ලෝකප්‍රකට විද්‍යාඥයකු සහ කෘතහස්ත ලේඛකයකු වූ ආතර් සී ක්ලාක් ගේ 106 වන ඡන්ම දිනය මෙම දෙසැම්බර් 16 වැනි දිනට යෙදී තිබුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ආතර් සී. ක්ලාක් නිරිත දිග එංගලන්තයේ වෙරළබඩ පිහිටි ‘මයින්හෙඩ්’ නම් නගරයේ ගොවි පවුලක වාසය කළ යුවළකට 1917 දෙසැම්බර් 16 වැනි දින සිය කුළුඳුල් දරුවා ලැබිණි. ඔහු පිරිමි දරුවෙකි. කුඩා කල සිට ම විද්‍යාවට හා තාරකා විද්‍යාවට ඇලුම් කළ ඔහු තමා විසින් ම ගෙදර දී සාදාගන්නා ලද දුරේක්ෂයකින් තරු පිරික්සමින් ‘ඇස්ටවුන්ඩින් ස්ටෝරීස්’ වැනි සඟරාවල පළවූ විද්‍යා ප්‍රබන්ධ කතාවලින් තම හිස පුරවා ගත්තේ ය.

සිය පියා හදිසියේ අභාවප්‍රාප්ත වීම නිසා බාල සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුත් ඔහුගේ පවුලට මුහුණ දීමට සිදු වූයේ දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පිරි දුර්භාග්‍ය කාලයකි. දීප්තිමත් විමසිලිමත් මනසක් තිබිය දීත් මේ හේතුවෙන් ඔහුට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට නො හැකි වීය. එනිසා තම නිවස අසල පිහිටි ‘ටවුන්ටන්’ මධ්‍යම පාසලෙන් උපාධිය ලබාගැනීමටත් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය අතහැර 1936 වර්ෂයේ දී රැකියාවක් සොයා නිවසින් පිටව යෑමටත් ඔහුට සිදුවීය. වෙනත් කිසිවකු නොව, පසු කලෙක ලෝක ප්‍රකට මහා විද්‍යාඥයකු කෘතහස්ත ලේඛකයකු බවට පත්වූ ආතර් සී. ක්ලාක් ය.

ලන්ඩනයට පැමිණි තරුණ ආතර් සී. ක්ලාක් රජයේ නිලධාරියකු ලෙස රැකියාවක් භාර ගත්ත තාරකා කෙරෙහි තමා තුළ ඇති ඇල්ම ඔහු කිසිවිටෙකත් නැති කර නො ගත්තේය. එනිසා ම ඔහුට ඉක්මනින් ම බ්‍රිතාන්‍ය අන්තර් ග්‍රහලෝක සංගමයේ සාමාජිකයකු බවට පත්වෙන්නට හැකි විය. ඒ අභ්‍යවකාශ තරණය පිළිබඳ සංකල්පය පිළිගත හැකි යැයි සැලකීමට ද බොහෝ කලකට පෙර ය. වැඩිකල් නොගොස් ම ඔහු එම සංගමයේ ප්‍රවෘත්ති පත්‍රයට (News letter) ලිපි සපයන්නට පටන්ගත් අතර විද්‍යා ප්‍රබන්ධ සඳහා වූ ප්‍රවේශය ද ඔහු ආරම්භ කළත් ය.

දෙවන ලෝක සංග්‍රාමය පැමිණීමත් සමග ඔහුගේ මෙම මුල් කාලීන ප්‍රබන්ධ ප්‍රයත්නයන්ට එමගින් දැඩි බාධා ඇති වීය. එහෙත් ඔහුට තාක්ෂණික හැකියාව ලබාගැනීම සඳහා එම ගැටුම එක්තරා ආකාරයක ආශීර්වාදයක් ද විය. 1941 සිට යුද්ධයේ අවසානය දක්වා ඔහුට රාජකීය ගුවන් හමුදාවේ කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන්නට ලැබීම හේතුවෙනි. අහිතකර කාලගුණික තත්ත්වයන් යටතේ ගුවන් යානා ගොඩබෑම සඳහා රේඩාර් තොරතුරු භාවිත කළ ශිල්පීන් අතර සිටිමින් කටයුතු කරන්නට ලැබීම එම තාක්ෂණික දැනුම උකහා ගැනීම සඳහා ඔහුට බෙහෙවින් මහෝපකාරී වීය.

ලේඛකයෙකු ලෙස ඔහු ලද මෙම යුද කාලීන අත්දැකීම් ඔහු විසින් සම්පාදනය කරන ලද මුල් ම ලිපියටත් මුල් ම කෙටිකතාවටත් පාදක වී තිබේ. ‘එක්ස්ට්‍රා ටෙරිස්ට්‍රියල් රීලේස්’ නම් ඔහුගේ මුල් ම ලිපිය 1945 දී ‘වයර්ලස් වර්ල්ඩ්’ සඟරාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ලොව පුරා ගුවන්විදුලි සහ රූපවාහිනී සංඥා සම්ප්‍රේෂණය කිරීමට භූස්ථායී චන්ද්‍රිකා පද්ධතියක් භාවිත කළ හැකි ආකාරය පිළිබඳ න්‍යාය ඔහු එමගින් පළමුවරට ලොවට හෙළිකර සිටියේය. මෙය ආතර් සී. ක්ලාක් නම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා සිය සශ්‍රීක වෘත්තීය ජීවිතය තුළ පුරෝකථනය කළ බොහෝ තාක්ෂණික යථාර්ථයන්ගෙන් පළමුවැන්න බවට පත්වීය. ඊළඟ වසරේ දී ඔහුගේ ප්‍රථම විස්මය ජනක විද්‍යා ප්‍රබන්ධය ‘රෙස්කියු පාටි’ නමින් ප්‍රකාශයට පත් කරනු ලැබී ය.

යුද්ධය අවසානයේ ආපසු ලන්ඩනයට පැමිණි ආතර් සී. ක්ලාක්ට සිය උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා ලන්ඩන් කිංග්ස් විද්‍යාලයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් ලැබිණි. මෙම කාලය තුළ ඔහු ‘බ්‍රිතාන්‍ය අන්තර් ග්‍රහලෝක සංගමය’ සමග නැවත සම්බන්ධ වී වසර කිහිපයක් ම එහි සභාපතිත්වය ද දරමින් ඔහුගේ සාහිත්‍ය කටයුතුවල දිගට ම නිරතවන්නට විය. 1948 දී ඔහු ගණිතය සහ භෞතික විද්‍යාව පිළිබඳ ගෞරව සහිතව උපාධිය ලබා ගත්තේය. ඉන්පසු ඉක්මනින් ම විද්‍යාඥයකු ලෙසත් කතුවරයකු ලෙසත් නමක් ඇතිකර ගැනීමට ඔහු උත්සුක විය.

ඒ අනුව ඔහු ‘සයන්ස් ඇබ්ස්ට්‍රැක්ට්ස්’ සඟරාවේ සහකාර කර්තෘවරයකු ලෙස සේවය කරන්නට අවස්ථාව උදාකර ගත්තේ ය. එහි දී ඔහු ‘ඉන්ටර්ප්ලැනටරි ෆ්ලයිට්’ (1950) නම් ප්‍රබන්ධ නොවන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේ ය. 1951 දී ඔහුගේ පළමු දීර්ඝ නවකතාව වන ‘ප්‍රීලූඩ් ටූ ස්පේස්’ කෘතිය ප්‍රකාශයට පත් වීය. ඉන් වසර දෙකකට පසුව ඔහු ‘නයිට්’ සහ ‘චයිල්ඩ් හුඩ්ස් එන්ඩ්’ නමින් විද්‍යා ප්‍රබන්ධ නොවන කෘති දෙකක් ලියා පළ කළේ ය. ඉන් ‘චයිල්ඩ් හුඩ්ස් එන්ඩ්’ නවකතාව ඔහුගේ පළමු සැබෑ සාර්ථකත්වය බවට පත්වූ අතර අවසානයේ එය 2015 දී රූපවාහිනී කතා මාලාවකට ද අනුවර්තනය විය.

විශ්වයට සාහිත්‍යමය අගයක් දුන් ප්‍රාඥයා ආතර් සී. ක්ලාක්

එම නවකතාවත් ‘2001- අ ස්පේස් ඔඩිසි’ නවකතාවත් ලෝක ප්‍රකට සිනමාකරුවකු වන ස්ටැන්ලි කුබ්රික් විසින් සිනමාවට ද නඟනු ලැබීය.

ආතර් සී. ක්ලාක් දිනාගත් පළමු සම්මානය වූයේ ‘ලෝක විද්‍යා ප්‍රබන්ධ සම්මේලනය’ මගින් හොඳ ම විද්‍යා ප්‍රබන්ධයට වාර්ෂිකව පිරිනමන ‘හියුගෝ’ සම්මානය යි. 1956 දී එය හිමිවූයේ ඔහුගේ ‘ද ස්ටාර්’ නම් විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව සඳහා ය. ආතර් සී. ක්ලාක්ගේ ලේඛන කටයුතු නිසා ඔහු නවකතාකරුවකු ලෙස ගෞරවයට පාත්‍ර වූ අතර විප්ලවවාදී චින්තකයෙකු ලෙස ද ඔහුට ප්‍රමුඛත්වයක් හිමි විය.

අභ්‍යවකාශ යානා සැලසුම් කිරීම සහ කාලගුණ විද්‍යාත්මක යෙදුම් සඳහා චන්ද්‍රිකා සංවර්ධනය කිරීම සඳහා ඇමරිකානු විද්‍යාඥයන් සමග වැඩ කරමින් සිටි විද්‍යාත්මක ප්‍රජාවේ සාමාජිකයන් අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබාගැනීම සඳහා නිරන්තර සහාය ලබාගත්තේ ආතර් සී. ක්ලාක් ගෙනි.

පිටසක්වල සම්බන්ධ ඔහුගේ සියලු ම ක්‍රියාකාරකම් අතරතුර ම ඔහු 1950 ගණන්වල මැද භාගයේ දී මුහුද යට ලෝකය කෙරෙහි ද උනන්දුවකින් කටයුතු කිරීමට පටන් ගත්තේය. 1956 දී ඔහු ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අතර පළමුව වෙරළබඩ නගරයක් වන උණවටුනෙහි පදිංචි වූ අතර පසුව කොළඹට පැමිණියේය. එතැන් සිට ජීවිත කාලය පුරා ම ඔහු ශ්‍රී ලංකාවේ ජීවත් වූ අතර දක්ෂ කිමිදුම්කරුවකු බවට ද පත් විය.

මුහුද යට ගල්පර ඡායාරූප ගැනීමේ යෙදුන ඔහුට වරක් දිය යට පිහිටි පුරාණ විහාරස්ථානයක නටබුන් පවා සොයාගැනීමට හැකි විය. ඔහු ‘ද කෝස්ට් ඔෆ් කොරල්’ (1956) සහ ‘ද රීෆ්ස් ඔෆ් තැප්‍රොබේන්’ (1957) වැනි කෘතිවල එම කිමිදුම් අත්දැකීම් ලේඛනගත කර තැබීය. මේ සම්බන්ධ ඔහු තුළ පැවැති නිපුණතාව සහ ප්‍රවීණතාව උපයෝගී කරගනිමින් දිය යට සංචාරක ව්‍යාපාරයක් පවා ඔහු ආරම්භ කළේ ය.

එසේ වුව ද අභ්‍යවකාශය කෙරෙහි ඔහු තුළ වූ ඇල්ම දිගට ම රැඳී තිබිණි. ඔහු පෝලියෝ රෝගයට ගොදුරු වූයේ මේ වකවානුවේදී ය. එය ඔහුගේ සංචරණය සීමා කළත් ඉන්පසු ඔහු නැවතත් තරු දෙසට අවධානය යොමු කරන්නට පටන් ගත්තේ ය. 1960 ගණන්වල දී තමාගේ වැදගත් ම ව්‍යාපෘති කිහිපයක් සඵල වන බව ඔහුට දැනිණි. 1962 දී ඔහු ‘ප්‍රොෆයිල්ස් ඔෆ් ද ෆියුචර්’ කෘතිය ප්‍රකාශයට පත් කළ අතර වසර 2100 දක්වා වන නව නිපැයුම් පිළිබඳ අනාවැකි ඔහු එහි ලියා තැබී ය.

චන්ද්‍රිකා තාක්ෂණය වෙනුවෙන් ඔහු කළ දායකත්වය උදෙසා 1963 දී ‘ෆ්‍රෑන්ක්ලින් ආයතනය’ ඔහුට ‘බැලන්ටයින්’ සම්මානය ප්‍රදානය කළේ ය. ඊළඟ වසරේ ‘සින්කොම් 3’ චන්ද්‍රිකාව මගින් ‘ගිම්හාන ඔලිම්පික් උළෙල’ ජපානයේ සිට එක්සත් ජනපදයට විකාශනය කළ අවස්ථාවේ එහි ගරුත්වය වඩාත් හොඳින් කැපී පෙනෙන්නට වීය. ඔහු විසින් පළ කරන ලද ‘2001- අ ස්පේස් ඔඩෙසි’ සහ අනෙකුත් සෑම නිර්මාණයක් ම ඔහු අභ්‍යවකාශය පිළිබඳ සෑම දෙයක ම ප්‍රවීණයෙකු බවට පත්කළේ ය. 1964 දී සිනමා අධ්‍යක්ෂ ස්ටැන්ලි කුබ්‍රික් සමග ඔහු තම ‘ද සෙන්ටිනල්’ නම් කෙටිකතාවේ තිර රචනය සිනමාවට අනුවර්තනය කිරීමේ වැඩ ආරම්භ කළේ ය. 1968 දී කුබ්රික් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘2001-අ ස්පේස් ඔඩෙසි’ සම්භාව්‍ය සිනමාපටය බවට පත්වූයේ එයයි. එය මෙතෙක් නිපදවා ඇති විශිෂ්ටත ම චිත්‍රපට අතරින් එකක් ලෙස සැලකේ. ඔවුන්ගේ තිර රචනය ඇකඩමි සම්මාන සඳහා යෝජනා වූ අතර වැඩිදුරටත් සංවර්ධනය කර ලියන ලද එය එම වසරේ දීම එනමින් ම වන නවකතාව ලෙස ද ප්‍රකාශයට පත් වීය. ඉන්පසුව ප්‍රකාශයට පත් ඔහුගේ ‘2010- ඔඩෙසි ටූ’ 1984 වසරේ දී ත් ‘2061-ඔඩෙසි ත්‍රී’ 1987 වසරේදීත් ‘3001- ද ෆයිනල් ඔඩෙසි’ 1997 වසරේ දී ත් සිනමාවට නැඟිණි.

1960 ගණන්වල අවසානයේ සිදුකළ ‘ඇපලෝ 11’ යානය චන්ද්‍රයා මතට ගොඩබෑම පිළිබඳ විස්තර ප්‍රචාරය සඳහා සීබීඑස් රූපවාහිනියේ සන්නිවේදකයකු වූ වෝල්ටර් ක්‍රොන්කයිට් සමග සම්බන්ධ වීමට ආතර් සී. ක්ලාක් තෝරාගත් අතර එය ඔහුට අභ්‍යවකාශ ගමනක ඇති ත්‍රාසජනක බව පිළිබඳ සී.වි අත්දැකීමක් බවට පත් විය. අනතුරුව ඔහු ‘ඇපලෝ 13’ සහ ‘ඇපලෝ 15’ මෙහෙයුම් ආවරණය කිරීම සඳහා ද සම්බන්ධ වෙමින් අනගි මෙහෙයක් ඉටුකළේය. ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් කතුවරයෙකු සහ චින්තකයෙකු වූ ආතර් සී. ක්ලාක් 1970 ගණන්වල දී ඔහුගේ සාරවත් හා සාර්ථක නිමැවුම් ගණනාවක් ලොවට ප්‍රදානය කළේය. 1973 පළවූ ‘රාන්ඩේස්වර්ස් විත් රාමා’ නම් ඔහුගේ නවකතාව හොඳම විද්‍යා ප්‍රබන්ධයට වාර්ෂිකව පිරිනැමෙන ‘නෙබුලා’ සහ ‘හියුගෝ’ යන සම්මාන දෙක ම දිනා ගත්තේ ය. ඉන් වසර කිහිපයකට පසුව එනම් 1979 දී ද ඔහුගේ ‘ද ෆවුන්ටන් ඔෆ් පැරඩයිස්’ නවකතාව සඳහා ද එම සම්මාන ද්විත්වය පිරිනැමිණි.

ඊළඟ දශකය තුළ ඔහු ‘එසන්ට් ඔෆ් ඕබිට්’ (1984) සහ ‘එස්ටවුන්ඩින් ඩේස්’ (1989) යන ස්වයං චරිතාපදාන කෘති සම්පූර්ණ කළේ ය. එමෙන් ම ඔහු නැවත වරක් රූපවාහිනී වැඩකටයුතුවලට සම්බන්ධ වූ අතර ජනප්‍රිය කතා මාලාවක් වන ‘මිස්ටීරියස් වර්ල්ඩ්’ (1981) ‘වර්ල්ඩ් ඔෆ් ස්ට්‍රේන්ජ් පවර්ස්’ (1984) මෙන් ම ‘ක්‍රොන්කයිට්’ නම් රූපවාහිනී වැඩසටහනට ‘යුනිවර්ස්’ (1981) නම් කතා මාලාව ද නිෂ්පාදනය කරමින් දායක විය.

එම දශකයේ අවසානය වනවිට පෝලියෝ රෝගය ආශ්‍රිත සංකූලතා හේතුවෙන් ඔහුගේ සංචලන කටයුතු බෙහෙවින් අඩාල වූ අතර අවසානයේ එම ආබාධයන් ඔහු රෝද පුටුවකට සීමා කළේ ය. එහෙත් එය කිසිදු අයුරකින් ඔහුගේ ලේඛන කටයුතුවලට බාධාවක් නොවූ අතර දිගින් දිගට ම ඔහු ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති රැසක් රචනා කළේ ය. විවිධ ග්‍රන්ථ සියයකට ආසන්න ප්‍රමාණයක් රචනා කරමින් විද්‍යාව පිළිබඳ ඔහුගේ බොහෝ අදහස් අනාගත තාක්ෂණික නවෝත්පාදනයන් සමග සම්බන්ධ කරමින් සිය ජීවිත කාලය පුරා ම ඔහු කළ දායකත්වය සඳහා ඔහුට උසස් පිළිගැනීමක් ලැබිණි. එයින් ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් සිංහලයට ද පරිවර්තනය වී තිබේ. විශේෂයෙන් ම අධ්‍යාපනික ප්‍රදාන සහ සම්මාන හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල තාක්ෂණ භාවිතය ප්‍රවර්ධනය කරමින් ඒවායේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා 1983 දී ‘ආතර් සී. ක්ලාක් පදනම’ පිහිටුවනු ලැබී ය. එසේ ම 1986 දී විශිෂ්ටතම බ්‍රිතාන්‍ය විද්‍යා ප්‍රබන්ධය සඳහා වාර්ෂිකව පිරිනැමෙන ආතර් සී. ක්ලාක් සම්මානය ද ඔහු නමින් පිහිටුවන ලැබී ය. තව ද ඔහු ශ්‍රී ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ විශ්වවිද්‍යාලය සඳහා කුලපති ධුරයෙන් පිදුම් ලද අතර මොරටුව විශ්වවිද්‍යාලයේ 1979 සිට 2002 දක්වාත් ජාත්‍යන්තර අභ්‍යවකාශ විශ්වවිද්‍යාලයේ 1989 සිට 2004 දක්වාත් එම තනතුරුවල කටයුතු කළේ ය.

විශ්වයට සාහිත්‍යමය අගයක් දුන් ප්‍රාඥයා ආතර් සී. ක්ලාක්

ඔහුගේ ජීවිතයේ අවසාන දශකය තුළ බ්‍රිතාන්‍ය මහ රැජින විසින් ඔහුට නයිට් පදවිය පිරිනමන ලද අතර ශ්‍රී ලංකා ජනරජය මගින් මෙරට ‘සම්මානනීය පුරවැසිභාවය’ මෙරට සිවිල් පුද්ගලයකුට ලබාදෙන ඉහළ ම ගෞරවය වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයත් පිරිනමනු ලැබී ය. ඊට අමතරව 1982 දී යුනෙස්කෝව පිරිනැමූ ‘කාලිංග’ සම්මානයත් චන්ද්‍රිකා සන්නිවේදනය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ‘නැෂනල් ඇසෝසියේෂන් ඔෆ් බ්‍රෝඩ්කාස්ටර්ස්’ ආයතනය 1982 දී පිරිනැමූ ‘මාර්කෝනි’ සම්මානයත් 1986 දී ශ්‍රී ලංකා ජනරජය පිරිනැමූ ‘විද්‍යාජෝති’ සම්මානයත් මගින් ඔහු බුහුමනට පාත්‍ර කෙරිණි. තව ද ඔහුට ගෞරව කිරීමක් වශයෙන් ‘අභ්‍යවකාශ අධ්‍යාපනය සඳහා වන ආතර් සී. ක්ලාක් ආයතනය’ ඔහුගේ නමින් ආරම්භ කරනු ලැබී ය. 2008 මාර්තු 19 වන දින ශ්වසන අපහසුතාවක් හේතුවෙන් මියයන විට ඔහු වයස අවුරුදු 90 ඉක්මවා සිටියේ ය. ගණනය නොකළ හැකි තරම් රචනා සහ කෙටිකතා අතිවිශාල ප්‍රමාණයක් මෙන් ම ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන විවිධ පොත් 100කට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති ඔහු විශ්ව සාහිත්‍යයට මෙන් ම අභ්‍යවකාශ ගවේෂණ හා විද්‍යා ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය අසීමිත ය.

ඔහුගේ එම කර්තව්‍යයන්ට ගෞරව කිරීමක් වශයෙන් ‘ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය’ පෘථිවි සමකයට ඉහළින් ඇති කක්ෂයේ කිලෝමීටර් 36000 ක් පමණ වන දුරක් ‘ක්ලාක් කක්ෂය’ ලෙස නම් කළ අතර අංක 4923 ග්‍රහකයට ‘ක්ලාක්’ යන නාමය ලබාදෙනු ලැබී ය.

එවන් ගෞරවාදරයකට පත් ඒ අසහාය ප්‍රාඥයා විසින් මුළුමහත් ලෝකය වෙනුවෙන් සහ අපේ රට වෙනුවෙන් ඉතිරිකර ගිය ඒ සුවිසල් ගෞරවයෙන් හා ඥාන සම්භාරයෙන් තවමත් අපට ප්‍රමාණවත් ලෙස ප්‍රයෝජන ගන්නට නොහැකි වූයේ මන්දැයි ඔහුගේ 106 වන ඡන්ම දිනය සමරන මේ මොහොතේ අප විසින් සිතා බැලිය යුතුව පවතී.

● අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment