ඇඳිවතත් අහිමි කරන විදුලිබිල් වැඩි කිරිල්ල

මූල්‍ය අරමුදලේ පදයට නැටවෙන විදුලිබල මණ්ඩලය

ජනතාවගේ පිහිටට සිටි උපයෝගිතා කොමිසමත් කර අරී

මේ දිනවල කාලගුණයෙන් ජනතාවට නිරතුරුවම අනතුරු අඟවන්නේ හෙණ ගෙඩි වලින් ප්‍රවේශම් වන ලෙසයි. නමුත් ජනතාව මොනතරම් ස්වභාවිකව පාත්වන හෙණ ගෙඩි වලින් ප්‍රවේශම් වුණත් දුර්දාන්ත පාලකයන්ගේ වරදින් ජනතාවගේ හිස මත පත් වන හෙණ ගෙඩිවලින් නම් ප්‍රවේශම් විය නොහැක. ඒවා කුමන ආකාරයකින් හෝ ජනතාව සොයා පැමිණෙනු ඇත. මෙලෙස ජනතාවගේ හිස මතට මේ වසර මුලදී ම පාත් වූ හෙණගෙඩිය වූයේ විදුලි බිල වැඩිවීම නමැති හෙණ ගෙඩියයි. ඊට පිටුපසින් පිළිවෙළින් ඉන්ධන මිල වැඩිවීම, ජල බිල වැඩිවීම, බඩු මිල ඉහළ යෑම, ගෑස් මිල වැඩිවීම, බදු බර ආදී දහසකුත් එකක් හෙණ ගෙඩි පාත්විය. මේ එකක්වත් ජනතාවගේ වරදින් නොසැලකිල්ලෙන් ලැබුණු දේවල් නොව තක්කඩි පාලකයන්ගේ අදූරදර්ශී පාලනයේ බලමහිමයෙන් ලැබුණු දායාදයන්ය.

දැන් නැවතත් විදුලි බිල වැඩි වී තිබේ. ඒ 18% කිනි. මෙවර වැඩි මිල වැඩිකිරීම තනිකරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලේ වුවමනාව මත සිදුවූවකි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය මුදලෙහි දෙවන වාරිකය මුදාහැරීමට නම් විදුලි බිල නැවත වතාවක් වැඩි කළ යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් පනවා තිබේ. මේ ඉටු කරන්නේ එම කොන්දේසිය.

එක් වසරක් තුළදී තුන්වන වරටත් විදුලි බිල වැඩිවීම ජනතාවට දරාගැනීමට නොහැක. ඒ තරමටම ජනතාව දැන් ණය වී හමාරය. කැප කළ යුතු සියල්ල කැප කර අවසන්ය. ළඟ තිබූ රන් භාණ්ඩද දැන් සින්න වී හමාරය. දැන් ඉතිරි වී පවතින්නේ වැරහැලි වී ගිය ඇඳිවත පමණි. මේ දිනවල නිරන්තරව සමාජ මාධ්‍ය තුළ විනෝදාස්වාදය පිණිස පෝස්ටුවක් සංසරණය වේ. එහි දැක්වෙන්නේ සියලු බිල් ගෙවූ පසු වූ පුද්ගලයකු යට ඇඳුම පිටින් ගෙදර යන ආකාරයයි. තව ටික දිනක් යනවිට සැබෑවටම ජනතාවට අත්වනුයේ එම ඉරණමයි.

විදුලි බිල වැඩි කරන හැම අවස්ථාවකම බලශක්ති ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ ඊළඟ මිල සංශෝධනයේ දී නියත වශයෙන්ම මිල පහත දමන බවත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කරන විදුලිය සියයට 70 දක්වා ඉහළ නංවන බවයි. එසේම මෙයින් පසු ආයතනය පාඩු නොලබන බවත් විදුලිබල මණ්ඩලයේ විදුලි මාෆියාව නැත්තටම නැති කළ බවයි. මේ වාක්‍ය කිහිපය දැන් ජනතාවට කට පාඩම්ය. ඒ තරමටම මෙම වදන් වලින් ජනතාව රවටා ඇත.

එමෙන්ම මාසයක් දෙකක් යන විට කරන ප්‍රකාශ කිහිපයක්ද වේ. ඒ වැස්ස නැති නිසා ජලාශ හිඳිලා, මණ්ඩලයට බිලියන ගණනක් පාඩුයි, අනිවාර්යයෙන්ම බිල වැඩි කළ යුතු වෙනවා, අපි ජනතාව ගැන සිතා අවම ප්‍රතිශතයකින් මිල ඉහළ දමනවා යනුවෙනුයි. මේ ප්‍රකාශ දෙක දැන් විදුබල මණ්ඩලයේ තේමා පාඨය බවට පත්ව ඇත.

● මහජන උපයෝගිතා කොමිසම

මහජන උපයෝගිතා කොමිසම ගැන ජනතාව සිතා සිටියේ එය ජනතාවගේ පිහිටට සිටින ආයතනයක් යැයි කියාය. සිදුවන ක්‍රියාවන් අනුව පෙනී යන්නේ මහජන උපයෝගිතා කොමිසම යනු මහජනයාගෙන් පඩි ලබන පාලකයන්ගේ පදයට නැටවෙන ජනතාව පිට බර පටවන තවත් එක් සුදු අලියෙක් යැයි කියාය.

වසරකට දෙවරක් සංශෝධනය කරනවා යැයි පැවසූ විදුලි බිල දැන් දැන් වසරකට තුන් වරක් සංශෝධනය කර ඇත. නීති අණපනත් හැම එකක්ම පවතින්නේ ජනතාවගේ ආරක්ෂාවට සුබසාධනයට නොව පාලකයන්ගේ හිත සුව පිණිසය. එය එසේ නොවේ නම් මෙවර මිල සංශෝධනය එහෙම පිටින් ම නීති විරෝධීය. ආණ්ඩුව කරන්නේ හොඳින් බැරිනම් බලපෑම් කර හෝ මහජන උපයෝගිතා කොමිසම හරහා ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කර ගැනීමය. ආණ්ඩුව කන්නට වුවමනා වූ විට කබරගොයා තලගොයා කරගන්නට හරි දක්‍ෂය.

අවසන් වරට විදුලිබල මණ්ඩලය මෙන්ම විදුලිබල ඇමැතිවරයාද විදුලි බිල වැඩි කරන අවස්ථාවේ කිව්වේ මෙම මිල වැඩි කිරීම හරහා වියදම් පියවා ගත හැකි බවත් විකල්ප විදුලි ප්‍රභවයන් වෙත වැඩියෙන් යොමු වී අඩු මිලට විදුලිය නිපදවන බවයි. ඒ බව මහජන උපයෝගිතා කොමිසමටද පොරොන්දු විය. එසේ පොරොන්දු දෙන ආයතනයකට මාස දෙක තුනකට පසු නැවත මිල සංශෝධනයක් කිරීමට සදාචාරාත්මක අයිතියක් නැතිවා සේම මහජන උපයෝගිතා කොමිසමද එසේ ඉල්ලන ඉල්ලන හැම අවස්ථාවකම මිල සංශෝධනය නොකළ යුතුය.

පාඩුයි පාඩුයි කියන හැම අවස්ථාවකම මිල වැඩි වැඩි කිරීමට ඇමැතිවරයෙකු හෝ ලක්ෂ ගණන් පඩි ගෙවා නිලධාරීන්, ඉංජිනේරුවන් නඩත්තු කිරීමට අවශ්‍ය නැත. එම කාර්යය මොන්ටිසෝරි ළමයෙකුට වුව කළ හැක. මීට කලකට ඉහත දේශපාලන වේදිකාවේ රැව් දුන් ජනප්‍රිය වැකියක් වූයේ ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකි බවයි. රටේ කටයුතු සිද්ධ වන්නේ මේ ආකාරයෙන් නම් ඕනෑම ගොනෙකුට ඇමැතිකම් කළ හැකි යැයි ජනතාව පවසනු ඇත.

● 22% ක මිල වැඩිකිරීමක්

මුලින්ම විදුලි බල මණ්ඩලය තමන් ලැබූ පාඩුව පියවා ගැනීම සඳහා සියයට 22 කින් විදුලි ගාස්තු සංශෝධනය විය යුතු බව සඳහන් කරමින් මහජන උපයෝගීතා කොමිසමට දත්ත ඇතුළත් වාර්තාවක් යොමු කළේය. එහි සඳහන්ව ඇත්තේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවල හදිසි විදුලිය මිලදී ගැනීමට සිදු වූ නිසා රුපියල් බිලියන 30 ක පාඩුවක් සිදු වූ බැවින් එම පාඩුව පියවා ගැනීමට විදුලි ඒකකයක ගාස්තුව රු. අටකින් හෝ සමස්ත ගාස්තුව 22% කින් වැඩිකිරීමට අවශ්‍ය බවයි.

● දත්ත පරස්පරයි

මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට පිළිතුරු ලිපියක් යොමු කරමින් සඳහන් කළේ ඔවුන් ඉදිරිපත් කළ දත්ත පරස්පර බැවින් විදුලි පිරිවැය යළි ගණනය කොට 18ට පෙර ඉදිරිපත් කරන ලෙසයි. එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ සැප්තැම්බර් මාසයේ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 44.7 ලෙස පුරෝකතනය කළ ද සැබෑ ලෙසම දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 41.01 බවයි.

●ගල් අඟුරු මිලත් පහළට

එසේම එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මේ වන විට ගල් අඟුරු කිලෝග්‍රෑමයක මිල රුපියල් 68.60 සිට රුපියල් 52.60ක් දක්වා පහත බැස ඇති බැවින් ඒ පිළිබඳවද අවධානය යොමු කරන ලෙසයි.

● ජල විදුලි බලාගාරවල වල ජල මට්ටමත් ඉහළට

මෝසම් වර්ෂාව ලැබීමත් සමග කාසල්රී, මාවුස්සාකැලේ, සමනල වැව, ඉහළ කොත්මලේ, කුකුලේගඟ යන ජල විදුලි බලාගාරවල ජල මට්ටම ද සීග්‍රයෙන් ඉහළ නැග තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු නන්දික පතිරගේ මහතා ද පවසන්නේ මේ වන විට සමස්ත ජලාශවල ජල මට්ටම සියයට 62.4% ක් දක්වා පිරී ඇති බවයි. මේ බොහෝ ජලාශ ලිපිය ලියන මොහොත වන විටත් වාන් දමන මට්ටමට පත්ව තිබිණි. මේ වන විට දෛනික විදුලි ඉල්ලුම ද ගිගාවොට් පැය 35 දක්වා පහත බැස තිබේ. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය ද විශ්වාසය පළ කරන්නේ තවදුරටත් ජනන වියදම පහළ යනු ඇති බවයි.

● අවුරුදු දෙකකට 10% වැඩිවීමක්

මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලය වෙත යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් සපයමින් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ මෙම වසරේ සැප්තැම්බර් 30 වැනිදා වනවිට විදුලිබල මණ්ඩලය කෙටිකාලීන ගෙවීම් ද ඇතුළුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට, දේශීය පෞද්ගලික විදුලි නිෂ්පාදකයන්ට සහ සියයට 32% ක පොලී ප්‍රතිශතය යටතේ මහජන බැංකුවෙන් ලබාගත් අයිරාවක් සඳහා රුපියල් මිලියන 156,051ක් ගෙවිය යුතු බවයි.

එමෙන්ම සැප්තැම්බර් මස 30 වැනිදා වන විට බාහිර පාර්ශ්වයන් වෙත ණය සහ ප්‍රධාන ගෙවීම් ප්‍රමාණය රුපියල් මිලියන 421818ක් බවක් 2023 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රුපියල් මිලියන 603736 ආදායමක් අපේක්ෂා කළද එම කාලසීමාවේදී කාලසීමාවේදී රුපියල් මිලියන 622478ක වියදමක් යන බැවින් රුපියල් මිලියන 18742ක හිඟයක් පවතින බවත් මේ නිසා වියදම පියවා පියවා ගැනීමට අවම වශයෙන් 10% ක ගාස්තු ඉහළ නැංවීමත් අවශ්‍ය බවත් එම ගාස්තු සංශෝධනය ඉදිරි වසර දෙකක් සඳහා ක්‍රියාත්මක කළ යුතු බවයි.

මාස දෙක තුනක පාඩුවට අවුරුදු දෙකක ගාස්තු වැඩිවීමක් ඉල්ලනවා නම් මාස හයක් අවුරුද්දක් පාඩු ලැබුවහොත් ජනතාවට සසර වසන තුරු මේ ණය ගෙවීමට සිදුවනු ඇත.

● පාඩුව අඩුවේ

22% කින් මිල වැඩි කළ යුතු යැයි මුලින් ඉල්ලූ විදුලිබල මණ්ඩලය දැන් එය 18% දක්වා පහළ දමා තිබේ. එම 18% න් 17% ක් මෙවර වැඩි වීමටත් 1%ක් ගියවර වැඩිකිරීමේදී සිදුවූ පාඩු පියවා ගැනීමටත් බව සඳහන්ය. තව අවුරුද්දක් දෙකක් ගිය විට 2015 – 2020 ලැබූ පාඩු පියවා ගැනීමට කියා නැවත නැවතත් විදුලි ගාස්තු ඉහළ නැංවීමට ඉඩ තිබේ.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන අදහස් විමසීමේ අවස්ථාවට සහභාගි වෙමින් වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 18 දක්වා පහළ යෑම මිල වැඩිකිරීමේ ප්‍රතිශතය පහළ යෑමට හේතු වූ බවයි. සමහරවිට නැවත වරක් පුරෝකථනය කරන්න යැයි පැවසුවොත් විදුලි බල මණ්ඩලයේ පාඩුව තවත් අඩු වීමට ඉඩ තිබිණි. සතියක් තුළ විදුලිබල මණ්ඩලයේ පාඩුව බිලියන 32 සිට බිලියන 18 ට අඩුවූයේ කෙසේද. විදුලි බල මණ්ඩලය ජනතා මුදල් සමග සෙල්ලම් කරන ආකාරයක් දක්නට ලැබේ.

20 වැනිදා සිට විදුලි ගාස්තු වැඩි කිරීමට විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී ඇත. ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ඒකක 0-30 දක්වා රුපියල් 10ක්ව පැවති ගාස්තු රුපියල් 12 දක්වා ඉහළ නංවා ඇති අතර රුපියල් 150ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 දක්වා ද ඒකක 31-60 දක්වා රුපියල් 25ක්ව පැවති ගාස්තුව 30 දක්වා ඉහළ නැංවීමටත් රුපියල් 300ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 360 දක්වා ද ඒකක 61-90 දක්වා රුපියල් 35ක්ව පැවති ගාස්තුව රුපියල් 40 දක්වාද රුපියල් 400ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 480 දක්වා ද ඒකක 91 සිට 120 දක්වා රුපියල් 50ක් පැවති ගාස්තුව 59 දක්වාද රුපියල් 1000ක්ව පැවති ස්ථාවර ගාස්තුව 1,180 දක්වා ද ඒකක 121-180 දක්වා රුපියල් 50ක්ව පැවති ගාස්තුව 59 දක්වාද එහි ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 1,770 දක්වා ද ඒකක 180 වැඩි විදුලි ඒකකයක් සඳහා රුපියල් 75ක්ව පැවති ගාස්තුව 89 දක්වාද එහි ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 සිට රුපියල් 2,360 දක්වා ද වැඩි කර ඇත.

මීට අමතරව කර්මාන්ත, හෝටල් කාණ්ඩයට අයත් විදුලි ගාස්තුව ඉහළ නංවා ඇත්තේ මාසික විදුලි පරිභෝජනය ඒකක 300 ට අඩු ඒකකයක් රුපියල් 18 සිට 20 දක්වාත් ඒකක 300ට වැඩි ඒකකයක් රුපියල් 25 සිට 28 දක්වාත්ය.

රාජ්‍ය හා පොදු ආයතන කාණ්ඩයට අයත් විදුලි ගාස්තුව ඉහළ නංවා ඇත්තේ මාසික විදුලි පරිභෝජනය ඒකක 180 ට අඩු ඒකකයක් රුපියල් 35 සිට රුපියල් 43 දක්වාත් ඒකක 180ට වැඩි ඒකකයක් සඳහා රුපියල් 45 සිට රුපියල් 56 දක්වාත් ය. මීට අමතරව වීථි ලාම්පු සඳහා අයකළ ගාස්තුව රුපියල් 45 සිට රුපියල් 56 දක්වා ඉහළ නංවා තිබේ. ආගමික සිද්ධස්ථාන සඳහා මිල වැඩිකර නැත.

● විදුලි බිල වැඩි කළ යුතුමද?

දැන් කරන්ට් වදින්නේ විදුලි බිලෙන්!

විදුලිබල මණ්ඩලය පසුගිය මාස දෙක තුන තුළ මෙරට පැවති නියං කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වූ බැවින් එම අඩුව පිරවීමට තාප විදුලිය මිලට ගැනීමට සිදු වූ නිසා මණ්ඩලයට පාඩු සිදුවූ බව සැබෑවකි. තාප විදුලි ඒකකයක් නිපදවීමට වැයවන මුදලත් ජල විදුලියට සාපේක්ෂව ඉතා ඉහළය. නමුත් කලකට වැසි නැතිව පාඩු ලැබුවත් ඊළඟ මාස කීපයේ වැසි ලැබී අඩු මිලට විදුලිය නිපදවා කලින් පාඩුව පියවා ගත හැකිය. මේ සරල කරුණවත් විදුලිබල මණ්ඩලය තේරුම් නොගන්නේ මන්දැයි නොවැටහේ.

මිල ඉහළ දමන විට කියන සියලු සුරංගනා කතා සතියක් දෙකක් යන විට පාලකයන්ට අමතක වේ. නාස්තිය දූෂණය පෙර පරිදිම ක්‍රියාත්මක වේ. වසා දැමිය යුතු සිදුරු එසේම පවතිද්දී තව තවත් සිදුරු සාදමින් හොරාකෑම පමණක් සිදුවේ.

● රු. බිලියන 39ක් මණ්ඩලයට පොලු තියලා

පසුගියදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩලය මේ වන විට පවතින පාඩුව පියවා ගැනීමට මිල වැඩි කිරීමක් අවශ්‍ය නොවන බවත් ඒ සඳහා ඇති හොඳම විකල්පය මණ්ඩලයට නොගෙවා ඇති බිල් අයකර ගැනීම බවයි. පොලු තැබූ මුදල රුපියල් බිලියන 39 කි. මෙලෙස පොලු තබා ඇත්තේ දේශපාලනඥයින්, ඔවුන්ගේ හිතවතුන් සහ රාජ්‍ය ආයතන කිහිපයකි.

විදුලිබල මණ්ඩලය පැත්තෙන් හෝ ආණ්ඩුව පැත්තෙන් තම වියදම් අඩු කර ගැනීමට හෝ පාඩු මඟහරවා ගැනීමට කිසිදු උත්සාහයක් දරන බවක් දක්නට නොලැබේ. ඒ බඩගින්නේ සිට හෝ ජනතාව කරුවලේ සිටීමට නොහැකි නිසා විදුලි බිල ගෙවන බව දන්නා නිසාය.

පසුගිය කාලයේ සමනලවැව ජලාශයේ ජලය අන්තිම අඩියටම අඩුවිය. ඒ අවස්ථාවේදී ඉතාම සුළු මුදලකින් ජල කාන්දුව වසා ගැනීමට අනගි අවස්ථාවක් උදාවිය. නමුත් විදුලිබල මණ්ඩලය එම අවස්ථාව මඟ හැර ඇත. ඒ අඩු මිලට විදුලිය නිපදවුවහොත් වැඩි මිලට තාප විදුලි බලාගාර වලින් ජාවාරම්කාරයින්ට විදුලිය මිලට ගැනීම අහිමි වන නිසා විය හැක.

● ලබන වසරේත් නියඟයක්

ලබන වසරේ නැවත වතාවක් වූ එල්නිනෝ තත්ත්වයක් ඇතිවේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනටමත් අනාවැකි පළකර තිබේ. එසේනම් ලබන වසරේ වසරේදී මීට වඩා වැඩි අගයකින් විදුලි ගාස්තු ඉහළ යෑමට ඉඩ තිබේ. එසේනම් විදුලිබල මණ්ඩලය දැන් සිටම කළ යුත්තේ ජනතාවගේ පිටට සියලු බර නොපටවා වතුරෙන් බැරිනම් හිරු එළියෙන් විදුලිය නිපදවීමට කෙරෙහි තම අවධානය වැඩිපුර යොමු කිරීම ය.

බොහෝ රටවල්වලට අපට මෙන් ජලයෙන් විදුලිය නිපදවිය නොහැක. තවත් රටවල් බොහොමයකට අපට මෙන් වසර පුරා හිරු එළිය ලැබෙන්නේද නැත. නමුත් අපේ රටට වසර පුරා හොඳින් වර්ෂාවත් ලැබී හිරු එළියත් ලැබේ. නමුත් මේ දෙකෙන්ම හරිහැටි ප්‍රයෝජනයක් ගන්නේ නැත.

ආණ්ඩුවට මූල්‍යමය ශක්තියක් නොමැති නම් පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන හෝ හිරු එළියෙන් විදුලිය නිෂ්පාදනයට මේ තරම් කල් ගත කරන්නේ ඇයි ද යන්න ජනතාවට ප්‍රශ්නයකි. ඒ බොහෝවිට පෞද්ගලික බලාගාරවලින් වැඩි මිලට විදුලිය ලබා ගැනීමේ මාෆියාව නිසා වීමට පුළුවන.

එක වතාවක් විදුලි බිල වැඩි වුණා නම් ගැටලුවක් නැත. ජනතාව කෙසේ හෝ ගෙවනු ඇත. දෙවතාවක් ද? නැත. මේ කියන විදිහට කොපමණ වැඩි කළත් හැමදාමත් විදුලිබල මණ්ඩලය පාඩුය. හිඟන්නාගේ තුවාලය මෙන් විදුලි බල මණ්ඩලයේ පාඩුවද කිසිදා සුව නොවන තුවාලයකි. අප පාසල් යන කාලයේත් මෙම ආයතන පාඩුය. දැන් අප වැඩිහිටියන් වී අපට ළමයින් සිටින කාලයේත් මෙම රාජ්‍ය ආයතන පාඩුය. අපගේ ළමයින්ගේ ළමයින්ටත් අහන්නට දකින්නට ලැබෙනු ඇත්තේ මේ ආයතන මේ ආකාරයෙන්ම පාඩු ලබන බවයි. ඉතින් අපි මතු මතුත් හම්බ කරමු, බිල් ගෙවමු, බදු ගෙවමු. දේශපාලන පරපෝෂිතයන් පෝෂණය කරමුද.

දැන් ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇත. විදුලිබල මණ්ඩලය පෙර කළ පව් වලටත් වත්මන් ජනතාවට වන්දි ගෙවීමට සිදුව ඇත. ඒ විදුලිබල මණ්ඩලය පෙර ලැබූ පාඩුද දැන් අයකර ගැනීමට සූදානම් වීමයි. දිනෙන් දින රට පුරාම කර්මාන්තශාලා වැසී යන තත්ත්වයක් මතුව ඇත. විදෙස් ආයෝජකයන් රට හැර යති. පවතින ආයතන ටික පවත්වාගෙන යන්නේද බොහෝම අමාරුවෙනි. ඒ මතට මේ බරත් පැටවුවහොත් ඒ සියල්ල වැසී යනු ඇත. එවිට පවුල් කී දාහක් අනාථ වනු ඇතිද? ස්වයං රැකියාවක් කර ජීවත් වූ කී දෙනකුගේ ජීවන මාර්ගය ඇහිරී යනු ඇතිද? ලෙඩා මියැදී බඩ සුද්ද වීමෙන් ඵලක් නැත. ලෙඩාත් බේරාගෙන බඩත් සුද්ද කිරීමේ න්‍යාය ආණ්ඩුව ඉගෙනගත යුතුය.

රුපියල් තිස් හතළිස් දහසක වේතනයක් ලබන පවුලකට ජල බිල සහ විදුලි බිල ගෙවූ පසු මාසයක් ජීවත්වීමට සත පහක් ඉතිරි නොවේ. පොඩි දරුවන් බඩගිනියි යැයි පවසන විට ඉතිරිවන එකම විකල්පය පවුල පිටින්ම විදුලි වයරයක් සපා කා මියැදෙන්නටය.

වත්මන් ආණ්ඩුවේ බොහෝමයක් ඇමැතිවරු සිතන්නේ ආයතනයක් පාඩුනම් මිල වැඩිකළ යුතු බවයි. නැතිනම් පෞද්ගලිකකරණය කළ යුතු බවයි. ඉන්ධන අඩු මිලට සහ තරගකාරී මිලට දෙන්නට යැයි පවසා ආණ්ඩුව ගෙන ආවේ සයිනොපෙක් සමාගමයි. මෙවර ඉන්ධන මිල වැඩිකිරීමේදී සවස 6 වනවිටම ඉන්ධන මිල ඉහළ දැමුවේද එම සමාගමයි. මිල වැඩිකිරීමෙන් හෝ පෞද්ලිකකරණය කිරීමෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබේවි යැයි සිතනවානම් එය ආණ්ඩුව වැටී සිටින විශාල මුළාවකි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment