මැතිසබේ ඇවිලූ වීසා – VFS ගනුදෙනුව

353

වීඑෆ්එස් එකක් පාර්ලිමේන්තුවට ගෙනාවා කියලාවත් මම කිව්වේ නෑ
ඇමැති ටිරාන් අලස්
පෞද්ගලික ආයතනයකට වීඑෆ්එස් ගාස්තුවක් අය කර ගන්න ඉඩදීම මහා පරිමාණ වංචාවක්
විපක්‍ෂ මන්ත්‍රීවරු කියති
වීසා ගාස්තු අනුමත කරන ගැසට් එකේ අස්සට වීඑෆ්එස් එකක් රිංගවලා – කිරිඇල්ල
සිද්ධියට සම්බන්ධ තරුණයා ගැන අනවශ්‍ය තීරණ ගන්න එපා – විමල් වීරවංශ
තරුණයාගෙන් දැන් ප්‍රකාශත් අරන්: මේක පොලිස් රාජ්‍යයක් නොවෙයි – විපක්‍ෂ නායක සජිත්
ජනතාවත් නීතිඥ ප්‍රජාවත් තරුණයාගේ පැත්තේ හිටගන්නවා – විජිත හේරත්
මේ වංචාව මහ බැංකු මගඩියටත් වඩා තුන් හතර ගුණයක් වැඩියි – රාවුෆ් හකීම්
මේකෙන් කෝටි 1800 ක් අවුරුද්දකට කොල්ල කනවා – පාඨලී චම්පික රණවක
සෑම සංචාරකයකුටම ඩොලර් 18.50ක් කොම්පැණියට ගෙවන්න වෙනවා – මරික්කාර්

ඔන් ලයින් ක්‍රමයට වීසා නිකුත් කිරීමේ කටයුත්තේදී පෞද්ගලික ආයතනයකට වීඑෆ්එස් ගාස්තුවක් අය කර ගැනීමට ඉඩදීම මහා පරිමාණ වංචාවක් යැයි විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී පෙරේදා (07දා) චෝදනා කළහ. එහිදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පළ කළ අදහස් පහත පරිදිය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

පසුගිය සතියේත් මේ ගැන කතා වුණා. අපේ රටට සංචාරකයන් එද්දී අය කරන වීසා ගාස්තුව ගැන. ඒකට ටිරාන් අලස් ඇමැතිතුමා උත්තරයක් දුන්නා ඒ සියලු අය කිරීම් පාර්ලිමේන්තුවේ අනුමත වුණා කියලා. නමුත් මම බැලුවා ඒ ගැන ඉදිරිපත් කරලා තිබෙන ගැසට් එක. ඒකේ වීසා ගාස්තු වැඩි කිරීම අනුමත කරලා තිබෙනවා. නමුත් වීඑෆ්එස් ගාස්තුව අනුමත කරලා නෑ. වීසා ගාස්තු අනුමත කරන ගැසට් එකේ අස්සට වීඑෆ්එස් එකක් රිංගවලා. වීසා ගාස්තුව වෙනයි. වීඑෆ්එස් ගාස්තුව වෙනයි. වීඑෆ්එස් ගාස්තුව අනුමත කරනවා නම් ඒකට වෙනම යෝජනාවක් ගෙනල්ලා අනුමත කරන්න ඕනා. දැන් මම ළඟ තිබෙනවා මගියකු පැමිණීම ගැන, මම හිතන්නේ ඉන්දියාවෙන් වෙන්න ඇති. වීසා කොස්ට් එක බින්දුවයි. සර්විස් ෆී එක ඩොලර් 18යි. කන්වීනියන්ස් ෆී එක ඩොලර් 03යි. ඊට අමතරව තව ඩොලර් විස්සක් විසි එකක් අය කරනවා වීඑෆ්එස් ගාස්තුව ලෙස. නමුත් ඒක අනුමත කරලා නෑ. ඉතින් මේක පාර්ලිමේන්තුව නොමග යැවීමක්. වීසා ගාස්තුව වැඩි කරන මුවාවෙන් වීඑෆ්එස් ගාස්තුවත් නීති විරෝධීව ඇතුළත් කරලා.

ඇමැති ටිරාන් අලස් මහතා-

මම ඉල්ලා සිටිනවා එදා හැන්සාඩ් එක බලන්න කියලා. එදා සාකච්ඡාව තිබ්බේ වීසා ගාස්තුව වැඩි කිරීම පමණයි. ඒක මම එදා තේරුම් කරලා කිව්වා අහවල් දවසේ කැබිනට් ගියා. උපදේශක කාරක සභාවට ගියා, පසුව පාර්ලිමේන්තුවට ඇවිත් නොවැම්බර් 23දා අනුමත වුණා කියලා. එදා හැන්සාඩ් එක අරගෙන බලන්න. එදා වීඑෆ්එස් එකක් ගැන කතා කෙරුවෙත් නෑ. වීඑෆ්එස් එක පාර්ලිමේන්තුවට ගෙනාවෙත් නෑ. වීඑෆ්එස් එක ගියේ කැබිනට් එකට. ඉන් පසුව ඊට කමිටුවක් පත් කරලා, මාස තුනක් තිස්සේ ඒ කමිටුව රැස්වෙලා අධ්‍යයනය කරලා නැවත කැබිනට් එකට ගිහින් අනුමත වුණු එකක් තමයි වීඑෆ්එස් එක. වීඑෆ්එස් එකක් පාර්ලිමේන්තුවට ගෙනාවා කියලාවත් මම කිව්වේ නෑ. එදා මම වීසා ෆී එක වැඩිවෙන එකයි කතා කළේ. වීසා කැටගරි 17ක් අලුතෙන් ගෙනල්ලා ඒක තමයි වැඩිවුණේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

වීඑෆ්එස් ගාස්තුව කොහොමද කැබිනට් එකෙන් වැඩි කරන්නේ? මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. කැබිනට් තීරණයකින් වීඑෆ්එස් අය කරන්න බෑ. පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් නොමග යවලා තිබෙනවා.

ටිරාන් අලස් මහතා- පාර්ලිමේන්තුව නොමග යවලා නෑ. එදා කියපු දේමයි මම අදත් කියන්නේ. වීසා ගාස්තු වැඩි කරපු විදිහ මම කිව්වා. මම වීඑෆ්එස් යෝජනාව කැබිනට්ටුවෙන් අනුමත වෙලා තිබෙනවා. ඒක පාර්ලිමේන්තුවට ගේන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.

කිරිඇල්ල මහතා-

ගිය සැරේ මෙතුමා වීඑෆ්එස් එක ගැනත් කතා කළා. හැන්සාඩ් එක ගෙනල්ලා බලන්න.

විමල් වීරවංශ මහතා- ඔය සිද්ධියට සම්බන්ධ තරුණයා ගැන කතා වුණා. ඇමැතිතුමා කියලා තිබුණා ජාත්‍යන්තර ගුවන් තොටුපළක ඒ වගේ දෙයක් වෙන්න බෑ කියලා. නමුත් අපේ ගුවන් තොටුපළේ නොවිය යුතු බොහෝ දේවල් සිදු වෙනවා. ඒ තරුණයා ඒ තත්ත්වයට පත් වුණේ වෙනත් අවස්ථාවල ඒ ගුවන් තොටුපළෙන් යන විට නොතිබුණු තත්ත්වයක් එදා ඇති වෙලා තිබුණු නිසා. ඒ තරුණයාට නීතිය ක්‍රියාත්මක කරන්න යන්නේ නැතුව ඔහු ගැන අනවශ්‍ය පියවර ගන්න එපා කියලා ඉල්ලනවා.

කිරිඇල්ල මහතා-

එදා මේ ඇමැතිතුමා කියපු දේවල් හැන්සාඩ් එකෙන් බැලුවහම එතුමා වීඑෆ්එස් එක ගැන කියලා තිබෙනවා. අපේ රටට දළ වශයෙන් මිලියන 02ක් සංචාරකයෝ එනවා. ඒක ගණනය කළොත් ඩොලර් මිලියන 400ක්. මේ ඡන්ද කාලේ මේ වගේ මුදලක් රැස් කරන්නේ ආණ්ඩුවේ මැතිවරණ තක්කඩි වැඩවලට. වීඑෆ්එස් ගාස්තුව පාර්ලිමේනතුවේ අනුමත කරලා නෑ.

ටිරාන් අලස් මහතා-

මම කියලා නෑ වීඑෆ්එස් එක අනුමත කළා කියලා. මම වීඑෆ්එස් එක ගැන පමණයි එතනදී කතා කළේ.

ඒ වගේම විමල් මන්ත්‍රීතුමා කියපු කාරණයට කියන්න ඕනා. එතන අලුත් දෙයක් වන්නේ නෑ. එතුමාගේ බිරිඳ හෝ යෙහෙළිය වෙනුවෙන් වීසා ගන්න එතනට ඇවිත් තිබෙනවා. ඒ ආවාහම ඒ වීසා එක් කල් පැනලා. එතකොට කවුන්ටරයෙන් කියලා තිබෙනවා වීසා එක ගන්න කියලා. එතනට ගියහම කියලා තිබෙන්නේ වීසා එක ගන්න පුළුවන් පෝලිමේ එන්න කියලා. එතනදී තමයි එයා කෑ ගහන්න පටන් ගත්තේ. ඔය පෝලිම් දිගටම තිබිලා තිබෙනවා. ඒකයි මම ඉල්ලලා තිබුණේ ඒ කවුන්ටර 03 සිට 06ක් දක්වා වැඩි කරන්න කියලා. අපි පොලිසියට කැඳවලා බැලුවේ ඔහුට ඇත්තටම ප්‍රශ්නයක් තිබ්බද නැත්නම් වෙන දේශපාලන හස්තයක් තිබුණා ද කියලායි. අපි දන්නවා පොලිසියට ආපු අය ගැනත්. ඒත් මේක දිගින් දිගටම ගෙනියන්නේ නෑ. මෙවැනි දෙයක් වුණාම පොලිසියට අනිවාර්යයෙන් ප්‍රකාශයක් ගන්න වෙනවා.

කිරිඇල්ල මහතා-

එදා ඇමැතිවරයා කියනවා මේ ගාස්තු පාර්ලිමේන්තුවට ගෙනවහම කතා කරන්න ඕනානේ කියලා. ඒත් දැන් කියනවා එහෙම කිව්වේ නෑලු. මේ පාර්ලිමේන්තුව නොමග යැවීම ගැන යම් පියවරක් ගන්න.

අලස් මහතා-

මමත් කියන්නේ කමිටුවක් හරි පත් කරලා මේ ගැන බලන්න කියලා. මොකද මෙතුමාලාට මහජනයා නොමග යවන්න දෙන්න එපා.

විපක්ෂනායක- කටුනායක ගුවන්තොටුපළේදී ප්‍රකාශයක් කළ සඳරු කුමාරසිංහ මහත්තයාට භාෂණයේ නිදහස තිබෙනවා. ඒ නිදහස කාටවත් අවහිර කරන්න බෑ. ඔහුගෙන් දැන් පොලිසිය ප්‍රකාශයකුත් අරගෙන තිබෙනවා. මේක පොලිස් රාජ්‍යයක් නොවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ නිසා මේ ප්‍රශ්නය දිගින් දිගට ඇදගෙන යන්නේ නැතිව අවසන් කරන්න.

විජිත හේරත් මහතා-

ගුවන්තොටුපළේදී ඒ සිද්ධිය ඇති වුණේම ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තියක් නිසායි. ඩොලර් 50ට ගන්න පුළුවන්කම තිබුණු ඒ පහසුකම දැන් ඩොලර් 100ටත් වඩා වැඩි ගණනක් ගෙවලා ගන්න වෙලා තිබෙනවා. එතනදී ඩොලර් 50කට වඩා මුදලක් අපේ රටට අහිමි වෙන්න ගියා. ඒ නිසා තමයි අර තරුණයා මැදිහත් වෙලා අදහස් ප්‍රකාශ කරලා මුළු රටම දැනුවත් කරලා ඒක ආපසු හරවන්න සමත් වුණේ. දැන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරගෙන තිබෙනවා නැවත ආගමන විගමන දෙපාර්තමේන්තුවටත් මෙය පවරන්නත් ඒ ඩොලර් ප්‍රමාණය අඩු කරන්නත්. ඒක හොඳයි. හැබැයි මේකට ඇස් ඇරුණේ සහ මුළු රටේම අවධානය යොමු වුණේ අර තරුණය තනියෙන් කළ හඬ නැගීමයි. හැබැයි අද ආණ්ඩුව අර තරුණයා පස්සේ පන්නන එකයි කරන්නේ. තරුණයාගේ ගෙදරට සීඅයිඩීය යවලා බිය වද්දලා තරුණයාට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න යනවා. හැබැයි ඒ තරුණයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තොත් මේ රටේ ජනතාව සහ නීතිඥ ප්‍රජාව ඔහු වෙනුවෙන් හිට ගන්නවා. ඔහු නිසයි රටේම අවධානය යොමුවුණේ. ඔහු නීතිඥයෙක්. ඔහුගේ පියාත් නීතිඥයෙක්. ඔහු නීතිය දැනගෙනයි මේකට මැදිහත් වුණේ.

රවුෆ් හකීම් මහතා-

මේකත් තවත් විශාල මගඩියක්. ආණ්ඩුවට සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම පිළිබඳව ගත්තොත් ඩොලර් 24ක් අය කරන්න නියමිතයි. ඒ විතරක් නොවෙයි 2024 වනවිට මිලියන 2.5ක සංචාරකයන් ප්‍රමාණයක් අපේ රටට ඒවි කියලා කියනවා. එහෙම බැලුවොතින් බිලියන 18කුත් මිලියන 750ක් ලැබෙන්න නියමිතයි. ඒකයි මේක විශාල මගඩියක් කිව්වේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයවැයෙන් වෙන් කළ මුදලටත් වඩා 18 ගුණයක් වැඩියි. අපිට ආරංචියි කැබිනට් ඇමැතිවරයෙක් අස්වීමේ ලිපියක් දුන්නා කියලා. මේ වංචාව මහ බැංකුවේ මගඩියටත් වඩා තුන් හතර ගුණයක් වැඩියි.

ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය මේ සේවාව ලබා දීම සඳහා මේ මුදලින් සියයට 04ක් පමණක් අය කරගනිමින් කරන්න ගිය සේවාව තමයි මේ විශාල මුදලක් අය කරගෙන කරන්න ගියේ. කාගේ සාක්කුවට ද මේ සල්ලි යන්නේ. ඒ ගැන වහාම විමර්ශනයක් කරන්න ඕනා.

පාඨලී චම්පික රණවක මහතා-

වීසා බලපත්‍ර නිකුත් කිරීමේදී, විදේශ සමාගමකට ලබාදීලා තියෙනවා. 2012 දී මේක හඳුන්වලා දුන්නු අවස්ථාවේදී මේ ඔන්ලයින් වීසා ක්‍රමය අපගේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන අවස්ථාවේදී සිංගප්පූරුවේවත් එවැනි ක්‍රමයක් තිබුණේ නැහැ. අපි එක වතාවයි මේක දියුණු කරලා තියෙන්නේ. මේක තවදුරටත් අපිට දියුණු කරන්න පුළුවන්. හැබැයි අද මේ පත්‍රිකාවල සඳහන් වෙලා තියෙනවා කැබිනට් මණ්ඩලයේ ඩොලර් මිලියන දෙසීයක ආයෝජනයක් කරනවා කියලා. හැබැයි මෙතන අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ පුද්ගලික ක්‍රියාවලියක් හරහා කරනවා. මේකෙන් ආසන්න වශයෙන් ආසන්න වශයෙන් කෝටි 1800 ක් අවුරුද්දකට කොල්ල කන තත්ත්වයක් තමයි මේකේ තියෙන්නේ. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍යයි. කවුද මේවට එකඟ වුණේ? කොහෙද මේ ගනුදෙනු කෙරුණේ කියන එක ගැන ඉතා අවශ්‍යයි මේ පිළිබඳව ක්‍රියා කිරීමේදී. මේවට මේ පොලීසිය යොදවලා හැමදේටම තමන්ගේ පුද්ගලික හමුදාව යොදව ගන්නවා වගේ පොලිසියයි රහස් පොලිසියයි යොදවලා මේ අදහස් පළ කරන මිනිස්සු මර්දනය කරන්න නෙවෙයි. මේ ඩීල් එක පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක සොයා ගැනීමයි තියෙන්නේ. මොබිටෙල් ආයතනයට නැත්නම් අපගේ ඩයලොග් ආයතනයට ඇත්ත වශයෙන්ම මේ හැකියාව තියෙනවා. මීටත් වඩා හොඳින් හොඳ සේවාවක් අපේ සංචාරකයින්ට අපගේ ගුවන් තොටුපළ හරහා යන අයට ලබාදීමට අඩු මුදලට. ඒ නිසා මේ මහා ජාතික මංකොල්ලයක්, මේ මංකොල්ලය පිළිබඳ සොයා බැලීමයි කළ යුත්තේ.

එස්.එම්. මරික්කාර් මහතා-

රට බංකොලොත් වුණත් ආණ්ඩුව කරන ජාවාරම්වල අඩුවක් වෙලා නෑ. අලුත්ම එක තමයි වීසා ප්‍රශ්නය. මොබිටෙල් ආයතනයට මෙය කළ හැකිව තිබෙද්දී තමයි මේ වීසා නිකුත් කිරීම පුද්ගලික ආයතනයකට දෙන්න යන්නේ. ඒ අයිවීඑෆ්එස් ග්ලෝබල් ආයතනය කරන්නේ දියුණු රටවලට දුප්පත් රටවලින් යන එක නවත්වන්නයි. අපේ අරමුණ වැඩිපුර සංචාරකයන් ගෙන්වා ගැනීම නම් මෙහෙම ගණන් වැඩි කරලා තුන්වෙනි පාර්ශ්වයකට දීමේ අරමුණ මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නෑ. මේ ආයතනයට මේක ලබා දෙන්න කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් වෙලා නෑ. තාක්ෂණික කමිටු වාර්තාවක් නෑ. මේක මහා දවල් මංකොල්ලයක්. ගියපාර රනිල් වික්‍රමසිංහ ආවහම මහ දවල් මහ බැංකුව කොල්ල කෑවා වගේ දැනුත් මේ මංකොල්ලයක් වෙලා තිබෙන්නේ. අපේ රටට එන සෑම සංචාරකයකුටම ඩොලර් 18.50ක් මේ කොම්පැනියට ගෙවන්න වෙනවා. ඒ වගේම මේ සමාගම පොරොන්දු වෙලා තිබෙනවාලු 2035 වන විට සංචාරකයේ මිලියන 5.4ක් දක්වා වැඩි කරන්න. හැබැයි මේ සමාගම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන සමාගමක් නොවෙයි. රාජ්‍යයට එන්න තිබෙන ආදායමක් තව කාටවත් දෙන්නේ ඇයි? අනෙක මේ අයත් එක්ක ගිවිසුම තිබෙන්නේ අවුරුදු දෙකෙන් දෙකට ගණන වැඩි වන විදිහට ඩොලර් මිලියන 841ක ලාභයක් ලැබෙන විදියටයි. 2024 ඩොලර් මිලියන 35ක් මේ සමාගමට යනවා. 2025 ඩොලර් මිලියන 43ක්, 2026දී ඩොලර් මිලියන 49ක්, 2027දී ඩොලර් මිලියන 56ක්, 2028දී ඩොලර් මිලියන 62ක්, 2029දී ඩොලර් මිලියන 68ක්, 2030දී ඩොලර් මිලියන 74ක් 2031දී ඩොලර් මිලියන 80ක් 2032දී ඩොලර් මිලියන 86ක් 2033දී ඩොලර් මිලියන 92ක් 2034දී ඩොලර් මිලියන 96ක් සහ 2035දී ඩොලර් මිලියන 100ක් වන විදිහටයි මේක හදලා තිබෙන්නේ. මේකෙන් පෙනෙන්නේ එක පාර හොරකම් කරනවාත් නොවෙයි තව අවුරුදු පතාම තවත් ගණනක් එන විදිහටයි. මේක මේ ජනාධිපතිවරණයට සල්ලි හොයන්න කරපු දෙයක්ද කියලා අපි දන්නේ නෑ. මේ ආණ්ඩුවට තව මාස 03යි තියෙන්නේ ඒ නිසා තමයි මේ හොරකම කරන්න යන්නේ. මේ හොරකමට විරුද්ධව අපි සටන් කරනවා. මහ බැංකු මංකොල්ලයට කෑ ගහපු පොහොට්ටුවේ අය අද සද්ද නෑ. මොකද ඒ අයට බාර් ලයිසන් දීලා කට වැහැව්වනේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment