ප්‍රකෝටිපතියන් පාවිච්චි කරන මෙෆෙඩ්‍රෝන් මත්කුඩුත් ලංකාවට ඇවිත්

2397

ලංකාවෙන් සොයාගත්තේ පළමු වතාවටයි

අත්තිඩියේ සහ මොරටුවේ ව්‍යාපාරිකයෙක් ජාවාරම ජයටම සිදුකර ගෙන ගිහින්….

මාලදිවයිනෙන් මෙරටට යළිත් මාලදිවයිනට…

පාර්සල් කරලා විතරයි මෙරට විකුණලා නැහැ…

ඔත්තුව දුන්නේ ජාවාරමෙන් වෙන්වූ අයෙක්…

නාමල් අමරසූරිය අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකි. වයස අවුරුදු 30කි. බෝට්ටු, බෝට්ටු එන්ජින් ආශ්‍රිත ව්‍යාපාරවල දැනට වසර කිහිපයක සිට ඔහු නිරත වෙයි. එම ක්ෂේත්‍රයේ සිටින ව්‍යාපාරිකයන් අතරින් ප්‍රබලම ස්ථානයක් ඔහුට හිමිය. මෙරට පමණක් නොව මාලදිවයින තුළ ද මොහු ව්‍යාපාර පවත්වාගෙන යයි. ඒ අනුව බලන කළ මොහු කෝටිපති ව්‍යාපාරිකයෙකි.

මොරටුව සමන්පුර ප්‍රදේශයේ පදිංචි අතුල පෙරේරා මොහුගේ ගජ මිතුරෙකි. අතුල ද කෝටිපති ව්‍යාපාරිකයෙකි. මැදි වයස ඉක්මවූ මොහු විවාහකයෙකි. ඔහුගේ වැඩිමහල් පුතා සංජු පෙරේරාය. වයස අවුරුදු 29කි. ඔහු තම පියාගේ ව්‍යාපාර කටයුතුවලට සහය දෙයි.

ව්‍යාපාර කටයුතු සඳහා නිතර පාහේ මාලදිවයින බලා යන නාමල් එරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළේය. ඒ ව්‍යාපාරිකයන් විවිධ ක්ෂේත්‍රවල නිරත වූ අය වූහ. ඒ අතර මුෂ්පිකර් යනු එරට මොහුගේ හොඳම මිතුරාය. මුෂ්පිකර් සංචාරක කර්මාන්තයේ සහ ධීවර කටයුතුවලට සම්බන්ධ ව්‍යාපාරවල නිරත විය. දිනක් නාමල් සහ මුෂ්පිකර් ඔහුගේ තරු පන්තියේ හෝටලයක් තුළ මුණගැසී මෙලෙස කතාබස් කළහ.

“නාමල් මම උඹට දෙයක් කියන්න හිටියේ දැන් ටික දවසක ඉඳන්.”

“ඒ මොකක්ද?”

“අලුත් බිස්නස් එකක් ගැන.”

“අලුත් බිස්නස් එකක්.”

“ඔව්.”

“අනේ මට මේ තියෙන ඒවත් බලා ගන්න බැරුව ඉන්නේ. ඒ මදිවට දැන් බිස්නස් කරලා වෙනදා වගේ ලාභත් නැහැ.”

“මේක පාඩු ලබන බිස්නස් එකක් නොවෙයි. හරියට ගේම ගහ ගත්තොත් කෝටි ගණන් හොයාගන්න පුළුවන්.”

“එහෙම එකක්නම් මම කැමතියි. ඉතින් කියන්න මොකක්ද ඔයාගෙ අලුත් බිස්නස් එක කියලා.”

“මෙෆෙඩ්‍රෝන් ගැන අහලා තියෙනවද?”

“නැහැ මම කවදාවත් අහලා නැහැ.”

“මෙෆෙඩ්‍රෝන් කියන්නේ ඩ්‍රග්ස් එකක්. මේක පාවිච්චි කරන්නේ ධන කුවේරයන්. මිලෙන් ඉතා අධිකයි.”

“ඉතින් ඒවා විකුණන්නද හදන්නේ. අනේ මට නම් බැහැ ඔය නීති විරෝධී වැඩවලට සම්බන්ධ වෙන්න.”

“කවුද ඔයාට විකුණන්න කිව්වේ.”

“එහෙනම් මම කොහොමද සම්බන්ධ වෙන්නේ.”

“ඔයාට තියෙන්නේ පොඩි වැඩක් කරන්න. මම මෙහෙ ඉඳන් බඩු ටික ඔයාට එවන්නම්. ඔයා ඒවා මම කියන විදියට පැක් කරලා ආපහු එවන්න. මම ඒකට හොඳ ගාණක් ගෙවන්නම්.”

“අනේ මන්දා මට නම් බයයි. තව ටිකක් ඔය ගැන කල්පනා කරන්න ඕනා.”

“බයවෙන්න දෙයකුත් නැහැ. කල්පනා කරන්න දෙයකුත් නැහැ. ඔයා මේවා විකුණන්නෙ නැහැනෙ.”

“ඒ වුණාට.”

ප්‍රකෝටිපතියන් පාවිච්චි කරන මෙෆෙඩ්‍රෝන් මත්කුඩුත් ලංකාවට ඇවිත්

“එහෙම කියන්න එපා. මේක හොඳට සල්ලි හොයන්න පුළුවන් වැඩක්. ඔය අපි කරන බිස්නස් වගේ නොවෙයි.”

කතාව එතනින් අවසන් නොවුණි. ඔවුන් දෙදෙනා පැය කිහිපයක් දිගින් දිගටම ඒ පිළිබඳව කතා බස් කළහ. එ අනුව මුදල්වලට දැඩි කෑදරකමක් දැක්වූ කෝටිපති ව්‍යාපාරික නාමල් මෙම නීති විරෝධී මත්කුඩු ජාවාරමට සම්බන්ධ වීමට කැමැත්ත පළ කළේය. එලෙස කැමැත්ත පළ කර දින කිහිපයකට පසු නැවත ඔහු ලංකාවට පැමිණියේය.

මෙරටට පැමිණි නාමල් පළමුව සිදු කළේ මොරටුව ප්‍රදේශයේ පදිංචි අතුල නැමැති තම ව්‍යාපාරික මිත්‍රයාව මුණගැසීමයි. එලෙස මුණගැසුනු ඔහුන් දෙදෙනා මෙලෙස කතාබස් කළහ.

“මචං මාලේ ඉන්නවා මගේ හොඳ බිස්නස්මන් කෙනෙක්.”

“ඉතින්”

“මිනිහා මට අලුත් බිස්නස් එකක් ගැන අයිඩියා එකක් දුන්නා. මම කැමතියි ඒකට ඔයාවත් හවුල් කරගන්න.”

“ඒක නම් හොඳ අදහසක්. මොකද මේ බිස්නස්වලින් ලොකු ලාභයක් නැහැ. මගෙත් අයිඩියා එකක් තිබුණා වෙන බිස්නස් එකකට අත ගහන්න.”

“එහෙනම් මරුනෙ අතුල අපි මේක පටන් ගමු.”

“මොකක්ද ඔය අලුත් බිස්නස් එක.”

“මෙෆෙඩ්‍රෝන් කියලා දෙයක් ගැන අහලා තියනවද?”

“නැහැ. මම අහලා නැහැ. මොකක්ද ඒ මෙෆෙඩ්‍රෝන් කියන්නේ.”

“ඒක අලුත් ඩ්‍රග්ස් එකක්. පාවිච්චි කරන්නේ ධන කුවේරයන්. වැඩිහරියක් යුරෝපා සහ බටහිර රටවල්වල සල්ලිකාරයො තමයිලු පාවිච්චි කරන්නේ”

“එතකොට ඒකත් එක්ක අපේ අලුත් බිස්නස් එකට තියෙන සම්බන්ධය මොකක්ද?”

“තියන සම්බන්ධය තමයි අපි ඒ බිස්නස් එකට අත ගහනවා”

“පිස්සුද නාමල් අමාරුවෙ වැටෙන්න ද හදන්නේ ඕවා විකුණලා.”

“කවුද අතුල මේවා විකුණනවා කිව්වේ.”

“එහෙනම්.”

“අපිට තියෙන්නෙ මාලදිවයිනේ ඉඳන් එන මෙෆෙඩ්‍රෝන් ඒගොල්ලො කියන විදිහට පාර්සල් කරලා ආපහු යවන්න.”

“අනේ මන්දා මට නම් බයයි.”

“බයවෙන්න එපා. මමත් මේකට සම්බන්ධයි නේ. අනික අපි මේවා මෙහෙ විකුණන්නේ නැහැනේ ඒක නිසා කිසි දෙයකට බයවෙන්න එපා.”

අවසානයේ එම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීමට කැමති විය. ඒ පිළිබඳව ඔහු තම පුතාට ද පැවසුවේය. තාත්තාගේ අඩි පාරේ යමින් සිටි එම පුතා ද දුරදිග නොබලා සල්ලිවලට තිබුණු කෑදරකම නිසා මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීමට කැමති විය.

එලෙස කතාබස් කර සති කිහිපයක් ගත විය. මාලදිවයින් ජාතික නාමල්ගේ මිතුරා මෙෆෙඩ්‍රෝන් නමැති මිලෙන් අධික මත් කුඩු පාර්සලයක් මෙරටට එව්වේය. ඒ නාමල්ගේ උපදෙස් අනුව ගුවන් තැපෑලෙනි. රජයේ අදාළ ස්ථානවලින් කිසිදු බාධාවකින් තොරව ඔහු එම මත්කුඩු පාර්සලය ලබා ගත්තේය. ඉන්පසු දෙහිවල ඇන්ඩර්සන් පාරේ පදිංචි පුද්ගලයකු හරහා ඉතා සූක්ෂම ලෙස එම මත්කුඩු පාර්සලය මොරටුව සමන්පුර පදිංචි ව්‍යාපාරිකයාට ලැබීමට සැලැස්විය.

නාමල්ගේ උපදෙස්වලට අනුව එම ව්‍යාපාරිකයාගේ පුතා සහ තවත් පිරිසක් මිලෙන් අධික මෙම මත්කුඩු ඉතා සූක්ෂම ලෙස සෙල්ලම් බඩුවල ඇසුරුවේය. ඉන්පසු අත්තිඩියේ ව්‍යාපාරිකයා එලෙස මත්කුඩු ඇසුරූ සෙල්ලම් බඩු ඉතා සූක්ෂම ලෙස මාලදිවයිනට යැව්වේය. මෙම පිරිස කලක සිට මෙම මත්කුඩු ජාවාරම සිදුකරගෙන ගියහ. එම කාලය අතරතුර මෙම ජාවාරම්කරුවන් අතර සිටි එක් පුද්ගලයෙක් අත්තිඩියේ ව්‍යාපාරිකයා සමඟ අමනාප විය. ඉන්පසු එලෙස අමනාප වූ පුද්ගලයා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට “මම උඹලව ළඟදීම පොලිසියට අල්ලලා දෙනවා යැයි” පවසමින් කිහිප වරක් තර්ජනය කළේය. එලෙස තර්ජනය කලත් ඒවා සත පහකටවත් මායිම් නොකළ අත්තිඩියේ සහ මොරටුවේ ව්‍යාපාරිකයන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදු කරගෙන ගියේය.

ප්‍රකෝටිපතියන් පාවිච්චි කරන මෙෆෙඩ්‍රෝන් මත්කුඩුත් ලංකාවට ඇවිත්

තමාගේ තර්ජන තඹ සතේකට මායිම් නොකරන නිසා එම පුද්ගලයා මෙම මත්කුඩු ජාවාරම පිළිබඳ තොරතුරු පොලිසියට පැවසීමට තීරණය කළේය. ඒ අනුව ඔහු දිනක් වලාන දූෂණ මර්දන ඒකකයට මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ තමා දන්නා සියලු තොරතුරු පැවසුවේය. එහිදී එම පුද්ගලයා වැඩිදුරටත් පැවසුවේ මොරටුව, සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසක් තුළ මත්කුඩු ජාවාරම සිදු වන බවයි. එම තොරතුරුවලට අනුව ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා සහ උප පොලිස් පරීක්ෂක සඳරුවන් යන නිලධාරීහු ඒ පිළිබඳ කඩිනමින් පරීක්ෂණ සිදු කළහ.

දිනය පසුගිය පස් වැනිදාය. එදින සවස පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක සඳරුවන්ගෙන් සැදුම්ලත් විශේෂ පොලිස් කණ්ඩායමක් රහසිගතව ගොස් මොරටුව සමන්පුර පිහිටි කෝටිපති ව්‍යාපාරිකයාගේ තෙමහල් නිවස වැටලුවේය. එලෙස එම නිවස වටලන අවස්ථාවේ දී කෝටිපති ව්‍යාපාරිකයාගේ විසිනව හැවිරිදි පුතා මෙෆෙඩ්‍රෝන් නමැති මෙම මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස සෙල්ලම් බඩුවල අසුරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි විය. එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක ප්‍රමාණයක් ද සොයා ගැනීමට හැකිවිය.

අත්අඩංගුවට ගත් මොහොතේ සැකකරු රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් එම පොලිස් නිලධාරීන්ට ලබාදී බේරීමට ද උත්සහ කර තිබේ. එහෙත් එම නිලධාරීන් එයට අවනත නොවී සැකකරුකව අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාගේ පුතාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ සියලු දෙනාගේ තොරතුරු අනාවරණය විය. ඒ අනුව මිලෙන් අධික මෙම මත්කුඩු මෙරටට ගෙන්වන අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයා සහ මෙම මත්කුඩු ප්‍රවාහනය කළ දෙහිවල ඇන්ඩර්සන් පාරේ පදිංචි පුද්ගලයාවද අත්අඩංගුවට ගත්තේය.

එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූයේ මාලදිවයිනෙන් ලැබෙන මෙම මිල අධික මත් කුඩු අත්තිඩියේ ව්‍යාපාරිකයා මොරටුවේ සැකකරුට ලබාදෙන බවත් ඒවා ඉතා සූක්ෂම ලෙස සෙල්ලම් බඩුවල ඇසුරුම් කිරීමෙන් පසු අත්තිඩියේ සැකකරු යළි ඒවා මාලදිවයිනට යවන බවයි.

මෙම සැකකරුවන් මෙම ජාවාරමට අමතරව කුෂ් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරමකද නිරත වන බවට තොරතුරු හෙළිවී ඇත. සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව සහ දෙහිවල පොලිස් ස්ථාන වලට භාර දී ඇත. මෙවැනි මත්කුඩු වර්ගයක් මෙරටින් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය වන නිසා එහි වටිනාකම හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන්ට තවමත් නොහැකි වී තිබේ.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් මත, උප පොලිස් පරීක්ෂක සඳරුවන් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන ජයලාල් (428), බටුවත්ත (1445), කොස්තාපල්වරුන් වන උදය කුමාර (84889), බාලසූරිය (77090), අකිල (92896), තිලකරත්න (104644), ලතිෂ (104555), ප්‍රනාන්දු (105103), යන නිලධාරීහු මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

****

මොනවද මේ මෙෆෙඩ්‍රෝන්

ප්‍රකෝටිපතියන් පාවිච්චි කරන මෙෆෙඩ්‍රෝන් මත්කුඩුත් ලංකාවට ඇවිත්

මෙෆෙඩ්‍රෝන් උත්තේජක ඖෂධයකි, එනම් එය මොළය සහ ශරීරය අතර ගමන් කරන පණිවිඩ වේගවත් කරයි. මෙෆෙඩ්‍රෝන් පුද්ගලයාගේ සංවේදනය සහ කරුණාව පිළිබඳ හැඟීම වැඩිකරයි. එයට අමතරව සමාජීය වශයෙන් පිළිගැනීම සහ අන් අය සමඟ සම්බන්ධ වීමේ හැඟීම් වැඩි දියුණු කරයි.

මෙෆෙඩ්‍රෝන් යනු නව මනෝ ක්‍රියාකාරී ද්‍රව්‍යයකි (NPS) – ස්ථාපිත නීති විරෝධී ඖෂධවලට සමාන බලපෑම් ඇති කිරීමට නිර්මාණය කර ඇති ඖෂධයකි. එය මුලින් මාර්ගගතව අලෙවි කරනු ලැබුවේ ශාක පොහොර හෝ ‘පර්යේෂණ රසායනයක්’ ලෙසිනි.

මෙෆෙඩ්‍රෝන් (Mephedrone) නමැති මත්ද්‍රව්‍ය තවත් නම් කිහිපයකින් හඳුන්වයි. ඒ 4-methylmethcathinone” 4-MMC” and 4-methylephedrone යන නම්වලින්ය. එය රසායනිකව නැගෙනහිර අප්‍රිකාවේ ඛාට් ශාකයේ ඇති කැතිනෝන් සංයෝගවලට සමාන වේ. MDMA, ඇම්ෆෙටමින් සහ කොකේන්වලට සමාන බලපෑම් ඇති කරමින්, මේවා පරිශීලකයන්ට ගිලීමට එන්නත් කිරීමට හැකි පෙති හෝ ස්ඵටික ආකාරයෙන් තිබේ.

මෙෆෙඩ්‍රෝන් කහ පැහැයක් සහිත සුදු කුඩු, ස්ඵටික, කරල්, පෙති ආකාරයට තිබේ.

මෙෆෙඩ්‍රෝන් අතුරු ආබාධ ඇති කරයි, ඒවායින් වඩාත් සුලභ වන්නේ bruxism වේ. මෙෆෙඩ්‍රෝන් හි පරිවෘත්තිය මීයන් සහ මිනිසුන් තුළ අධ්‍යයනය කර ඇති අතර පරිවෘත්තීය ද්‍රව්‍ය භාවිතයෙන් පසු මුත්‍රා තුළින් හඳුනාගත හැකිය.

මෙෆෙඩ්‍රෝන් (Mephedrone) ප්‍රථම වරට 1929 දී සොයාගත්තත් එය 1999-2000 දී නැවත සොයා ගන්නා තෙක් පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත් නොවීය. 2000 වර්ෂය වන විට, මෙෆෙඩ්‍රෝන් අන්තර්ජාලයේ විකිණීමට ඇති බව වාර්තා විය. 2008 වන විට නීතිය බලාත්මක කිරීමේ ආයතන මෙම සංයෝගය පිළිබඳව දැනුවත් වීය 2010 වන විට, එය යුරෝපයේ බොහෝ ප්‍රදේශවල තිබූ අතර එක්සත් රාජධානියේද විශේෂයෙන් ප්‍රචලිත විය.

මෙෆෙඩ්‍රෝන් 2008 දී ප්‍රථම වරට ඊශ්‍රායලය නීති විරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින් වූයේය. පසුව ස්වීඩනය විසින්ද එය නීති විරෝධී මත් ද්‍රව්‍යයක් ලෙස හැඳින් වූයේය. 2010 දී බොහෝ යුරෝපීය රටවල්ද එම තීරණය අනුගමනය කළේය.

2010 දී දෙසැම්බර් මාසයේදී යුරෝපා සංගමය ද මෙෆෙඩ්‍රෝන් නීති විරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස තීන්දු කළේය. ඔස්ටට්්‍රලියාවේ, නවසීලන්තයේ සහ එක්සත් ජනපදයේ, එය වෙනත් නීති විරෝධී ඖෂධවල ප්‍රතිසමයක් ලෙස සලකනු ලබන අතර එක්සත් ජනපද ෆෙඩරල් ඇනලොග් පනතට සමාන නීති මගින් පාලනය කළ හැකිය. 2011 සැප්තැම්බර් මාසයේදී, එක්සත් ජනපදය විසින් මෙෆෙඩ්‍රෝන් ඖෂධයක් ලෙස තාවකාලිකව වර්ගීකරණය කරන ලදී. 2011 ඔක්තෝබර් සිට බලපැවැත්වෙන පරිදි මෙම වර්ගීකරණය 2012 ජූලි මාසයේදී සින්තටික් මත්ද්‍රව්‍ය අපයෝජන වැළැක්වීමේ පනත (SDAPA) සම්මත කිරීමත් සමඟ ස්ථිර කරන ලදී.

මෙෆෙඩ්‍රෝන් සාමාන්‍යයෙන් ආඝ්‍රාණය කිරීම, ගිලීම මගින් භාවිත කරන අතර සමහරු දියර සමඟ මිශ්‍ර කර පානය කරයි. තවත් පිරිසක් මෙය ශරීරයට එන්නත් කරයි.

මෙම මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ දී දැඩි සතුටක් සතුටින්, ජවසම්පන්න බවක් වැඩිපුර කතා කිරීමට අවශ්‍ය බවක්, සංගීතය සමඟ දැඩි සම්බන්ධතාවක්, කාංසාව, ව්‍යාකූලත්වය, නොසන්සුන් නින්ද, මාංශ පේශි ආතතිය (මුහුණ සහ හකු), නොපැහැදිලි පෙනීම, සැහැල්ලු හිසරදය, කරකැවිල්ල, කාලය පිළිබඳ විකෘති හැඟීම, මතකය නැතිවීම මත්ද්‍රව්‍ය ආඝ්‍රාණය කිරීමෙන් නාසයෙන් ලේ ගැලීම, නොපැහැදිලි පෙනීම වියළි මුඛය, පිපාසය, දහඩිය දැමීම, ආහාර රුචිය අඩු වීම, බඩේ වේදනාව, ඔක්කාරය, වමනය, සමේ කුෂ්ඨ, වේගවත් හෝ අක්‍රමවත් හද ගැස්ම, අධි රුධිර පීඩනය, පපුවේ වේදනාව වෙව්ලීම, වලිප්පුව ආදී සංකූලතා ඇතිවේ. පැය දෙකේ සිට හතර දක්වා ශරීරය තුළ මෙම මත්ද්‍රව්‍ය තිබේ. එහෙත් මෙෆෙඩ්‍රෝන් භාවිත කළ පුද්ගලයන් වාර්තා කරන්නේ මෙෆෙඩ්‍රෝන් හි බලපෑම සාමාන්‍යයෙන් විනාඩි 15-45 අතර කාලයක් තුළ දැනෙන අතර එය ආසන්න වශයෙන් පැය 3-6 අතර කාලයක් පවතින බවයි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment