ඊපීඑෆ් අයැදුම් කරන්න දින සහ වේලාව දෙයි

215

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ අයැදුම් කිරීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේ අවස්ථාව සැප්තැම්බර් 01 වැනිදා සිට එහි හිමිකරුවන්ට ලබාදීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ සඳහා 1958 අංකය අමතා දිනයක් සහ වේලාවක් ලබා ගන්නා ලෙසත්, එසේ ලබා ගෙන පැමිණෙන සාමාජිකයන් සඳහා වෙනම සේවා කවුළු විවෘත කර සේවාවන් සැපයීමට කටයුතු කරන බවත් කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසීය.

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ අයදුම්පත් භාරදීම (සාමාන්‍ය ප්‍රතිලාභ අයදුම්පත්, 30% ප්‍රතිලාභ අයදුම්පත් සහ මියගිය සාමාජිකයන්ගේ උරුමකරුවන්ගේ ප්‍රතිලාභ අයැදුම්පත්) මෙන්ම සේවා යෝජකයන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත් භාරදීම සඳහා දිනයක් සහ වේලාවක් මෙම අංකය ඇමතීමෙන් වෙන්කරවාගත හැක. මේ සඳහා 1958 අංකය ඇමතීමෙන් හෝ appointment.labourdept.lk යොමුව මගින් ද අදාළ කම්කරු කාර්යාලය වෙතින් අවශ්‍ය සේවාව ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකිය.

මෙසේ දිනයක් හා වේලාවක් ලබාගෙන සිය සේවාවන් සපුරා ගැනීමට එහි සාමාජිකයන් පැමිණෙන්නේ නම් කාලය නාස්ති නොකර සේවාව ඉටුකරවා ගත හැකි බව ද ප්‍රභාත් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment