිරියෙන් පැණියෙන් උතුරන අනාගතයක් උදෙසා ඡන්දය ඉල්ලන අපේක්ෂකයාට තම ප්‍රතිවාදියා තොරොංජි වී යනු පිණිස ගසන්නටවත් පොල් ගෙඩිය බේරා ගත යුතු බව සිතිය යුතු අවස්ථාවක් ඡන්ද විසින් ලබා දී ඇත.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment