බොහෝ දෙනකුට අත හිත දුන් මිනිසා….. – දේශමාන්‍ය ලලිත් කොතලාවල

446

බොහෝ දෙනකුට අත දුන්…. තවත් මිනිසකු නික්ම ගියේය

මේ රටේ ස්වදේශීය ව්‍යාපාර ක්‍ෂේත්‍රය නඟාාසිටුවීමට ඉමහත් මෙහෙවරක් කරමින් තම ධනය හා ශ්‍රමය ඒ වෙනුවෙන් කැප කළ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල නම් වූ ඔහු පෙරේදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබද්දී තම දිවියට සමුදුන්නේ ස්වකීය 85 වැනි වියේදීය.

එතුමන් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපතිවරයා මෙන්ම සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වන්නේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඉන් පසුව වරලත් ගණකාධිකරණය හැදෑරීමට එක්සත් රාජධානියට ගිය ලලිත් කොතලාවල මහතා, නැවත මෙරටට පැමිණ 1960 දශකයේදී සිය පියාගේ ‘Ceylinco Consolidated’ ව්‍යාපාරවලට එක්විය.

බොහෝ දෙනකුට අත හිත දුන් මිනිසා….. - දේශමාන්‍ය ලලිත් කොතලාවල

ඉන් පසුව ඔහු ‘සෙලාන් බැංකුව’ ද පිහිටුවීමට මුල් වී බැංකු නොවන මූල්‍ය, අයෝජන බැංකු, නිවාස හා දේපළ සංවර්ධනය, සංචාරක සහ විවේක, සන්නිවේදන සහ තොරතුරු තාක්‍ෂණ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා, දරුවන්ගේ අධ්‍යාපනය, ස්වයං රැකියා අත්වැල, නළ ළිං ව්‍යාපෘති, ජීවිත රක්‍ෂණය ආදී ක්‍ෂේත්‍ර

රැසකට සිය ව්‍යාපාර ජාලය පුළුල් කළ එතුමන්, ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට

රැකියා අවස්ථා සලසන ව්‍යාපාර නිර්මාණය කළ ව්‍යවසායකයෙකි.

‘සෙලින්කෝ ජීවිත රක්‍ෂණ කේන්ද්‍රය’ (වර්ෂ 1987 ජනවාරි මස 14 වැනිදා කොළඹ, කොල්ලුපිටිය) ආරම්භ කරමින් පසුකාලීනව ‘ජීවිත රක්‍ෂණයේ’ ප්‍රමුඛයා විය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලෝකයේ එතුමන් යුග පුරුෂයකු විය.

ජීවක ලලිත් භූපේන්ද්‍ර කොතලාවල මහතා වර්ෂ 2007 දී ශ්‍රී ලංකාවේ ධනවත්ම ලැයිස්තුවේ අංක එකට ලැයිස්තුගතව සිටියේය.

ජස්ටින් කොතලාවල හා මිලිසන්ට් කොතලාවල යන දෙමාපියන්ට දාව වර්ෂ 1938 ඔක්තෝබර් මස 29 වනදා උපන් ලලිත් කොතලාවල මහතා ඔහුගේ 85 වැනි ජන්ම දිනයට සතියකට පෙර මෙලෙස අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකාවේ අගමැතිවරයකු වූ සර් ජෝන් කොතලාවල ඔහුගේ ළඟම ඥාතියෙකි. සර් ජෝන් කොතලාවල මහතාගේ අවමඟුලේදී පවුලේ අය වෙනුවෙන් ස්තුති කතාව කළේ ද ලලිත් කොතලාවල මහතායි. එල්.ටී.ටී.ඊ.ය කොළඹ ප්‍රහාරය කොළඹ මහ බැංකුවට එල්ලවන අවස්ථාවේදී එතුමන් එම ප්‍රහාරවලට මැදිව ප්‍රබල ලෙස තුවාල ලැබුවේ සෙලින්කෝ ගොඩනැඟිල්ල (ආකාස කඩේ) මහ බැංකුව ආසන්නයේ තිබුණු බැවිනි. එදින කොතලාවල මහතා සිය කාර්යාලයේ (3 වන මහලේ) ජනේලයකින් පිටත බලන විට උණ්ඩ කැබලි විශාල ප්‍රමාණයක් එතුමන්ගේ මුහුණට සහ පපුව පෙදෙසට වැදී තිබුණි. එදින සෙලින්කෝ ගොඩනැඟිල්ල ද ගිනිගෙන විශාල ජීවිත හානියක් සිදුවුණි. එවකට මම එහි ජීවිත රක්‍ෂණ කේන්‍ද්‍රයේ සේවය කරමින් සිටියෙමි.

වර්තමානයේදී දිවයින පුරා විසිරී සිටින රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා, සෙලින්කෝ නාමය යටතේ බිහිවුණු අයයි. පසු කලෙකදී ඔහුට අයත්ව තිබූ ව්‍යාපාර රාශියක් විවිධ අය විසින් සිය ග්‍රහණයට නතුකර ගනු ලැබූ අතර මූල්‍ය ගැටලු රැසකට ඔහුටත් ඔහුගේ බිරිඳ සිසිලි කොතලාවල මහත්මියටත්, නීතිමය කරුණු රැසකට ද මුහුණදෙන්නට සිදුවිය. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් ලලිත් කොතලාවල මහතා නවීකරණය කරන ලද සිරමැදිරියක් සාදා දුන් අතර, පසු කලෙකදී එතුමන් හට එම සිර මැදිරියේම සිටින්නට සිදුවූයේය.

මේ රටේ විධායකයේ ඉහළම පුටුව හෙබවූවකු වරෙක හෝමාගමට නුදුරු තැනක ක්‍රීඩා පිටියක් හදන්නට ඔහු වෙතින් මූල්‍ය ආධාරයක් ඉල්ලා සිටියේය. ඒ වෙනුවෙන් හෙළිකොප්ටරයක් ද යවා අදාළ ස්ථානය නිරීක්‍ෂණයට ගියේය. බලවතා ද ඊට එක්ව සිටියේය. කොතලාවල මහතා මිලියන සියයක් එවෙලේම පරිත්‍යාග කළේය. ලලිත් කොතලාවල මහතාගේ නම ද ඊට තබන බවට බලවතා කීවේය. අන්තිමේ එම දේශපාලන හස්තය එතුමන් හා විරසක වූයේය. ඔහු හිරගෙදර තපින විට අදාළ ක්‍රීඩාංගණය බලවතාගේ නමින් නම් කර විවෘත කරන අයුරු දුටුවේය. පසු කලෙක වෙච්ච දේවලට ඔහු කීවේ “ඕවා ඔහොම තමයි” කියමිනි.

ඇතැම් පුද්ගලයන් හිතු මනාපයට දුර්වල ලෙස මූල්‍ය ව්‍යාපාර අරඹා ක්‍රියාකරද්දී ඒවා කෙරෙහි වූ මහජන විශ්වාසය බිඳවැටීම තම මූල්‍ය ව්‍යාපාරය කෙරෙහි තිබූ දීර්ඝ විශ්වාසය පළුදුවීමටත් තවත් එක් හේතුවක් වූ බව එතුමන් පසු කලෙක කීවේය.

එතුමන් මියගිය ද කළ මෙහෙවර සදා නොමියෙන්නේය. ඔහු මොක් සුව පතමු.

මයික් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment