රජයේ රෝහල්වලට එන රෝගීන් 40%කින් වැඩි වෙලා – ඇමැති කෙහෙළිය

76

මේ වන විට රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකකයන්ට පැමිණෙන රෝගීන් ගණන දළ වශයෙන් සියයට 40කින් වැඩි වී ඇතැයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) සඳහන් කළේය.

ඊට අමතරව නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය සියයට 27කින් වැඩි වී ඇති බව ද දියවැඩියා සහ ප්‍රෙෂර් රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ ගණන ද මේ ආකාරයෙන්ම ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම කීය.

පෞද්ගලික රෝහල්වලට ගිය මැද පන්තියේ සහ ඉහළ මැද පන්තියේ අයට තවදුරටත් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ඇති නොහැකියාව හේතුවෙන් රජයේ රෝහල්වලට පැමිණීම වැඩි ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව පසුගිය දිනෙක අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතරතුර කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය. පසුගිය කාලයේ රජයේ රෝහල්වලට යන්න එපා කියලා විවිධ අය කිව්වා. ඒත් දැන් මොකද වෙලා තිබෙන්නේ කියා මම කියන්නම්. හැබැයි මම නම් වශයෙන් කියන්නේ නෑ. රෝහල්වල නම් දැන් කොළඹ ප්‍රධානම ආරෝග්‍ය ශාලාව ඕපීඩී (බාහිර ප්‍රතිකාර ඒකකය) එකට පැමිණෙන රෝගීන් ගණන සියයට 49.1ක් වැඩි වෙලා. පසුගිය මාස නවයට. රෝගීන් පාලනය කර ගන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා. නුවර සියයට 06.6ක් වැඩි වෙලා තිබෙනවා. දළ වශයෙන් මුළු රටේම ඕපීඩී එකට පැමිණෙන රෝගීන් ගණන සියයට 40කින් වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම රෝගීන් නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළුවීම් (ඇඩ්මිෂන්) සියයට 27ක් වැඩි වෙලා තිබෙනවා මුළු ලංකාවෙම. මේකට හේතුවත් කියන්නම් මම. ලංකාවේ පුද්ගලික රෝහල්වලට ගිය මැද පන්තියේ සහ ඉහළ මැද පන්තියේ අයට තවදුරටත් ඒක කරගන්න බැරි නිසායි මේ වැඩි වීම වෙලා තිබෙන්නේ. ඊට අමතරව දියවැඩියා සහ ප්‍රෙෂර් ආදී රෝග සඳහා ප්‍රතිකාර ගන්න අයත් වැඩි වෙලා තිබෙනවා. දැන් අපිට මේ අයවැයෙන් වෙන් කරලා තිබෙන මුදලුත් මදි. ලබන වසරේ ඊට වඩා මුදල් වැය කරන්න වෙනවා. අඩුම තරමේ සියයට තිහකින් හතලිහකින්වත් මුදල් වැඩි කරන්න වෙනවා මේ පවතින සේවය ඒ ලෙසම පවත්වාගෙන යන්න නම්. මේක තමයි ඇත්ත. මම හිතන්නේ නෑ මේකට වෙන කිසිම කෙනෙකුට විසඳුම් තියනවා කියලා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment