ශ්‍රවණාබාධිත ලක්‍ෂ 3කට රියැදුරු බලපත් දීම මාර්තුවේ

63

ශ්‍රවණාබාධිත ලක්‍ෂ 03ක පමණ පිරිසකට රියැදුරු බලපත්‍ර ලබාදීම ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.
බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බවත් එය සැලකිල්ලට ගෙන ප්‍රවාහන ඇමැතිවරයාගේ උපදෙස් මත ඔවුන්ටද රියැදුරු බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

මේ වන විට මූලික පියවරක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත පුද්ගලයන් 75 දෙනකු විභාගයට ඉදිරිපත්වී ඔවුන්ගෙන් 44 දෙනකු විභාගය සමත්වී ඇති බවත් වීරසිංහ මහතා කීය. එම පිරිසට ට්‍රයල් පෙන්වීම සඳහා මාස තුනකට වලංගු තාවකාලික පුහුණු බලපත්‍රයක් (එල් බෝඩ්) ලබාදීමට කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.

මෙම පිරිස් පුහුණුවීමේදී වාහනයක නම් ඉදිරිපස සහ පිටුපස වීදුරුවල ශ්‍රවණාබාධිත බව හැඟවෙන ලාංඡනයක් අලවා ප්‍රදර්ශනය කළ යුතු බවත්, යතුරුපැදියක් නම් රියැදුරුගේ හෙල්මටයේ පිටුපස හෝ ජැකට්ටුවේ එම මුද්‍රාව ප්‍රදර්ශනය කළ යුතු බවත් පැවසූ ඒ මහතා මෙය බලපත්‍රය ලබාගත්තද ඉදිරියටත් ප්‍රදර්ශනය කළ යුතු බවද කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment