ලියන වෙලාවට මම ගරු කරන්නෙ මගේ අදහස්වලට පමණයි – සුරත් ද මැල්

195

සුරත් ද මැල් විසින් රචිත තෙවැනි නවකතාව (DUO) (ඩුඕ) ඉකුත්දා මුද්‍රණයෙන් නිකුත් විය. ඔහු විසින් මීට පෙර රචිත තීහානා, සී+ මෙන්ම (DUO) (ඩුඕ) නවකතාව ද පාඨක අවධානයට යොමු වන්නේ ප්‍රබන්ධය ඉක්මවූ සාහිත්‍ය නිර්මාණයක් ලෙසය. නුතන සාහිත්‍යවේදියකු ලෙස ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් සුරත් සමග සිදුකළ කතාබහක් පහත පළවේ. ලේඛනයෙහි මෙන්ම භාෂණයෙහි ද නිදහසේ සැරිසරන්නකු වන සුරත් ද මැල් මෙම කතාබහ ආරම්භයේදී සඳහන් කර සිටියේ මෙය සම්භාව්‍ය නොවන සංවාදයක් විය හැකි බවය.

● ශානරයක් ලෙස ගත් විට නව කතාව නිර්වචනය කළ හැකි ශාස්ත්‍රීය නොවන පිළිතුර කුමක්ද?

මොකක් හරි වැල් වටාරමක් පිටු දෙසීයක් විතර ලියාගෙන ලියාගෙන යනවා. ඒකට ඉතිහාසය සදාචාරය කුණු ගොඩෙන් ගෙනල්ලා බාගෙට සුද්ද කරපු කැළිකසළ ටිකක් පිළිවෙලට අසුරනවා. මෙලෝ යකෙක්ට කියවන්න හිතෙන්නෙ නැති නීරස භාෂාවකිනුත් ලියන්න ඕන. ඒවට තමයි ලංකාවෙ නවකතා කියන්නේ. සම්මානයක් වුණත් ලැබෙන්න ඉඩ තියෙනවා.

● පවතින සමාජ යථාර්ථයක් ආකර්ෂණීය පිට කවරයක දවටල ඊට නමක් දුන් පමණින් නවකතාවක් වෙනව කියලද?

කෙසෙල් කොළයක ඔතලා දුන්නා කියලා ඕන කෑමක් ලම්ප්‍රයිස් වෙනවද? නෑනේ. ආකර්ෂණීය හෝ නොවන පිටකවරයක් තිබුණු පළියට පොතක් නවකතාවක් වෙන්නෙ නෑ.

● සාමාන්‍යයෙන් සිංහල නවකතාවල තියෙන්නෙ පොළවේ නොපිහිටි මනඃකල්පිත සමාන්තර යථාර්ථයන්නේ? සමාජ යථාර්ථය තියෙනව නම් හොඳයි. ඔය කියන සමාජ යථාර්ථය චරිත ඇසුරෙන් විග්‍රහ කරන්නේ නම් කැත කවරයක් තිබුණත් ඒක නවකතාවක් වෙන්නත් පුළුවන්.

අනික පිට කවරය කියන්නේ රොටි ඔතන කොළේ වගේ එකක් නෙමෙයි. පොතේ අන්තර්ගතය ගැන ඇඟවුමක් දෙන හැඟුම්කාරකයක්. තවත් නිර්මාණාත්මක පුද්ගලයකුගෙ ප්‍රකාශයක්. දක්ෂ නවකතාකාරයොන්ට වැඩිය දක්ෂ කවර නිර්මාණකාරයෝ ලංකාවෙ ඉන්න බව නම් ඇත්ත.

● බොහෝ සාහිත්‍යකරුවන් විසින් තමන්ගෙ නිර්මාණ දරුවන් හා සමාන කොට සලකනව. ඒ අර්ථයෙන් ගත් කල ඔබත් දැන් තිදරු පියෙක්. ඒ ගැන මොකද හිතෙන්නේ?

කොහෙන් හොයා ගන්න වල්බූත උදාහරණ ද මංදා මේවා. විහිළුවට වගේ මේ කියමන ඇත්තයි කියලා ගත්තොත් අපේ සාහිත්‍යයෙ වැඩිපුර ඉන්නෙ අවජාතක දරුවෝ. මොකද ඒව බොහොමයකින් අපේ සමාජයේ යථාර්ථය විනිවිදින්නෙ නෑ. මනඃකල්පිත රටක මනඃකල්පිත මිනිස්සු ගැන කතාවලින් වැඩිමනක් පිටු පිරිලා තියෙන්නේ.

පොත් මගේ නම් ළමයි නෙමෙයි. ළමයෙක් කියන්නේ ස්වාධීන පැවැත්මක් තියෙන වැඩිහිටියෙක් බවට මුහුකුරා යන්න පුළුවන් පහසුවෙන්ම පියාව අතික්‍රමණය කරන්න හැකි බුද්ධිමත් ජීවියෙක්. නවකතා කියන්නෙ ලේඛකයගෙ බුද්ධිමය දේපලක් විතරයි. එය ලියා අවසන් කළ පසු පරිනත වෙන්නෙ නෑ. එයට පාඨකයින්ගෙන් තොර පැවැත්මක් නෑ. පාඨකයා විසින් තමන්ට රිසි ලෙස එයප්‍රතිරචනා කර ගන්නවා. එක කතාවෙන් එකිනෙකට වෙනස් කතා දහසක් මැවෙනවා. සාහිත්‍ය කියන්නෙ මට නම් අවකාශයක්. යානයක්. අවියක්.

● සාහිත්‍ය කියන්නේ අවියක්නම් ඔබ එහි සැරිසරන ඉලක්කයක් නැති වෙඩික්කරුවෙක්. ඒමතය ඔබ ප්‍රතික්ෂේප කරනවද?

වෙඩික්කාරයෙක් කියන එකෙන් ඔබම පිළිගන්නවනේ තුවක්කුව පත්තු වෙනවා කියලා. ඒක ඇත්ත. ලංකාවෙ වැඩි දෙනෙක් ගාව තියෙන්නෙ පුස් වෙඩි. මට කියන්න ඉලක්කය මේකයි කියලා වෙඩි තියපු අය ඉන්නවද කවුරු හරි? ලබ්බට තියලා පුහුලට වැදුනම ඒක තමයි ඉලක්කෙ කියන අයනෙ අපිට සාමාන්‍යයෙන් ඉන්නෙ. මේ ඉලක්ක ප්‍රශ්නේ ව්‍යාකූලයි. මොකද ඉලක්කෙයි වෙඩිල්ලයි දෙකම තියෙන්නේ ලේඛකයගෙ ඔළු ගෙඩියේ. පාඨකයට ඒක වදිනව ද ඒකට වැටෙනව ද නැද්ද කියනෙක වෙනමම කතාවක්.

මම හිතනවා හැම ලේඛකයකුටම ඔවුනට සාපේක්ෂ කුමක් හෝ සවිඥානික ඉලක්කයක් තියෙනවා කියල. එය අදේශපාලනික හෝ හුදෙක් වාණිජමය අරමුණක් වෙන්න පුළුවන්. වදින්නෙ තියන ඉලක්කෙට නෙමෙයි වෙන කොහාට හරි වෙන්නත් පුළුවන්, ලොකුද පොඩි ද සම්භාව්‍ය ද සරල ද කියලා නෑ, ඉලක්කයක් නැතිව පෑන මෙහෙයවන අය නෑ.

● ඔබ වෙනස් ලේඛකයෙක්. ඔබම සඳහන් කරන ආකාරයට වසර 40ක් ගතවූ පසුව තමයි ලිවීම ආරම්භ කරන්නේ. හැංගිලා හිටපු ලේඛකයාව මතුකර ගත්තේ කොහොමද?

මට ලේඛකයෙක් වෙන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ. මොකද අපේ පවුල ඇතුලෙම ලේඛකයො දුසිම් බාගයක් විතර ඉන්නවා. ඊළඟට ගොඩාක් දේවල් කරන්න හිතන් ඉඳලා කිසිම දෙයක් නොකරපු කෙනෙක් මම. ජීවිතයෙ කිමිදුණු කෙනෙක්. ඊළඟ සාදයෙන් එපිටට ජීවිතය සැලසුම් නොකළ කෙනෙක්. එකපාරට සුනාමියක් එනවා. පණබේර ගන්න මොකක හරි එල්ලෙන්න වුණා. අතට අහුවුණේ පෑනක්.

● වසරකට එක බැගින් නවකතා රචනා කරන ලේඛකයෙක් ලෙස ඔබ වඩාත් සතුටු වෙන්නේ නිර්මාණය පාඨකයන් අතර ජනප්‍රිය වීම හේතුවෙන්ද? එසේ නැත්නම් ඉන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභයෙන්ද?

මම වඩාත් සතුටු වෙන්නේ මගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භුක්ති විඳීමෙන්. මම නිර්මාණ කරන්නේ මම ගිය පාරවල අනෙකුන් රැගෙන යන්න. මම පිළිගන්න දර්ශනය සාක්ෂාත් කරන්න. ලිවිල්ල පාඨකයා අතර ජනප්‍රිය වීම වැරැද්දක් නෙමෙයිනේ. හැබැයි ජනප්‍රිය වෙන්න හිතාගෙන මම ලියන්නෙ නෑ. පාඨකයා පිළිගත්තත් නැතත් මම ලියන්නෙ මට උවමනා දේ.

ලංකාවෙ පොත් ලියලා ජීවත් වෙන අය කී දෙනෙක් ඇතැයි කියා ඔබ හිතනවද? ලංකාවේ මේක රස්සාවක් නෙමෙයි. ලේඛනයෙන්ම ජීවත්වන අය ඇත්තෙ අතලොස්සක්. ඒක සිය දහස් ගණනක් වෙන දවසට ලේඛනයත් රැකියාවක් විය හැකි බව මිනිස්සු පිළි ගනිවී. මොකක් ද රස්සාව කියලා කවුරු හරි ඇහුවම මම කියන්නෙ ලේඛකයෙක් කියලා. එතකොට මිනිස්සු බලන බැල්මෙ තියෙන්නෙ මූපිස්සෙක් වගේ හැඟීමක්. ඒක අපි වෙනස් කරනවා.

● මීට පෙර ඔබ විසින් ලියා පළ කරන ලද නවකතා දෙක ඇතැම් විචාරකයන්ගේ නිර්දය විවේචනයට ලක් වූ ආකාරයක් දැකගන්නට ලැබුණා. ඩූඕ රචනා කිරීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වුණා ද?

ලංකාවේ විචාරකයෝ කීදෙනෙක් සාහිත්‍ය විචාරය දන්නවද? එයාලා වැඩි දෙනෙක් හිතන එන එන බහුබූත ලියන කල්ඉකුත් වුණු පුරාතනයෝ පිරිසක්. දන්න සුළු දෙයට පක්ෂග්‍රාහී අන්ධ භක්තිකයෝ පිරිසක්. ඒ මදිවට වැඩිදෙනෙක් ජාතිවාදියි සහ දේශපාලනිකව අඥාන පිරිසක්. හැබැයි ඒ ජෝකර්ලට මම ආසයි. එයාලා ලියන මළ විකාර කියවන්නත් මම ආසයි. මේ අතර විෂය දන්න කිහිප දෙනෙකුත් ඉන්න වග අමතක කරන්න බෑ. විචාරකයො කාටත් මම ගරු කරනවා. හැබැයි ඒ මම නොලියන වෙලාවට. මම ලියන වෙලාවට ගරු කරන්නෙ මගේ අදහස්වලට විතරයි.

● ලිංගිකත්වය පිළිබඳව හුවා දැක්වීම් ඔබේ නවකතා ඇතුලේ බහුලයි කියල තමයි ඔවුන් චෝදනා කරන්නේ?

වළ පයයි ගොඩ පයයි ඉන්න සමහර විචාරක ‘මුත්තලා’ ඉන්නවනේ. එයාලා 1969 පස්සෙ පොත් කියවලා නෑ. ආම්ස්ට්‍රෝන් හඳට ගියා. ප්‍රංශ අරගලේ වුණා. ඊට පස්සෙ

මෙයාලගේ ඔරලෝසුවෙ කට්ට නැවතුණා. මීටරෙත් නැවතුණා. එයාලා විසි පහේදි මැරිලා හැත්තෑ පහ වෙනකම් හුස්ම ගන්න සත්ත්ව කොට්ඨාසයක්.

● ඔබ පෙර පරම්පරාවට ගරු කරන්නෙ නැද්ද? සිංහල සාහිත්‍යයේ මහ පුරුෂයො කළ දෙයක් නැද්ද?

වැඩිහිටියන්ට ගරු කිරීම පාඩම වෙලාවෙ මට පන්තියෙ ඉන්න බැරි වුණා. මහ පුරුෂයෝ? ඒ කවුද? මහ පුරුෂයො හිටිය නම් අපිට මහා සාහිත්‍යයක් තියෙන්න එපැයි. අපිට මහා සාහිත්‍යයක්වත් මහා සිනමාවක්වත් මහා සංගීතයක් නෑ. මහ එවුන් කරපුවයි හරිය පේනවනේ ඉතිරි වෙලා තියෙන ටිකෙන්.

● ඔබ හිතනවද ඔබට හා ඔබේ පරම්පරාවට යම් හැරවුම් ලක්ෂ්‍යයක් ලකුණු කර සාහිත්‍යය වෙනම මගකට ගන්න හැකි වේය කියා?

මගේ පරම්පරාවෙ අනෙක් අයට හැකි වේවිද මම දන්නෙ නෑ. මට නම් එහෙම සුවිශේෂී දක්ෂතාවයක් නෑ.

● පහුගිය දිනවල සුරත් ගෙ “පොත” පමණක් නෙවෙයි “වත” පවා දැකගන්න පාඨකයන්ට අවස්ථාව ලැබුණා. ඒක මාකටිංපාරක් ද? ඒ ඇරයුම කාරුණිකව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කම තිබුණා නේද?

ඒකට කියන්නෙ වත ප්‍රදර්ශනය කරනවා කියලා නෙමෙයි පොත් අත්සන් කරනවා කියල. මේකත් අපේ දේශපාලනය, විචාර වගේම පසුගාමී අදහසක්. ඔයා හිතන්නෙ ලේඛකයා පොත ලියලා ඊට පස්සෙ ගල්ගුහාවකට වෙලා ඉන්න ඕන කියලද? ඇත්තටම මම නම් ඒවගෙ සමාජයෙන් ඈත් වුණු ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒක මගේ පුද්ගලික කැමැත්ත. හැබැයි ඒක නීතියක් නෙමෙයි. ලේඛකයා සමාජ පන්තීන් ඉක්මවලා වන්දනාමානීය පිරිසක් විදියට සමාජ ගත නොවී විරාජමානව පැවතිය යුතු නෑ.

2021 බුකර් සම්මානය දිනපු ඩේමන් ගැල්ගට්ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා සම්මානයට පස්සෙ කොහොමද එයාගෙ ජීවිතේ වෙනස් වුණේ කියලා. ඔහු කියනවා මුළු අවුරුද්දක් පුරාවටම එකම සාහිත්‍ය උත්සවයක ජීවත් වුණා වගේ ඔහුට දැණුනා කියලා. එහෙම කියන්නෙ ඔහුට තම කෘතිය ප්‍රවර්ධනය කරමින් ලෝකෙ පුරා සංචාරය කිරීමට වූ නිසා.

සාහිත්‍ය කියන්නෙ සංස්කෘතියෙ කොටසක්. සංස්කෘතිය කියන්නෙ ඉතිහාසයේ සිදුවී අවසන් වූ දැන් පහනක් තියලා වන්දනා කළයුතු ප්‍රපංචයක් නෙමෙයි. ජීවමාන සංස්කෘතිය සමරන්න ඕන. සංස්කෘතික ප්‍රවර්ධනය කිරීම තුළින් වඩා දියුණු සංස්කෘතික ජීවියෙක් බිහිවෙනවා. අන්න එයාලා තමයි අපිට අඩු.

● ඩූඕ (DUO) නවකතාවෙන් කියැවෙන්නේ පිරිමි ලෝකය තුළ විමුක්තිය සොයන තරුණියන්ගේ කතාන්දරයක්. ඔබ ලියන්නෙම කාන්තාවන්ගෙ විමුක්තිය පිළිබඳ නිසා වෙනම කාන්තා ආකර්ෂණයක් ඇති නේද? එතකොට සැබැවින්ම ඔබේ ලෝකයේ සිටින කාන්තාවන්ට විමුක්තිය තියෙනවද?

හැම පුද්ගලයෙක් තුළම චරිත කිහිපයක් ජීවත්වෙනවනෙ. එතකොට මාව මාධ්‍යයෙන් දකින චරිතයට කාන්තාවෝ ආදරෙයි. මගේ අදහස්වලට එයාලා කැමතියි. එතැනින් එපිටට මගේ තුළ හිඳින සෙසු චරිත තවදුරටත් හඳුනා ගන්න අය මට කැමති නෑ. මම එපා කරපු එකෙක් කියලා එයාලා දන්නවා. අවසාන වශයෙන් මා තුළ වෙසෙන චරිත සියල්ලම පාහේ අවබෝධ කර ගන්නා අය නවතින්නේ මගෙන් පලා ගිහිල්ලා. අන්න ඒ වගේ ආකර්ෂණයක් තමයි තියෙන්නේ. ඒ විදියට තමයි එයාලට විමුක්තිය ලැබෙන්නේ. ඉතිං මම දිගටම එයාලා ගැනම ලියනවා.

● අපි පොත පත කියවීම සමාජය මෙහෙයවනවා. පොත් කියැවීමෙන් වඩා හොඳ යහපත් පුරවැසියෙක් බිහිවෙන බව ඔබ විශ්වාස කරනවද?

පොත් කියන්නෙ නවකතා නෙමෙයිනෙ. පොත දැනුමෙ මාර්ගයක්. ඒ නිසා කියවීම දැනුම හා බැඳී පවතිනවා.

හැබැයි නවකතා කියෙව්වා කියලා මිනිස්සු හොඳ වෙන්නෙ නෑ. නරක් වෙන්නෙත් නෑ. සරල කලා කෘතිවලට වඩා විදග්ධ කලාකෘති ඇසුරු කළා කියලා වෙනසක් වෙන්නෙත් නෑ. ඉන් කියවෙන්නේ යම් කලා අංගයක් රස විඳීමට සංවරයක් ලබලා තියෙනවා කියලා විතරයි. නැත්නම් කලා කෘතියක් ඇසුරෙන් සංකීර්ණ ජීවිතය වටහා ගන්න පුහුණුවක් තියෙන බව පමණයි. පොත් කියවලා යහපත් පුරවැසියෝ බිහි වෙනව නම් ඔය පොත් කියවන හැමෝම හොඳ මිනිස්සු වෙන්න එපැයි. අනික ඔය පොත් කියවලා යහපත් පුරවැසියෝ බිහිවෙන්න ඒවා ලියන ලේඛකයො යහපත්ද?

සංවාදය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment