මදුරන්කුලියේ ඒ. ටී. එම්. එක කඩා කෝටියක් සොරා ගත් තිදෙනා දැලේ

719

පුත්තලම මදුරන්කුලිය නගරයේ පෞද්ගලික බැංකුවක ඒ. ටී. එම්. යන්ත්‍රය කඩා එහි තිබූ රුපියල් එක් කෝටි පන්ලක්ෂයක මුදල් සොරාගත් සංවිධානාත්මක කණ්ඩායම පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (17වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු බැංකුවල ඒ. ටී. එම්. යන්ත්‍රවලට මුදල් තැම්පත් කිරීමට යන ආරක්ෂක අංශයක සේවය කරන අතර අනෙක් තැනැත්තා විදුලි කාර්මික ශිල්පියෙකි. මොවුන් සොරා ගත් මුදල්වලින් රුපියල් අනූහත් ලක්ෂයක් ද සොයාගෙන ඇත.

සැකකරුවන් තිදෙනා අවුරුදු 28, 32, 35 වයස් සීමාවල පසු වන අතර ඔවුහු ගල්ගමුව, අනුරාධපුරය සහ වැරැල්ලගම ප්‍රදේශවල පදිංචිකරුවෝය.

ඉකුත් 08 වැනිදා මෙම සංවිධානාත්මක කණ්ඩායම මදුරන්කුලිය නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ. ටී. එම්. යන්ත්‍රය කඩා අදාළ මුදල් සොරාගෙන ගොස් තිබිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පුත්තලම කොට්ඨාශ අපරාධ ඒකකය සහ මදුරන්කුලිය පොලිසිය අනුරාධපුර නගරයේ වැටලීමකදී අදාළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment