චීන විදේශ ඇමැතිවරයා අහසින් පොළවට

857

චීන විදේශ ඇමති චිං ගන්ග් ධුරයෙන් ඉවත්කළ බව එරට රජය නිවේදනය කරයි. ගන්ග් මහතා පිළිබඳව පසුගිය මාසයක පමණ කාලයක් පුරා කිසිදු තොරතුරක් වාර්තා නොවුණි. තවද එකී කාලය තුළ කිසිදු අවස්ථාවක ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිට නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. පසුගිය ජුනි මස 25 දින ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා සමඟ බීජිං නුවර පැවති හමුවෙන් පසු චීන විදේශ ඇමැතිවරයා අතුරුදන් වී තිබුණි.

චීන මහජන කොංග්‍රසයේ හදිසි රැස්වීමක් පසුගිය අඟහරුවාදා කැඳවා තිබූ අතර එහිදී සිය විදේශ අමාත්‍යවරයා නෙරපා හැරි බව ප්‍රකාශයට පත්විය. නිවේදනය නිකුත් වීමත් සමඟම ඔහුගේ නම ඇතුළත් වාර්තා සියල්ල රජයේ වෙබ් අඩවිවලින් ඉවත් කර ඇත. චීන බලධාරීන් මීට පෙර කියා සිටියේ සෞඛ්‍ය හේතු මත අමාත්‍යවරයා රාජකාරී සඳහා වාර්තා නොකරන බවයි. පසුව විදෙස් මාධ්‍ය චීන විදේශ අමාත්‍යාංශයෙන් දිගින් දිගටම මේ පිළිබඳව විමසීම් කළ අතර එහි මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන්බින් සඳහන් කළේ සිය ඇමැතිවරයා පිළිබඳව ලබා දීමට තරම් තොරතුරක් තමන් සතුව නොමැති බවයි.

හිස් වූ පුටුව හිටපු විදේශ ඇමැතිට

විදේශ ඇමැතිවරයා ඉවත් කිරීමට හේතුව හෝ ඔහු දැනට සිටින ස්ථානය පිළිබඳව කිසිදු තොරතුරක් අදාළ නිවේදනයේ අඩංගු නොවේ. වඩාත් සංවෘත රාජ්‍ය පාලනයක් පවතින චීනයේ ජාත්‍යන්තර නියෝජිතයා වන්නේ විදේශ ඇමැතිවරයා වුවත් ඔහු ඉවත් කිරීම එතරම් ඇඟට නොගන්නා ස්වභාවයකින් සිදුකර ඇති බව කිව හැකිය. එය තනි වාක්‍යයක නිවේදනයකි. ඇමැතිවරයා ඉවත් කිරීමට චීන මහජන කොංග්‍රසය රැස්කිරීම සඳහා එහි සාමාජිකයන් දැනුවත් කර ඇත්තේ දිනකට පෙරයි. මහජන කොංග්‍රසය යනු නිල වශයෙන් චීනයේ පාර්ලිමේන්තුව වුවත් එය චීන කොමියුනිස්ට් පක්ෂයේ රබර් මුද්‍රාව ලෙස හැඳින්විය හැකිය. න්‍යාය පත්‍රයට අනුව එය අයිතම දෙකක් සම්මත කර ගැනීමට කැඳවන ලද රැස්වීමකි. ඉන් එකක් අපරාධ නීතියට හදිසි නොවන සංශෝධනයක් සිදු කිරීමයි. අනිත් කාරණය නිල පත්වීම් සහ ඉවත් කිරීම් යනුවෙන් සරලව දක්වා තිබුණි. චිං ගන්ග්ගේ ඉවත් කිරීමට අමතරව චීන මහජන බැංකුවේ සභාපතිවරයා එරට මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීම ද එදින සිදුවිය. මේ අනුව වඩා හදිසි කාරණය කුමක්දැයි කිසිවෙකුට අනුමාන කිරීම වළක්වා ඇති බව පැහැදිලිය.

විදේශ අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා චීනයේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා වන වං යී මහතා පත්කළ බව මහජන කොංග්‍රසය වැඩිදුරටත් නිවේදනය කර සිටියි. වං යී යනු චීනයේ විදේශ ප්‍රතිපත්ති සම්පාදනය කරන විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ වර්තමාන අධ්‍යක්ෂවරයා වන අතර ඔහු චිං ගන්ග්ට පෙර චීන විදේශ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

57 හැවිරිදි චිං ගන්ග් මහතා චීන ජනාධිපති ෂී ජිං පිංගේ අතිශය විශ්වාසවන්තයෙකු ලෙස සැලකේ. ඔහු පාලක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙකි. පක්ෂයේ ඉහළට ඒමට සම්මත යාන්ත්‍රණයක් ඇත. නමුත් ඒ සියල්ල අභිබවා කෙටි කලකින් ඔහු චීන විදේශ අමාත්‍ය ධුරයට පත් විය. ගන්ග් මහතා ඊට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ චීන තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත. ඔහු චීන ඉතිහාසයේ විදේශ අමාත්‍ය තනතුරට පත් වූ ළාබාලතම පුද්ගලයන්ගෙන් අයෙකු බව සඳහන් ය. ඔහුගේ පූර්වප්‍රාප්තිකයා වූයේ චීනය විසින් මෙතෙක් බිහිකළ අංක එකේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා වූ හිටපු විදේශ ඇමැති වං යී ය. වං වැනි අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨයෙකු අභිබවා යෑමට තරම් ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනා ගැනීම පහසු නැත. කෙසේ නමුත් චීනයේ ප්‍රවේගකාරී රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය නියෝජනය කිරීමට චිං ගන්ග් ඕනෑවටත් වඩා සුදුස්සෙකු බව බව පසු ගිය කාලයේ අසන්නට ලැබුණි.

ප්‍රවේගකාරී රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය

තමන්ට වඩා බොහෝ ජ්‍යෙෂ්ඨයන් සිටියදී මෙසේ ඉහළම තලයට පැමිණීම නිසා සමහරු චිං ගන්ග්ව හඳුන්වන්නේ බීජිංහි Wolf Warrior Diplomat ලෙසයි. මෙම වාක්‍ය ඛණ්ඩය කරළියට පැමිණෙන්නේ චීනයේ දේශප්‍රේමී ක්‍රියාදාම චිත්‍රපටයක් වූ Wolf Warrior 2 ඇසුරිනි. චිත්‍රපටයේ තේමාව වූයේ චීනයට පහරදෙන්නා කවුරුන් වුවත් ඔහුගේ තරාතිරම නොබලා හඹා ගෙන ගොස් ඔහුව මරා දැමීමයි.

Wolf Warrior Diplomat යන්නට ගැළපෙන සිංහල යෙදුමක් සෙවීම අපහසුය. මෑත කාලීන රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී චීනය බොහෝ විට මෙකී Wolf Warrior Diplomacy භාවිත කරන බවට චෝදනා එල්ල වී ඇත. මෙය සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික යෙදුමක් නොවේ. රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී ගතානුගතික සම්මුතිවාදී ස්වභාවයෙන් පරිබාහිරව වෘකයෙකු මෙන් බලහත්කාරය පෑම සඳහා මෙකී යෙදුම භාවිත කෙරේ. ඩෙං ෂියාවෝ පෙං සහ හූ ජින්තාවෝ යන චීන නායකයන්ගේ යුගවලදී බාහිර රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ මතභේදාත්මක වාචික ගැටුම්වලට එළැඹීමක් සිදු නොවුණු තරම් ය. නමුත් ෂී ජිං පිං ජනාධිපතිවරයාගේ යුගයේදී බොහෝ විට බලහත්කාර රාජ්‍යතාන්ත්‍රිකත්වයක් අනෙකා පිට පැටවීමට චීනය උත්සාහ දරන බවට බටහිර මාධ්‍ය චෝදනා කරයි. රාජ්‍යතාන්ත්‍රික භාවිතයේදී චීන නිලධාරීන් යොදන වචන බොහෝ විට සාමයට වඩා ගැටුමකට අතවනන ස්වභාවයක් පෙන්නුම් කරන බව තවත් චෝදනාවකි.

වං චිං ගැටුමක්ද?

චිං ගන්ග් මහතාට ප්‍රවේගවත් රාජ්‍යතාන්ත්‍රික ගමනකින් පසු එක්වරම ඉවතට විසි වීමට සිදුව ඇත. එය කන්දක් මුදුනට රැගෙන ගොස් බිමට තල්ලු කළා වැනිය. ඔහු විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළේ මාස හතක් පමණි. එය මෙතෙක් එරට විදේශ ඇමැතිවරයෙකු අදාළ ධුරය හෙබවූ කෙටිම කාලයයි.

හිටපු විදේශ ඇමැතිවරයා චීනයේ ඉහළම පරිපාලන ආයතනය වන රාජ්‍ය කවුන්සලයේ තවදුරටත් රැඳී සිටිනු ඇත. නමුත් නිශ්චිත වගකීමක් නොමැතිව විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමෙහි ලා ඔහුගේ භූමිකාව පැහැදිලි නැත. චිං මහතාට තවදුරටත් එසේ රාජ්‍ය කවුන්සලයේ දොරටු විවර වීමෙන් පෙනී යන්නේ ඔහුව දේශපාලන අධීක්ෂණයක් යටතේ තබා ගැනීමට චීන නායකයා උපක්‍රමශීලී වී ඇති බවයි. චිංගේ රාජ්‍යතාන්ත්‍රික වෘත්තිය මෙයින් අවසන් වුවත් ඔහු තවම දේශපාලනිකව මියගොස් නැත. හොඳින් ඉංග්‍රීසි බස හසුරුවන හිටපු විදේශ අමාත්‍යවරයාට බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ ද මනා සබඳතාවක් ඇත. චිංගේ අතුරුදන් වීම සිදුවූ දිනවල චීන සමාජ මාධ්‍යවල කටකතා කිහිපයක් පැතිරුණි. ඉන් එකක් වූයේ ඔහු රූපවාහිනී නිවේදිකාවක සමඟ සබඳතාවක පැටලී ඇති බවයි. සමාජ මාධ්‍ය වාර්තාවන්ට අනුව චිං මෙන්ම එකී නිවේදිකාවත් මේ වන විට අතුරුදන්ව ඇත. සාමාන්‍යයෙන් චීන රජය එවැනි සමාජ සබඳතා දෙස වපරැසින් නොබැලුවත් විදේශ අමාත්‍ය ධුරය වැනි භාරධූර වගකීමක් දරන්නෙකුට එය අකැප විය හැකිය. බොහෝ රාජ්‍ය රහස් එවැනි සම්බන්ධතා හරහා අනවශ්‍ය පාර්ශ්ව අතට පත් විය හැකිය. එය චීනයේ උපාය මාර්ගික පැවැත්මට අතිශය බාධාවක් බව විශේෂයෙන් කිව යුතු නැත. ඉහළ පෙළේ දේශපාලනඥයන් අතුරුදන් වීම චීනයට එතරම් ආගන්තුක කාරණයක් නොවේ. තවත් කටකතාවකින් කියවුණේ චිං හා වං අතර බල අරගලයක් පවතින බවයි. 69 වැනි වියේ පසු වන වං යී කැබිනට් නිලධාරීන්ගේ සම්මත විශ්‍රාම වයස පසුකර ඇතත් දැනටත් පක්ෂයේ දේශපාලන මණ්ඩල කමිටුවේ රැඳී සිටියි. එකී කමිටුව චීනයේ උත්තරීතර පාලන ඒකකය වන අතර ජනාධිපතිවරයා ඇතුළු කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයන් 24 දෙනෙක් එය නියෝජනය කරති.

වං යී දැන් නැවතත් විදේශ ඇමැති ධුරයේ වැඩ බැලීමට පත්කර ඇත. ඔහුගෙන් ජනාධිපතිවරයාට අභියෝගයක් එල්ල නොවන බව පැහැදිලිය. නමුත් බීජිං අහසේ වේගයෙන් නැඟී ආ රාජ්‍යතාන්ත්‍රික තරුව වූ චිං ගන්ග් කෙදිනක හෝ ෂී ජිං පිංට අභියෝගයක් නොවනු ඇති බව කැට තියා කිව නොහැක. විදේශ ඇමැතිවරයා ධුරයෙන් පහ කිරීමට හේතු කවරක් වුව ද චීනය තුළ එය අභියෝගයට ලක් කිරීමට කිසිවෙකු නැත. චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩලයේ බහුතර මතය අනුව චීනය පාලනය වන බව කියැවුණත් සියලු දෙනා ඒකමතිකව පක්ෂ නායකයාගේ මතයට හිස නමනු ඇත.

මහා පුනර්ජීවනයට ඉක්මන් ගමනක්

ජනාධිපතිවරයා වටා සිටින සමීපතමයන් කිසිවෙකු ඔහුගේ ප්‍රතිපත්ති විවේචනය කරන්නන් නොවේ. මීට පෙර චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය පස් අවුරුදු ධුර කාල දෙකකින් පසු ඉවත් විය. නමුත් ෂී ජිං පිං මහතා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරමින් එකී සීමාවන් ඉවත් කරගෙන ඇත. මේ ගෙවෙන්නේ ඔහුගේ තුන්වන ධුර කාලයේ පළමු වසරයි. පසුගිය කාලයේ වොෂින්ටනය හා යුරෝපය සමඟ චීනයේ සබඳකම්වල යම් පළුදු වීමක් දක්නට ලැබුණත් වෙළෙඳ අභියෝග හමුවේ නව මානයකින් එකී සබඳතා ගොඩනැංවේ යැයි බොහෝ අයගේ විශ්වාසයක් විය. නමුත් චීන විදේශ ප්‍රතිපත්තිය මූලික වශයෙන් වෙනස් නොකරනු ඇති බව දැන් පැහැදිලිය. එය තවදුරටත් ෂී ජිං පිං මහතාගේ අභිලාෂයන් අනුව ක්‍රියාත්මක වනු ඇත. සෙසු නිලධාරීන්ට සිදුවන්නේ ෂීගේ දැක්ම ක්‍රියාවට නැංවීම පමණි.

විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමෙහි ලා ෂී ජිං පිං මහතාගේ ආසන්නතම අභිප්‍රාය වන්නේ තායිවානය තම රටට එකතු කර ගැනීම බව පැහැදිලිය. චීන ජනතාවගේ මහා පුනර්ජීවනය උදෙසා තායිවානය එක්කර ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බව ඔහු පවසා ඇත. තායිවාන ගැටලුව තමන්ගෙන් පසු පත්වන නායකයන්ට ඉතුරු කිරීමට ඔහුට අවශ්‍ය නැති බව පෙනෙන්නට ඇත. තමන්ට පෙර සිටි නායකයන්ට කළ නොහැකි වූ සියල්ල තමන් විසින් සම්පූර්ණ කළ යුතුව ඇතැයි ඔහු තරයේ විශ්වාස කරන බව කිව හැකියි. තායිවානය නැවත ලබාගතහොත් තමන් මාවෝ සේතුංට හා ඩෙං ෂියාවෝට වඩා උසස් තලයකට පැමිණෙන බව ඔහු වරක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. මාවෝ සේතුං විසින් ආරම්භ කරන ලද අඩු තාක්ෂණයෙන් යුතු මහජන හමුදාව තවදුරටත් චීනයේ දක්නට නොමැත. එය නවීන අධි තාක්ෂණික හමුදාවක් බවට පරිවර්තනය වීම විශ්වාස කළ නොහැකි වේගයෙන් සිදුව ඇත.

චීන හමුදාවේ ප්‍රමුඛතම අරමුණ වන්නේ ඉතා ඉක්මනින් තායිවානයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් දියත් කිරීම බවට සැකයක් නැත. ඔවුහු ඒ සඳහා දශක දෙකක් තිස්සේ සූදානම් වෙමින් සිටිති. තායිවානයට එරෙහි යුද්ධයකදී ඇමෙරිකාව තමන් සමඟ සටනට එලඹෙන බව චීනය නොදන්නවා නොවේ. තවමත් ඇමෙරිකානු යුද ශක්තිය පිළිබඳව චීනය සිටින්නේ දෙගිඩියාවෙනි. එහෙත් තමාගේ පාලන කාලය තුළ ඇමෙරිකාව රාජ්‍යතාන්ත්‍රික සටනකින් පසුබස්වා තායිවාන ගැටලුවට විසඳුම් ලබා ගැනීම ෂී ජිං පිං මහතාගේ අභිලාෂය බව පෙනෙන්නට ඇත. තායිවාන ගැටලුව ජයගැනීම හා “මාවතක් තීරයක්” මුලපිරීම ඔස්සේ ලෝක ආර්ථිකයේ ප්‍රමුඛයා වීමේ ජනාධිපතිවරයාගේ සැලසුම ක්‍රියාවට නංවන්නේ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයයි. එහෙයින් එය භාරව සිටින්නේ කවරෙකු වුවත් ඔහු හෝ ඇය ජනාධිපතිවරයාගේ ඉහළම තේරීමක් විය යුතුය.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment