මිහිමඬලේ සුරක්ෂිත බවට කැපවූවන් සඳහාම පිරිනැමෙන ජනාධිපති පරිසර සම්මාන – 2024

80

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරිණි

“විශිෂ්ට සේවාවක් තුළින් පිවිතුරු හරිත පරිසරයක්” යන දැක්ම පෙරදැරි කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රධානතම පාරිසරික නියාමන ආයතනයක් ලෙස කටයුතු කරයි. “මනා සම්බන්ධීකරණය, ප්‍රවර්ධනය, මහජන සහභාගිත්වය, නීති ක්‍රියාත්මක කිරීම, නිසි තාක්ෂණික මැදිහත්වීම් සහ පරිසර අධ්‍යාපනය හා දැනුවත් කිරීම් මගින් පරිසරයේ ගුණාත්මක බව සුරකින සහ හසුරුවන ජාතියේ පෙර ගමන්කරු” යන්න මධ්‍යම පරිසර අධිකාරියේ මෙහෙවර යි. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් 1981 අගෝස්තු 12 වැනි දින මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපිත කිරීමෙන් පසු එදා මෙදාතුර ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය සිදුකළ කාර්ය අතිමහත් ය. කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ජාතික පාරිසරික පනත සංශෝධනය සඳහා ද වර්තමානයේ කටයුතු කරමින් සිටින්නේ තවදුරටත් ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය නෛතිකමය තත්ත්වයන් බලගැන්වීම සඳහාය. තවද, කාලීන අවශ්‍යතා මත ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති, සම්මුති සහ සුවිශේෂී එකඟතා වෙත ද අවධානය යොමු කරමින් යාවත්කාලීනව පාරිසරික සුක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරමින් සිටී.

මිහිමඬලේ සුරක්ෂිත බවට කැපවූවන් සඳහාම පිරිනැමෙන ජනාධිපති පරිසර සම්මාන - 2024

පරිසර සුරක්ෂිතතාව පිළිබඳ විවිධ මාන ඔස්සේ කටයුතු කරන මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන සමාජ කේන්ද්‍රීය වැඩසටහනක් ලෙස “ජනාධිපති පරිසර සම්මාන” වැඩසටහන හඳුන්වාදිය හැකිය. පරිසර සංරක්ෂණයට විශිෂ්ට මෙහෙවරක් සිදුකළ කර්මාන්ත, ව්‍යාපාර, ආයතන හා පුද්ගලයන් අගයමින් රාජ්‍ය ගෞරවය ලබාදීම, පරිසර හිතකාමී කර්මාන්ත, ව්‍යාපාර හා සේවා සංස්කෘතියක් ගොඩනැංවීම, පරිසර හිතකාමී ක්‍රියාකාරීත්වයක් සඳහා සමාජය දිරිගැන්වීම සහ තිරසර සංවර්ධනයට ජන සහභාගිත්වය ගොඩනැංවීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අභිලාසය ඇතිව මධ්‍යම පරිසර අධිකාරිය මහත් පරිශ්‍රමයක් දරමින් “ජනාධිපති පරිසර සම්මාන” වැඩසටහන ක්‍රියාත්මක කරයි. 2024 වර්ෂයේ ජුනි මස 05 වැනි දිනට යෙදෙන “ලෝක පරිසර දිනයට” සමගාමීව සිදුකරන වැඩසටහන් මාලාවේ එක් සුවිශේෂී වැඩසටහනක් ලෙස මෙවර “ජනාධිපති පරිසර සම්මාන – 2024” සංවිධානය කර ඇත.

ජනාධිපති පරිසර සම්මාන ඉතිහාසය

“ජාතික හරිත සම්මාන” ලෙසින් 2011 වර්ෂයේ ආරම්භ කළ මෙම වැඩසටහන 2016 වර්ෂයේ සිට “ජනාධිපති පරිසර සම්මාන” යන නමින් ක්‍රියාත්මක වේ. පරිසර දූෂණය අවම කරමින් පාරිසරික සුරක්ෂිතතාව ඇති කළ හැකි ලෙස ප්‍රශස්ථ තත්ත්ව යටතේ කර්මාන්ත හා සේවා පවත්වාගෙන යෑමට ඔවුන් පෙළඹවීම සහ හරිත පිවිතුරු පරිසරයක් ඇති කිරීම සඳහා කැපවී සිටින කර්මාන්තකරුවන් හා සේවා සපයන්නන් ඇගයීමට ලක්කිරීමේ අරමුණ ඇතිව ජාතික හරිත සම්මාන උළෙල ආරම්භ කර ඇත. එදා මෙදා තුරු විවිධ සාධනීය වෙනස්කම් සිදු කරමින් මේ දක්වා පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් පිදුම් දෙන මෙම සම්මාන උළෙල ශ්‍රී ලාංකේය කර්මාන්තකරුවන්ට, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන, පාසල්, ජනමාධ්‍යකරුවන් ආදී විවිධ සමාජ කණ්ඩායම් වෙත මාහැඟි අභිමානයක් ගෙන දීමට කටයුතු කර තිබේ.

තරග අංශ

“ජනාධිපති පරිසර සම්මාන – 2024” වැඩසටහන සඳහා මේ වන විට අයැඳුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත. “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” සහ “ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ දෙක යටතේ මේ සඳහා අයැඳුම් කළ හැකිය. ඒ අනුව “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” යටතේ අනු අංශ දහසය (16) කි.

ඝන අපද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ/ ප්‍රතිචක්‍රීකරණ/ බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත / රසායනික නිෂ්පාදන කර්මාන්ත / වාහන සේවා ස්ථාන / ආහාරපාන නිෂ්පාදන කර්මාන්ත / හෝටල් / රෙදිපිළි පිරි සැකසුම් කර්මාන්ත / ඖෂධ නිෂ්පාදන හා රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත / ආරෝග්‍ය ශාලා / රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත / සත්ත්ව ගොවිපළවල් / නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත / තේ කර්මාන්ත ශාලා / මුද්‍රණ කටයුතු සහිත ඇසුරුම් නිෂ්පාදන කර්මාන්ත / ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත / පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති (කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති – සූර්ය බල ව්‍යාපෘති – සුළං බල විදුලි උත්පාදන ව්‍යාපෘති) / පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති.

ඇගයීම් කටයුතු සහ සම්මාන උළෙල

“ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය” යටතේ ඇගයීමට ලක්කරන අනු අංශ අට (08) කි. පාසල් / පරිසර හිතකාමී රාජ්‍ය ආයතන / පරිසර හිතකාමී පෞද්ගලික ආයතන / පරිසර සංරක්ෂණය සඳහා විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති පුද්ගලයන් / පරිසර සංරක්ෂණය හා ප්‍රවර්ධන කාර්යන්හි කටයුතු කරන ජාතික මට්ටමේ රාජ්‍ය නොවන පරිසර සංවිධාන / පරිසර හිතකාමී නව නිර්මාණ (පාසල්/ විශ්වවිද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතන/ විවෘත අංශය) / ජනමාධ්‍ය අංශය (“තනිපුද්ගල” සහ “පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනි නාලිකා” ලෙස මෙහි අංශ දෙකකි) ඇගයීම් කටයුතු සහ සම්මාන උළෙල සම්මාන උත්සවයේ ඇගයීම් කටයුතු ඒ ඒ අංශයට අදාළ විශේෂඥයන් විසින් සිදුකරනු ලබන අතර විශේෂඥ කමිටුවේ තීරණය අවසන් තීරණය වේ. ජනාධිපති පරිසර සම්මාන, රිදී පරිසර සම්මාන, ලෝකඩ පරිසර සම්මාන සහ කුසලතා සම්මාන ආදී ලෙස වූ සම්මාන හිමිකර ගැනීමට “ජනාධිපති පරිසර සම්මාන” උළෙලේ දී තරගකරුවන්ට අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. උක්ත ක්ෂේත්‍රවලට අදාළව ඔබ හෝ ඔබේ ආයතනය කටයුතු කරන්නේ නම් ජාතික සම්මාන ලාභියකු වීම සඳහා අයැදුම් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමන් සහ අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112873447, 0112872278 යන දුරකථන අංකවලට හෝ 0112888999 යන ක්ෂණික ඇමතුම් අංකය වෙත ඇමතීමෙන් අයැඳුම්පත් සහ වැඩි විස්තර ලබාගත හැකිය. තවද 0706725222 යන දුරකථන අංකයෙන් සහකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ලක්මිණී රාධිකා මෙනවිය ඇමතීමෙන් ද 0713486339 යන දුරකථන අංකයෙන් ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී අර්ෂා කුමාරි මහත්මිය ඇමතීමෙන් ද වැඩිදුර විස්තර ලබා ගැනීමට අවකාශ සලසා දී තිබේ. සම්මාන උළෙල සඳහා අයැඳුම්පත් භාර ගැනීම 2024 වර්ෂයේ මාර්තු මස 15 වැනිදායින් අවසන් වේ.

පරිසරය සුරැකීම අප සැමගේ වගකීමකි. යුතුකමකි. අප සිදුකරන සෑම ක්‍රියාවකදීම පරිසරය පිළිබඳ යහපත්ව සිතා කටයුතු කිරීම තුළින් පරිසරයට සිදුවන බොහෝ හානි වළක්වාගත හැකිය. නියාමන ආයතනයක් ලෙස පරිසරයට හානි සිදුවන අවස්ථා නියාමනය කිරීමට අපි කටයුතු කරන්නෙමු. එම කටයුතු සාර්ථක වීමට නම් මහජන සහාය අවශ්‍ය වේ. අප නීති රෙගුලාසි පනවනු ලබන්නේ සැලකිලිමත් විය යුතු බොහෝ අංශ පිළිබඳව සළකා බැලීමෙන් අනතුරුව මිනිසා ඇතුළු මුළුමහත් පරිසරයේම සුබසිද්ධිය වෙනුවෙනි. එම නීති රෙගුලාසි අනුව ඇතැම්විට එදිනෙදා ජීවන කටයුතු යම් තරමකට හෝ වෙනසක් සිදු කිරීමට සිදු වුව ද එම වෙනසට අනුගත වෙමින් කටයුතු කිරීම මගින් පරසර සුරක්ෂිතතාව තහවුරු වේ. එබැවින් නියාමන ආයතනක් ලෙස කටයුතු කරන මධ්‍යම පරිසර අධිකාරිය හෝ වෙනයම් පාරිසරික නියාමන ආයතනයක් මගින් පනවා ඇති නීති රෙගුලාසි වෙත අවධානය යොමුකරමින් ඒවා අනුව කටයුතු කර පරිසරය සුරැකීමට ඔබ සැමගේ දායකත්වය ලබා දෙන ලෙස ද එය අප ගන්නා හුස්ම පොදට සොබාදහම වෙත පිදෙන කෘතගුණ සැලකීමක් වනු ඇති බව ද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා සහ අධ්‍යක්ෂ ජනරාල්තුමා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රියාන්ජනී ලොකුලියන
මාධ්‍ය නිලධාරී – මධ්‍යම පරිසර අධිකාරිය

advertistmentadvertistment
advertistmentadvertistment