ශ්‍රී ලංකා පුරවැසි බව සනාථ කිරීමට අසමත් වෙයි – ඩයනා මන්ත්‍රීකමෙන් දොට්ට

307

නඩු ගාස්තු ගෙවන්නත් වෙයි
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ක්වෝ වොරෙන්ටෝ රීට් ආඥාවක්

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය තවදුරටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇගේ මන්ත්‍රී ධුරය වහාම අවලංගු කරමින් ක්වෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් ඊයේ (08දා) නිකුත් කළේය.

රාජ්‍ය ඇමැතිනියගේ බි්‍රතාන්‍ය පුරවැසිභාවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 31 වැනිදා අභියාචනාධිකරණය ලබාදුන් තුනෙන් දෙකක බහුතර තීන්දුව නීතියට අනුකූල තීන්දුවක් නොවන බවට නිගමනය කළ ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ හා ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව අභියාචනාධිකරණයේ එකී තීන්දුව බලරහිත කරමින් එම නියෝගය නිකුත් කළේය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා විසින් අභියාචනාධිකරණය රාජ්‍ය ඇමැතිනියට පක්‍ෂව ලබාදී තිබූ තීන්දුව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට එම අභියාචනාව ගොනු කර තිබිණි.

ඊට අදාළ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ඊයේ (08දා) විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශයට පත් කරන ලදී. බි්‍රතාන්‍ය පුරවැසියකු වන ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ලෙස ඉල්ලා ඕෂල හේරත් මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී විභාගයට ගැනිණි. එකී විභාගයෙන් අනතුරුව පසුගිය ඔක්තෝබර් 31 වැනිදා තීන්දුව නිකුත් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරු දෙපළ ඩයනා ගමගේ මහත්මියට තවදුරටත් මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමේ නීතිමය බාධාවක් නොමැති බවට නිගමනය කොට තීන්දුවක් ලබාදී තිබිණි. කෙසේ වෙතත් වෙන්ව තීන්දුවක් නිකුත් කළ එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජික විනිසුරුවරයා ලෙස කටයුතු කළ එම්. ඒ. ආර්. මරික්කාර් මහතා ඩයනා ගමගේ මහත්මිය තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට නිගමනය කර පෙත්සම්කරුගේ ඉල්ලීමට ඉඩ දෙමින් ඇගේ මන්ත්‍රී ධුරය බලරහිත කරමින් නියෝගයක් නිකුත් කර තිබිණි.

ආගමන විගමන පාලකවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන වාර්තා හා සෙසු ලේඛන අනුව වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසිභාවය මේ දක්වා නීත්‍යනුකූලව ඉවත් කර ගත් බවට හා ඇය ශ්‍රී ලාංකික පුරවැසියකු බවට සනාථ කිරීමට අසමත් වී ඇතැයි ද සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා පෙත්සම්කාර ඕෂල හේරත් මහතාට අභියාචනාධිකරණය හමුවේ හා තම අධිකරණය හමුවේ පැවරූ නඩු දෙක සඳහා වැය වූ නඩු ගාස්තු ඩයනා ගමගේ මහත්මිය ගෙවිය යුතු බවට ද තීන්දු කළේය.

වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසිභාවය මේ දක්වා නීිත්‍යනුකූලව ඉවත් කර නොගත් බවට තම අධිකරණයට පැහැදිලි වන්නේ යැයි විනිසුරු ජනක් ද සිල්වා මහතා පිටු 32කින් යුතු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය. කුමන තනතුරක් දැරුවත් රටේ ඕනෑම පුරවැසියකු රටේ බලාත්මක නීතියට යටත් විය යුතු බවත් නීතියට ඉහළින් කිසිවකු නොසිටිය යුතු බවත් සිය තීන්දුව මගින් පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විදේශ රටක පුරවැසියකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට පැහැදිලිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය මගින්ම පෙන්වා දී ඇතැයි එම තීන්දුව මගින් පෙන්වා දුන්නේය.

ගෞරික සංගරි නීතිඥ සමාගමේ නීතිඥ ධර්මජා ධර්මරාජා මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ නිසිකා ෆොන්සේකා, නීතිඥ සැනන් තිලකරත්න යන නීතිඥ මඬුල්ල සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ හෆිල් පාරිස් මහතා පෙත්සම්කාර ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටියේය. එම අභියචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ඩයනා ගමගේ, අමාත්‍ය ටිරාන් අලස්, ආගමන විගමන පාලකවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හා නීතිපතිවරයා ඇතුළු 15 දෙනකු නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment