බල්ලොත් නොකන කෑම මිනිස්සුන්ට කවන කෑම කඩ

722

මිහිපිට අපාය බලන්න හෝටලයක පිටිපස්සට යන්න

බස් රථ නතර කරන ආපනශාලාවල ප්‍රමිතියක් නැති පිළුණු කෑම ගිනි ගණන්…

දුර ගමන් සේවා බස් රථ නතර කරන ආපනශාලා නියාමනය වෙන්න ඕන ප්‍රවාහන අමාත්‍යාංශයෙන්…

බස් රථ රියැදුරන් කොන්දොස්තරවරු පිනට කාලා අතට ගාණක් අරගෙන මගීන්ව බිල්ලට දෙනවා…
අසේල සම්පත්

අපිට කන්න දෙන ප්‍රයිඩ් රයිස් එක ගෙදර බල්ලට ඕතාගෙන එනවා ඌ කන්නෙත් නෑ…
යාපනය කොළඹ බස් රථ රියැදුරෙක්

ටොයිලට් එකේ කට පෙත්තට මළ ජරාව මුත්‍රා නොකර ඉන්න බැරි නිසා ඒක කළා…
දුර ගමනක් යන තරුණියක්

පිටකොටුවේ කුණු කෑම විකුණන ආපනශාලා වැටලිණි. පරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ එම වැටලීමේදී ඇතැම් ආපනශාලාවල පරිභෝජනයට නුසුදුසු ආහාර සහ අමුද්‍රව්‍ය තොග පිටින් අත්අඩංගුවට ගන්නා අයුරු ද අපි දුටිමු. එහෙත් පිටකොටුවේ කුණු කෑම විකුණන ආපනශාලා ගැන ‘ඉරිදා දිවයින’ පුවත්පත හෙළිදරව් කළේ පසුගිය මාර්තු මස 05 වැනිදාය.

‘බලන් නැතුව ගිල්ලොත් හොයාගන්න බෑ මහතුනෙ හැදෙන ලෙඩේ…’ මැයෙන් පළ කළ එම ලිපියට තොරතුරු සෙවීමට අප ගිය ඇතැම් ආපනශාලාවල ඉහළ මහල්වල මුළුතැන් ගෙට ඇතුළු වූ විට හමන දුගඳට ඉහ, මොළ රත් වී ක්ලාන්ත කරන තරමට පත් වූ බව සැබෑය. පිළිණු ගඳ, පිළී ගඳ, ආපනශාලාවල වැඩ කරන මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම්වල හිනි ගඳ සහ මුළුතැන්ගෙයි කොනක නරකාදියක් බඳු වැසිකිළියෙන් හමන දුගඳ එකට කැටි වූ විට උපදින දුගඳ වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. එම දුගඳට නුහුරු මිනිසුන් ක්ලාන්ත නොවී සිටීම පුදුමයකි. එමෙන්ම ඇතැම් ආපනශාලාවලදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ පරණ රොටි, පිළුණු කෑම අපිදු දුටිමු. වැසිකිළිවල කටපෙත්තට ජරා වතුර පිරී තිබෙන අයුරු, බීඩි දල්වාගෙන ඒ වැසිකිළිවලට යන සේවකයන් අපගේ ඇස ගැටිණි. එහෙත් දැන් එම කතාව පිළිණු ය. පරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුණු කෑම විකුණූ ආපනශාලාවල හිමිකරුවන් ද නිදහස්ය. පරිභෝගික අධිකාරිය විසින් සිදු කළ එම වැටලීමේ ප්‍රතිඵල පසුව විපරම් කරන අටියෙන් දුර ගමන් සේවා බස් රථ නතර කරන ආපනශාලා වෙත ‘විපරම් ඇස’ යොමු කිරීමට අපි අදහස් කළෙමු.

ප්‍රධාන නගරයකින් පිටත් වී පැය තුනකට වැඩි කාලයක් එක දිගට ගමන් කර බස් රථය ආපනශාලාවකට ගාල් කළ සැණින් බොහෝ මගීන් දුවනුයේ වැසිකිළියට ය. එම වැසිකිළිවලට හිස් බඩින් දුවන එක හොඳය. බඩ පුරවාගෙන වැසිකිළියට පය තබන්නේ නම් අනිවාර්යෙන්ම බඩට කෑ කෑම ඉබේටම වැමෑරෙන්නේය. ඒ තරමටම වැසිකිළි අපිරිසිදුය. සති ගණනකින් මුත්‍රා හැරෙන්න වතුර කිට්ටු කර නැති තරම් ය. මුත්‍රා බර නොතිබෙන්න වැසිකිළියෙන් හමන ගඳ ඉවසා දරා සිටීමට පහසු නැත. එහෙත් මුත්‍රා බර ඇති මඟීහු නාස් පුඬු තද කරගෙන හෝ බරෙන් නිදහස් වන්නාහ. එමෙන්ම පිරිමින්ට හිටගෙන ඒ වැඩේ කරගැනීමට හැකිය. එහෙත් කාන්තාවන්ට වැසිකිළියක හිඳගැනීමටම සිදු වේ. දුර ගමන් සේවා ආපනශාලා පිටුපස කාන්තා වැසිකිළියකට යෑම ජීවිතේ ලබන අමිහිරිතම අත්දැකීමක් බව වරක් තරුණියක් අපට කීවේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දුර ගමන් සේවා බස් රථ නතර කරන ආපනශාලා පරිශ්‍රයකදීය. ඇයගේ වචනවලින්ම ඒ කතාව මෙසේ අපි සටහන් තබන්නෙමු.

“ටොයිලට් එක ඇතුළට ගියහාම ඇඬුණා… වතුර බහින්නේ නෑ. මළ ජරාව කට පෙත්තට. මුත්‍රා නොකර ඉන්න බැරි නිසා ඒක කළා. හිරිකිතේ බෑ… මට පස්සෙ ටොයිලට් එකට ගිය පුංචි දුව ආපස්සට දිව්වා. කරන්න දෙයක් නැති නිසා ඒ අම්මා එළියට යන්න කියලා කවර් වෙලා හිටියා. මේ ටොයිලට්වල කිසිම සනීපාරක්‍ෂාවක් නෑ. මේ ටොයිලට්වලට ගිහින් එළියට එන්නෙ විෂබීජ රොත්තක් එක්ක. අපි වගේ අසරණ මඟීන්ට කරන මහා අපරාධයක්…” ඇය දැඩි කලකිරීමෙන් කතා කළා පමණක් නොව, එම ආපනශාලාවෙන් වතුර බෝතලයක් හෝ නොගෙන බස් රථය තුළට දිව ගියාය. දුර ගමන් සේවා ආපනශාලා ලබාදෙන වැසිකිළි පහසුකම්වල ඇති එකම හොඳේ ප්‍රාදේශීය සභා නගර සභාවලින් පාලනය කරන පොදු වැසිකිළිවල මෙන් ඇතුළු වෙන්න පෙර මුදල් ගෙවීමට අවශ්‍ය නොවීම පමණි.

‘සල්ලි දීලා බඩු ගන්න… ප්ලේන්ටි ඕන නම් සල්ලි ගෙවලා ටෝකන් අරගෙන එන්න…’ ගාලු පාර අද්දර මුහුදු වෙරළට මායිම් වූ පිළුණු කෑම විකුණන මේ ආපනශාලාවේ පමණක් නොව, දුර ගමන් බස් රථ නතර කරන සියලුම ආපනශාලාවල සේවකයන්ට ඒ වචන හුරු පුරුදු ය. එමෙන්ම බස් නතර කරන ආපනශාලාවල ඉඩ කඩ බොහෝය. ශාලා පිරෙන්න පුටු මේසය. බස් රථ පැමිණෙන වෙලාවට කෑම ගන්න පෝලිමය. ඇතැම් ආපනශාලාවල සේවකයන් රොබෝවරු මෙන් කෑම දෙන අවස්ථා දැක තිබේ. රෝලස්, පැටිස්, මාළු පාන්, බිත්තර පාන්, බනිස්, වඩේ, උළුඳු වඩේ, විවිධ කෙටි කෑම වීදුරු පෙට්ටි පිරෙන්න තිබේ. කෑම කෙටි වුවද මිල නම් විශාලය. මාළු පාන් ගෙඩියක් රුපියල් 100 කි. රොල්ස් එක 120 කි. සමහර ආපනශාලාවල 150 කි. උළුඳු වඩයක් 80 කි. පැටිස් එක 80 කි. ටී බනිස් එක 100 කි. අසූවට අඩු කිසිම කෑමක් නැත. ප්ලෙන්ටිය රුපියල් 60 කි. කිරි තේ එක රුපියල් එකසිය පනහකි. ප්‍රයිඩ් රයිස්, චිකන්, මාළු, බිත්තර සමඟ එළවළු කෑම ගිනි ගණන්ය.

එමෙන්ම දුර ගමන් සේවා බස් රථ නතර කරන අපනශාලා දිවා, රාත්‍රි දෙකෙහිම විවෘතය. දවල් කෑමට හදන වෑංජනවල ඉතුරු පැහැදියෙන් හවස මාළු පාන්, රෝල්ස්, පැටිස්, කට්ලට් හදන්නේය. රාත්‍රි කෑමට හදන වෑංජනවල ඉතුරු පැහැදියෙන් පාන්දරට මාළු පාන්, රෝල්ස්, පැටිස්, කට්ලට් හදන්නේය. පිළුණු හොදිවලින් හැදුණු උණු, උණු මාළු පාන්වල පල් රස අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ මිනිසුන් ඒ රස දැනටමත් අත්විඳ ඇත. දවසෙ ඉතුරු වන ලට්ට පට්ට එකතු කර රෝස් චිකන් කැබලි සහ රස කාරක එකතු කර ගහන කොත්තු රොටිය කටේ තියන්න බැරි තරමට පිළුණු රසය. ප්‍රයිඩ් රයිස්වල අපුල මකනුයේ ගම්රිස් සහ රස කාරකවලිනි. සෑම ආපනශාලාවකටම පොදු වූ උළුදු වඩය තනි කර පිටි ගුලියකි. ආශාවකට උළුදු ඇටයක් හැප්පෙන්නෙ නැති තරම්ය. දවල් බතට හැදෙන වෑංජන රෑ බතට රත් වෙන්නේය. දවස පුරා විකිණෙන සියලු කෑම පිළුණුය. ඒ කෑම කෑ විට බඩ තුළ අමුතුම පෙරළියක් ඇති වීම අරුමයක් නොවේ. එමෙන්ම එම ආපනශාලාවල ප්‍රදර්ශනයට මිල දර්ශක නැත. රජයෙන් නිකුත් කර ඇති පාලන මිල ඒ ආපනශාලාවලට වලංගු නැත. බඩගිනි මගීන් කෑම මිල ගණන් කෙරෙහි සැලකිලිමත් නොවන බව ද සැබෑය. රට පුරා ඇවිඳින අප දුර ගමන් සේවා බස් රථ නතර කරන බොහෝ ආපනශාලාවල කෑම රස විඳ ඇත. බත් හොදිවල දිය රස නම් පදමට තිබේ. කෙටි කෑමවල පිළිණු රස කදිමට දැනේ. පැණී බීම, වතුරට සීනි කලවම් කර බෝතල් කර තිබේ. මෙරට සෑම නගරාන්තර බස් රථ නතර කරන ආපනශාලාවලකටම දිය රස, පැණි රස, පිළුණු රස පොදුය. දවසකට කිහිප වතාවක් ‘පිළුණු ආපනශාලාවල’ කෑම කන යාපනය කොළඹ බස් රථ රියැදුරෙක් ද පෙළගැසෙන කතාවට කරුණු ඉදිරිපත් කළේය.

“බස් එකක් කඩේට දැම්ම ම අපිට ඇති වෙන්න කෑම දෙනවා. කෑම කාලා බස් එකට නඟිනකොට ඉස්සර නම් රුපියල් හාර, පන්සීයක් දුන්නා. බස් එකෙන් බහින මගීන් වැඩි නම් අපිට දෙන ගාණත් වැඩි වෙනවා. රුපියල් දහ දෙන ගමන්වාර තිබුණා. රෑ ටි්‍රප් එකකදී බස් එක කඩේට දැම්මොත් අරක්කු බෝතලයක්, භාගයක් එහෙම දෙන දවස් තිබුණා. කලින් අපි කෝල් එකක් දලා ඕඩරයක් දලා තිබුණොත් අනිවාර්යෙන්ම බෝතලයක් ගන්න පුළුවන්. දඩ කොළයක් වැදුණහම අපි රස්තියාදු වෙන්න ඕන නෑ, ඒ කඩවලින් ගෙවල දානවා. අවුරුද්දට බෝනස් එකක් විදිහට ඩ්‍රයිවර්ටයි, කොන්දොස්තරටයි රුපියල් පන්දහ ගානේ දීලා අරක්කු බෝතල් දෙකක් දුන්නා. එහෙම නැතිව කඩවලට නිකං බස් දාල වැඩක් නෑ. අපි කන්නෙ බොන්නේ නිකං නෙමෙයි. එක ටි්‍රප් එකකට කඩේට රුපියල් පන්දහක, හයදහක ආදායමක් අරගෙන දීලා. සලකන්න ඇඹරෙන කඩවලට අපි බස් දාන්නෙ නෑ. ඒත් කොරෝනාවලින් පස්සෙ සිස්ටම් එක වෙනස් වෙලා. දැන් සල්ලි දෙන්නෙ නෑ. කඩේ තියෙන සියලුම කෑම තියලා කන්න දෙනවා. ඒ කෑම නම් කන්න බෑ. බස් නතර කරන එකම කඩේකවත් කෑම රස නෑ. බත් හොදි දිය රහයි. අපිට තියෙන කෙටි කෑමත් සමහර වෙලාවට සවුත්තුයි. හවස ටි්‍රප් එකට නතර කරන කඩෙන් කෑමට දෙන ප්‍රයිඩ් රයිස් එක ගෙදර බල්ලට ඕතාගෙන එනවා. ඌ කන්නෙත් නෑ. ඒ කඩවල අයිතිකාරයො කියන්නෙ අද එන මගියා හෙට නොයන නිසා කෑමවල කොලිටිය, රස ගුණ අදාළ නෑ කියලා…” හිතා මතා අසරණ මගීන්ට පිළුණු කෑම කවන බස්රථ රියැදුරෙකුගේ මුවින් ගිලිහුණු ඒ වචන ටික අතිශය වැදගත්ය.

බල්ලොත් නොකන කෑම මිනිස්සුන්ට කවන කෑම කඩ

නුවර පාරේ පස්යාල, දංඕවිට, වරකාපොළ, අඹේපුස්ස වැනි නගර ආසන්නයේ දුර ගමන් සේවා බස් රථ නතර කරන ආපනශාලා කිහිපයක්ම තිබේ. එමෙන්ම කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය, ඕමාරගොල්ල ප්‍රදේශවල පිහිටි එවැනි ආපනශාලාවල කෑම අපි රස වින්දෙමු. කොළඹ අනුරාධපුර පුත්තලම් මාර්ගයේ පුලිච්චිකුලම, නාගවිල්ලුව, පුත්තලම, සිරිම්බිඅඩිය සහ සාලියවැව ද එවැනි ආපනශාලා පිහිටා තිබේ. රත්නපුර මාර්ගයේ රත්නපුර නගරයත් පැල්මඬුල්ල නගරයත් අතර දුර ගමන් සේවා බස් රථ නතර කරන ආපනශාලා තුනක් පිහිටා තිබේ. ගාල්ල කතරගම මාර්ගයේ ද මගීන් සූරගෙන කන ආපනශාලා කිහිපයක්ම හමු වේ. රට පුරා ඇති තවත් එවැනි ආපනශාලා පිහිටි ප්‍රදේශ මේ සටහනෙන් ගිලිහෙන්නට ඇත. එහෙත් කතාව එකය. එමෙන්ම ලබාගන්න කෑමවලට බිලක් නොදෙන, බස් නතර කරන ආපනශාලාවල අගුණ පවසන මගීන්ට දෙසවන් පිරෙන්න බැනුම් ඇසීමට සිදු වන බව ද සැබෑය.

‘පොලිසියත් අපේ… පී.එච්.අයි.ත් අපේ. පුළුවන් නම් ඕන දෙයක් කරපං…’ දුර ගමන් සේවා බස් රථ නරත කරන බොහෝ ආපනශාලාවල හිමිකරුවන්ගේ සහ සේවකයන්ගේ රතු කට්ට පැනපු විට ඒ වචන නිරායාසයෙන් දොට්ට පනිති. එහෙත් කටට ආ පළියට එවැනි වචන දොඩවන්නෙ නැත. ඔවුන් එකී වචන කියනුයේ අදාළ නිලධාරීන්ව මුදලට යට කරගෙන සිටින නිසාය. ඒ බව තහවුරු කරන කතාවක් දුර ගමන් සේවා බස් රථ නතර කරන ආපනශාලාවක වැඩ කරන සේවකයෙක් ද අපට කියා තිබේ.

“මේ බිස්නස් එක ලේසියට කරන්න බෑ. කී දෙනෙක්ට දොළ පීදේනි දෙන්න ඕන ද… සල්ලි හදිසි වුණහම පී.එච්.අයි. එනවා… අව්වේ කරවෙලා එන ට්‍රැපික් රාළහාමිගේ බඩකට පුරවන්න ඕන. බස්කාරයන්ට කොච්චර දුන්නත් මදි. ඒ මදිවට දැන් කුණු ටික ගෙනියන ට්‍රැක්ටර්කාරයටත් මාසෙකට ලොකු ගාණක් දෙන්න ඕනෑ. හිටපු ගමන් රෑට කණ පැල්ලෙන්න ගහපු චණ්ඩි පාත් වෙනවා. උන්ට කන්න බොන්න දීලා සිගරැට් පෙට්ටියක් එක්ක සල්ලි කීයක් හරිත් දෙන්නත් ඕන. මේ හැම දෙයක්ම කරන්න ඕන මගී ජනතාව කන බොන දේවල්වලින් තමයි…” ඒ වචන තුළ ගැබ්ව ඇත්තේ ‘බල්ලො මරා හෝ සල්ලි හම්බ කරන න්‍යායයි. ජාරව කන ‘දඩ බල්ලන්ට’ දොල දීමට අහිංසක මඟීන්ට කුණු කෑම ලබාදීම ඔවුහු සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන්නාහ.

බස් රථ නතර කරන කුණු ආපනශාලා පරීක්‍ෂා කිරීමට එන පී.එච්.අයි. මහත්වරු මොනර කොළවල රසට කෑමවල පිළුණු රස වහන්නාහ. බස් රථ ආපනශාලාවට හැර වෙන්නේ මුදලටය. ඒ බස් රථවල රියැදුරු සහ ආපනශාලා හිමිකරු අතර පෙර සිට ඇති කරගත් ගිවිසුමක් මතය. ගිවිසුම වනාහී මඟීන් පටවාගෙන යන බස් රථය ආපනශාලාවට හරවනුයේ රියැදුරුට කෑමට අමතරව ගෙවීමක් ද ලබාදෙනවා නම් පමණය. එකී ගෙවීම ආපනශාලාවෙන් ආපනශාලාවට වෙනස් වේ. එහෙත් මුදලට අමතරව ලබාදෙන අනෙකුත් වරප්‍රසාද සෑම අපනශාලාවකටම පොදුය. මේ කාලකණ්ණි ක්‍රමය වෙනස් කිරීමට බස් රථ නතර කරන ගිනි ගාණට පිළුණු කෑම විකුණන ආපනශාලාවලට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එසේ පවසනුයේ අප පමණක් නොවේ. සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ද එසේ කියන්නේය.

“1980 ආහාර පනත වර්තමානයට ගැළපෙන ආකාරයට සංශෝධනය කර, ඒ හරහා ආහාර වෙළෙඳාමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව 2012 වර්ෂයේ ඉඳල අපි කියනවා. මේ රට තුළ ක්‍රියාත්මක සියලු ආපනශාලා නියාමනය වෙන්න ඕන බවත් මන්තරයක් මතුරන්න වගේ අපි කියනවා. ඒත් වෙන්නෙ නෑ. එහෙම වෙනවා නම්, මෙහෙම වෙන්න නෑ. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් වෙන්න ඕන දේ පරිභෝගික අධිකාරියෙන් කරලා පිටකොටුවේ වැටලීමක් කර කුණු විකුණන ආපනශාලා කිහිපයකට නීතිය ක්‍රියාත්මක කළා. කවුරු කළත් ඒක හොඳ වැඩක්. ඒ වගේම ලංකාව පුරා දුර ගමන් සේවා බස් රථ නතර කරන ආපනශාලා මැර බලයෙන් පවත්වාගෙන යන, මඟීන් සුරගෙන කන කළු කඩ. මේ ආපනශාලාවල කෙරෙන හොර මගඩි ගැන කිහිප සැරයක් රටට හෙළිදරව් කළා. අදාළ බලධාරීන්ට දැනුම් දුන්නා. ඒත් රටේ නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. සාමාන්‍ය ආපනශාලාවල මිල ගණන්වලට වඩා මේ කළු කඩවල කෑම මිල 30%, 40% ක් වැඩියි. ඒ වගේම ඒ ආපනශාලාවල විකිණීමට තියෙන බීම වර්ග, යෝගට්, දුම්වැටි සියල්ලු ඩුප්ලිකේට්. අලෙවියට තියෙන ආහාරපානවලට කිසිම ප්‍රමිතියක් නෑ. ඒත් දුර ගමනක් යන මගීන්ට වැඩි ගාණට කුණු කෑම කනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ. බස් රථ රියැදුරන්, කොන්දොස්තරවරු පිනට කාලා බීලා අතට ගාණක් අරගෙන මගීන්ව බිල්ලට දෙනවා. අපිට ලැබෙන තොරතුරුවල හැටියට රියැදුරුයි, කොන්දොස්තරයි බොන ඕනෑම මතක් දෙනවා. ඒ සියල්ලම කවර් වෙන්න මගීන්ගෙන් හූරගෙන කනවා. මේවා ගැන කවුරුවත් හොයා බලන්නෙ නෑ. දුර ගමන් සේවා බස් රථ නතර කරන ආපනශාලා තීරණය කරන්නෙ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව. එම ආපනශාලා නියාමනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ප්‍රවාහන අමාත්‍යාංශයට. බන්දුල ගුණවර්ධන මහත්තයට අපි කියන්නෙ දුර ගමන් සේවා කළු කඩවලට ගිහින් බලන්න. පුළුවන් නම් වෙස්වලාගෙන යන්න. එතකොට සත්‍ය හරියට දැකගන්න පුළුවන්…” අසේල සම්පත් නිහඬ විය.

සෞඛ්‍ය 800 වර්ගීකරණ අකෘති පත්‍ර දත්ත විශ්ලේෂණයට අනුව මෙරට ආපනශාලා කාණ්ඩ තුනකට අයත් වේ. සුපිරි තත්ත්වයේ තිබෙන ආපනශාලා ‘ඒ’ කාණ්ඩය යටතේ ද, සතුටුදායක තත්ත්වයේ පවතින ආපනශාලා ‘බී’ කාණ්ඩය යටතේද, අසතුටුදායක තත්ත්වයේ පවතින ආපනශාලා ‘සී’ කාණ්ඩය යටතට ද අයත් වේ. ඒ අනුව මෙරට ආපනශාලාවලින් 27% ක් ‘ඒ’ කාණ්ඩයට ද, 55% ක් ‘බී’ කාණ්ඩයට සහ 18% ක් ‘සී’ කාණ්ඩයට අයත් වේ. අසතුටුදායක තත්ත්වයේ පවතින ‘සී’ කාණ්ඩයේ ආපනශාලාවලින් බොහෝමයක් ඇත්තේ බස්නාහිර පළාතේය. ඒ අතරින් වැඩි සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බව ද වාර්තා වේ. පෙළගැසෙන කතාව තේරුම් ගැනීමට බුද්ධියක් තිබෙන මිනිසුන් කොළඹ ආපනශාලාවලින් ආහාර ලබාගැනීමට පෙර වරක් නොව කිහිප වරක් සිතා බැලිය යුතුය. එමෙන්ම දුර ගමනක් යන විට ‘පරණ කෑම වැඩි මුදලට විකුණන’ මැර බලයෙන් පවත්වාගෙන යන දුර ගමන් සේවා බස් රථ නතර කරන අපනශාලාවලින් නම් වතුර බෝතලයක් හෝ නොගෙන සිටීම ඔබගේ පසුම්බියටත්, ශරීර සෞඛ්‍යයටත් යහපත් බව අපගේ හැඟීමය. ‘කුණු කෑම විකුණන’ අපනශාලා ගැන සොයාබැලීමට රජයෙන් පත් කර තිබෙන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් බහුතරය ‘පිළුණු කෑම විකුණන අපනශාලා හිමිකරුවන්ගේ’ රෙද්ද අස්සට වැටී ඇති පසුබිමක ස්වයං විනයක් පවත්වාගැනීම හැර වෙනත් විකල්පයක් රටේ ජනතාවට නැත.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment