ඊපීඑෆ් ඊටීඑෆ් එක්කොට ස්වාධීන මණ්ඩලයක් – ජනාධිපති කියයි

64

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන අරමුදල් දෙකම එකට එක්කොට ස්වාධීන මණ්ඩලයක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04 දා) පැවසීය.

ජනාධිපතිවරයා ඊයේ දින පාර්ලිමේන්තු සභාවට පැමිණ අසුන් ගෙන සිටියදී විපක්ෂ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කළ අදහස් දැක්වීමකදී ජනපති එසේ කියා සිටියේය. එහිදී ජනපතිවරයා මෙසේ ද කීය.

අපි බලාපොරොත්තු වෙන්නේ අර්ථසාධක අරමුදල සහ භාරකාර අරමුදල කියන මේ දෙකම එකට එකතු කරලා ස්වාධීන මණ්ඩලයක් යටතේ ඒ වැඩ කටයුතු ගෙනියන්න. ඒ නිසා කැමති නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ඒ සඳහා රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමා එක්ක ඒ සාකච්ඡාවලට සහභාගී වෙන්න.

“ආණ්ඩුව සහ විපක්ෂය යන දෙපාර්ශ්වයම මා සිදු කරනු ලබන වැඩපිළිවෙළ නිවැරදි යැයි පිළිගන්නා බැවින් දැන්වත් එකට එක්වී වැඩ කරමු” යැයි ද ජනපතිවරයා පාර්ලිමේන්තුවේදී කීය.

එහිදී වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

දෙපැත්තෙම අය කියනවා මම හරි කියලා. එහෙනම් ඇයි දෙපැත්තෙම අයට එකතුවෙලා වැඩ කරන්න බැරි. අද රටේ තිබෙන්නේ අමාරු තත්ත්වයක්. අපි ඔක්කොම එකට එකතුවෙලා මේක ගොඩ ගන්න ඕනා. විපක්ෂය ලෙස හෝ ආණ්ඩු පක්ෂය ලෙස හරි අපි හැම එක්කෙනාටම තිබෙන්නේ එකම තර්ජනයක්. ඒකෙන් ගොඩ එන්න වෙනත් වැඩසටහන් තිබෙනවා නම් කියන්න. නමුත් එහෙම දෙයක් කව්රුවත් ඉදිරිපත් කරලා නෑ. ඉතින් මේ කාලයේ දී අපි රටටම පෙන්වමු දැන් මේ ප්‍රතිපත්තිය දෙපැත්තම පිළිගන්න නිසා අපි දෙපැත්තම එකට එකතුවෙලා වැඩ කරනවා කියා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment