13 නයිමල්ලක් ද? දෙකොන පත්තු වූ විලක්කුවක් ද?

123

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශනය සිදුකරද්දී ඒ සභා ගර්භය පමණක් නොව, ඉන් පිටත ද දිස්වූයේ දැඩි උණුසුම් දේශපාලන ප්‍රතිචාර හා ක්‍රියාකාරකම් ය. විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය වූ ස.ජ.බ. හා ජ.විපෙ. එහි නොසිටි අතර නිදහස් ජනතා සන්ධානය ප්‍රමුඛ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද ජනාධිපතිවරයාට විරෝධය දක්වා සභාවෙන් පිටවීම ද සුවිශේෂ සිද්ධියකි. ඔවුන් ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් උස් හඬින් කියා සිටියේ ජනාධිපතිවරයාට ‘රාජාසන කතා මේනියාවක්’ තිබෙන බවය. දෙමළ ජාතික සන්ධානය ද ජනාධිපතිවරයාට සවන්දීමට සභාවේ නොසිටියත්, දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරු කීපදෙනෙක් ද එහි රැඳී සිටියහ. එසේ ම ශ්‍රීලනිපයේ දුමින්ද හා සී. වී.

විග්නේශ්වරන් ද සභාවේ සිටියහ. සිය කණ්ඩායමේ විරෝධයට හේතු දක්වමින් මහාචාර්ය ජී. එල්. පීරිස් සඳහන් කළේ කිසිදු යුක්ති සහගත හේතුවක් නොමැතිව පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම වරදක් බව ය. ඒ නිසා පාර්ලිමේන්තුවේ එතෙක් පැවැති කාරක සභා විශාල ප්‍රමාණයක් ඉබේ ම අහෝසි වන බව ද ජී. එල්. ගේ විවේචනය විය. හැත්තෑපස් වසරක පාර්ලිමේන්තු ඉතිහාසයේ, පළමුවරට ජනතා පරමාධිපත්‍යයේ කේන්ද්‍රස්ථානය විධායකයේ අභිමතය පරිදි අකර්මණ්‍ය කිරීම නුසුදුසු බව ද ඔහුගේ අවධාරණය විය.

කෙසේ වුවද ජනාධිපති රනිල් ව්‍යවස්ථාදායකයේ හෙවත් පාර්ලිමේන්තුවේ කටයුතුවලට මැදිහත් වන බවට විපක්‍ෂයේ චෝදනාවක් ද තිබේ. එහි මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් ගනු ලබන ඇතැම් තීරණයක් ජනාධිපතිවරයා විසින් වෙනස් කරනු ලැබ ඇතැයි පසුගිය දිනවල චෝදනා එල්ල වූ ආකාරය අපට ද මතක ය. එසේ ම ස්වාධීන කොමිසම්වලට ජනාධිපතිවරයා යම් යම් බලපෑම් කළ බව ද රහසක් නොවේ. කුමක් වුවත් මෙම ව්‍යවස්ථාව නිර්මාණය කළ ජේ. ආර්. ගේ අභිලාෂය වූයේ විධායකය රටේ නීතියටත් ඉහළින් සිටිය යුතු බවකි. ඔහුගේ ම කුප්‍රකට කියමනකට අනුව විධායකයට කළ නො හැක්කේ ගැහැනියක් පිරිමියකු බවටත්, පිරිමියෙක් ගැහැනියක් බවටත් පත් කිරීම පමණි. එහෙව් විධායකයක් පැවැති රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කවර කතා ද? අද සංශෝධන මගින් ඒ බලයට සීමා තිබුණත් එහි පදනම ඊට වඩා ප්‍රබල ය.

විධායක ධුරය පිළිබඳ අර්ථ නිරූපණය කුමක් වුවත් අද එම ධුරය හොබවන ජනාධිපති රනිල් එහි කටයුතු සිදු කරන්නේ ද එයට හිමිව තිබෙන නීත්‍යානුකූල තත්ත්වය මතය. බොහෝ දෙනකු විසින් සඳහන් කරනු ලබන ජනවරමක් නොමැත යන්නට ඔහුගේ තැකීමක් නැති බව ද පැහැදිලිය. ඇත්ත වශයෙන් ම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂඥයකු මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන අගනා විමර්ශකයකු ද වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වරක් සඳහන් කළේ ජයවර්ධනගේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත ඔස්සේ ජනතාව බලය කරා යන ගමනට අවහිරයක් බවය. මෙම විධායක ක්‍රමය පිළිබඳ අගනා විශ්ලේෂණයක් කළ එබඳුම ප්‍රාමාණිකයකු හා දේශපාලන විශාරයකු ද වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ගේ ප්‍රකාශයක් ද මෙතැනට එකතු කළ යුතුය. ඔහු අවධාරණය කළේත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අත්දැකීම් සහිත මෙන්ම දිගු කාලයක් මුළුල්ලේ (1931 පමණ සිට) එය අභ්‍යාස කළ ශ්‍රී ලංකාව වැනි රටක් ව්‍යවස්ථා අර්බුදයේ පල්ලමට පෙරළා දමමින් අවසානයේ දී ප්‍රජාතන්ත්‍රවාදය පවා උවදුරකට පත්කිරීම ඛේදජනක බව ය.

ජයවර්ධනගේ ව්‍යවස්ථාව මෙරටේ දේශපාලන සංස්කෘතිය පමණක් නොව, අපගේ ශිෂ්ට සම්ප්‍රදායන් පවා අර්බුදයකට ලක්කළ බව විවේචනය කළ පසුකාලීන කිසිම නායකයෙක් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට රටට උචිත ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට පියවර නොගත් බව ජනතාවද දනී. ජේ. ආර්ගේ ව්‍යවස්ථාව බහුබූතයක් බව පැවසූ චන්‍ද්‍රිකාට මෙන්ම ඉන් පසු ව්‍යවස්ථාව වෙනස් කරන බවට සහතික කළ මහින්ද මෙන්ම යහපාලනයේ මෛත්‍රීපාල – රනිල් සුසංයෝගයට ද ඒවා කිසිවක් ඉටු කළ නො හැකි විය. ඒ වෙනුවට ගෝඨාභයට තවත් බලතල ලබාදීමට ද පියවර ගනු ලැබිණ. ගෝඨාභයට ලබාදුන් ජනවරම අනුව ඔහු අලුත් ව්‍යවස්ථාවක් ලබාදීමට ද සහතික වී සිටියේය. අවසානයේ දී ගෝඨාභයට සිදු වූයේ සිය ධුරයත් අත්හැර රටින් ද පලායෑමට ය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වන්නේ ඔහුගේ (ගෝඨාභයගේ) අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ නිල කාලයෙහි ඉතිරි කාලය සඳහා ය. ඔහු එම ධුරයට පත්වීමෙන් පසු මේ රටේ උද්ගතව තිබුණු ආර්ථික පසුබැසීම මෙන්ම දේශපාලන කැළැඹීම ද යම් ප්‍රමාණයකට කළමනාකරණය කළ බව පොදුවේ පිළිගනු ලබන්නකි. එහෙත් ඔහු විධායකය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විවේචන තිබේ. ඔහු අභ්‍යාස කරන්නේ තම පූර්වාගාමී නායකයා වූ ජයවර්ධනගේ ක්‍රමය ම බව පැහැදිලි ය. කවුද ඔහුට ඒවා කරන්න බලය දුන්නේ? යැයි ද සමහරු අසති. ඔහු ක්‍රියා කළ යුතු ආකාරය ගැන ද අදහස් දක්වති.

13 නයිමල්ලක් ද? දෙකොන පත්තු වූ විලක්කුවක් ද?

අපගේ වැටහීමට අනුව නම් ඔහු ව්‍යවස්ථානුකූලව පත් වූ විධායක ජනාධිපතිවරයෙකි. ඔහුව තෝරා ගන්නා ලද්දේ රාජපක්‍ෂවරුන් විසිනි. ගෝඨාභය ධුරය හැර ගිය පසු අගමැති ලෙස සිටි රනිල් පසුව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් එම ධුරයට පත් වූයේ රාජපක්‍ෂ කඳවුරෙහි තේරීම අනුව ය. ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රය සැකසීම ද විපක්‍ෂයට කළ නො හැකිය. ඔහුගේ දේශපාලන දැක්ම හා චින්තනය පෝෂණය වන්නේ ඔහුගේ සමාජ සංස්කෘතික බැඳීම් හා වටිනාකම් අනුව විය හැකිය. ඇතැම් විට ඒවා සමඟ ගැටුම් මෙන්ම ප්‍රතිවිරෝධතා වුවද මතුවීමට බැරි නැත. එහෙත් විධායක ජනාධිපතිවරයා ලෙස ඔහු සතු බලයට නීතියෙන් අභියෝග කළ නො හැකි ය. ව්‍යවස්ථා විරෝධීව සිදුකෙරෙන කාර්යයක දී නම් විපක්‍ෂයට මෙන්ම ජනතාවට වුවද අධිකරණයේ සහාය පැතීමට පිළිවන.

අද උද්ගතව තිබෙන 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම අප විමසා බැලිය යුත්තේ ද දේශපාලනිකව නොව, නීතිය පිළිබඳ දෘෂ්ටියකින් බවට සමහරුන් තර්ක කරන්නේ ද ඒ පසුබිම තුළ ය. ජනාධිපති රනිල් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකෙහිදීම ඔහු කිසිවිටෙක විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමට යෝජනා කළ බවක් ද අපට මතක නැත. එහෙත් ඔහු අගමැතිවරයා ලෙස 19 වැනි සංශෝධනයට උර දෙන්නේත්, පාර්ලිමේන්තුවට වැඩි බලයක් ලබාදිය යුතු යැයි යෝජනා කරනනේත් විධායක ධුරයෙහි රස බැලීමට පෙර ය. ඔහු විසින් මෙවර ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති දෙස බලනවිට ද හැඟී යන්නේ මෙම විධායකයෙහි සෙවණ යට ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාදාමයකි. ඔහු සිය කතාවේදීත් සිහි කරන්නේ 1977 දී ඔහුටත් දෙමළ නායක ආර්. සම්පන්ධන්ටත් පොදු සිහිනයක් තිබුණ බවය. ඔහු දැඩිව අවධාරණය කරන්නේ ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කළ යුතු බවය. මෙයට පෙරත් ඒ සඳහා ගත් හැම පියවරක් ම අසාර්ථක වුවත් මෙවර ඒ ජනවාර්ගික ගැටලුවට තිරසර විසඳුමක් ලබා දිය යුතු බවය. ඒ සඳහා සියලුම දෙනාගේ සහාය ද ඔහු අයැද සිටියි.

ජනාධිපති රනිල් පාර්ලිමේන්තුව තුළ සිය ප්‍රතිපත්ති කතාව කරමින් සිටිය දී මෙරටේ මහා සංඝයා වහන්සේ පාර්ලිමේන්තුවට නුදුරුව එම 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව දැඩිව පැවසූ හ. පසුව පාර්ලිමේන්තුවේ දී එම ප්‍රකාශනය පිළිබඳ විවාදයට එක් වූ හිටපු ජනාධිපතිවරයකු වූ මෛත්‍රිපාල පැවසුවේ මේ දෙකොණ ගිනිගත් විලක්කුවක් බඳු 13 වැනි සංශෝධනය කුමක් නිසා කරළියට රැගෙන ආවේ ද යන්න ගැටලුවක් බවය. ඇත්ත වශයෙන් ම එය ගහෙන් ගෙඩියක් එන්නාක් මෙන් හදිසියේ ආ මාතෘකාවක් ලෙස අපට නම් නොසිතේ. විශේෂයෙන් මෙම ජනවාරියේ තෛපොංගල් උත්සවයකට සහභාගිවීම සඳහා යාපනයට ගිය ජනාධිපති රනිල් එහි දී උතුරේ වර්තමාන ප්‍රශ්න ගැන සාකච්ඡා කළ බව ද වාර්තා විය. විශේෂයෙන් හමුදාව භාරයේ තිබෙන ඉඩම් උතුරේ ජනතාවට ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපතිවරයා විසින් පසුගිය දිනවල කැඳවන ලද සර්ව පාක්‍ෂික සමුළුවේදීත් මේ 13 වැනි සංශෝධනය ගැන සාකච්ඡා විය. ස.ජ.බ. හා ජ.විපෙ. ඇතුළු සමහරුන් එයට එක් නොවූවත් හිටපු ජනාධිපති මහින්ද – අගමැති දිනේෂ් ඇතුළු පොහොට්ටුවේ පිරිසක් ද එයට එක්ව සිටියහ. සජබයේ රාජිත සේනාරත්න ද එම සාකච්ඡාවට එක්ව සිටියේය. මෙහිදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුය යන අදහස ජනාධිපති රනිල් ඉදිරිපත් කළේය. එදා එයට විරුද්ධ වූයේ යුතුකම සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග, සරත් වීරසේකර හා අතුරලියේ රතන හිමියන් පමණි. මෛත්‍රීපාල සඳහන් කළේත් ඉඩම් කච්චේරියක් මගින් උතුරේ ජනතාවට ඒ අහිමි වූ ඉඩම් ලබා දියයුතු බවය. අගමැති දිනේෂ් හා මහින්ද එහි දී තුෂ්ණිම්භූතව සිටියහ. මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ වී තිබෙන එකම අදහස වන්නේ පොහොට්ටුවේ ලේකම් සාගර සඳහන් කළ 13 දීමට පෙර ගැඹු අධ්‍යයනයක් කළ යුතුය යන්නයි. සාගර එහිදී සිහිපත් කළේත් රනිල් අගමැතිවරයා ලෙස සිටිය දී පවා නොකළ දෙයක් මෙසේ සැණකින් ක්‍රියාත්මක කළ යුතු යැයි කීම ගැනය.

ජනාධිපති රනිල් පසුගිය දිනක පැවැති පක්‍ෂ නියෝජිත හමුවේ දී තරමක් දැඩි ස්වරයකින් පැවසුවේ 13 ක්‍රියාත්මක නො කරනනේ නම් එය ව්‍යවස්ථාදායකය විසින් ඉවත් කළ යුතු බවය. විධායකය ලෙස තමන්ට එය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ද ඔහුගේ ස්ථාවරය විය. අපට නිශ්චිතව ඉදිරිපත් කිරීමට සාක්‍ෂි නැති වුවද ඉන්දියාවට අද යළිත් 13 බලාත්මක කිරීමේ අදහස මතුව තිබෙන බව අනුමාන කළ හැකිය. ඉන්දියාව ඒ සඳහා ජනාධිපති රනිල්ට බලපෑම් නො කිරීමට ඇතැයි සිතිය නො හැක. එදා මේ සම්බන්ධයෙන් ඉන්දියාව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට කළ බලපෑම රටට දනී. 13 වන සංශෝධනය ගැන කියැවෙන ප්‍රසිද්ධ ප්‍රකාශනයක් වන්නේ ඉන්දියාව එදා ජයවර්ධනගේ අත අඹරවා බලයෙන් මෙයට අත්සන් ගත් බවය. ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ නොසන්සුන් දේශපාලන වාතාවරණය ද අපට මතකය. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා හෝටලයක නවත්වා පසුව එම සංශෝධනයට පාර්ලිමේන්තුවේ දී ඡන්දය ලබාගත් ආකාරය ද අපි දනිමු. එදා ජ.වි.පෙ. මෙම ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව ගෙන ගිය අරගලය ද අපට මතකය.

ජයවර්ධන ජනාධිපතිවරයා කෙතරම් දැඩි පාලකයකු වුවද එදා ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීම හා බැඳුණු ක්‍රියාදාමයේ දී ඔහු දැඩි ලෙස හෙම්බත්ව සිටි බව ඔහුගේ චරිතාපදානයේ ද සඳහන් වේ. එකල ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් (1985 – 1989) හා පසුව ඉන්දියාවේ විදේශ ලේකම් ලෙසත් කටයුතු කළ ජේ. එන්. ඩික්සිත් විසින් ලියන ලද ‘කොළඹ භූමිකාව’ කෘතියෙහි ද එදා මේ සම්බන්ධයෙන් උද්ගතව තිබුණු දේශපාලන වාතාවරණය විස්තර කර තිබේ. කුමක් වුවත් ඉන්දියාව අදටත් මේ උතුරේ අර්බුදය පිළිබඳව තම ග්‍රහණය ලිහිල් කර නැති බව අපගේ අනුමානයයි. ඉන්දියාව අපේ පාරම්පරික හා සංස්කෘතික මිතුරා ලෙස අප විසින් පිළිගනු ලැබූවත් මෙම අර්බුදයේ දී ඔවුන්ගේ මැදිහත්වීම් ගැන අපට විවේචන තිබේ. ඒ ඉන්දියාව අදත් අපේ නායකයන්ගේ දුබලකම් ප්‍රයෝජන ගැනීමට පසුබට නොවන බව ද අමුතුවෙන් කිව යුතු නැත.

ඇත්ත වශයෙන් ම 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජයවර්ධනට මෙන්ම ඔහුගෙන් පසු විධායක ධුරයට පත් වූ සියලු දෙනාට ම පසුබෑමක් තිබුණි. එහි සඳහන් වන පොලිස් හා ඉඩම් බලතල ලබාදීමට ඒ කිසිදු ජනාධිපතිවරයෙක් නිර්භීත වූයේ ද නැත. මේ සම්බන්ධයෙන් දකුණේ සිංහල ජනමනස තුළ තිබෙන්නේද 13 සංශෝධනය රට බෙදීමට හේතු විය හැකි බවය. දැනට ත්‍රෛනිකායික මහ නා හිමිවරු ද මෙම යෝජනාවට එකඟ නොවෙති. ජනාධිපති රනිල් කෙබඳු ප්‍රතිඥා දුන්නත්, එයින් රටේ ඒකීයත්වය නැතිවන බව ඇතැම් සිංහල දේශපාලනඥයෝ ද පවසති. ඇත්ත වශයෙන් ම මේ ජනවර්ග දෙක බෙදීමත්, වෙන් කිරීමත් අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ දුෂ්ට ක්‍රියාවල ම ප්‍රතිඵලයකි. එදා අමිර්තලිංගම් වැනි දෙමළ දේශපාලන නායකයන් ප්‍රසිද්ධියේ ම කියා සිටියේ ඒකීය ව්‍යවස්ථාවෙන් තම ප්‍රශ්න නොවිසඳෙන බවත්, දෙමළ තරුණයන්ට ආයුධ අතට ගැනීමට සිදුවිය හැකි බවත් ය. සිංහල – දෙමළ නායකයන් විසින් ම වපුරන ලද ජාතිවාදී විෂ තවමත් අවසන් වී නැත. ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් වූ දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ සී. වී. විග්නේශ්වරන් ප්‍රකාශ කළේ ද ෆෙඩරල් ලබා ගන්නා තෙක් පස්ස නොබලන බවය. මේවා යළිත් වර්ගවාදී ගිනි දැල්වීමට ඕනෑවටත් වඩා වැඩිය. අනෙක් කරුණ නම් එදා විග්නේශ්වරන් සඳහන් කළ පරිදි සිංහල හා පාලි පමණක් දන්නා හාමුදරුවරුන් පන්සල්වලට වී සිටීමේ අදහස ද ඔහුගේ දේශපාලන බංකොලොත් බව විදහා පාන්නක් පමණි. භික්‍ෂුවගේ උරුමය හා අධිරාජ්‍ය විරෝධී අරගල භූමිකාව පිළිබඳ නොදන්නා ඔහුගේ මුග්ධ ප්‍රතිචාර ගැන අප කලබල විය යුතු නැත.

අප අවසාන වශයෙන් සඳහන් කරනනේ ද අද රටක් ලෙස අප මුහුණ දී සිටින උභතෝකෝටික ප්‍රශ්න පිළිබඳව ප්‍රබුද්ධ මනසකින් ක්‍රියා කිරීම සිංහල දෙමළ, මුස්ලිම්, නායකයන්ගේත්, විද්වතුන්, සමාජ ක්‍රියාකාරිකයන් ප්‍රමුඛ මහා ඝරත්නයේ හා සියලු ආගමික නායකයන්ගේ ද වගකීම බවය. ජනාධිපති රනිල් පවසන්නාක් මෙන් 13 වැනි සංශෝධනය යනු ව්‍යවස්ථාවෙහි සඳහන් නීතියකි. එහෙත් එය ක්‍රියාත්මක නොකළේ හේතු සහිතව (හරි හෝ වැරදි) බව ඔහු ද දනී. අද එයට එරෙහිව විරෝධතාවක් ද ඇවිළෙයි. එනිසා මෙය අලුත් එකඟතාවකින් – අභිනව සම්මුතියකින් බලාත්මක කළ යුත්තකැයි කෙරෙන යෝජනාව ද බැහැර කළ නොහැක. කුමක් වුවත් දැන් 13 සංශෝධනය ජනාධිපති හිසමත තබාගත් නයිමල්ලක් වැන්න.

ලංකාවේ 75 වන නිදහස අභිමානයෙන් සැමරූ අපට යළිත් ජාති, ආගම්, කුල වැනි යල්පිනූ භේද ඇදගෙන වාද විවාද කිරීම නම් අතිශය නිෂ්ඵලය. එනිසා රටට අවශ්‍ය අලුත් ව්‍යවස්ථාවක් බහුතරයක එකඟතාවකින් සම්මත කර ගැනීමට අපට බැරි ඇයි? එනිසා 13 සංශෝධන නයි මල්ල එහෙම පිටින්ම වීසිකර නැවුම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගෙන ජාතික අභිමානයෙන්, එක මවකගේ දරුවන් ලෙස නැඟී සිටීමට කාලය එළැඹ තිබෙන බව ද සිහිපත් කරමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment