‘එයා දැන් බැඳලා’ සාදරයෙන් පිළි ගනිමු

439

සුඛ දුක්ඛ දෝමනස්සයන් උරුම කරගත් මිනිස් දිවි පෙවෙත ඇතැම් විටක නාට්‍යමය ගුණයෙන් අනූන බරපතළ සිද්ධි සමුදායක් බවට පත් වන්නේ පසුබිමෙහි ඇති ආර්ථීක හා සාමාජීය හේතු නිසා පමණක්ම නොවේ. එයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ එක් එක් චරිතවලට අයත් ආධ්‍යාත්මයන්හි හැඩතලය. ඒවාට ආවේනික සියුම් හා නොසියුම් කමය. සිද්ධීන් ඇති වන්නේත්, ඒවාට එකිනෙකා ප්‍රතික්‍රියා දක්වන ආකාරය අනුව අප තුළ කම්පනයක් ජනිත කරවන්නේත්, මිනිස් හදවත්වල ඇති වන කෙලෙස්බර සිතුම් පැතුම් මුල් කර ගනිමින් විනා, පරිබාහිර භෞතික සිද්ධීන් පමණක්ම ප්‍රධාන කර ගනිමින් නොවේ. සෑම හොඳ කලා කෘතියක්ම අපට පෙන්වා දෙන මූලික සත්‍යය එයයි.

පසුගිය කාලය මුළුල්ලේ ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශනය වන ප්‍රසන්න ජයකොඩිගේ එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයද මේ සත්‍යය අපට මනාව පෙන්වා දෙන නිර්මාණශීලී කලා කෘතියකි.

කලාකෘති තුළ වූ ඇතැම් චරිත අපේ හදවත් තුළ සදාතනිකව පැලපදියම් වන්නේත්, නැවත අප දෙසම හැරී බලන්නට පොලඹවනු ලබන්නේත්, මෙකී ජීවන ගැටුම්වල ස්වභාවය, මනුෂ්‍යාත්මභාවය පිළිබඳව අවබෝධයක් ජනිත වන අයුරින් ඉදිරිපත් කෙරෙන නිර්මාණ හේතු කොටගෙනය.

ප්‍රසන්න ජයකොඩිගේ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයද එවැන්නකි. බොහෝ දෙනකු ටෙලිනාට්‍ය නැරඹීම මතුනොව, රූපවාහිනිය නැරඹීම පවා අත්හැර දමා ඇති තත්ත්වයක් යටතේ අපට මෙවන් ටෙලි නිර්මාණ ගැන අසන්නට දකින්නට ලැබීමද සතුටට කරුණක් වන්නේ ඒ තරමටම ටෙලි නිර්මාණ කෙතෙහි, නිර්මාණ සිඳී ගොස් ඇති බැවිනි. මෙවැනි නිර්මාණ රසවින්දන පිපාසය නිවන දිය කඳුරක් වන්නේ එබැවිනි.

නිර්මාණකරුවාගේ ආත්ම ප්‍රකාශනය කුමක් වුවත්, කලා කෘතියක් ඉදිරිපත් කෙරෙන්නේ එය අයත් වන මාධ්‍යයට හිමි ආකෘතියකට අනුවය. මූලික වශයෙන් ප්‍රේක්ෂකයාට විනෝදාස්වාදය සපයන ප්‍රධාන මාර්ගය බවට පත්ව ඇති රූපවාහිනිය නම් මාධ්‍යය තුළදී එයටම අයත් අනන්‍යතාවයන්ට අනුගත වීමට කලාකරුවාට සිදුවේ. එයද ඔහු මුහුණ දෙන යම් ප්‍රමාණයක අභියෝගයකි. අදාළ ධාවන කාලය තුළ එනම්, විනාඩි විස්සකට පමණ සීමා වී ඇති කාල පරාසයක් තුළ උපරිම නාට්‍යමය ගුණයක් ඉස්මතු කිරීම ඇතුළුව තවත් කරුණු කීපයකට රූපවාහිනි මාධ්‍යය තුළදී නිර්මාණකරුවාට කොටු වන්නට සිදු වී තිබේ.

'එයා දැන් බැඳලා' සාදරයෙන් පිළි ගනිමු

බොහෝ ටෙලිනාට්‍යකරුවන් චරිතවල අනන්‍යතාවයට පරිබාහිර විවිධාකාර භෞතික සිද්ධීන් යොදා ගනිමින් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීමේ සුලභව යෙදෙන්නේ මේ කාරණා ජය ගැනීම උදෙසාය.

නමුත් එයා දැන් බැඳලා ටෙලි නාට්‍යය වෙත ප්‍රේක්ෂකයා සමීප වෙන්නේ, එහි භූමිකාවන් විසින් ප්‍රකාශිත අව්‍යාජ මිනිස් හැඟීම්වල උණුසුමට ආශක්ත වෙමිනි. එම හැඟීම්වල ඇති සංකීර්ණ ස්වභාවය හේතුකොට ගෙන කම්පාවට පත් වෙමිනි. මනුෂ්‍යයාගේ ජීවිත ස්වභාවය ගැන වූ යම් අවබෝධයකින් යුතුව සුසුමක් හෙළමිනි.

මෙහි අධ්‍යක්ෂවරයා මෙන්ම තිර රචකයා ද වන ප්‍රසන්න ජයකොඩි එවැන්නක් කර ඇත්තේ කෙසේද?

අපට පළමුව වැටහෙන්නේ ඔහු තම ආත්ම ප්‍රකාශනයට අවංක වීමට ගත් උත්සාහය එයට මූලිකම හේතුව වී ඇති බවය. එම පදනමේ සිට සිය නිර්මාණය බිහි කරන ඔහු, මිනිස් දිවි පෙවෙතේ ජයග්‍රහණයන් හෝ පරාජයන් උදෙසා හේතු ද්විත්වයක් බලපාන බව මේ තුළින් ප්‍රකට කරයි.

එකක් සමාජ සංස්ථාව විසින් ඇති කරන දරිද්‍රතාවය සහ තිබෙන ආකල්ප හේතු කොට ගෙන මනුෂ්‍යාත්මභාවය පහතට ඇද දමන බවය.

දෙවැන්න මනුෂ්‍යයාගේ බිහිවීමේ සිට වර්ධනය වෙමින් ආ රාග තෘෂ්ණාදී මනෝභාවයන්ගෙන් උපන් සංකීර්ණතාද ඒ සඳහා දැඩි ලෙස බලපාන බවය.

ප්‍රසන්න තම කෘතිය පුරා වැඩිපුරම තම අවධානය යොමු කර ඇත්තේ මෙම දෙවැනි කරුණටය. ඔහුගේ නිර්මාණ තුළ හැමවිටම පාහේ දක්නට ලැබෙන පරිදි වැඩි අවධානයක් යොමු කර ඇත්තේ චරිතවල ආධ්‍යාත්මික ප්‍රකාශනය උදෙසා සිය නළු නිළියන්ගේ රංගන හැකියාවේ උපරිම ඵල නෙළා ගැනීම පිණිසය. ප්‍රසන්න ජයකොඩිගේ විශේෂත්වය වන්නේ සිය භූමිකාවන් තුළින් මතුකෙරෙන භාව ප්‍රකාශනය ප්‍රධාන තන්හිලා සලකමින් ඒ ඒ චරිත ප්‍රේක්ෂක අධ්‍යාත්මයෙහි තැන්පත් කරවීමට දක්වනු ලබන සුවිශේෂී හපන්කමය. ඔහුගේ කලින් නිර්මාණයක් වූ, නිසල විල ටෙලි නාට්‍යයේ සුමින්ද සිරිසේන රඟපෑ හික්ෂුන් වහන්සේගේ චරිතය මෙයට හොඳම උදාහරණයකි.

අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි සිය නවතම නිර්මාණය වන ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍ය තුළින්ද මේ අයුරින්ම පාත්‍ර වර්ගයා අප හදවත් තුළ පදිංචි කරවන අතර, ඒ සඳහා ටෙලි නාට්‍ය කලාවට අදාළ සෙසු සාධකද ප්‍රබල ලෙස එක්කර ගනියි.

ඉන් පළමුවෙන්ම කැපී පෙනෙන්නේ මේ සඳහා ඔහු ඉතා සුදුසු නළුවරණයක යෙදී තිබීමය. එනම් සිය භූමිකාවන් උදෙසා ඉතා සුදුසු නළු නිළි පිරිසක් යොදා ගැනීමය.

ඊළඟට නිර්මාණාත්මක තිර රචනයක්ද, සමග තේමාවට උචිත පරිසරයක් තෝරා ගැනීමද ප්‍රසන්නගේ ප්‍රකාශනය වඩාත් තීව්‍ර වීමට බලපා තිබේ.

මධ්‍යම කඳුකරයේ කුඩා නගරයක් මෙන්ම ඉන් තරමක් නුදුරින් පිහිටි ගමක්ද, මෙම නිර්මාණයට පසුබිම් වෙයි. කඳුකර ගමකට ආවේනික අයුරින් ඔවුන්ගේ නිවෙස හුදෙකලාව පිහිටි බවක් පෙන්වයි.

පාත්‍ර වර්ගයා සීමා සහිතය. අදාළ පරිසරයේ ස්වභාවය විසින්ද එය සාධාරණීයකරණය කරයි. නාට්‍ය වෘත්තාන්තය ගොඩනැඟෙන්නේ වැඩි කොටසක් ගමත්, ඉතිරිය මේ කුඩා නගරයත් පසුබිම් කර ගනිමිනි. ඒ නිසා මේ අදාළ භූමිකාවන් වඩාත් අපට සමීප කරවීමේ අවස්ථාව අධ්‍යක්ෂවරයාට ලැබී තිබේ.

මෙහි ප්‍රධාන භූමිකාව වී ඇත්තේ ජීවත්වීම උදෙසා තම සිරුර අලෙවි කිරීමේ යෙදී සිටි සුද්දී නමැති රූමත් කාන්තාවය. ඇයට පෙම් බඳින උදයසිරි නැමැති මැදි වයසේ මිනිසාත්, ඔහුගේ පියා සහ බාල සොහොයුරාත් මෙහි සෙසු පාත්‍ර වර්ගයා වෙති.

මෙම පවුලද අපූර්ව සංයුතියකින් යුක්තය.

පවුලේ අධිපතියා වන පීතර දැඩි කාම තෘෂ්ණාවකින් පෙළුණාවූත්, ස්ත්‍රීන් තිදෙනකු පාවා ගෙන අතහැර දැමුවා මදිවාට, තෙවැනි බිරියට උපන් දියණියද දූෂණයට ලක්කළ අධම මනුෂ්‍යයෙකි. තමන්ගේම දියණියගෙන් තමන්ට දාව උපන් දරුවා වන මනියා ද, තමා ගේ කළින් බිරිඳට දාව උපන් වැඩිමහල් දරුවා වන උදයසිරිද සහිත මෙම කුටුම්බය, එතරම් අග හිඟ කමින් පෙළෙන තැනක් නොවේ. උදයසිරිත් මනියාත් සමග වත්තේ කොණක වූ කුඩා පතලක මැණික් ගැරීමෙහි යෙදි සිටින අතර, මනියා අතිරේක රැකියාවක් ලෙස ත්‍රී විල් රැකියාවේද යෙදෙයි. ඔවුන්ගේ පවුල් සංස්ථාවේ දිශානතිය වෙනමම ලක්ෂ්‍යයකට යොමු වන්නේ දිනක් හදිසියේම මනියාගේ රථයට ගොඩවන සුද්දී නිසාය. සුද්දී එයට නැඟ ගන්නේ තමන් සේවයේ යෙදෙන හෝටලයට පොලිසියෙන් පැනීම නිසාය. උදයසිරි ඇයට හමුවන්නේ එදින මනියාත් සමග ඔවුන්ගේ මුර මඩුවට පැමිණි අවස්ථාවේය.

ඉක්බිති ගණිකා වෘත්තියෙන් මිදී උදයසිරි හා විවාහ ජීවිතයක් අරඹන සුද්දීට මෙන්ම, සුද්දිගේ අතීතය පිළිබඳව දැන දැනම ඇයට පෙම් බැඳ විවාහ වූ උදයසිරිට ද ගැටලුවක් වන්නේ සමාජයෙන් එල්ලවන ඇනුම් බැනුම් ආදිය නොව, බරපතළ කාමුකයකු වන සිය පියාගෙන් බේරී විවාහ ජීවිතය ගත කිරීමය. සමස්ත කෘතිය මුළුල්ලේ විවිධාකාර සංකීර්ණ මනෝභාවයන් ඉස්මතු කරමින් දිව යන්නේ මෙම ගැටුම ය. අධ්‍යක්ෂණයෙහි ලා ප්‍රසන්න ජයකොඩි සතු කෘතහස්ත භාවයත්, ජීවිතය විවරණය කිරීමෙහි ලා ඔහු සතු අවබෝධයත්. අදාළ මාධ්‍යය පිළිබඳ පරිචයත් මනාව කැපී පෙනෙන්නේ ඔහු එය අපට ඉදිරිපත් කරනු ලබන උපේක්ෂා සහගත නිවුණු සැනහුණු රිද්මය තුළිනි.

මෙම සමස්ත සිද්ධි මාලාව මුළුල්ලේ දැඩි කාමුකයකු වූ පීතරගේ චරිතය ඉදිරිපත් කිරීමෙහි ලා ඔහු විසින් දක්වනු ලබන සංයමයත්, සුද්දීගේ චරිතය පොදු ප්‍රේක්ෂකයා ගේ අනුකම්පාව හා ඇගයීමේ කේන්ද්‍රස්ථානය බවට පත් කරවීමට අධ්‍යක්ෂවරයා විසින් දක්වා ඇති ප්‍රතිභාවයත් විශේෂයෙන් කැපී පෙනෙන්නකි. එනයින් බලන කළ එක් පැත්තකින් ස්ත්‍රීවාදී කෘතියක් ලෙසද නම් කළහැකි මෙය මිනිසාගේ ඉරණම තීරණය කරනු උදෙසා, මිනිස් මනසෙහි වූ යහපත් අයහපත් සිතුම් පැතුම් කොතෙක් නම් තීරණාත්මක සාධකයක් වෙන්නේ දැයි මනාව පෙන්වා දෙන්නකි.

බොහෝවිට ටෙලිනාට්‍යකරුවන් අදාළ සිද්ධි මාලාවට විනා රූප රාමුව කෙරෙහි අවධානයක් යොමු කිරීමෙන් බැහැර වන නමුදු ප්‍රසන්න ජයකොඩි මෙහිදී රූප රාමුවලින් දෘශ්‍යමාන පාරිසරික දර්ශනද, ස්වභාවික පරිසරයේ ශබ්දයන්ද, ස්වකීය තේමාව අර්ථවත් කර ගැනීම සඳහා උපයෝගී කරගෙන තිබේ. හුළං කපොල්ලක ජීවත්වන බව හඟවමින් නිරන්තරයෙන් උස් පහත් වන සුළඟේ වියරුව, මෙහි පාත්‍ර වර්ගයාට සාමාන්‍ය දෙයක් ලෙස පෙනුණත්, එය ප්‍රේක්ෂකයා අරබයා දනවන්නේ කොයි මොහොතේ හෝ අසනිපාතයක් ඇද වැටේ දැයි යන දෙගිඩියාවකි. අන්තර්ගතය විසින් මෙම වෘත්තාන්තය ඉදිරියට ගෙන යනු ලබන්නේද එවැනි මනෝභාවයන් ප්‍රේක්ෂකයා තුළ ජනිත කරවමිනි.

මෙහි අන්තර්ගතය දෙස බලන කළ පෙනෙන තවත් විශේෂ කරුණක් වන්නේ කතා නායකයා වන උදයසිරිගේ ජීවන වෘත්තියයි. එය හුදෙකලා පතලක සිදු කරන මැණික් ගැරීමය. ඔහු ජීවිතය ගෙන යෑම සඳහා බොහෝ සේ ගොඩ ගැසෙන මඩ, වැලි සහ ගල් බොරළු අතරින් වටිනා ගල් සෙවීමෙහි නිරතව සිටියි. අධ්‍යක්ෂවරයාද සමස්ත කෘතියෙන්ම කරනු ලැබ ඇත්තේත් එවැනිම කරුණක් බව වඩාත් පුළුල්ව සිතා බැලීමේදී පෙනී යයි. එනම් මතුපිට හැඩරුවෙන්, මෙන්ම චර්යාවන්ගෙන්ද කිසිසේත්ම දැකිය නොහැකි, මැණික් කැටවන් ඉතා වටිනා මිනිස් ගුණාංගයන් රැසක් සුද්දී, උදයසිරි සහ මනියා තුළින් මතුකර පෙන්වීමය. කලාකරුවකු ලෙස ඔහු විසින් මනුෂ්‍යත්වය කෙරෙහි දක්වනු ලැබූ උත්තමාචාරයක් බඳු එය, අපට පියදොර් ඩොස්තොව්ස්කිගේ අපරාධය හා දඬුවම නවතතාවේ රැස්කොලනිකව් සිහිපත් කරවන්නකි.

මේ කලා නිර්මාණය සාක්ෂාත් කර ගැනීම උදෙසා මේ මේ දේවල් හොඳින් සිදු වූවායි වෙන වෙනම පෙන්වා දිය නොහැක්කේ එය පැහැදිලිවම හොඳ කාරණා සියල්ලක එකතුවක් වන හෙයිනි. එසේ වුවත් රූපවාහිනි මාධ්‍යයද ප්‍රධාන වශයෙන් රූපයද මුල්කර ගත් කාරණයක් නිසා රංගනයේදී මේ නළු නිළියන් කිපදෙනා, ‘එයා දැන් බැඳලා’ වෙනුවෙන් දැක්වූ රංගන ප්‍රතිභාව කිසි කලෙක අමතක නොකළ හැක්කක් වී තිබේ. අප අතර සිටින අග්‍රගණ්‍ය රංගධරයකු වන මහේන්ද්‍ර පෙරේරාද, ප්‍රකෘතියෙන් හැඟුම්බර මුහුණක් නොතිබුණ ද, චරිත නිරූපණයේදී විශිෂ්ට රංගන මෙහෙවරකට දායක වීමේ දුර්ලභ හැකියාවකින් යුත් සේමිණි

ඉද්දමල්ගොඩද, මනීගේ චරිතයෙන් මෙම ටෙලි නාට්‍යයට අනන්‍යතාවයක් එක් කළ ප්‍රදීප් රාමවික්‍රමද, කෲර හා කපටි කාමතුරයකුගේ චරිතය මැනවින් තේරුම් ගෙන අදාළ මාධ්‍යයට සරිලන සංයමයකින් එය ප්‍රතිනිර්මාණය කළ සරත් කොතලාවල ද, ‘එයා දැන් බැඳලා’ කෘතිය ජීවන සුවඳින් පුරවා දමන්නට සමත් වී තිබේ. මේ හැරුණු කළ කුරුල්ලා නම් කුඩා චරිතයක් මැනවින් නිරූපණය කරන ප්‍රසන්න වැකුම්පිටිය මේ ඇගයීම නිහතමානීව භාර ගතහොත් දිගු ගමනකට මුල පුරන්නකු බව පැහැදිලිව පෙනේ.

සෙසු කාරණා ගත් කළ ගයාන් ගණකධාරගේ අර්ථ පූර්ණ සංගීතයද, රංගන සිංහාරගේගේ සංස්කරණයද, චන්දන ජයසිංහගේ කැමරාකරණය ද, ප්‍රේමලාල් ලියනගේ ගේ අංග රචනයද, විශේෂයෙන්ම සඳහන් කළ යුතු සුරංග ගුණතිලකගේ කලා අධ්‍යක්ෂණයද, ‘එයා දැන් බැඳලා’ නිර්මාණයේ සාර්ථකත්වය පසු පස අපි දකිමු. අදාළ චරිත ගැන වූ බරපතළ අවබෝධයකින්, යම් ගවේෂණයකින් යුතුව සිදු කළ අධ්‍යක්ෂණය කෘතියට ඇති කරනු ලැබූ අර්ථ පූර්ණ අලංකාරය ගැන වෙනමම පෙළක් සටහන් කිරීම වැඩි දෙයකැයි නොසිතමි.

උදාර ආරම්භයක් සහිතව පටන් ගත් ටෙලිනාට්‍ය කලාව නන්නත්තාරව ඇති නිමේෂයක අකුරු නොදන්නා කුස්සි අම්මාගේ සිට මහාචාර්යවරයා දක්වා එකසේ රස විඳිය හැකි හොඳ ටෙලි නාට්‍යයක් බිහිකිරීමේ සම්මානය මේ සමග ඔහු දැනටමත් හිමිකර ගෙන ඇතැයි සිතමු. වසන්ත කන්නන්ගර නැමැති අර්ථපතියාව ද මේ මොහොතේ අගය කළ යුතුම වන්නේ හුදු ලාභය පිණිසම එක් කථාංගයක් හෝ ඉදිරියට නොඅද්දවා කෘතියේ නිර්මාණාත්මක ගුණය රැක ගන්නට ඉඩ දෙන මුදල් යොදවන්නන් මේ යුගයේ අතිශයින්ම දුර්ලභ හෙයිනි.

මේ සියලු යහපත් කාරණාවල එකතුවක් වන ‘එයා දැන් බැඳලා’ අපි සාදරයෙන් පිළිගත යුතුව ඇත්තේ එහෙයිනි.

● තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment