ත්‍රිකුණාමලයට අනුරාධපුරයට වතුර නෑ

මහින්ද චින්තනය තුළ මහින්ද රාජපක්ෂ රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය වූයේ කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීමයි. ඒ අනුව ත්‍රිකුණාමලය හා අනුරාධපුර දිස්ත්‍රික් ඊසාන දිග මායිමේ ජීවත්වන ජනතාවගේ ආර්ථිකය ඉහළ නංවා එම ප්‍රදේශ මිරිදිය ධීවර කර්මාන්තය හා කෘෂිකර්මාන්තය ඇසුරෙන් ස්වයංපෝෂිත කිරීමට සැළසුම් කෙරිණි. ඒ අනුව හෙළ රජ සමයෙන් පසු මෙරට ඉදිවූ දිගම හා වැඩිම වේලි සහිත ජලාශය වන යාන් ඔය ජලාශය ඉදිකිරීමට මහින්ද රාජපක්ෂ රජය වැඩ ආරම්භ කළේය. වැඩ නිමවීමෙන් පසු එය මෙරට ඉදිවූ තුන්වන විශාලතම ජලාශය විය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග සංවර්ධන සැළසුමට අනුව චීන ඉදිකිරීම් සමාගමක් වූ චයිනා CAMC ඉංජිනේරු පුද්ගලික සමාගම විසින් මෙහි ඉදිකිරීම් කරනු ලැබීය. ජලාශයේ වම් ඇළ හා වැව් බැම්ම ඉදිකිරීම චීන සමාගම විසින් සිදුකළ අතර සෙසු ඉදිකිරීම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කර තිබුණි. ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 210 කි. මේ මහා ව්‍යාපෘතිය හරහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේක්ෂා කළ ඉලක්ක නිසියාකාරව ඉටු වූ බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට සමාජ ප්‍රශ්න ගණනාවකට යාන්ඔය අවට ජනතාවට මුහුණ දෙන්නට සිදුව ඇත.

ජලාශයට චීන අරමුදල් නෑ

රිටිගල අවට දිය කදුරකින් ගලාවිත් කල්ලරාවෙන් මුහුදට වැටෙන යාන්ඔය ගෝමරන්කඩවල, පඹුරුගස් වැව දී වේල්ලක් බැඳ හරස්කර ජලාශයක් තනා උතුරුමැද හා නැගෙනහිර පළාත්වල ජල සම්පත සංවර්ධනය කිරීම ජලාශය තැනීමේ මූලික අරමුණ වී තිබුණි. මෙම ජලාශය මගින් ඊසාන දිග ප්‍රදේශයේ තරුණ තරුණියන් 7200 කට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා ලැබෙන බවත් සියයට 85% ක චීනයේ අරමුදල් මත ඉදිවන ජලාශය හරහා ගොවි පවුල් 10,000 කට ප්‍රතිලාභ හිමිව හෙක්ටයාර් 9500 කට ජලය සැපයෙන බව 2012 වසරේ දී යාන්ඔය ජලාශයේ වැඩ ආරම්භ කරමින් එවකට ජනපති මහින්ද රජපක්ෂ කියා තිබුණි. ඒ අනුව ජලාශය ඉදිකිරීම සඳහා මුල්ගල තැබුණ අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලාපොරොත්තු වූ පරිදි මේ මහා වාරි නිර්මාණය සඳහා චීන අරමුදල් නොලැබී ගියේය. මේ හේතුවෙන් රුපියල් මිලියන 39,600 ක දේශීය අරමුදල් ජලාශයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වරින් වර වැය කිරීමට මහා භාණ්ඩාගාරයට සිදුවූයේය.

ඒ අනුව ජලාශය ඉදි කිරීම සඳහා 2011 වසරේ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අරඹමින් ගැසට් නිවේදන රැසක්ම නිකුත් කෙරිණි. ඒ අනුව ගම්මාන නමයක් හා ගොවීන්ට අයත් කුඹුරු හා ගොඩ ඉඩම් රැසක්ම අත්පත් කරගත්තේය. තවමත් එකී ක්‍රියාවලිය තවමත් අවසන්ව නැත.

පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා ගැසට් නිවේදනයක් හරහා පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ඉඩම් අත්පත් කරගැනීමක් සිදුවූයේය.

මහා පරිසර හානියක්

2013 වසරේ පෙබරවාරි මාසය වනවිට මහවැලි උපදේශක සේවා කාර්යාංශය (පුද්) සමාගම ජලාශය ඉදිකරන ප්‍රදේශය තුළ ඊට අදාළ පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව සකස් කර වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය වෙත භාර දී තිබුණි. ඊට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඇතුළත් පුරාවිද්‍යා හානි ඇගයුම් වාර්තාව ද එක්කර තිබුණේ සෘජු හා වක්‍ර බලපෑමට නතුවන පුරාවිද්‍යා ස්ථාන 49 ක් ගැනද සඳහන් කරමිනි. එකී වාර්තාවන්ට අනුව මේ ව්‍යාපෘතිය නිසා සිදුවන පාරිසරික හානිය සුළුපටු එකක් නොවේ. ජලාශය ජලයෙන් පිරවීමේ දී වැව් 21 ජලයෙන් යටව ගොස් සත්ව විශේෂ 255 කට හා ශාක විශේෂ 79 කට සෘජු හෝ වක්‍ර බලපෑම් සිදුවන බව කියා තිබුණි. ඒ පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයේ තැකීමක් නොදැක්වීය.

එමෙන්ම යෝජිත ජලාශය හේතුවෙන් පුල්මුඩේ ඛණිජ වැලි නිධිය අවට ස්වභාවික සම්පත්වලට වන බලපෑම පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව තුළ තක්සේරු කර නැති බව පරිසරවේදීන් පෙන්වා දෙනු ලැබීය. ඔවුන් පැවැසුවේ යාන්ඔය ද්‍රෝණියේ නිමැවුමක් වන ඛණිජ වැලි නිධිය නොසලකා හැරීම සුළුපටු කරුණක් නොවන බවයි. නමුත් මේ කිසිවක් තඹයකට මායිම් නොකර ජලාශය ඉදි කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩවම සිදු කෙරිණි.

අලි – මිනිස් ගැටුම උග්‍රයි

නමුත් දැන් තත්ත්වය උග්‍රව තිබේ. වන සතුන් හා මිනිසුන් අතර ගැටුම ඇරඹී තිබේ. පසුගියදා ගෝමරන්කඩවල කෝනාබැඳිවැව පුද්ගලයකු වන අලි ප්‍රහාරයකින් මියගියේය. ගතවූ මාස කිහිපය තුළ ගෝමරන්කඩවල ප්‍රදේශයේ පුද්ගලයන් සිව්දෙනකු වන අලි ප්‍රහාර නිසා මියගොස් සිටිති. වන අලි තර්ජන උග්‍රවීම හේතුවෙන් කෝනාබැඳිවැව ගම්මානයේ ජීවත් වූ පවුල් 35 ක් අතරින් මේ වනවිට ජීවත්වන්නේ පවුල් කිහිපයක් පමණකි. සෙස්සෝ අලින්ගෙන් දිවි බේරා ගැනීමට ගම හැරගොසිනි. ජලාශය ඉදිකිරීමෙන් පසු මේ තත්ත්වය ඇතිවන බව මෙයට පෙර පරිසර සංවිධාන පැහැදිලි කර තිබුණි. නමුත් ඒවා කොතෙක් දුරට හිතට ගත්තා ද යන්න දැන් දැන් මනාව පෙනේ.

වන අලින්ට, දිවියන්ට හා වලසුන්ට නිජබිම වූ නොයිඳුල් වනාන්තර අක්කර 6000 ක් ජලාශයේ ජලයෙන් පිරවෙන ප්‍රමාණය සඳහා රජයේ රක්ෂිතයෙන් ලබාගත් අතර සෙසු ඉඩම් පදිංචිව සිටි ජනයාගෙන් අත්පත් කර ගත්තේය. ඊට පරම්පරා ගණනාවක් ගොවිතැන් කළ ඉඩම් හා මිනිසුන් ජීවත් වූ ගම්මාන 9 ක් ඇතුළත් විය. මෙම ඉඩම් ජලාශයකට යට කිරීම යනු වනසතුන් ජීවත්වූ නිජබිම් බලහත්කාරයෙන් උදුරා ගැනීමකි. එවිට නිජබිම්, ආහාර හා වාසස්ථාන අහිමිව යන වන සතුන්ටද මිනිසුන්ගේ භූමිවලට පය ගැසීමට සිදුවනු ඇත. එය වැළැක්විය නොහැකි එකකි.

එසේ තිබියදී ජලාශය නිසා ඉවත් කළ ජනයා නැවත පදිංචි කිරීම වෙනුවෙන් ගෝමරන්කඩවල කජුවත්ත ප්‍රදේශයෙන් තවත් අක්කර 700 ක කැලයක් යළි කැපීමට ආණ්ඩුවට සිදුවූයේ මහා පරිසර හානියක් ද සමාජ ප්‍රශ්න රැසක් ද ඇති කරමිනි. ඉන් සිදුවූයේ වන අලි, දිවියන් හා වළසුන්ගේ වාසස්ථාන උන්ට අහිමිව යෑමය. ඒ පිළිබඳව මෑතකදී ඉදිරිපත් වූ පරිපූරක පාරිසරික බලපෑම් තක්සේරුකරණයේ සමාලෝචනයක් මගින් ප්‍රකාශ වූයේ යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ නැවත පදිංචි කරවීම නිසා උතුරු මැද පළාත තුළ අලි මිනිස් ගැටුම දැඩි ලෙස වැඩි වීමට ඉඩ ඇති බවයි. දැන් එකී වාර්තාවන් හි සඳහන් කරුණු සත්‍ය වෙමින් පවතී. ඒවා නොසලකා හැරි නිලධාරීන් මුනිවත රකිමින් සිටිති. මේ වනවිට අලි ප්‍රහාර හේතුවෙන් බොහෝ පිරිසක් මරු දැක ඇති අතර මිනිස් ප්‍රහාර හේතුවෙන් අලින් රැසක් ද මරු තුරුලට ගොසිනි. අලි මිනිස් ගැටුම දැන් දැන් උග්‍ර අතට හැරී තිබේ.

වසර 6 ට අලි 121 ක් පරලොව

යාන්ඔය ජලයෙන් පිරවීමෙන් පසු 2018 වසරේ සිට 2023 දක්වා අලි මිනිස් ගැටුම හේතුවෙන් යාන්ඔය ජලාශයට මායිම්ව පවතින ඒ අවට අනුරාධපුරය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහක සිදුවූ අලි මරණ ගණන 121 කි. අලි පහරදීමෙන් මියගිය මිනිසුන් ගණන 21 කි. කිලෝ මීටර් 3.882 ක දිගින් යුතු සඳැලි වේලි හතරකින් හා මීටර් 20 ක උසින් යුත් කිලෝ මීටර් 2.347 ක දිගින් යුතු ප්‍රධාන වේල්ලකින් සමන්විත ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 124,074 කි. එහි රඳවා ගත හැකි උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 135,837 ක් වේ.

මෙම ජලාශය ඉදි කිරීමෙන් පසු අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන් හි ජීවත්වන ජනයාගේ වගා කටයුතු සඳහා නව වාරි ඉඩම් හෙක්ටයාර් 1515 ක් අලුතින් සංවර්ධනය කිරීමත් වගා තිව්‍රතාවය වැඩි කෙරුමට පවතින පද්ධතිය සඳහා යල මහ දෙකන්නයේ ජලය ලබාදීමට හැකියාව පවතින බවයි. ජලාශය නිමවීමෙන් පසු ප්‍රදේශයේ වගා තිව්‍රතාවය වැඩිවී දරිද්‍රතාවය අවම වන බව කියා තිබුණ ද එය සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇත්තේ ගම්වැදි වන අලි එලවා දැමීමට ගොවීන්ට දිවා රෑ වෙහෙස වීමට සිදුව ඇති හෙයිනි.

අපේක්ෂා කළ පරිදි පානීය ජලයත් නෑ

ඊට අමතරව මෙම දිස්ත්‍රික්කයන් හි ජීවත්වන ජනයාට ඝන මීටර් මිලියන 24 ක පානීය ජලය ලබාදීමට අපේක්ෂා කරමින් ජලාශය තනනු ලැබූ බව තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්‍ෂක කාර්යාලය පැවැසීය. නමුත් යාන්ඔය ජලාශය නිමවා වසර පහක් ගතව ඇතත් ත්‍රිකුණාමලය හා අනුරාධපුර දිස්ත්‍රික්යන් හි ජීවත්වන යාන්ඔය අවට ජනයාට තවමත් පානීය ජලය ලබාදීමට ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට නොහැකිව තිබේ.

මේ පිළිබඳව තොරතුරු විමසමින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවැසුවේ යාන්ඔය ජලාශය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයට ජලය ලබාදීමක් සිදුනොවන මුත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුල්මුඩේ ග්‍රාම නිලධාරි වසම තුළ ජල සම්බන්ධතා 1733 ක් ලබා දී ඇති බවයි. මේ පිළිබඳව තවදුරටත් සොයා බලමින් ඉදිරිපත් කළ දෙවන තොරතුරු ඉල්ලීමට ජලසම්පාදන මණ්ඩලය දක්වා තිබූ ප්‍රතිචාරයන් හි තොරතුරු අනුව පෙනී ගියේ කුච්චවේලියේ ජනයාට යාන්ඔය ජලාශය හරහා සෘජුව ජලය ලබාදීමක් සිදුනොවන බවයි. බෙලිකඩ වැව ආශ්‍රිතව පිහිටි ජල පොම්පාගාරය හරහා ලබා ගන්නා ජලය කුච්චවේලියේ ජනයා වෙත බෙදා හැරීම කරන බවයි.

කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ යාන්ඔය ජලාශයේ ජලය යොදා ගනිමින් ඉදිරියේ දී පානීය ජල ව්‍යාපෘතියක් ඇරඹීමේ සූදානමක් ජලසම්පාදන මණ්ඩලයට ඇති බවත් ඒ අනුව යාන්ඔය ජලාශයේ ජලය බෙලිකඩ වැව වෙත ලබාගෙන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව, පදවි ශ්‍රී පුර, ගෝමරන්කඩවල හා කුච්චවේලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි පවුල් 21,328 කට පානීය ජලය ලබාදීමට අපේක්ෂිත බැවින් රුපියල් මිලියන 16,500 ක මුදලක් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය හා කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි ග්‍රාමසේවා වසම් 119 ක් තුළ ජීවත්වන ජනතාව අනාරක්ෂිත භූගත ජලය මත යැපෙන හෙයින් ඔවුන් හට සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානීය ජලය ලබාදීමේ අපේක්ෂාවෙන් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ (අදියර දෙක) කටයුතු 2013 වසරේ කරන ලද ශක්‍යතා අධ්‍යයනයකින් පසු ඇරඹූ බවත් ඒ සඳහා වන ජල මූලාශ්‍රය ලෙස යාන්ඔය ජලාශය යොදා ගැනීමට අපේක්ෂා කර ඇති බව ජලසම්පාදන මණ්ඩලය කියාසිටී.

පානීය ජලය දිය හැක්කේ 2025 දී…

2018 මැයි 01 වැනිදා ජපාන උපදේශක සමාගමක් වන NJS Consultants සමාගම හා ceywater consultants හා EML Consultants යන දේශීය උපදේශන සමාගම් හි සහයෝගය ද ඇතිව ව්‍යාපෘති සැළසුම් කටයුතු ආරම්භ කොට 2021 වසරේ එකී ව්‍යාපෘති සැළසුම් කටයුතු අවසන් කරනු ලැබූ බවත් මේ වනවිට අදාළ කොන්ත්‍රාත් ප්‍රදානය සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුකරමින් පවතින බැවින් ව්‍යාපෘතිය 2026 වසරේ දී අවසන් කිරීමට සැළසුම් කර තිබේ.

ඒ අනුව 2025 වනවිට ව්‍යාපෘතිය අවසාන කොට මූලික වශයෙන් ජල සම්බන්ධතා 15,000 ක් ලබා දීමට සැළසුම් කර ඇති අතර 2034 වසර වනවිට වැඩිවන ජනගහනයට සාපේක්ෂව ජල සම්බන්ධතා 50,000 ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව තවත් තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජලසම්පාදන මණ්ඩලය පවසයි.

ජලසම්පාදන මණ්ඩලය පවසන පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනයාට ඉදිරියේ දී හෝ යාන්ඔය ජලාශයේ ජලය පානීය ජල අවශ්‍යතා සඳහා ලබා දීමට මූල්‍යමය හැකියාවක් තිබේද යන්න පිළිබඳව තවදුරටත් කළ සොයා බැලීමක දී හෙළිවූයේ යාන්ඔය ජලාශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනයා සඳහා පානීය ජලය ලබාදීම සඳහා ජපන් යෙන් මිලියන 23,137 ක ණය මුදලක් සියයට 1.4 ක පොලියට ලබා ගැනීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් ජයිකා ආයතනය සමග ශ්‍රී ලංකා රජය 2016 වසරේ දී ගිවිසුම්ගතව ඇති බවයි. වසර 7 ක සහන කාලයක් ද සහිතව වසර 25 ක් තුළ වාරික වශයෙන් ගෙවීමට ගිවිසුම්ගතව ඇති හෙයින් ඉදිරියේ දී මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ වීමත් සමග ජයිකා ආයතනය ක්‍රමානුකූලව එකී ණය මුදල නිදහස් කරනු ඇති බව විදෙස් සම්පත් දෙපාර්තමේන්තුව තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පැවැසීය. ඒ අනුව යාන්ඔය ජලාශය තැනීමේ දී අපේක්ෂා කළ ආකාරයට එකී මහා වාරි ව්‍යාපෘතියේ ජලය යොදා ගනිමින් ත්‍රිකුණාමලයට හෝ අනුරාධපුරයට මේ දක්වා පානීය ජලය ලබාදීමක් සිදුනොවේ. කෙසේ වෙතත් යාන්ඔය ජලාශය සෘජුව හා ඵලදායී ලෙස යොදා ගනිමින් ඒ අවට ජනයාට පානීය ජලය ලබාදීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට තවත් වසර තුනක් පමණ ගතවනු ඇති බව පෙනීයයි.

ගමෙන් ඉවත් කළත් වන්දි ලබාදීම ඉබි ගමනේ

පාරම්පරික ඉඩම් ගම්බිම් අහිමිවන ජනතාවට වන්දි ලබාදී ඔවුන් වෙනත් ස්ථානයක පදිංචි කිරීම සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹීමේ දී පළමුව සිදුකළ යුතු ප්‍රධානතම කාර්ය වුවද මෙම ව්‍යාපෘතිය තුළ සිදුවූයේ ඉන් අනිත් පැත්තය. ජලාශයේ කටයුතු හිතුමතේ ආරම්භ කළ නමුත් බලපෑමට ලක්වන ජනයා ගැන හෝ ආර්ථික හා මහා පරිසර හානිය ගැන නොසිතීය. අවතැන්වන ජනයා වෙනත් ස්ථානවල පදිංචි කිරීමට සුදුසු ස්ථාන හඳුනාගනිමින් පාරිසරික බලපෑම් ඇගයුම් වාර්තා සකස් කර තිබුණ ද එකී වාර්තා සකස් කිරීමේ දී ජනතාව ඊට සහභාගිකර නොගැනීමත් ආණ්ඩුව තෝරාදුන් විකල්ප ස්ථානවලට යෑමට මිනිසුන් අකමැති වීමත් නිසා නැවත අර්බුදයක් නිර්මාණය වූයේය.

මෙසේ තිබියදී පරිපූරක පාරිසරික බලපෑම් තක්සේරුකරණයේ සමාලෝචනයක් මගින් ප්‍රකාශ වූයේ 1389 දෙනකුට නිවාස හෝ කෘෂි ඉඩම් හෝ දෙකම අහිමිවනු ඇති බවයි. මෙයින් අදහස් කරනුයේ පාරිසරික බලපෑම් තක්සේරු කරන වාර්තාවේ හඳුනාගෙන ඇති නැවත පදිංචි කිරීමේ ස්ථාන තුන තවදුරටත් ප්‍රමාණවත් නොවන බවයි. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නැවත පදිංචි කිරීමේ ස්ථාන හතරක් හා නව වාරිමාර්ග ප්‍රදේශ හයක් නම්කරනු ලැබීය. එබැවින් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර ඉන් බොහෝ ස්ථාන තවමත් ජනයා වෙත ලබාදී නැති බව තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

ජලාශයට යටව යන ඉඩම් හා කෘෂි බිම් සඳහා විකල්ප ස්ථාන ලබාදීම පමාවීමෙන් ජලාශය ඉදිවන වසර හතරක කාලය පුරාවටම වින්දිත ජනයාට කන්න හයක ගොවිතැන් කටයුතු කර ගැනීමට නොහැකිව ගියේය. ජලාශයට යටව යෑම නිසා ඉන් අවතැන්ව ඉවත් කළ පවුල් 131 ක් සඳහා ගොඩ ඉඩම් අක්කරයක් හා මඩ ඉඩම් අක්කර 1 ½ ක් හා ඉවත් කළ නිවාස සඳහා වන්දි ලබාදී දකුණු ඉවුර යටතේ මල්පෝරුව, මයිලවැව හා කජුවත්ත ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කර යළි පදිංචිකර ඇත. නමුත් හොරොව්පොතාන, ගෝමරන්කඩවල හා පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවසන්නේ අවතැන් වූවන් ගෙන් බොහෝ පිරිසකට තවමත් වන්දි හා කුඹුරු ඉඩම් ලබා දීමට නොහැකිව ඇති බවයි. කෙසේ වෙතත් ඉඩම් ලබාදුන් ජනයාට ඉඩම් ලබා දීම සඳහා ඉදිරියේ දී තවත් කැලය කැපීමේ සූදානමක් පවතී. නිලධාරීන් ගේ අසාර්ථක ව්‍යාපෘතින් හි බර එක් පසෙකින් ගෝමරන්කඩවල පඹුරුගස් වැව, මාවතවැව ජනයා මත පැටවී ඇති අතර අනෙක් පසින් නිදහසේ දිවි ගෙවූ වන අලින් හා වන සතුන් ද අසරණ වී ගොසිනි. නොබෝ දිනකින්ම අලි – මිනිස් දෙපාර්ශ්වය අතර නොනවතින යුද්ධය ඇරඹෙනු ඇත. ඉන් කිසිවකුත් ජය නොලබනු ඇත.

ලක්මාල් කේ. බදුගේ

advertistmentadvertistment
advertistmentadvertistment