අද ‘දිවයිනේ’ පැරණිතම සගයෙක් විශ්‍රාම යයි. තිස්පස් වසක් පුරා අඛණ්ඩව ‘දිවයින’ පුවත්පතේ දැන්වීම් හා පිටු නිර්මාණ අංශයන්හි නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කර අවසානයේ ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ හා ‘දිවයින’ දිනපතා පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා හා පිටු නිර්මාපකයා වශයෙන් සිය ප්‍රතිභා ඥාන චක්ෂුසය විදාහැර උපාලි පුවත්පත් සමාගම නොහොත් නූතන පත්‍ර කලා මහගෙදරින් නික්මෙන අවසන් නිර්මාණ ශිල්පියා ඔහු විය හැකිය. ඔහු අනෙකෙක් නොව හර්ෂණ ජයතිලකයි.

සරසවි බිමක්

‘දිවයින’ට සමුදෙන නිර්මාණවේදියා හර්ෂණ ජයතිලක

හර්ෂණ ‘දිවයින’ට බැඳෙන්නේ 1989 වසරේ දෙසැම්බර් 15 දාය. ඒ, චිත්‍ර ශිල්පියකු (Artist) වශයෙනි. එකල දිවයින ඉරිදාවේද දිනපතා පතේද භාරකාරීත්වය පැවතුණේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා වූ එඩ්මන්ඩ් රණසිංහ මහතා යටතේය. එහිදී ‘දිවයින ඉරිදා සංග්‍රහය’ එඩ්මන්ඩ් රණසිංහ මහතා වෙනුවෙන් ගාමිණී සුමනසේකර මහතා මෙහෙයවූ අතර ‘දිවයින’ දිනපතා පත්‍රය ඔහු වෙනුවෙන් උපාලි තෙන්නකෝන් මහතා මෙහෙයවීය. ‘දිවයින’ ජන බලවේගයක් බවට ඔසොවා තැබූ දැවැන්තයා වූ දයාසේන ගුණසිංහ මහතා මෙකල ‘දිවයිනේ’ සිටියද කාර්යභාරයක් නැති තැනට වැටී සිටියේය. එහෙත් ඔහුගේ රූප විලාසයම තරුණ හර්ෂණ තුළ ගෞරව බහුමානයක් ජනිත කළේය.

හර්ෂණ චිත්‍ර ශිල්පියකු බැවින් ඔහුට ආනුභාව පෑ දැවැන්ත චිත්‍ර කලා චරිත රැසක් ඔහු හා එකට වැඩ කළහ. ඒ, ඩබ්ලිව්. ආර්. විජේසෝම, ශාන්ත කේ. හේරත්, ජනක රත්නායක, විනී හෙට්ටිගොඩ, ගුණපාල හේමචන්ද්‍ර ආදීහුය. ඔහු විජේසෝමගේ මහා කාටූන් ශිල්පයට ඇලුම් කළ අතර ශාන්තගේ අමූර්ත චිත්‍ර කලාවද ප්‍රිය කළේය. විනීගේ දේශපාලනික කාටූනයද එක සේ අගය කළේය. එහෙත් ඔහු හදවතින් ඇලුම් කළේ ජනක රත්නායකගේ ස්වභාවික චිත්‍ර කලා විධියටය. වෙසෙසින් ඔහුගේ ආලේඛ්‍ය චිත්‍ර කලා සම්ප්‍රදායට හිත ගිය ඔහු නොබෝ කලකින් ජනකගේ ටියුෂන් ගෝලයකු බවට පත් විය – එකල ජනක රත්නායක කිරිබත්ගොඩ ඔහුගේ නිවසේ පෞද්ගලික චිත්‍ර කලා පන්තියක් පැවැත්වූයේය. එහෙත් හර්ෂණ ආලේඛ්‍ය සිතුවම් කළේ පුවත්පතේ පළ කරනු සඳහා නොවේ, තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙනි. ඔහුගේ සිතුවම් පුවත්පත කරා සේන්දු වූයේ අර චිත්‍ර ශිල්පීන් කවර හෝ කරුණක් මත ‘දිවයිනෙන්’ බැහැර වීම නිසා හෝ අන් කරුණක් මත විතැන් වීම කරණකොටය. එහෙත් හර්ෂණගේ ආලේඛ්‍යයන් ජනකගේ ආලේඛ්‍ය සිතුවමින් වෙනස් වී ස්වීය හැඩයක් ගති. වෙසෙසින් ජනකගේ සිතුවම් ජනප්‍රිය දහරාව සොයා ඇදෙද්දී හර්ෂණගේ සිතුවම් සම්භාව්‍ය රේඛා සොයා ගියේය. මෙනිසා ඔහුගේ ඇතැම් සිතුවම් මෙරට උසස්ම ආලේඛ්‍ය සිතුවම් අතරටද වර්ග කළ හැකිය. නිදසුන් දෙකක් නම් ප්‍රවීණ සාහිත්‍යධරයන් වූ ගුණදාස අමරසේකරගේ හා මහගම සේකරගේ ඔහු ඇඳි ආලේඛ්‍ය සිතුවම්ය – අන්තර්ජාලයට මුසු වී ඇති මේ සිතුවම් අද විවිධ පුවත්පත්, සඟරා සේම පොත්පත් අතරටද පිවිසෙන්නේ ඔහුගේ නිර්මාණ බවටදු කිසි ඉඟියක් නොමැතිවය. මෑතකදී දිනෙක මා ‘දිවයින’ ඉරිදාව වෙනුවෙන් ගුණදාස අමරසේකරයන් හා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට යද්දී ඔහුද ඊට එක් වූයේ තමා අමරසේකරයන්ගේ ඇඳි එවැනි අනගි සිතුවම් එකතුවක් ඔහුට පෙන්වා ඔහුගේ අත්සන ලබාගනු රිසියෙනි. ඒ ආලේඛ්‍ය සිතුවම් දැක එදා අමරසේකර මහතා විස්මයට පත් වූ සැටි දැනුද මට සිහි කළ හැකිය.

අභියෝග

කෙසේ වුව පත්තර කලාව එළියට පෙනෙන තරම් ඇතුළේ සුන්දර නැති බව සිය වෘත්තීය දිවිය ඇරඹූ මුල් වකවානුවේම හර්ෂණට වැටහිණි. ඔහු ‘දිවයිනේ’ චිත්‍ර කලා අංශයේ සේවය කර වසරක් සපිරෙද්දීම ඔහුට ‘දඬුවම් මාරුවක්’ ලැබිණි. ඒ, කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියකුව සිට ‘දිවයින’ දැන්වීම් අංශයේ කාර්මික පිටු සකසන්නකු ලෙසටය. එය කළේ දයාසේන ගුණසිංහ මහතාට ඒ සංගදිය උරුම කළ පත්තරකාරයාමය. එහෙත් හර්ෂණ වනාහි ලැබෙන දේ සිනාමුසු මුහුණින් පිළිගන්නකු මිස ඊට ප්‍රතිවිරෝධය පාන්නෙක් නොවේ. මෙනිසා ඔහු කරබාගෙන අලුත් තනතුරේ වැඩ බාරගෙන කරගෙන යන්නට විය. එහෙත් පෙරළුණු පිටෙන් ඔහුට වාසි දෙකක් අත්විණි. එකක් ඔහු දැන්වීම්කරණයේ පිටු නිර්මාණය උගත්තේය. දෙවැන්න ඔහු කළ කලාත්මක පුවත්පත් දැන්වීම් මගින් ඔහුට බාහිර වැඩ ගලා එන්නට විය. පසු කාලයේ ඔහු කීවේ ඔහු පුවත්පතින් ඉපයූවාට වැඩි මුදලක් ඉන් උපයාගත් බවය. ඒ, වෙසෙසින් මැතිවරණ සමයන්හිදීය.

‘දිවයින’ට සමුදෙන නිර්මාණවේදියා හර්ෂණ ජයතිලක

ගුණසිංහ ආනුභාව

දයාසේන ගුණසිංහ මහතාගේ ආනුභාව වියැකී යමින් පැවතියද හර්ෂණ ‘දිවයින’ට පිළිපන් කාලය වූකලී එහි ස්වර්ණමය යුගය ය. දැවැන්ත පත්‍ර කලාවේදීහු රැසක් මෙකල පුවත්පතේ හරඹ කරමින් සිටියහ. සුනිල් මාධව ප්‍රේමතිලක, මෙරිල් පෙරේරා, කිත්සිරි නිමල් ශාන්ත, සුන්දර නිහතමානී ද මැල්, මහින්ද අබේසුන්දර, ශාන්ත කේ. හේරත්, චන්ද්‍රසිරි දොඩංගොඩ, කරුණාදාස සූරියාරච්චි, අනුර සොලමන්ස්, ජයන්ත චන්ද්‍රසිරි ආදීන් ඉන් කිහිප දෙනෙකි. මේ හැරුණු විට පියසේන කහඳගමගේ, දෙනගම සිරිවර්ධන, දඹේගොඩ ජිනදාස ආදී ප්‍රතිභාන්විත ප්‍රාදේශීය පත්‍ර කලාවේදීන් පිරිසක්ද ඒ වටා සිටියේ දයාසේන ගුණසිංහ මහතා වැපිරූ බීජවල අස්වනු වශයෙනි. ඇත්ත වශයෙන් මේ පිරිස පවත්නා දේශපාලනයට පමණක් නොවේ, පැවති විශ්වවිද්‍යාල ශාස්ත්‍රාලයීය හෙජමොනියටද අභියෝග කළහ. ඉදින් හර්ෂණ ‘දිවයිනේ’ ඇති දැඩි වූයේ මේ මහා සම්ප්‍රදාය එහි උත්කර්ෂවත්ව පැවති සමයේදීය.

බහුවිධ පැතිකඩ

ආලේඛ්‍ය සිතුවමේද පිටු නිර්මාණයේද පොත් පිටකවරයේද විශිෂ්ට හරඹ කළ හර්ෂණ පුවත්පතේ කෙටිකතාවට, කවියට, විශේෂාංගයට චිත්‍ර නොසැපයූවේ ඇයිද යනුද මට ගැටලුවකි. ඔහු එහිද නිරත වී නම් එමගින් ඔහුගේ තවත් කලා පැතිකඩක් විවර වීමට තිබූ බැවිනි. තවද හර්ෂණ ආලේඛ්‍ය සිතුවම් සියයකට ආසන්න ගණනක් නිමවා ඇතත් තවම ඉන් ආලේඛ්‍ය සිතුවම් ප්‍රදර්ශනයක් නොපැවැත්වීමද ප්‍රශ්න කළ යුත්තකි.

හර්ෂණ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු බව දන්නේ ස්වල්ප දෙනෙකි. පරිසර සංචාරයට ඇලුම් කළ ඔහු ඒ සංචාරවලදී ක්‍රියා කළේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙසය. සැබැවින්ම ඔහුගේ ඡායාරූපවලින්, පිටු නිර්මාණවලින්, කලාත්මක දැන්වීම්වලින් ඇවැසි නම් වෙනම ප්‍රදර්ශනයක් පැවැත්විය හැකිය. තවද විශ්වවිද්‍යාල විද්‍යාර්ථියකුට ඔහුගේ කලාව අළලා උපාධි හෝ පශ්චාත් උපාධි නිබන්ධනයක් සම්පාදනය කළ හැකිය.

ඔහු මෑතකදී තවත් භූමිකාවක නිරත වනු දක්නට ලැබිණි. ඒ, අවාරේ සිරිපා, ලකේගල තරණය, පාපැදිවලින් රටවටා සවාරි ආදී සංචාරවල නිරත වෙමින් ලිවීමේ නියුතු වීමය. ඔහු ලිවීමට දක්ෂයකු නොවූවත් අඳින අතර මුල් කාලයේ පටන්ම ලිවීමේද නිතර වී නම් ඔහුගේ ලේඛන සුරුව වඩා ඔපවත් වීමට තිබිණි. එහෙත් කරුණුමය අතින් වැදගත් බොහෝ දේ ඒ ලිපිවල සරල කටවහරින් සාරගර්භ වී ඇති බැවින් ඔහුගේ ලිපි පොතක් වශයෙන් පළ වීම මෙරට චාරිකාලංකාර සාහිත්‍යයේ පෝෂණයට ඉවහල් වනු ඇත.

සන්ධිස්ථාන

‘දිවයින’ට සමුදෙන නිර්මාණවේදියා හර්ෂණ ජයතිලක

තවද කරුණක් කිව යුතුය. ඔහු මගේ සංස්කරණයෙන් එළිදුටු ‘දිවයින’ සාහිත්‍ය අතිරේකවල පිටු නිර්මාණය කළා පමණක් නොවේ, ඇතැම් සුවිශේෂ සංසිද්ධි, සැමරුම් අරබයා විශේෂ ලිපි, සම්මුඛ සාකච්ඡා හා අතිරේක සම්පාදනයටද මා දිරිගැන්වීය. නිදසුනකට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය තිස්ස අබේසේකර, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වැන්නන් අරබයා විශේෂ ලිපි හා අතිරේක ඉදිරිපත් කිරීමට මා පෙළඹවූ ප්‍රමුඛයා ඔහුය. ‘දිවයින’ මහාචාර්ය හේමපාල විජයවර්ධන අභිනන්දන අතිරේකයේ පිටු නිර්මාණයද හර්ෂණගේය.

හර්ෂණ වෙසෙසින් ඇලුම් කළ සාහිත්‍යකරුවා නම් මහගම සේකරය. ඔහුගේ සේකර ළැදියාව කෙතෙක්ද යත් ඔහු සේකර ලියූ පොත්, තැන් තැන්වල ලියූ සමරු සටහන්, ඔහුගේ ගීතවල සීඩී තැටි ආදී සේකර හා සසැඳුණු සියලු දේ එක්රැස් කළ අතර ඔහු ගැන සෑම ජනවාරි 14 වෙනිදාකම පුවත්පතේ සේකර ජන්ම සමරුම් ලිපියක් හා සෑම අප්‍රේල් 7 වෙනිදාකම මරණ සැමරුම් ලිපියක් ලිවීමට මට සිහිපත් කළේය. සේකරගේ පන්ති සගයා වූ කේ. ජයතිලක මහතා සම්බන්ධයෙන්ද ඔහුගේ මහත් ගෞරවයක් තිබුණු සැටි, රදාවානේ කන්නිමහර ලේඛක අසපුවේ බොහෝ කටයුතුවලට සහභාගි වූ සැටි වෙනම ලිවිය යුතුය.

නොසිඳුණු ලාලසාව

හර්ෂණ මෙන්ම එකල ‘සරසවි උයන’ වටා සිටි සෙසු පත්‍ර කලාවේදීන්ට තිබුණේ එම අතිරේක ඔස්සේ රටේ නැවුම් සංවාදයක් ඇති කිරීමේ ලාලසාවය. එහිදී අපෙන් බොහෝ විට දිවා ආහාරය මඟහැරුණු අතර පෞද්ගලික ජීවිතයේ වගකීම් පවා අතපසු වී ගියේය. එහෙත් ඒ සියලු දුක්ගිනි පසුදා අලුත් පත්‍රය සමඟ නැවුම් තීන්ත සුවඳ හමමින් පිටතට එන විශේෂ අතිරේකයේ පිටු දකින කල හිරු දුටු පිනි මෙන් ඇකී මැකී ගියේය. හර්ෂණගේ වෙසෙස ඔහු මේ කාර්යයන්ට ඇපකැප වීමම නොවේ, ඔහු සිය කාර්යයේ නියුතු වූයේ කරන දේ වින්දනය කරමින් වීමය. ඔහු එය ‘එන්ජෝයි’ කළේය. මෙහිදී අපේ සහායට ‘දිවයිනේ’ පිටු සැකසුම් අංශයේ සිටි තවද සගයෙක් නම් නොකර බැරිය. ඒ, සුදත් පෙරේරාය.

අවසාන වශයෙන් සාමාන්‍ය පාඨකයා දකින්නේ හා දන්නේ පුවත්පතේ පළ වන නම් කිහිපය පමණි. එහෙත් එහි පසුබිමින් මෙවැනි නිර්මාණශීලී මිනිසුන් සිටින බව දන්නේ එම ලිපි ඉදිරිපත් කරන සංස්කාරකරුවන් පමණි. මේ සටහන මට ලිවීමට සිතුණේ පුරා තිස්පස් වසක් ගොරහැඩි පුවත්පත් පාඨක සමාජයක් නොව සුභාවිත පත්‍ර කලාවක් හා එබඳු රසික ප්‍රජාවක් බිහි කිරීමට සියලු දේ කැප කළ, කිසිදා ප්‍රචාරය අපේක්ෂා නොකළ, කිසිදා තමනට හිමි විය යුතු බුහුමනද නොලැබූ සැබෑ පත්තරකාරයකු, නිර්මාණ කලාකරුවකු ගැන බිඳුවක් පැවසීමටය. එහෙත් අදින් ඇරඹෙන හර්ෂණ ජයතිලකගේ විශ්‍රාම දිවිය ඔහුගේ සිතුවම් කලාවට නැවතීමේ තිත නොවිය යුතුය. ඒ වෙනුවට එය රසික සමාජය ඔහුගේම කේවල කලා මාධ්‍යයකින් ඇමතෙන නිර්මාණශීලී ගමනක් විය යුතුය. ඒ වෙනුවෙන් අපි අපේක්ෂා පෙරදැරිව ඔහුට සුභාශිංසනය පුද කරමු.

රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment