පොහොර නැතිවුණොත් යල කන්නයත් ඉවරයිද?

174

තෙල් මිල ගොවිතැනටත් සැරටම බලපාලා….

මහ කන්නයේ වෙළෙඳපොළට ලැබෙන වී අස්වැන්න අඩුයි….

පිටරට හාල් ගේන එකත් දැන් ප‍්‍රශ්නයක් වෙලා…

පොහොර ප‍්‍රශ්නය තදින්ම බලපාලා….

රජරට පළාතේ මෙන්ම අම්පාර, මඩකළපුව, බදුල්ල, මොණරාගල, හම්බන්තොට ඇතුළුව දිවයිනේ වී වගා කරන දිස්ත‍්‍රික්ක රැසක මාස් කන්නයේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී තිබේ. එහෙත් බෙහෝ යායවල රත්පැහැ ගැන්වුණු ගොයම කලට වේලාවට කපා පාගා ගන්නට ගොවීන්ට මෙවර නොහැකි වී ඇත්තේ අස්වනු නෙළීමට යොදාගන්නා යන්ත‍්‍රවලට අවශ්‍ය ඞීසල් නොමැතිකම බව කියති. මේ අතර මෙවර ලැබෙමින් පවතින වී අස්වනු පිළිබඳව රජය සමීක්‍ෂණයක් කර ඇත්දැයි යන්න මෙතෙක් නිශ්චිත තොරතුරක් දැනගැනීමට හැකියාවක් නොමැත. නමුත් දැනට අස්වනු නෙළන යායවල ගොවීන් පෙන්වාදෙන තොරතුරුවලට අනුව මෙවර වී අස්වැන්න ඇත්තේ ඉතා පහළ මට්ටමකය. බොහෝ ගොවීන් පවසන්නේ පසුගිය මාස් කන්නයේ අස්වැන්නට වඩා හරි අඩකින් පමණ මෙවර අස්වැන්න අඩුවී ඇති බවයි. තම මූලික ජීවනෝපාය වන වී ගොවිතැනින් මෙවැනි අඩු අස්වැන්නක් ලැබීම නිසා ගොවිතැනට ලබාගත් ණයතුරුස් පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව එම ගොවි ජනතාව කියා සිටිති. ඒ අනුව ඉදිරි යල කන්නයේ වී වගාව කරනවාද නැද්ද යන්න පවතින්නේ ඉතාම අවිනිශ්චිත තත්ත්වයක බවයි ගොවි ජනතාව පවසන්නේ.

ගිරිතලේ මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් ජයන්තිපුර යාය 13 ප‍්‍රදේශයේදී අපට මුණගැසුණු සරත් දිසානායක මහතා 54 හැවිරිදි දෙදරු පියෙකි. වසර 30කට වැඩිකාලයක් මෙම යායේ වී වගාකරන බවත් සිය මූලික ජීවනෝපාය ගොවිතැන බවද ඒ මහතා කීය. මෙවර මාස් කන්නයේ වී වගාවට තමන් රජයෙන් ලබාදුන් කාබනික පොහොර බිඳක්වත් නොයෙදූ බව හෙතෙම කීය. අක්කර 05ක වපසරියකින් යුත් තම කුඹුරට පොහොර හොණ්ඩර 18ක් වැඩි මිලට මිලදී ගෙන යෙදූ බවද කීය. ඉදිරි යල කන්නයේ රසායනික පොහොර නැතිනම් තමන් වී වගාව අත්හරින බව ඔහු අප සමඟ කීවේය.

පොහොර නැතිවුණොත් යල කන්නයත් ඉවරයිද?

‘‘මම දැන් අවුරුදු තිහකට වැඩි කාලයක් මේ කුඹුරු ගොවිතැන කරනවා. අපි ගොවිතැන් කරන්නේ විනෝදෙට නෙවෙයි. ඒ වගේම පුරුදු වෙන්න ගොවිතැන් කරනවත් නෙවෙයි. මුළු පවුලක ජීවන බර ගෙනියන්න, දරුවන්ට උගන්වන්න. අපිට ජීවත් වෙන්න. මේ හැම දෙයක්ම කරන්න මුදල් සපයාගන්නේ මේ ගොවිතැනින්. ඒ හින්දා පාඩු ලබන්න ගොවිතැන් කරලා වැඩක් නෑ. පොහොර නැතිව ගොවිතැනින් ලොකු ආදායමක් ගන්න බෑ. ඒක අපි අත්දැකීමෙන් දන්න දෙයක්. ඒ හින්දා තමයි මේ කන්නේ රජයෙන් රසායනික පොහොර නොලැබුණාට මම වැඩි මිලට හරි අරන් කුඹුරට පොහොර යෙදුවේ. පොහොර මිටි 18ක් මම මේ කන්නේ කුඹුරට ගැහුවා. මගේ කුඹුර වෙනදා වගේම සරුයි. ඊළඟ කන්නෙත් මම රසායනික පොහොර තමයි යොදන්නේ. රසායනික පොහොර නැත්නම් මම කුඹුරු කරන්නේ නෑ. කුඹුර වී වගාව අත් හරිනවා. වෙන හේතුවක් නිසා නෙවෙයි පාඩු විඳින්න කුඹුරු වගා කරලා වැඩක් නෑ.’’

මෙවර මාස් කන්නයේ නෙළාගත් වී අස්වනු වියැළීමේ නිරතව සිටියදී අප සමඟ අදහස් දැක්වූ දිඹුලාගල, පැලෑටියාව, මහවැලි ගම්මානයේ ගොවි මහතෙකු වන යූ. ආර්. ප‍්‍රියන්ත අජිත් මහතා- ‘‘මේ වතාවේ මගේ කුඹුරේ වී අස්වැන්න හොඳටම අඩුයි. මගේ විතරක් නෙවෙයි ගොඩක් දෙනකුට එහෙමයි. මම රජයෙන් ලබා දුන්න කාබනික පොහොර විතරයි යෙදුවේ. වෙනත් කන්නවලදී රසායනික පොහොර යොදලා හෙක්ටයාර් එකකින් වී කිලෝ 7000ක් විතර ගත්තා. නමුත් මේ සැරේ තියෙන්නේ වී කිලෝ 2500ක් විතර. ඒ වගේම මේ සැරේ බොල් වැඩියි. මේකට හේතුව රසායනික පොහොර නැතිකම. මේ කන්නේ සමහර ගොවීන් කාබනික පොහොර වගේම රසායනික පොහොරත් යෙදුවා. එහෙම කළේ සමහර ගොවීන් ළඟ පසුගිය යල කන්නයේ වගාවට ගත්ත පොහොර ඉතිරිවෙලා තිබුණා. තවත් සමහර අය වැඩි මිලට පොහොර මිලදීගෙන වගාවට යෙදුවා. එහෙම කරලා තමයි මේ වතාවේ මේ විදියේ හරි අස්වැන්නක් වැඩි දෙනෙක් ගත්තේ. නමුත් ලබන කන්නේ එහෙම කරන්න වැඩි දෙනෙකුට පුළුවන්කමක් නෑ. තමන් ළඟ ඉතිරිකර ගත්ත පොහොරත් නෑ. වැඩි මිලට පොහොර ගන්න සල්ලිත් නෑ. ඒ නිසා ඉදිරි කන්නයේ වී වගාව කරනවාද නැද්ද යන දෙගිඩියාවකින් තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. ණය තුරුස් වෙලා ගොවිතැන් කරලා අන්තිමේ පාඩු විඳින්න කවුරුවත් කැමති වෙන්නේ නෑ. එහෙම පාඩු විඳිනවට වැඩිය හොඳයි කුඹුරු වගා නොකර පුරන්වෙන්න හරිනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා.’’

මහවැලි බී කලාපයට අයත් පැලෑටියාව මඟුල්දමන ප‍්‍රදේශයේදී අපට මුණගැසුණු ශාලිකා සඳමාලී මහත්මිය පැවැසුවේ මෙවර මාස් කන්නයේ අස්වැන්න වෙනදා මෙන්ම සරුවට ලැබී තිබෙන බවයි. එයට හේතුව තම වගාවට යෙදුවේ කාබනික පොහොර නොව රසායනික පොහොර පමණක් බව ඇය පැවැසුවාය. ඒ සඳහා වැඩිපුර මුදල් ගෙවා පොහොර මිලදී ගැනීමට සිදුවූ බවද කී ඇය ඉදිරි යල කන්නයේද කාබනික පොහොර යෙදීමට බලාපොරොත්තු නොවන බව කීවාය.

‘‘අපි ගොවිතැන් කරන්නේ අපේ දෙමව්පියන්ගෙන් ලැබුණු කුඹුරු ඉඩම්වල. අක්කර දෙකහමාරක් මේ වතාවේ වගාකළා. කීරි සම්බා වගා කළේ. කාබනික පොහොර නෙවෙයි රසායනික පොහොර විතරයි යෙදුවේ. කාබනික පොහොර ටිකක්වත් යෙදුවේ නෑ. රසායනික පොහොර ගත්තේ වැඩි මිලට. පොහොර මිටියක් රුපියල් 13,000 ගණනේ. අවස්ථා දෙකකදී පොහොර මිටි 06ක් ඒ කියන්නේ කිලෝ 300ක් කුඹුරට යෙදුවා. මඩ පොහොර ගහන්න බැරි වුණා. වෙනදා වගේම තමා අස්වැන්න අඩුවක් නෑ. ලබන කන්නයෙත් කොහොමහරි රසායනික පොහොර යොදල තමයි කුඹුර වගා කරන්න බලාපොරොත්තුව. එහෙම නැතුව වැඩි අස්වැන්නක් ගන්න බෑ. වියදම් කරලා ගොවිතැන් කරලා බලාපොරොත්තු අස්වැන්න නොලැබුණොත් පාඩුයි. එහෙම වුණොත් මේ ගොවිතැන කරගෙන යන්න බැරි වෙනවා. අපිට වෙනත් ආදායම් මාර්ග නෑ. මේ කුඹුරු ගොවිතැනින් ලැබෙන ආදායම විතරයි. අනෙක් කාරණය ණයවෙලා ගොවිතැන් කරන්නේ. හොඳ ආදායමක් ලැබුණොත් විතරයි ඒ ණය ගෙවා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසයි වැඩි මිලට අරගෙන හරි රසායනික පොහොරම යොදන්න තීරණය කළේ.’’

රටේ කොතැනකට ගියත් මේ දිනවල ඉන්ධන පිරවුම්හල් අසල දකින්නට ඇත්තේ දිගු පෝලිම්ය. මේ පෝලිම්වල සිටින පිරිස් අතරේ විවිධ ප‍්‍රමාණයේ බූලි හෝ වෙනත් භාජන තබාගෙන සිටින අයද නොඅඩුව දැකිය හැක. පැසුණු ගොයමේ අස්වැන්න නෙළාගන්නට ගොයම් නෙළන යන්ත‍්‍ර සඳහා ඞීසල් නොමැතිකම විශාල වශයෙන් බලපා තිබෙන බව එම පෝලිම්වල තෙරපෙන ජනයා කියා සිටියහ. ගොවීන් බොහෝ දෙනා අප සමඟ කියා සිටියේ මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතුවලට මෙම ඉන්ධන හිඟය විශාල වශයෙන් බලපා ඇති බවයි. එය මීට පෙර වෙනත් කන්නවලදී මුහුණ නොදුන් ප‍්‍රශ්නයක් බවද ඒ ගොවීහු කීහ. එමෙන්ම මෙවර පසුගිය කන්නයට වඩා අස්වැන්න නෙළන යන්ත‍්‍ර සඳහා අයකෙරෙන කුලියද වැඩිවී ඇති බව ඒ ගොවීන් පෙන්වාදුන් තවත් කරුණකි.

පොහොර නැතිවුණොත් යල කන්නයත් ඉවරයිද?

පසුගිය යල කන්නේ අක්කර දෙක හමාරක ගොයම් කපන්න අයකළේ රුපියල් 25,000යි. මේ කන්නයේ රුපියල් 30,000යි. මේ විදියට හැමදේම වැඩිවෙලා. නමුත් අස්වැන්න විතරක් අඩුවෙලා. එහෙම කුලිය වැඩිපුර දීලා හරි කලට වෙලාවට ගොයම් ටික කපාගන්න නෑ. ඞීසල් නැති නිසා. මේ හැම යායකම වගේ ගොයම් පැහිලා වැඩිවෙලා නාස්තිවෙන තත්ත්වයක් තියෙන්නේ. මහවැලි බී කලාපයේ මඟුල්පොකුණ, සිහපුර, පැලෑටියාව, දිඹුලාගල, මඟුල්දමන, ඇල්ලේවැව, මඟුල්දමන යායවල ගොවීහු බොහෝ දෙනකු අප සමඟ කියා සිටියහ.

මේ අතර මෙවර මාස් කන්නයේ ගොවීන්ගේ වී අස්වනු තරගකාරී පදනමකට මිලදී ගැනීමට පෞද්ගලික වෙළෙඳුන්ද පෙළඹී සිටින බව අපට දැනගන්නට ලැබිණි. රජය නියම කර ඇති සහතික මිලට වඩා පෞද්ගලික වෙළෙඳුන් වී මිලදී ගන්නා නිසා වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට වී රැගෙන ඒමේ අඩුවක් ඇතැයි වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප‍්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා ප‍්‍රකාශ කළේය. මේ අතර බොහෝ ගොවීන් තම වී අස්වනු අලෙවි නොකර වේලා ගබඩා කර තබාගැනීමට උනන්දුවක් දැක්වීම මෙවර විශේෂයෙන් දකින්නට තිබෙන බවද ඒ මහතා කීය. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 22ක් මේවනවිට ආරම්භ කර ඇති බව ඒකනායක මහතා කීවේය. මේ වනවිට වී මෙටි‍්‍රක් ටොන් 4550ක් මිලට ගෙන තිබෙන බව කී ඒ මහතා මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ
ගොවීන්ගෙන් වී මෙටි‍්‍රක් ටොන් 50,000ක් මිලදී ගැනීමේ රජයේ ඉලක්කයක් පවතින බවද ප‍්‍රකාශ කළේය. නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 90ක් සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 92ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 95ක් වශයෙන් රජයේ සහතික මිලක් ලබා දෙන බවද ඒ මහතා කීවේය. එමෙන්ම ඊට අමතරව වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එන සෑම වී කිලෝවක් සඳහාම රුපියල් දෙක බැගින් ප‍්‍රවාහන ගාස්තුවක්ද ගෙවීමට කටයුතු යොදා ඇති බවද හෙතෙම කීය.

මේ අන්දමට ගොවීන්ගේ වී තොග ලහිලහියේ එක්රැස් කිරීමට ප‍්‍රධාන හේතුව මෙවර ලැබී ඇත්තේ අඩු අස්වැන්නක් වීම බව ගොවි ජනතාව කියා සිටිති. එමෙන්ම ඉදිරි කන්නයේ මේ තරමින්වත් අස්වැන්නක් නොලැබෙන බව මෝල් හිමියන් හො\කාරවම දන්නා නිසා වෙනදාට වඩා ගොවීන්ගේ වී මිලයට ගැනීමට මෝල් හිමියන් උනන්දුවක් දක්වන බව ඔවුහු කීහ.

මාස් කන්නයේ වී තොග වෙළෙඳපොළට ලැබෙමින් පැවැතියද සහල් මිල තවමත් ඉහළ මට්ටමක පවතින බවයි පාරිභෝගික ජනතාව කියා සිටිනුයේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් මහතා පැවැසුවේ සහල් නිෂ්පාදනය පෙර පැවැති තත්ත්වයට තවමත් සක‍්‍රීය නොවීම නිසා සහල් නිෂ්පාදනයේ අඩුවක් පවතින බවයි. රජයේ පාලන මිල ඉවත් කිරීමත් සමඟ ඇතිවූ වී සහ සහල් අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේ වසා දැමුණු සහල් මෝල් වැඩි ප‍්‍රමාණයක් තවමත් පවතිනුයේ එලෙසම බව ඒ මහතා කීය. තවත් සමහර සහල් මෝල් බැංකුවලින් ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිවීම නිසා එම දේපළ වෙන්දේසි කිරීමට ණය ලබාදුන් එම මූල්‍ය ආයතන කටයුතු කරමින් සිටින බවද කීය. එම නිසා එම සහල් මෝල් වෙන්දේසි නොකර ණය පියවීමට යම්කිසි සහන කාලයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තම සංගමය ඉදිරියේදී බලාපොරොත්තු වන බවද කීය.

දේශීය සහල් අවශ්‍යතාවයෙන් සියයට පනහකට වැඩි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන ලද්දේ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් නිසා ඔවුන් යළි නගා සිටුවීමට රජයේ සහාය අවශ්‍ය බවද කීය. ආනයනික සහල් වර්ග කොතෙකුත් වෙළෙඳපොළේ පැවැතියද දේශීය සහල් පරිභෝජනයට මහජනයා තුළ පවතින ඉල්ලූම ඉතා ඉහළ බව පැවැසූ රංජිත් මහතා එම අවශ්‍යතාව සපුරාලීම කළහැක්කේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් ශක්තිමත් කිරීම තුළින් පමණක් බවද පෙන්වා දෙයි.

ආනයනික සහල් හෙවත් රට සහල් කොතෙකුත් වෙළඳපොළේ පැවැතියද දේශීය සහල් සඳහා පවතින ඉල්ලූම ඉතා ඉහළ බැව් අපි දනිමු. එය දඩමීමා කරගනිමින් මඩිය තරකර ගන්නට උත්සාහ දරන කූට ජාවාරමුන්ද ඒ අතර සිටින බව ප‍්‍රකට කාණයෙකි. ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පිහිටි සහල් මෝල් දෙකක සිදුකළ බව කියන ආනයනික සහල් සහ දේශීය සහල් කලවම්කර දේශීය සහල් ලෙස වෙළෙඳපොළට යැවීමේ ජාවාරමක් පසුගිය දිනෙක පාරිභෝගික අධිකාරිය මගින් වටලා එම සහල් තොගද අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකින් ඒ බව සනාථ වෙයි. එවැනි ජාවාරම් පිළිබඳව අසන්නට ලැබෙන පුවත් එතරම් අරුමැසි නොවන අතර මීට පෙරද මහා පරිමාණ සහල් මෝල්ලූන් විසින් සිදුකළ එවැනි අවර ගණයේ ක‍්‍රියා කොතෙකුත් අපට අසන්නට ලැබී තිබේ. රට සහල් සහ දේශීය සහල් කලවම්කර දේශීය සහල් ඇසුරුම්වල බහා දේශීය සහල් ලෙස වැඩි මිලට විකිණීමේ ජාවාරම මැඬලීමට හෝ ඊට සම්බන්ධ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදීමට අදාළ වගකිවයුත්තන් අපොහොසත්වීම නිසා ඒවා වඩ වඩාත් සරුවට කෙරෙන බව පෙනී යයි. මෙරට වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සහ මහජනතාවට හිඟයකින් තොරව සාධාරණ මිලකට සහල් මිලදී ගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් රජය පිටරටින් සහල් ගෙන්වීමේ ක‍්‍රියාමාර්ගයට යොමුවූ බව අපි දනිමු. එසේ වුවද බඩවඩා ගන්නා විවිධ පිරිස් එතුළින් සිය අරමුණු ඉටුකරගෙන ඇත්තේ අහිංසක ජනතාවගේ බත්පතට වැලි දමමින් බව කිව යුතුය. එමෙන්ම සහල් ගෙන්වීමේදී සීමාවකින් තොරව ඕනෑම අයෙකුට සහල් ගෙන්වීමට පසුගිය කාලයේ අවස්ථාව ලබාදීම තුළ දේශීය සහල් නිෂ්පාදනයටද නොයෙකුත් බලපෑම් එල්ල වූ බව නොරහසකි. එය කුඩා මෝල් හිමියාගේ සිට මහා පරිමාණ සහල් මෝල් හිමියා දක්වා අඩු වැඩි වශයෙන් දැනී තිබේ. පසුගිය කාලයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට විශාල වශයෙන් තම සහල් නිෂ්පාදනය පහළ දැමීමට සිදුවූයේ පිටරට සහල් වෙළඳපොලේ සුලබ කරවීමේ කාරණය හේතුවෙන් බව ප‍්‍රකටය. මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් තුළ පවතින ඒකාධිකාරිය හෝ ඔවුන් විසින් ක‍්‍රියාත්මක කරනු ලැබ ඇතැයි කියන සහල් මාෆියාව මට්ටුකිරීම සඳහා සහල් පිටරටින් ගෙන්වීමට තීරණය කළ බව වෙළෙඳ ඇමැතිවරයා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශකර තිබුණි. ඒ සහල් මාෆියාවට එකම පිළියම එයම ලෙස රජය කල්පනා කළේනම් එය ඉතාම අනුවන ක‍්‍රියාවක් බව පෙන්වාදිය යුතුය. මක්නිසාද දේශීය නිෂ්පාදකයා, කර්මාන්තකරුවා තලා පෙලා දමමින් රටක සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකළ නොහැකි නිසාවෙනි.

මේ රටේ රාජ්‍ය අංශය සතු සහල් නිෂ්පාදන වැඩපිළිවෙළක් කලකට පෙර තිබූ බව මෑත ඉතිහාසය පිළිබඳව පවා දන්නෝ දනිති. මහියංගණය, හසලක, මිනිපේ, පොලොන්නරුව වැනි ප‍්‍රදේශවල පිහිටි දැවැන්ත සහල් මෝල සංකීර්ණ එදා අප රටට ලැබුණේ විදේශ රටක පරිත්‍යාගයක් ලෙසිනි ආසියාවේ විශාලතම සහල් මෝල ලෙසින් හැඳින්වූ ‘එවැනිම විශාල සහල් මෝලක් පොලොන්නරුවටද ලැබුණු අතර මෙවැනි සහල් නිෂ්පාදන කර්මාන්ත රටේ තවත් ප‍්‍රදේශවලද ක‍්‍රියාත්මක වූ බව අපි දනිමු. ආරම්භක අවදියේ ඉතාමත් සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වූ මෙම දැවැන්ත සහල් මෝල් කාලයාගේ ඇවෑමෙන් විනාශමුඛය කරා ඇදීගොස් දැන් ඇත්තේ ඒවායේ නෂ්ඨාවශේෂ පමණි. ඒ සහල් මෝල් පිහිටි විශාල භූමිය පවා දැන් පෞද්ගලික අංශයේ බූදල් ලෙස පරිහරණය කරනුයේ පසුකාලයේ වරින්වර බලයට පත්වූ ආණ්ඩුවලද අනුහසින් හා සහයෝගයෙනි. එසේ නොවන්නට මහා පරිමාණ සහල් මෝල් පෞද්ගලික අංශයට පමණක් නොව රාජ්‍ය අංශයටද තිබෙන ප‍්‍රධාන පෙළේ රටක් ලෙස අපේ රටද හැඳින්වීමට හැකියාව තිබිණි. වර්තමානයේ මේ රටේ සිටින මහා පරිමාණ සහල් මෝල් හිමියන් එම ප‍්‍රමාණයේ තබා ප‍්‍රාථමික මට්ටමේ සහල් මෝලක්වත් ආරම්භ කරන්නට තබා ඒ ගැන සිතන්නටත් පෙර අප රටේ රාජ්‍ය අංශය සතු මහා පරිමාණ සහල් මෝල් පැවැති බව මතු පරපුරේ දැනගැනීම සඳහා ලියා තැබිය යුතුය.

කෙසේ නමුත් මේ වනවිට රටේ ඇතිවී තිබෙන පෞද්ගලික සහල් මෝල් ඒකාධිකාරිය හෝ එතුළින් පැනනැඟී ක‍්‍රියාත්මක වන වී, සහල් මාෆියාව මේ රටේ වරින්වර බලයට පත්වූ රජයන් විසින් හදා වඩාගත් දරුවන් ලෙස හැඳින්වීම නිවැරදිය. වත්මන් ආණ්ඩුව යටතේද සහල් සඳහා පැවැති පාලන මිල ඉවත්කර සහල් මිල තීන්දු කිරීමේ පරම අයිතිය මෝල් හිමියා වෙත පැවැරීම එම දරුපෙම හා බැඳුණු සිද්ධිදාමයේ එක් අවස්ථාවකි. රටින් සහල් ගෙන්වීමේ බොහෝ වාසිද මේ වනවිට ලබන්නේ මේ රටේ බත්කන ජනයාට වඩා වංශවත් මෝල්කාර පැළැන්තියේ ජාවාරමුන් බව රට සහල් සහ දේශීය සහල් එකට කලවම් කර සිදුකරන හොර මගඩියෙන්ද මනාව පැහැදිලි වෙයි.

පොහොර නැතිවුණොත් යල කන්නයත් ඉවරයිද?

මේ සියලූ කරුණු කාරණාවල අවසන් ප‍්‍රතිඵලයක් ලෙස ගොවීන්ට තම එකම ජීවනෝපාය වන වී ගොවිතැන මෙසේ එපා කරවන නැතහොත් අත්හැර දමන්නට තීන්දු කරන තැනට කටයුතු සැලසී ඇත්තේ ඉබේට නොවන බව සැවොම දන්නා කරුණෙකි. කිසිවෙකුටත් අත නොපා නිදහස් දිවිපෙවෙතක් ගතකළ මේ ගොවි ජනතාව රටට බත සපයන නිහඬ මෙහෙවරක නිරතව සිටියේ දිගු කලක පටන්ය. එමෙන්ම එය නිවහල් රැකියාවක් ලෙස තෝරාගෙන මහත් අභිමානයෙකින් යුතුව එහි නිරතව සිටි ගොවියාට සිය ජීවන වෘත්තියේ පැවැත්ම වෙනුවෙන් මෙතෙක් නොකළ යාදිනි කරන්නට සිදුව ඇත්තේ දෛවයේ එක්තරා සරදමක් ලෙසිනි. මහජනතාවගේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය අල, ලූනු පරිප්පු ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වුවද මෑතක් වනතුරුම රටට අවශ්‍ය සහල් වුවමනා තරම් අපි නිපදවාගත් බව නොරහසකි. ගොවි ජනතාව මත බලහත්කාරයෙන් පටවන ලද ඊනියා කාබනික ගොවිතැනක් හේතුවෙන් මෙවර මාස් කන්නයේ මේ රටේ වී ගොවිතැන අවුලෙන් අවුලට පත්වී එහි ප‍්‍රතිඵලය ලෙස අස්වනු ලැබීම පහළට වැටී ඇති අන්දම මනාව පෙනෙන්නට තිබේ. කොටින්ම කිවහොත් මේ ආණ්ඩුවේ අදූරදර්ශී කි‍්‍රයා පිළිවෙත් සහ තීරණ තීන්දු මේ රටේ ගොවියාත් ගොවිතැනත් අඳුරු අගාධයකට ඇදදමා තිබෙන බව පෙන්වා දෙන්නේ මේ පීඩිත ගොවි ජනතාවමය. එයින් තමන්ට පමණක් නොව ගොවිතැන හා බැඳුණු මහා විසල් සංස්කෘතික වටපිටාවකටද පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුකර ඇතැයි ඔවුහු පෙන්වාදෙති. කෙත, කමත අමතක කර දමා ගොඩනැෙඟන ජීවිතයක් ගැන අපට සිතන්නටවත් හැකියාවක් නැතැයි මේ ගොවිජනතාව පෙන්වා දෙන්නේ හැඬූ කඳුළින් යුතුවය. පොහොර ප‍්‍රශ්නය මුල් කරගෙන එලැඹෙන යල කන්නයේ වී ගොවිතැනින් ඉවත්වන්නට රටට බත සපයන ගොවි ජනතාව තීන්දුවකට එළැඹීම යනු කිසිසේත්ම ලඝුකොට තැකිය හැකි කාරණයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙයින් මේ බරපතළ කාරණය වෙනුවෙන් වගකිවයුත්තන්ගේ නිසි අවධානය යොමුවීම තවදුරටත් පමාවීම යනු එතරම් යහපත් නොවනු ඇතිය යන්න අපගේද අදහසයි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment