ෂන්මුගේෂ්වරන්, මධුමාලි සහ චාමිනී ශී‍්‍ර ලංකාවේ ගෞරවය රැක ගනිති – ශත සංවත්සර මැරතන් තරගය

168

ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා සම්මේලනයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමේ ශත සංවත්සරය සැමරුම වස් සංවිධානය කරන ලද අර්ධ මැරතන් තරගය ඉකුත් සෙනසුරාදා (22) කොළඹ බත්තරමුල්ල කේන්ද්‍ර කර ගනිමින් පැවැති අතර එහිදී දේශීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සියලූ දෙනා අභිබවමින් පිරිමි සහ කාන්තා යන දෙඅංශයේම ප‍්‍රථම ස්ථාන සටහන් කර ගැනීමට ඉන්දියාවට හැකි විය.

කිලෝ මීටර් 21 ක් වූ සම්මත දුර පැය 01.05.02 ක තරග නිමි කාලයක් සටහන් කරමින් ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට ඉන්දීය ජාතික කාර්තික් කුමාර් ට එහිදී හැකි විය.

ෂන්මුගේෂ්වරන්, මධුමාලි සහ චාමිනී ශී‍්‍ර ලංකාවේ ගෞරවය රැක ගනිති - ශත සංවත්සර මැරතන් තරගය

එකී දෙවැනි ස්ථානය ද ඉන්දීය ජාතික ක‍්‍රීඩකයෙකු වූ ධර්මේන්දර් ට හිමි වූ අතර ඔහුට ගතවූ තරග නිමි කාලය පැය 01.07.15 කි.

මෙරට ක‍්‍රීඩකයන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට සමත් වෙමින් තෙවන ස්ථානය තහවුරු කර ගැනීමට මහනුවර දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමය නියෝජනය කළ කේ. ෂන්මුගේෂ්වරන්ට හැකි විය. නියමිත දුර නිමකිරීම සඳහා ඔහුට ගතවූ කාලය පැය 01.07.28 කි.

පිරිමි තරගයට සමගාමීව ක‍්‍රියාත්මක කෙරුණු කාන්තා ඉසව්වේ ප‍්‍රථම ස්ථානය ඉන්දීය ජාතික සංජීවම් බබුරාරෝ ජදාව් විසින් දිනා ගන්නා ලද්දේ පැය 01.16.06 ක තරගය නිමි කාලයක් සටහන් කරමිනි.

ශ‍්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් තරග වැදුණු එම්. එස්. පී. මධුමාලී පෙරේරා (පැය 01.19.48) එකී දෙවැනි ස්ථානය දිනා ගත් අතර ශ‍්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ එච්. එම්. චාමිනී. එස්. හේරත් (පැය 01.21.00) ට තෙවන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු වූවාය.

මෙම සැමරුම් අර්ධ මැරතන් තරගයේ ප‍්‍රථම ස්ථානය දිනා ගත් ක‍්‍රීඩකයාට සහ ක‍්‍රීඩිකාවට රුපියල් දෙලක්ෂය බැගින් පිරිනමන ලද අතර 02, 03, 04, 05 ස්ථාන හිමි කර ගත් ක‍්‍රීඩකයාට සහ ක‍්‍රීඩිකාවට ද මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.

තම ශත සංවත්සර සැමරුම වෙනුවෙන් ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය සංවිධානය කර ඇති වැඩසටහන් මාලාවේ පළමු වැන්න වූ අර්ධ මැරතන් තරගය සඳහා විදේශීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 12 දෙනකු ඇතුළුව දේශීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 3000 ක් පමණ සහභාගි වී සිටීම ඉහළ අගයක් ගත්තේය.

මෙම පිරිමි සහ කාන්තා අර්ධ මැරතන් තරගය සඳහා පූර්ණ අනුග‍්‍රාහකත්වය සැපයීමට නෙස්ලේ ලංකා සමාගමේ ‘නෙස්ටමෝල්ට්’ මෙවර ඉරිපත්ව සිටීම කැපී පෙනේ. පුරා දශක ත‍්‍රිත්වයකට ආසන්න කාලයක් තිස්සේ මෙරට දිගු දුර දිවීම සමග අත්වැල් බැඳගත් නෙස්ටමෝල්ට් මෙරට ශත සංවත්සර සැමරුම් අර්ධ මැරතන් තරගය සඳහා ද දායකත්වය සපයා තිබීම කැපී පෙනුණි.

පිරිමි තරග ප‍්‍රතිඵල

01. කාර්තික් කුමාර් (ඉන්දියාව) පැය 01.05.02.

02. ධර්මේන්දර් (ඉන්දියාව) පැය 01.07.15.

03. කේ. ෂන්මුගේෂ්වරන් (මහනුවර) පැය 01.07.28.

04. ධනුෂ්ක සඳරුවන් (යුද හමුදාව)

05. ඞී. ජී. ඞී. සඳරුවන් (යුද හමුදාව)

06. කේ. ජී. විමල් දිල්කුෂ් (කෑගල්ල)

07. ජී. පී. ඒ. ජේ. කේ. බණ්ඩාර (මහනුවර)

08. ඩබ්ලිව්. එම්. එස්. කුමාර (නාවික හමුදාව)

09. එච්. එම්. එස්. කරුණාරත්න බණ්ඩාර (රත්නපුර)

10. ආර්. ඞී. එන්. එස්. කරුණාරත්න (නාවික හමුදාව)

කාන්තා තරග ප‍්‍රතිඵල

01. සංජීවම් බබුරාරෝ ජදාව් (ඉන්දියාව) පැය 01.16.06

02. එම්. එස්. පී. මධුමාලී පෙරේරා (නාවික හමුදාව) පැය 01.19.48

03. එච්. එම්. චාමිනී. එස්. හේරත් (පැය 01.21.00)

04. නිසංසලා බණ්ඩාර (යුද හමුදාව)

05. එම්. ඒ. එන්. කුමාරී ප‍්‍රනාන්දු (නාවික හමුදාව)

06. එම්. ජී. අයි. කේ. කේ. සුගතපාල

(යුද හමුදාව)

07. එච්. ඩබ්ලිව්. සී. දමයන්තී (යුද හමුදාව)

08. ඒ. අනූෂා (නාවික හමුදාව)

09. එම්. ජී. බුද්ධිකා (කෑගල්ල)

අනුරුද්ධ හේරත් බණ්ඩාර, ඡුායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment