දඩයක්කරුවන්ට පවිත්‍රා තොණ්ඩු දායි

284

කැලෑ ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට වනජීවී හා වන සම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇය පවසයි.

එසේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ග්‍රාමීය මට්ටමින් පිහිටුවා ඇති සිවිල් ආරක්‍ෂක කමිටුවල සහාය ලබා ගනිමින් වනාන්තර ආරක්‍ෂා කිරීමට හා ඒවාට හානි කරන්නන් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමට සහාය ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

එසේම අලි වැට ඉදිකර නොමැති ප්‍රදේශවලට එය ඉදිකිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරිය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

2023 වසරේ අගෝස්තු මස 21 වැනිදා වන විට අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලි මරණ 55 ක්ද, මිනිස් මරණ 17 ක්ද සිදුව ඇති බව වාර්තා වේ.

වන අලි නිසා මෙම වසරේ අගෝස්තු මස 20 වැනිදා වන විට දේපොළ හානි 47 ක් සිදුව ඇත. 2022 වසරේදී එම හානි සංඛ්‍යාව 493 කි.

2023 වසරේ මේ දක්වා වන්දි ගෙවීම් වෙනුවෙන් රුපියල් තුන්කෝටි හැත්තෑ තුන්ලක්‍ෂ පනස්හයදහසක මුදලක් (රු.37,356,016) වෙන්කර තිබුණි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment