කිලිනොච්චි බෞද්ධ ස්මාරකයට කෝවිලක් කියන්නේ ඇයි?

425

උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිවනගර් නමින් හඳුන්වනු ලබන ප්‍රදේශයේ ඌරතිපුරම් ගම්මානයේ කෝවිලක් අසබඩ කරන ලද පරීක්ෂණයකදී සිරිපතුල් ගලක් ආදී බෞද්ධ නටබුන් සොයාගනු ලැබූ බව මහාචාර්ය පද්මනාදන් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. මේ පුවත පසුගියදා ‘දිවයින’ පුවත් පතේ පළව තිබුණි. නමුත් මෙම ස්ථානයේ ඉතිහාසය පිළිබඳ විමසිල්ලෙන් සිටි අපට නම් ඒ පුවතේ අලුත් දෙයක් තිබුණේ නැත. වර්තමානයේ ශිවනගර් යනුවෙන් හඳුන්වන ග්‍රාමයේ පැරණි වැවක් අසල තිබී 1956 දී නශ්ඨාවශේෂ රාශියක් හඳුනාගන්නට යෙදුණු ආකාරය පැරණි පුරාවිදු වාර්තාවල දැක්වෙයි. ඒ අනුව එම පෙදෙස රජයේ ඉඩමක් ලෙසට සිතියම්වලට ඇතුළත් කර ඇත. 1958 දී පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි පී.ඊ.පී. දැරණියගල මහතාගේ පාලන වාර්තාවේ එම කටයුත්ත දක්වා ඇත්තේ මෙසේය.

‘උතුරු පළාතේ උරතිරපුරම් ජනපදයේ තිබෙන දාගැබක් විනාශ කොට ඇති බවට වාර්තා වී තිබේ. උරතිරපුරම් වැව දක්වා මාර්ගයක් තැනවීමේදී කරන ලද සමතලා කිරීම්වලදී මෙම දාගැබ හඳුනාගන්නට යෙදී ඇත. පාර කැපීම වහාම නවත්වන ලදී. දාගැබ අසල ගල්කණු කීපයක්ද හඳුනාගන්නට යෙදී ඇත. නව කෝවිලක් මෙම නටබුන් අසලම දැනට ඉදිකරමින් ඇත. (් පදාැරබ නදඩසක සි මබාැර ජදබ්එරමජඑසදබ). කොවිලේ ගෙඩනැඟිල්ල සඳහා අත්තිවාරම් කැපීමේ දී සිංහ හිස සහිත මැටි භාණ්ඩ කීපයක් සහ පැරණි කාසි හමුව තිබේ. මෙම ස්ථානයේ දේවාලයක් ද තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. ‘මෙම නටබුන් හඳුනාගන්නට යෙදුණද ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් බවට ගැසට් කරනු ලබන්නේ 2016 වසරේ දීය (අංක 1960/ 2016-03-24). ඒ වන විට ප්‍රදේශය ශිවනගර් ලෙසට නාමකරණය වී ඇති හෙයින් එම නමින්ම ගැසට්ටුවට ඇතුළත් වී තිබේ.

උරතිපුරම් ආසන්නයේ එයට උතුරින් කලපුව ආසන්නයේ සපුමල් කුමරුගේ ගමන් මාළිගාවක් පිහිටා තිබී ඇත. සපුමල් කුමරු ආර්ය චක්‍රවර්තී රජුන් පරාජයට පත් කිරීම පිණිස යාපනය දෙසට ගමන් කරන ලද්දේ මන්නාරම් මුහුදු තීරයට සාපේක්ෂ පුනරීන් මාර්ගයෙනි. යපනය කලපුවෙන් එගොඩ වී කොඩිකාමම් දක්වා සතුරන් හඹා ගොස් අත්අඩංගුවට පත් කරගෙන ඇත. ඉන්පසු මේ සතුරු ඈඳුත්ත කෝට්ටේ අග රජු වෙත ඉදිරිපත් කළ බව ඉතිහාසයේ දක්වයි. මේ ජයග්‍රහණය ලබා ගැනීමට ප්‍රථම පුනරීන් පෙදෙසේ පැවති පැරණි කතරගම දේවාලයක් වන්දනාමනා කර ඇත. වරින් වර උතුරට එල්ල වූ පාණඩ්‍ය ආක්‍රමණවලින් පසුවද කාලිංග මාඝ ආක්‍රමණවලින් පසුවද මෙම පෙදෙසේ දේව ඇදහිලි ජනප්‍රිය වී තිබුණි. නමුත් උරතිරපුරම් හි පවතින සිරිපතුල් ගල අපට කියාපාන්නේ ස්ථූපයේ පැරණි බවයි. නැගෙනහිර පළාතේ කන්නියා සහ සපුමල් ගස්කඩ ආදී තැන්වලදී හමුවන ස්ථූප වට කොට සිරිපතුල්ගල් තැබීම සිදු කර ඇති බව පැහැදිලිය. ක්‍රි. පූ. සියවස්වල සිට පොලොන්නරු යුගය දක්වා කාලය තුළ වැඩී ගිය බෞද්ධ ශිෂ්ඨාචාරයක් මෙහි පැවති බවට සාක්ෂි තිබේ.

කිලිනොච්චි බෞද්ධ ස්මාරකයට කෝවිලක් කියන්නේ ඇයි?

තිස්ස නම් බෞද්ධ උපාසකයකු නාගදීපයේ බොහෝ භික්ෂූන් වහන්සේලා සිටී යැයි අසා පුනරීන් සිට යාපන කලපුවෙන් එගොඩ මෙගොඩ ගිය සැදැහැවතුන් වෙනුවෙන් යාත්‍රා සේවයක් කළ බව ඉතිහාසයේ දැක්වේ. ඒ නිසාම ඔහු ආරියගාල තිස්ස නමින් හැඳින්විණ. යාපාපටුනේ දී පැවැත්වූ මහණ උපසම්පදා කර්මයක් ගැන කෝට්ටේ යුගයේ දී සඳහන්ව ඇතැයි පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් දක්වයි. ඉරණමඩු වැවෙන් පෝෂණය වන සශ්‍රීක වෙල්යායන්ගෙන් සමන්විත මෙම පෙදෙස පැරණි බෞද්ධ ජනපදයකි. මන්නාරම් පැරණි මාර්ගය දෙපස විශාල බෞද්ධ ස්මාරක රැසක් හමුවන්නේ ඒ නිසාය.

උරතිපුරම් විහාරයද එවැනිම වූ වැදගත් සිද්ධස්ථානයකි. පරංගින් විසින් යාපන පෙදෙස අත්පත් කර ගැනීමත් කන්ද උඩරට සිංහල පාලනයෙන් ගිලිහී යෑමත් හේතු කොට ගෙන කිලිනොච්චිය නොහොත් වන්නි පෙදෙස ජන ශූන්‍ය වුණි. පසුව ලන්දේසීන් විසින් සිය වහල් සේවය සඳහා ගෙන්වා ගන්නා ලද මලබාර් වහලුන් මේ පෙදෙසේ පදිංචි කරන්නට යෙදුණි. අද අපට දක්නට ලැබෙන දෙමළ ජනගහනය මෙකී වහල් පූර්වගාමීන් ගෙන් පැවතෙන්නවුන්ය.

සපුමල් කුමරුගේ යාපන ගමනය නිසා මේ පෙදෙසේ පැවති දේවාල සංස්කෘතිය තවදුරටත් වැඩිදියුණු වී තිබේ. මේ කාලයේ දී බුද්ධ මන්දිරය අසළ විෂ්ණු කතරගම වැනි දේවාල සකස් කිරීම බෞද්ධ සංස්කෘතියට අයත්ය. උරතිපුරම් හි පැවති බෞද්ධ ස්මාරකය අසලින් ලැබුණු පුරාවස්තු කීපයක් අදටත් කෝවිල සන්තකව පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වයි. 1958 කාලයේ පටන් උරතිරපුරම් දාගැබ විනාශ වන්නට කටයුතු යෙදුණු බවට පුරාවිද්‍යා වාර්තා දක්නට ඇත. මෑත කාලයේ දාගැබ පවතින රජයේ ඉඩම දීමනා පත්‍රයක් මගින් කෝවිලට පවරා දී ඇත. උතුරු පළාතේ පවතින දැනට ශේෂව දක්නට ලැබෙන පුරාවස්තු අතර උරතිරපුරම් දාගැබ සහ නශ්ඨාවශේෂ ඉතා වැදගත් බැවින් ඒවා ආරක්ෂා කර ගැනීමේ අදිටනින් උතුරු පළාත් පුරාවිද්‍යා කාර්යාලය රජයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලබන්නේ 2020 වසරේදීය. ඒ අනුව 2021 මාර්තු මාසයේ දී දාගැබ සංරක්ෂණ කටයුතු ආරම්භ කරලීමට කැණීම් කණ්ඩායම් පිටත් කර යැවිණ. නමුත් කෝවිල් පාලක මණ්ඩලය මෙයට විරෝධය දක්වන ලද බැවින් දෙපාර්තමේන්තුවට කැණීම නතර කරන්නට සිදු විය. ඒ සම්බන්ධව කිලිනොච්චි පොලිසියට පැමිණිලි කොට ඇති අතර එම ඉල්ලීම දැනට උසාවියට ඉදිරිපත් කර තිබේ.

කිලිනොච්චි බෞද්ධ ස්මාරකයට කෝවිලක් කියන්නේ ඇයි?

මේ රටේ විවිධ ස්ථානයන්හි විවිධ පුරාවස්තු දක්නට ලැබේ. බොහෝ පුරාවස්තු බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව පවතින අතර ඒවායේ යම් කැණීමක් හෝ අලුත්වැඩියාවක් කරන කල්හි එයට විරුද්ධව යෑමක් නැත. ඒ ස්ථානවල වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ සහයෝගයෙන් එම කැණීම් කරගෙන යනු ලබයි. නමුත් උතුරු සහ නැගෙනහිර පළාත්වල සිංහල නීතියක් බල පැවැත්වෙන්නේ නැත. යම් පැමිණිල්ලක් පුද්ගලයකුට විරුද්ධව ඉදිරිපත් කළද ආණ්ඩුවේ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් කළද උසාවිවල තීන්දු ලබා දෙන්නේ දෙමළ පාර්ශ්වයට වාසි සහගත වන ආකාරයෙනි. නෙදුන්කේනි වසමේ වඩුන්නාගල නැතහොත් වෙඩිකිරිනාමලේ බෞද්ධ ලෙන් සංකීර්ණය මත පැවති දාගැබ පොලිසිය බලා සිටියදීම විනාශ කර ඇත. ඒ මත දැන් ශිව ලිංගයක් තබා ඇත.

උරතිපුරම් කෝවිලට ඉතිහාසයක් නැත. එහි ඉතිහාසයට දෙමළ සම්භවයක් තිබෙන බව ඔප්පු කිරීම ට උතුරේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් උත්සාහ කරනවා විය හැකිය. උතුරේ සිටි එක් මහාචාර්යවරයකු යාපන කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බෞද්ධ නටබුන් හින්දු නටබුන් ලෙස වර්ග කිරීමකට උත්සාහ ගත් බව අපට සැළව තිබේ. මහාචාර්ය පද්මනානන් මහතා ද උත්සාහ ගන්නට ඇත්තේ උරතිරපුරම් කෝවිලට දෙමළ ඉතිහාසයක් සදන්නටයි. එපමණක් නොව මෙම බෞද්ධ පුරාවස්තු දාගැබ අසලින් ඉවත් කර යාපන කෞතුකාගාරයට ගෙන යා යුතු බවටද ඔහු යෝජනා කරයි. නමුත් මෙවර එම විකෘති කිරීම කළ නොහැකි වුණි. ඊට හේතුව වත්මන් කෝවිලේ තිබී බෞද්ධ පුරාවස්තු හමුවීමයි. අනුරාධපුර යුගයට අයත් ඌරතිපුරම් දාගැබ සහ පිළිමගෙයි ඉතිහාසය විකෘති කිරීමට ඔහුට නොහැකිය. මෙහි තිබූ සිරිපතුල මගින් බෞද්ධ ස්මාරකයේ සැබෑ තත්ත්වය ඉස්මතු වී පෙනේ. දැන් ඔවුන් සංවිධානය වී වර්ෂ 3000 ක් පැරණි කෝවිලක් මෙහි තිබුණේ යැයි ප්‍රකාශ කරති. කෝවිල් පාලක සභාවද අන්තවාදී දෙමළ දේශපාලනඥයන්ද එකතු වී උද්ඝෝෂණ සංවිධාන කරති. ඒ නැති ඉතිහාසයකට පලිප්පු දමන්නටයි. සඳුන්රුක කෙතරම් ගල ගෑවත් සුවඳ මිස ගඳක් නැත. උතුර සහ නැගෙනහිර පළාතේ කැලෑ පීරමින් සෙවුවත් වර්ෂ 150ට වඩා පැරණි කෝවිලක් හමුවන්නේ නැත. බැලූ සෑම අතකම දක්කට තිබෙන්නේ බෞද්ධ නටබුන්ය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment