එඩ්මන්ඩ් භූමිකාව දිවයින සහ මම

125

එඩ්මන්ඩ් රණසිංහ යනු මෙරට මුද්‍රිත මාධ්‍යයේ මතු නොව සමස්ත ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේම පරිණතම විදග්ධම චරිතය ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. පසුගියදා එඩ්මන්ඩ් රණසිංහයන් ඇගැයීමට ලක් කරනු ලැබුයේ ඊට උපහාර පිදුමක් ලෙසය. හෙතෙම දිවයින පුවත්පතේ සමාරම්භක කතුවරයාය. දිවයින 42 වැනි සංවත්සරය සමරන මොහොතේ මේ පළවන්නේ එඩ්මන්ඩ් රණසිංහයන්ගේ මාධ්‍ය භූමිකාව පිළිබඳ සහ “දිවයින” පිළිබඳ ලියැවුණු මතකයන් බිඳකි.

එඩ්මන්ඩ් රණසිංහ භූමිකාව ගැන මගේ කියවීම ‘පත්තර හා දේශපාලන උණ’ මට දැනෙමින් තිබුණේ හැටේ දශකය අග හා 70 දශකය මුලදී මගේ පාසල් වියේදීම යැයි මට සිතේ. අතින් ලියූ මවිසින්ම ලියා සංස්කරණය කළ පුවත්පත් හොරෙන් හොරෙන් ලියා පලකිරීම මට තිබුණු එක් පුරුද්දකි. එම පුරුද්ද සමකාලීන පත්තරවලට ලිපි ලිවීම දක්වා වර්ධනය විය. යන්තම් සාමාන්‍ය පෙළින් උසස් පෙළ විභාගය ලියූ මම ‘පත්තර රස්සාවක්’ ජීවනෝපාය කරගනිමියි සිතා ඒ වනවිට කොළඹ තිබුණු පත්තර කන්තෝරුවලට ගියේ විවිධ ලිපි විශේෂාංග ද රැගෙනය.

එඩ්මන්ඩ් භූමිකාව දිවයින සහ මම

“අලුතින් ආයෙත් ‘සිංහල බෞද්ධයා’ අනගාරික ධර්මපාලතුමාගේ පත්තරය පටන් ගන්න යනවා. ඒකෙ කර්තෘ වෙන්නෙ ලේක්හවුස් ආයතනය රජයට ගැනීමට එරෙහිව අයින් වෙන එඩ්මන්ඩ් රණසිංහ මහත්තයා”

පත්තර රස්සාවක් හොයාගෙන කොළඹ ඉඳහිට පත්තරවලට ලිපි, විශේෂාංග කීපයක් ද රැගෙන පැමිණි මට කවුදෝ කීව්වේය. මම එදවස දවස පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ එච්. ඩබ්ලිව්. අබේපාල මහතා ලවා ‘මහා බෝධි සමාගමේ එදවස නායකත්වය දැරු හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමියන් ඇමතූ ලිපියක් රැගෙන සාත්ත බස්තියමේ සිට මරදාන මාලිගාකන්ද මහා බෝධියට පයින්ම ආවේය.

හරියට එදා එඩ්මන්ඩ් රණසිංහ මහතා මහා බෝධියේ ‘සිංහල බෞද්ධයා’ යළි ඇරඹීම යොදාගත් දිනයම විය. හැඩිගල්ලේ හාමුදුරුවෝ අබේපාල මහතාගේ ලිපිය බලා ප්‍රශ්න කීපයක් අසා එඩ්මන්ඩ් රණසිංහයන්ට මාව හඳුන්වා දුන්නේය.

එඩ්මන්ඩ් භූමිකාව දිවයින සහ මම

‘සිංහල බෞද්ධයා’ පත්තරේ අඛණ්ඩව සතිපතා පළවූ ජනප්‍රිය ඉතිහාසය මේ වනවිට මැකි ගොස් යළි මුල සිටම ඇරඹීමේ අවශ්‍යතාවක පැවතුනි.

වර්තමාන මහා බෝධි ශාලාවට වම්පසින් පිහිටි ආනන්ද බාලිකා විද්‍යාලයට මායිම්ව පිහිටි ශාලාව ‘සිංහල බෞද්ධයා’ පත්තර කන්තෝරුව විය. මේස දෙක තුනක්, පුටු කීපයක්, අල්මාරියක් හැරුණු විට වෙනත් උපකරණ එහි නොවීය. එඩ්මන්ඩ් රණසිංහ මහතාට අමතරව කර්තෘ මණ්ඩලයේ සිටියේ. පසුව අභාවප්‍රාප්ත වූ සාලමුල්ලේ ධර්මරත්න මාධ්‍යවේදියා පමණි.

පත්තර ගැන රණසිංහ මහතා සමග පාසල් ශිෂ්‍යයකු ලෙස කතා කළ කී දෑ මට මතක් වෙයි. “ අපි අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේරා ගැනීමේදී ඉදිරිපත් කළ සටන් පාඨය පත්තරේ හෙඩිම ලෙස. දාමුද? මම ඇසුවෙමි. ඒ කියන්නේ! “සිංහලයිනි අවදි වෙයව්” කියන එක. රණසිංහ මහතා සිනාසෙමින් කිසිවක් නොකී සිටි අයුරු මට මතක් වෙයි.

පාසල් වියේදී ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ ඩේවිඩ් කරුණාරත්න ලියූ අනගාරික ධර්මපාල චරිතය කියවා උද්දාමයෙන් යුතු මනසින් මා යෝජනා කළ අදහස අත්දැකීම් බහුල ඒ වනවිට ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ එඩ්මන්ඩ් රණසිංහ ප්‍රතිචාර දැක්වූ අයුරු මට දැන් දැනෙන්නේ වගකීම් සහිත මාධ්‍යකරුවකුගේ අත්දැකීමක් ලෙසය.

මට ‘සිංහල බෞද්ධයා’ පුවත්පතේ ළමා පිටුව සකස් කිරීම භාර විය. මා බලාපොරොත්තු වූ පත්තර රස්සාව කෙසේ වෙතත් මාසයට එකක් ලෙස යළි අරඹන සිංහල බෞද්ධයා පත්තරේ නුවර සිට ඉඳහිට පැමිණ ලිපි භාරදී කාර්යාලයේ තිබුණු මේසයකට බර වී පුටුවක හිඳ තවත් මොනවා හෝ ලිපි, ප්‍රවෘත්තියක් ලියා කතාබහ කොට යාම මගේ ‘පත්තර සිහිනයේ’ අපූරු මතකාවර්ජනයකි. එඩ්මන් රණසිංහ කර්තෘවරයා සමග කතාබහ කරන අතරතුර රට තොට, මාධ්‍ය ව්‍යාපාර, පත්තර ගැන මෙන්ම ධර්මපාලතුමාගේ සේවය අද ලාංකික සමාජයේ විවිධ දේ ගැන අපි කතා කළෙමු.

එඩ්මන්ඩ් භූමිකාව දිවයින සහ මම

පත්තර සිහිනයේ වාග්වාදය විඳින මේ අතරතුර මගේ පාසල් විය හමාරකරමින් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට (වත්මන් කැලණි විශ්වවිද්‍යාලයට) ඇතුල්වීම සමග මම නිතර මහා බෝධියට සිංහල බෞද්ධයා කාර්යාලයට ආගිය දවස් මට මතකය. මහා බෝධි ගොඩනැඟිල්ල පසෙක දිරා පත්වෙමින් තිබුණු වාහනයක චැසිය දුටු මම ඒ ගැන සොයා බැලුවෙමි. ඒ දිරාපත් වෙමින් පවතින්නේ
අනගාරික ධර්මපාලතුමා රට පුරා ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදුනු අපූරු ‘සෝබන මාලිගාව’ ලෙසින් එදවස ප්‍රචලිත වාහනයේ චැසිය බව මම සොයා ගතිමි. ඊළඟ දවසක මම මහා බෝධියට යනවිට එම චැසිය තිබුණේ නැත. ඒ පරණ යකඩ බඩු විකුණන නාඩාර්වරයකුට විකුණා ඇතැයි මම දැන ගතිමි.

මේ වන 70 ආණ්ඩුව යටතේ ‘දවස’ පුවත්පත සීල් කොට නවතා තිබුණු යුගයයි. දවස නිවසේ ජනප්‍රිය ඉරිදා පුවත්පත රිවිරැස පත්‍රයේ කර්තෘ ගුණදාස ලියනගේ මේ වනවිට ‘සිංහ කොඩිය’ පුවත්පත අරඹා තිබුණි. ‘මම මේ පුවත ලිපියක් ලෙස’ සිංහ කොඩියට ලිව්වෙමි. එය පිටුවක් පුරා පසු පිටුවේ ප්‍රධාන පුවත ලෙස පළ වුණේ. ‘ධර්මපාල රථය නාඩාර්ට විකුණලා’ යන ශිර්ෂයෙනි. මම ‘සිංහල බෞද්ධයා’ කාර්යාලයට යෑම සීමා විය. සිංහල බෞද්ධයා පළ වීම ද ඇන හිටියේය.

1977 ආණ්ඩු පෙරලිය සමග එඩ්මන්ඩ් රණසිංහ මහතා යළි ලේක්හවුසියේදී මට හමුවන්නේ ‘දිනමිණ’ ප්‍රධාන කර්තෘවරයා ලෙසය. සාලමුල්ලේ ධර්මරත්න ද දිනමිණේ කර්තෘ මණ්ඩලයට එකතු වී තිබිණි. අපි තිදෙනා ප්‍රධාන කර්තෘ භූමියට වී මෑත මතක අතීතයේ දේවල් කතා කළ අතර ‘දිනමිණට’ ලිපි විශේෂාංග ලියන ලෙස ඉල්ලුවේය. ටවර් රඟහල යළි පැරණි නාට්‍ය නිපදවීම ගැන මා ලියූ විශේෂාංගය මුල් පිටුවේම පළවී තිබුණි.

එඩ්මන්ඩ් භූමිකාව දිවයින සහ මම

එඩ්මන්ඩ් රණසිංහගේ දෙවන දිනමිණ යුගය අතරමැදි ‘සංක්‍රාන්තිමය’ සමයක් වී යැයි මට සිතේ. ජේ. ආර්. ජයවර්ධන පාලනය සමග රටේ ඇති වන විවිධ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ජාතික ස්වාධීනත්වය පිළිබඳ ගැටලුව නිරන්තරයෙන් ඔහුගේ තර්කනයට හසු වූවා යැයි මට සිතේ. දිනෙන් දින බිඳ වැටෙන දේශීය ව්‍යාපාරය හා ව්‍යාපාරිකයා, වර්ධනය වන ජනවර්ග ගැටුම්වල කූටප්‍රාප්තිය ලෙස උපාලි විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන දිවයින පුවත්පත ලෙස මම දකිමි. ‘දිවයින’ විකල්ප සමාජ දැක්මේ සැලසුම්කරුවා වූයේ එඩ්මන්ඩ් රණසිංහයන්ය. බ්ලුමැන්ඩල් පාරේ දිවයින ඉරිදා සංග්‍රහයෙන් ඇරඹෙන යුගයේ මම විශ්වවිද්‍යාලයේ ආධුනික සහකාර කථිකාචාර්යවරයකු ලෙස එහි නිතර යමින් එමින් කතාබහ කළ අයුරු මතකය.

අලුත් පත්තරේට අලුත් සහාය කර්තෘවරුන් බඳවා ගැනීම ගැන අලුත් පත්තරේ අන්තර්ගතය ගැන එඩ්මන්ඩ් රණසිංහ දිවංගත මාධ්‍යවේදී දයාසේන ගුණසිංහ සමග අපි කතාබහ කළ අයුරු මතක් වෙයි.

මේ වනවිට මුළුමනින්ම එජාප ජයවර්ධන පාලනය යටතේ විකල්ප සමාජ දේශපාලන ව්‍යාපාරවලට මුළුමනින්ම වැට බැදී තිබිණි. සියලු ජන මාධ්‍ය ආණ්ඩුවේ ප්‍රකාශන බවට පත්වී හමාරය. රටේ පාලන බලයේ සිටි නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක මැතිනියට හෝ ශ්‍රීලනිපයට කිසිදු ජනමාධ්‍යයක ඉඩක් හිමි වී තිබුණේ නැත. අලුත් පත්තරයක්! ‘දිවයින ඉරිදා සංග්‍රහය’ 1981 ඔක්. 04 දා එළි දුටුවේය. අලුත් පත්තරේ මගේ ලිපි, නිර්මාණ දෙකක්ම පළවී තිබිණි.

එඩ්මන්ඩ් භූමිකාව දිවයින සහ මම

බණ්ඩාරනායක මැතිනියගේ ඡායාරූපයක් සහිතව ලියැවී තිබුණු ප්‍රධාන ශිර්ෂය දිවයින සමකාලීන විකල්ප මතවාදයේ මාධ්‍යය බවට පත් කිරීමට සමත් විය. අලුත් ලේඛක නිර්මාණ පරපුරක් සමඟ වැඩුනු දිවයින සමකාලීන සමාජ විඥනය ඇමතීමට සමත් විය. කරුණාදාස සූරිආරච්චි, ජයන්ත චන්ද්‍රසිරි, චන්ද්‍රසිරි දොඩංගොඩ, දෙනගම සිරිවර්ධන,ජයනාත් ගුණවර්ධන, විනී හෙට්ටිගොඩ ඇතුළු විවිධ කුසලතා සහිත නව පරපුරක් සමග දිවයින, විදුසර, නවලිය, චිත්‍ර මිත්‍ර සිංහල පුවත්පත් සමුහයට ඔයැ ෂික්බා පුවත්පත එස් පතිරවිතාන, අජිත් සමරනායක, නිහාල් රත්නායක, ගාමිණී වීරකෝන් ප්‍රධාන ලේඛක සමුහයකිනි.

‘දිවයින’ මුහුණ දුන් තීරණාත්මක යුගය, දවස් වන්නේ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව රටේ මතු වෙමින් තිබුණු ජනමතය සමග දිවයින සමපාත වීම සමග යැයි මට සිතේ. දිවයින ආණ්ඩුවට ගන්න යනවා, දිවයන තහනම් කරන්න යනවා, රට පුරා මතුවෙමින් පැවති ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි ව්‍යාපාරයට වේදිකාවක් සපයා දුන් දිවයින ඉරණම පිළිබඳ විවාදාත්මක මොහොතේදී නිසි බුද්ධිමය හා භාවිතමය යෙදවුම් ලබාදීමට එඩ්මන්ඩ් රණසිංහයන් නායකත්වය දුන් අයුරු අද සිට බලන විට ඔහුගේ සුවිශේෂී දක්ෂතාවක් ලෙස මම දකිමි.

‘ඉන්දු ලංකා ගිවිසුම හා දිවයින මාධ්‍ය භාවිතය’ පිළිබඳ මවිසින් කළ අධ්‍යයනයකදී පුවත්පත, පාඨකයා මෙන්ම සමාජ වගකීම යන අංශ ත්‍රිත්වයම කළමනාකරණය කිරීමට ඔහු සමත් වීම කැපී පෙනුනි.

ලංකා ඉතිහාසයේ ‘ප්‍රථම මාධ්‍ය දඩයම’ ලෙස සඳහන් වන්නේ දිවයින පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු වූ විමල් සුරේන්ද්‍ර අභිරහස් ලෙස අනතුරකට ලක් කොට ඝාතනයට ලක් කිරීමයි. මේ යුගයේ කිසිදු ආණ්ඩු විරෝධී මතයක් සඳහා වේදිකාවක් නොතිබුණු ‘ජයවර්ධන – ප්‍රේමදාස’ පාලනය ත්‍රස්ත කළ මාධ්‍යවේදීන් දඩයම ලංකා ඉතිහාසයේ ඇරඹුනේ මෙම සිද්ධිය සමඟය.

එඩ්මන්ඩ් භූමිකාව දිවයින සහ මම

අද මෙන් මාධ්‍යවේදීන්ට පහරදීම, මරා දැමීම එදවස ඒ මුල්ම සිද්ධිය ආන්දෝලනාත්මක වූයේ නැත. ඒ ගැන ප්‍රශ්න කළේ විපක්ෂ පුවත්පත් පමණි. විමල් සුරේන්ද්‍රගේ අවසන් කටයුතු පැවති මහනුවර මහයියාව සුසාන භූමියේ සීමිත පිරිස් සමග පැවැති දින එඩ්මන්ඩ් රණසිංහ ඇතුළු කර්තෘ මාණ්ඩලිකයින් නිහඬ දැඩි ශෝකයෙන් ඊට සහභාගි වූ අයුරු මට තවමත් මතකයේ රැඳී තිබේ. ඒ අතර අයිලන්ඩ් කර්තෘ මණ්ඩලයේ අජිත් සමරනායක ද මට මතකය.

මාධ්‍ය නිදහස, නිර්මාණකරුවාගේ අයිතිය, පාලනාධිකාරියේ බලපෑම, රාජ්‍ය මර්දනය සියල්ල තුලනය කරමින් එඩ්මන්ඩ් රණසිංහයන් ලාංකික භාවිත පුවත්පත් කලාවට බොහෝ අලුත් දේ අත්දැකීම් එකතු කර ඇතැයි මට සිතේ.

දිවයිනෙන් විශ්‍රාම ගෙන සිය ලේඛන විචාර කටයුතුවල යෙදෙන අතරතුර ඔහු හමුවන්නේ අනගාරික ධර්මපාලතුමාගේ 150 ජන්ම සංවත්සරය වෙනුවෙන් කටයුතු සංවිධානය වෙද්දිය. අප විසින් කතිකා කරගත් ව්‍යාපෘතිය ‘ධර්මපාල භාරය’ සමග සම්බන්ධීකරණය කිරීමට නොමසුරු සිතින් එඩ්මන්ඩ් රණසිංහයන් කැමති විය. වර්තමාන Sunday Times කර්තෘ සිංහ රත්නතුංග (අනගාරික ධර්මපාලතුමාගේ මුණුපුරෙක්) සමග අපි ඒ ගැන සාකච්ඡා කළෙමු. ධර්මපාලතුමා පිළිබඳ ත්‍රෛභාෂික භාවනාමය වැඩසටහනක්, වවන්න ඡායාරූපමය ග්‍රන්ථයක් (copy tabel book) හා ශාස්ත්‍රිය සංවාදයක් වෙනුවෙන් වූ ව්‍යාපෘතිය ගොඩනැගීමේලා එඩ්මන්ඩ් රණසිංහ සම්බන්ධ වූවා පමණක් නොව ධර්මපාලතුමාගේ දර්ශනය පිළිබඳ ද්විභාෂික ග්‍රන්ථයක් රණසිංහ මහතා අතින් ලියැවුණේ ඒ සමගය.

ඉන්පසු මට එඩ්මන්ඩ් රණසිංහ මහතා හමුවූයේ සිය ‘දිවයින’ ජීවිතයේදී අතිශය නිර්මාණශීලී වෑයමට දායක කරගත් ලේඛකයින් තිදෙනකු වූ කරුණාදාස සූරියආරච්චි, තිස්ස වීරසේකර හා එක්ව මගදිඟ සංචාරක සටහන් ලිපි පෙළෙන් ග්‍රන්ථයක් නිර්මාණය කළ දා මුලසුන දරා සිටියදීය.

දශක නවයකට අධික සිය දිවිසැරියේ දශක පහකට අධික පත්තර කලා දිගු ගමනක පෙරළිකාරයකු, මත මෙහෙයවන්නෙකු, අර්බුද කළමනාකරන්නකු ලෙසත් වරෙක අපුරු රසිකයෙකු හාස්‍ය පිරි සොඳුරු මිනිසකු ලෙසත් විවිධ භූමිකා, සන්දර්භයන් හමුවේ නොසැලී සිටින්නෙකුට වඩා උපේක්ෂා දරාගත්තෙකු ලෙස යැයි මම රණසිංහ මහතා දකිමි.

චිරංජයතු!
එඩ්මන්ඩ් රණසිංහ
ප්‍රවීණ මාධ්‍යවේදියාණනි, මෙහෙයුම් කරුවාණනි!

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

advertistmentadvertistment
advertistmentadvertistment