මුළු රටම අන්දමන්ද කළ පොහොට්ටුවේ ත්‍රස්තවාදය

1059

ශිෂ්ටත්වය හා ම්ලේච්ඡත්වය අතර ගැටුම

මුළු රටම අන්දමන්ද කළ පොහොට්ටුවේ ත්‍රස්තවාදය

නිදහසින් පසු මෙරටේ බිහිවූ සුවිශිෂ්ට තරුණ අරගලය පමණක් නොව සාමකාමී හා ගෞරවනීය විරෝධතා ව්‍යාපාරයට පොහොට්ටුවේ පාදඩ කසළ දේශපාලනඥයන් විසින් දක්වන ලද ගෝත්‍රික මතධාරී හා අශිෂ්ට ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළාදකින සකලවිධ මානවහිතවාදීන් සමග අපි ද එක්වන්නෙමු. ගාලුමුවදොර විරෝධතාවට මසක් සම්පූර්ණ වූවා පමණි. ඈත ගම් දනව් කරා ද පැතිර යමින් තිබුණු ඒ තාරුණ්‍යයෙහි උණුසුම රාජපක්‍ෂ කඳවුරේත් ඔවුන්ගේ අන්තේවාසිකයන්ගේත් දැඩි වෛරයට නිමිත්තක් වූ බව සැඟවිය නොහැක. ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ ලෙස පොදුජන ආදරයට පාත්‍ර වූ ඒ අරගලය නිසැකයෙන්ම අභිනව දේශපාලන සංස්කෘතියක ගැඹුරු ප්‍රකාශනයක් විය.

එහෙත් ආණ්ඩුවත් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයත් ඒ දේශපාලන ඇමතුම නිවැරදිව වටහා නොගත්හ. ආණ්ඩුව මුල සිටම එදෙස බලා සිටියේ ප්‍රසන්න හැඟීමකින් නොවේ. එහෙත් තර්ජනයේ හා මර්දනයේ අවි බිම දැමීමට ආණ්ඩුවට සිදුවිය. ගාලුමුවදොර නව දේශපාලන සංස්කෘතික සටන් මධ්‍යස්ථානයක් ලෙස තහවුරු වන්නට ද විය. එහි තේමාව බවට පත්ව තිබුණේ ජනාධිපති අගමැති ඇතුළු 225 දෙනාම ඉවත් විය යුතුය යන්නයි. වසර හැත්තෑ හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙරටේ ජනතාව විසින් නඩත්තු කරන ලද ගර්හිත, ජුගුප්සිත මෙන්ම අශික්ෂිත දේශපාලනයෙන් මේ රට නිදහස් විය යුතු බව ගාලුමුවදොර අරගලයේ කාහල නාදය විය. ආණ්ඩුව මුලදී අඳ ගොළු, බිහිරි ප්‍රතිචාරයක් දක්වා ඒ විරෝධතාව ස්වභාවිකව දියකර හැරීමට කල්පනා කළත් එයට හිමි වූ ප්‍රබල සමාජ අවධානය නොතකා හැරීමට ආණ්ඩුව අසමත් විය. වෘත්තිකයන්, බුද්ධිමතුන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පමණක් නොව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නයත්, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ඇතුළු කිතුනු ප්‍රධානීහුත් ආණ්ඩුව වහාම ගාලුමුවදොර අරගලයට ප්‍රතිචාර දැක්විය යුතු බව කියා සිටියහ.

ආණ්ඩුව දැඩි ආර්ථික අර්බුදයකට මෙන්ම බැරෑරුම් දේශපාලන අභියෝගයකට ද මැදිවිය. ගෝඨාභය ජනාධිපතිවරයාගේ දුර්වල පාලනය සමස්ත සමාජයේ විවිධ ජනකොටස්වල ඉරණම කෙරෙහි බලපාන්නක් ද විය. ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් හැම අතින්ම අසාර්ථක විය. මූල්‍ය අර්බුදය රටම අනාථභාවයට පත් කරමින් රටම අරාජික වන තත්ත්වයකට ද පත්විය.

මුළු රටම අන්දමන්ද කළ පොහොට්ටුවේ ත්‍රස්තවාදය

මේ අර්බුදයට රටක් වශයෙන් මුහුණ දීමට සුදුසු දේශපාලන වාතාවරණයක් සැකසීම වෙනුවට ආණ්ඩුව කල්පනාකළේ සිය බලය රැකගැනීම සඳහා පමණි. ගාලුමුවදොර විරෝධය සාමකාමීව ගලා යමින් ඉල්ලා සිටි ප්‍රජාතන්ත්‍රවාදී වෙනස සඳහා සාධනීය පියවරක් ගැනීමට ද ආණ්ඩුවේ මුරණ්ඩු පිළිවෙත හරස්විය. මහනාහිමිවරුන්, කිතුනු නායකයන් ඇතුළු විවිධ සංවිධාන, මෙන්ම නීතිඥ සංගමය ද පුන පුනා ප්‍රකාශ කළේ අගමැති මහින්ද අස්විය යුතු බවය. එහෙත් මහින්දට තමන් වටේ සිදුවෙමින් තිබුණු දේශපාලන නාය යෑම නිවැරදිව වටහා ගැනීමට ද නොහැකි විය. ජනතා අභිලාෂය ඉටුකිරීමට වඩා තමන් වටකරගත් පොහොට්ටු නඩයේ රූකඩයක් බවට ද ඔහු පත්වෙමින් සිටි බව පෙනුණි. මේ තාරුණ්‍යයේ අපේක්‍ෂාව තමන් නියෝජනය කෙරෙන දේශපාලනයකින් පරිපූර්ණත්වයට පත් නොවන බව මේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයාට නොවැටහීම රටේම අවාසනාවක් විය. ඇත්ත වශයෙන්ම මහින්ද අගමැති ධුරයෙන් ඉවත්වීම සිදුවිය යුතුව තිබුණේ බොහෝ වේලාසනින්ය. ජනාධිපතිවරයාට තම සහෝදරයා දේශපාලනිකව මෙහෙයීමට නොහැකි වීමද අරුමයක් නොවේ. එසේම රාජපක්‍ෂ පවුලට දිනෙන් දින එල්ල වූ ජනතා විරෝධය සමනය කිරීමට අගමැතිට හෝ විශේෂ වැඩපිළිවෙළක් නොවීය. රාජපක්‍ෂ පවුලට දේශපාලනිකව උපයාගත් කීර්තිය, ගෞරවය, අභිමානය ශීඝ්‍රයෙන් අඩුවෙමින් තිබුණි. රාජපක්‍ෂ පවුල විසින් රටේ ජාතික සම්පත් අයථා ලෙස පරිහරණය කරමින් මහා ධනස්කන්ධයක් ගොඩගසන ලද බවට ද චෝදනා නැගුණි. සමාජ මාධ්‍ය ඔස්සේ ගලා ගියේ ද එබඳු පුවත්ය. ඒවා සත්‍යය ද යන්න නිශ්චිතව කිව නොහැකි වුවද බොහෝ දෙනෙක් ඒවා ඒ ආකාරයෙන්ම පිළිගත්හ.

මේ පසුබිම හොඳින් දත් අගමැති මහින්දට තිබුණේ පියවරක් පසුපසට ගෙන තරුණයන්ගේ අරගලය වටහා ගත් බව ඇඟවීමටය. එහෙත් එය සිදු නොවීය. අවසානයේ සිදු වූයේ කිසිවෙක් අපේක්‍ෂා නොකළ මහා විපතකට දොරටු විවරවීමකි. මැයි 9 වැනිදා කොළඹ අරලියගහ මැදුරට එක්වූ පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් මෙන්ම හිටපු ඇමැතිවරුන් හා වර්තමාන ඇමැතිවරුන් ඇතුළු අනුගාමිකයන් ඇමතූ අගමැති මහින්ද අවධාරණය කළේ තමන් ධුරය අත්නොහරින බවය. ඒ වූ කලී එදින රැස්ව සිටි පොහොට්ටු දේශපාලනඥයන්ගේ අභිමතය පරිදි ගත් තීරණයකි. එදා (9දා) අරලියගහ මැඳුරට පැමිණි පිරිස සාමයෙන්, විසිර ගියේ නම් මෙබඳු විනාශයකට ඉඩක් ද නැත. අරලියගහ මැඳුරෙන් පිටතට පැමිණි පොහොට්ටු දේශපාලනඥයෝ අනපේක්‍ෂිත පරිදි ඒ වනවිටත් අරලියගහ මැඳුරු පරිශ්‍රයේ පිටත සිටි විරෝධතාකරුවන්ට පහර දුන්හ. තරුණ විරෝධතාකරුවන්ගේ අට්ටාල කඩා බිඳ ඔවුන් එතනින් පලවා හැරීමට ක්‍රියාකළ මේ පොහොට්ටු ත්‍රස්තවාදය ඊළඟට ගාලුමුවදොර විරෝධතා භූමියට ද කඩා වැදුණි. එය කිසිසේත්ම අනුමත කළ නොහැකි ලැජ්ජා සහගත හා ම්ලේච්ඡ ප්‍රහාරයකි. පොලිසිය අබියස එබඳු ප්‍රහාරයක් සිදුවීම පවා ඇදහිය නොහැකිය. පොහොට්ටු මැරයන්ගේ සාහසිකත්වය රටම බලා සිටියේ උඩට ඇදගත් හුස්ම පහතට හෙලීමට තරම්වත් කල්පනාවක් නොවූ ආකාරයටය. ඒ යුදපිටියේ දසුන් පිළිබඳ මේ වන විට සිදුවී තිබෙන විශ්ලේෂණවලින් කියැවෙන්නේ ද එය ඉතා සංවිධානාත්මකව කළ තිරිසන් පහර දීමක් බවය.

අරලියගහ මැඳුරෙන් පිටවූ පිරිස ක්‍ෂණිකව ඇතිවූ අදහසක් අනුව එම ප්‍රහාරය දියත් කළ බවක් සිතිය නොහැක. ප්‍රහාරයකට වුවමනා පොලු මුගුරුවලින් පිරිස සන්නද්ධ වී සිටි අතර පොලිසිය එදෙස බලා සිටියේ ඈනුම් හරින තරමේ උදාසීනත්වයකින්ය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම විපක්‍ෂ නායක සජිත්, රනිල් ඇතුළු විවිධ සංවිධානවල විවේචනය වූයේ ද එය ම්ලේච්ඡ ප්‍රහාරයක් බවය. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයකට ත්‍රස්තවාදී පිළිතුරක් දීමක් බවය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය බටහිර තානාපති කාර්යාල ආදී දේශීය හා විදේශීය ආයතනවල විරෝධතාව ද එම මුග්ධ ප්‍රහාරය දුන් පිරිසට එල්ල විය. ප්‍රචණ්ඩත්වය හා සාහසිකත්වය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ගෝඨාභය ජනාධිපතිවරයා ද ට්විටර් පණිවිඩයක් මගින් කියා තිබුණි. එහෙත් හමුදාවට හෝ පොලිසියට එය මැඬලිය නොහැකිවීම ගැන ජනාධිපතිවරයාට ද චෝදනා එල්ල වෙයි.

මෙහිදී අවධාරණය කළ යුතු තවත් කරුණක් ද ඇත. එනම් මහින්ද අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු ද නැද්ද යන්න විමසා බැලිය යුතුව තිබුණේ තමන්ගේම දේශපාලන හෘදසාක්ෂියෙන්ය. එහෙත් ඔහු පොහොට්ටුවේ වත්මන් හා හිටපු දේශපාලනඥයන් මෙන්ම වෘත්තීය සංගම් නියෝජිතයන් ද අරලියගහ මැඳුරට කැඳවා ඒ පිළිබඳ විමසීය. පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලන චරිත කෙබඳු දැයි රටම දනී, එසේම පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරුණු අය අතරද දේශපාලන අපතයෝ බහුලව සිටිති. මහින්දගේ පින්තූරය පෙන්වා මනාප ලබා ගත් ඔවුන් දන්නා දේශපාලනයක් ද නැත. ඔවුන්ගෙන් බහුතරය ද ගම්වලට එපා වූ දේශපාලන තක්කඩියන් හා චන්ඩීන්ය. එහෙව් පයිත්තියන්කාරයන්ගෙන් ලැබිය හැකි දේශපාලන උපදේශය කුමක්ද? ඔවුන්ගේ පැවැත්ම සඳහා මහින්ද අත්‍යවශ්‍යය. එහෙව් පසුබිමක් තුළ ඔවුන්ට මහින්ද නොමැති දේශපාලන පැවැත්මක් ද නැත. ඔවුන්ගේ ඕනෑම දේශපාලන වසල ක්‍රියාවකට අගමැති මහින්දගෙන් සමාව ලැබෙන බවද ඔව්හු දනිති.

ජේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන වනාන්තරය ඊටත් වඩා බිහිසුණු නරකාදියක් බවට පත් වූයේ පොහොට්ටුවේ සම්ප්‍රාප්තියත් සමගය. පොහොට්ටුවෙන් දේශපාලනයට පැමිණි යහපත් මිනිසුන් ද සිටිති. ඔවුන් ද මේ අසමජ්ජාති පොහොට්ටුකාරයන්ගේ බොහෝ ඇවතුම් පැවතුම් පමණක් නොව කතාබහ ද ඉවසා සිටින්නේ නාසය අල්ලාගෙනය. මැයි 9 වැනිදා ගාලුමුවදොර විරෝධතා භූමිය තුළ පොහොට්ටුකාරයන් හැසිරුණේ දඩයම් බලු රැළක් ලෙසය. මේ හැසිරීම් රූපවාහිනී නාලිකාවලින් දුටු තවුසකුගේ වුවද සංවර ශීලය බිඳෙයි. අපි ප්‍රචණ්ඩත්වය පිළිකුලෙන් හෙළාදකිමු. එහෙත් මේ ප්‍රචණ්ඩත්වය රටට කැඳවූයේ සිය නායකයාට ශක්තිය දී පිටතට පැමිණි ඒ අනුගාමිකයෝම නොවෙත්ද? එහෙත් පුදුම සරදම නම් මහින්ද අගමැතිවරයා ඒ පොහොට්ටු මෙහෙයුම් අතරම ඉල්ලා අස්වීමය. ඇත්ත වශයෙන්ම පොහොට්ටු ගෝලබාලයන් විසින් කෙළ ගසන ලද්දේ මහින්දලාගේ දේශපාලන කීර්තියටය. ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද යුගයට මේ දේශපාලන අපතයෝ සුළුදිය වැඩුවෝ නොවෙත්ද? පොලිසියට – හමුදාවට පාලනය කරගත නොහැකි තරමට ප්‍රචණ්ඩත්වය වැඩී ගියේ ක්‍ෂණයකින්ය. මහින්ද වෙනුවෙන් පැමිණි ඇතැම් පොහොට්ටුකාරයෝ ද කුපිත වූ ජනයාගේ විවිධ හිරිහැරවලට ගොදුරු වූහ. ඇතැම් මැති ඇමැතිවරුන්ගේ නිවෙස් ද ගින්නට ගොදුරු විය. මේසා විනාශයක් රටට කැඳවූවෝ ඒ අරලියගහ මැඳුරේ අගමැති හමුවෙහි මූලිකයෝ නොවෙත්ද? විපක්‍ෂ නායක සජිත්ට ද මැර ප්‍රහාර එල්ල විය. රට අරාජික බව ලොවටම ප්‍රදර්ශනය විය. ප්‍රජාතන්ත්‍රවාදය නිරුවත් විය. මානව හිමිකම් උඩු සුළඟේ ගසාගෙන ගියේය. සාධාරණ සමාජයක්, යුක්තිගරුක රටක් ගෞරවණීය දේශපාලනයක් ඉල්ලා සිටි ජාතියේ දරුවන්ට ඒ ජාතියේම මැරයෝ පහරදී සිටිති. මේ අධමයන්ගේ දේශපාලනයේ සදාචාරය කුමක්ද? මේ අශිෂ්ට ම්ලේච්ඡයන්ගේ ආගම කුමක්ද? මේ වනචරයෝ අනුගමනය කරන සදාචාර ධර්මය කෙබඳුද? අශිෂ්ටත්වය හා ශිෂ්ටත්වය අතර සමාජ ගැටුමක විකෘති චිත්‍රය සමාජයට සැපයූ පොහොට්ටුවේ නායකයෝ මෙයට පිළිතුරු දිය යුතු වෙති. මේ වනවිට කොළඹින් මතු වූ ගින්න මුළු රටම වනසා ලූ විපතක් බවට පත්ව තිබේ. මිනිස් ජීවිත දේපළ, ආයතන ඇතුළු බොහෝ දේ ගිනිබත් වී තිබේ. ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන්ම පිළිතුරු දීම හැර වෙනත් දෙයක් නැත. එහෙත් ප්‍රචණ්ඩත්වය කිසිදිනක යහපත් මිතුරෙක් නොවේ. ප්‍රචණ්ඩත්වයේ ගිනි ජාලාව නොනිවා කිසිදිනක ප්‍රජාතන්ත්‍රවාදයේ ආලෝකය රඳවා ගත නොහැක. අද සිදුව ඇත්තේ දේශපාලන බලය, ආධිපත්‍ය තමන් අතෙහි තබා ගැනීමට වංක ලෙස ක්‍රියා කළ දේශපාලන බලවේගයක අවසානය ළඟා වෙමින් තිබීමය. මේ දේශපාලන සූදුවෙහි නිරතව සිටින වැඩවසම් මහල්ලෝ එය තේරුම් ගත යුතු වෙති. සමස්ත ජනතාවම නොවුවත් බහුතරයක් අද මේ වැඩවසම් පාලනයට එරෙහිව නැගුණු ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ආශිර්වාද කරති. අලුත් ලොවක් ගැන සිතීම ඔවුන් කළ වරදක් නොව අන්ධානුකරණ සමාජයට සුපහන් මාවතක් පෙන්වීමක් බවද අප වටහා ගත යුතුය. ඒ තාරුණ්‍යයේ අලංකාර පෞරුෂයට පොහොට්ටුවේ තක්කඩි දේශපාලනයට අලගු තැබීමටවත් නොහැකිය. මේ තරුණ අභිමානය නිවටයන්ගේ පහරකින් සිඳලිය නොහැකිය. ඔවුන්ගේ පණිවිඩය තේරුම් නොගැනීමෙන් රටට වූ මේ විනාශයේ වගකීමෙන් මහින්ද අගමැතිට හෝ පොහොට්ටුකාරයන්ට නිදහස් විය හැකිද? සත්‍යය සැඟවිය නොහැක. අවංකකම ව්‍යාජ ලෙස ප්‍රදර්ශනය කිරීමට ද නොහැකිය. නිදහසින් පසු මේ රට පාලනය කළ අයගෙන් මෙයට ලැබුණු අනුබලය කුමක්ද?

මහත්මා ගාන්ධි වරක් ප්‍රකාශ කළ පරිදිම හැම රටකටම ස්වකීය ආධ්‍යාත්මය සමග ගැළපෙන භූමි ශාස්ත්‍රයක් ඇත. කිසිදු අධිපතිවාදයකට ඒ සත්ධර්මය යටත් කළ නොහැක. වසර හැත්තෑ හතරක ගර්හිත සමාජ බලාධිපත්‍යයක් බිඳවැටෙන මොහොතක එයට මුක්කු ගැසීමට සමත් කිසිවෙක් නොවෙතියි ද අද අප අබියස තහවුරු වෙමින් ඇත. ලාංකික සමාජය අද අලුත් ප්‍රබුද්ධත්වයක් අපේක්‍ෂා කරයි. ත්‍රස්තවාදය, සාහසිකත්වය, ප්‍රචණ්ඩත්වය ඒ ප්‍රබුද්ධ මානව සමාජය නිර්දය හා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. අද මේ සමාජය එක්සත් කළ හැක්කේ ද සාමයේ හා අවිහිංසාවේ භාෂාවෙන් විනා පොහොට්ටුකාරයන්ගේ තක්කඩි ක්‍රියාකාරකම්වලින් නොවේ. කුමක් වුවත් රාජපක්‍ෂ පාලනය මෙරටේ තමන්ට හිමිව තිබුණු සදාචාරාත්මක ගෞරවය සම්පූර්ණයෙන්ම විනාශ කර ගනිමින් සිටින්නේ ද යන්න හෙට අපට වටහා ගත හැකිය. මැයි 9 වැනිදා පොහොට්ටු ත්‍රස්තවාදය විසින් අපරාජිත තරුණ අරගලයට එක් කරන ලද භීෂණත්වයට යළි ඉඩදිය යුතු නැත. අවිහිංසාවාදීව, අයුක්තියට, අසාධාරණයට, අධර්මයට එරෙහිව සටන් කළ හැකි බව ගාලුමුවදොර විරෝධතාකරුවෝ අරගලයෙන්ම තහවුරු කළහ.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment