සුබසාධක ප්‍රතිලාභ මකර කටට ද?

221

දුප්පතුන්ගේ දිළිඳු බව තවත් වැඩි වී ඇති අතර අලුතින් තවත් විශාල පිරිසක් දිළිඳු බවට ඇද වැටී ඇත. අයිඑම්එෆ් එක සමග අප ඇතිකරගෙන තිබෙන එකඟතා ක්‍රියාත්මක කිරීමේ දී ද සිදු වන්නේ දිළිඳු සහ අඩු ආදායම්ලාභීන්ට වැඩි බලපෑමක් ඇති වීමයි. මේ නිසා ඒ අය වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා කියන දෙයකි. එම ජනයා රැක ගැනීමට රජය විසින් සහන සැලසිය යුතුව තිබේ. එහෙත් මේ සුබසාධක ප්‍රතිලාභ ලබා දිය යුතු වන්නේ නිසි ලෙස ඉලක්ක කර සුදුසු අයට පමණක් බව ද කිව යුතුය.

කොරෝනා වසංගතය මෙන්ම ඉන් පසු රටට මුහුණ දීමට සිදු වූ ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙක්ගේ ආදායම් මට්ටම් අහිමි වීම හෝ අඩු වීම සිදුව ඇත. ඇතැම් ව්‍යාපාර වසා දැමීම නිසා ඒවායේ වැඩ කළ අයට රැකියා අහිමි වීම ද සිදුව ඇත. දළ වශයෙන් ගිය වසරේ (2022) දී ලක්ෂ පහකට පමණ රැකියා අහිමි වී ඇතැයි වාර්තා වේ. බොහෝ පෞද්ගලික ආයතනවල මාසික වැටුප් ලබන සේවකයන්ගේ පවා කොරෝනාවෙන් පසු මේ දක්වා වැටුප් වර්ධක හෝ බෝනස් ලබා දී නැත. මෙසේ ව්‍යාපාර වසා දැමීම,

රැකියා අහිමි වීම, ආදායම් අහිමි වීම හෝ අඩු වීම සිදුවන අතර ජීවන වියදම අහස උසට වැඩි වී ඇත. උද්ධමනය ගිය වසරේ (2022) සැප්තැම්බර් මාසයේ දී සියයට 70 කට පමණ වැඩි වී මේ වන විට සියයට 40 කට අඩු මට්ටමකට පහත වැටී ඇත. උද්ධමනය අඩු වුවත් එහි අර්ථය බදු මිල අඩුවෙන බව නොවේ. බදු මිල වැඩි වීමේ වේගය අඩුවෙන බවයි. ඒ නිසා තවමත් සැලකිය යුතු වේගයකින් බඩු මිල ඉහළ යමින් තිබේ. මේ සියලු දේම නිසා සිදුව ඇත්තේ අපේ ජනයාගේ දිළිඳුකම වැඩි වීමයි.

දිළිඳුකම වැඩි වීම

මේ නිසා දුප්පතුන්ගේ දිළිඳු බව තවත් වැඩි වී ඇති අතර අලුතින් තවත් විශාල පිරිසක් දිළිඳු බවට ඇද වැටී ඇත. අයිඑම්එෆ් එක සමග අප ඇතිකරගෙන තිබෙන එකඟතා ක්‍රියාත්මක කිරීමේ දී ද සිදු වන්නේ දිළිඳු සහ අඩු ආදායම්ලාභීන්ට වැඩි බලපෑමක් ඇති වීමයි. මේ නිසා ඒ අය වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා කියන දෙයකි. එම ජනයා රැක ගැනීමට රජය විසින් සහන සැලසිය යුතුව තිබේ. එහෙත් මේ සුබසාධක ප්‍රතිලාභ ලබා දිය යුතු වන්නේ නිසි ලෙස ඉලක්ක කර සුදුසු අයට පමණක් බව ද කිව යුතුය. මේ නිසා සුබසාධක ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ කටයුත්ත අකුරට ඉටු කළ යුතුව තිබේ.

පසුගියදා ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන නේවාසික අධ්‍යක්ෂවරයා මෙසේ පවසා තිබිණි.

“The economic crisis in Sri Lanka has had deep impacts with over half a million jobs lost and 2.7 million additional people falling into poverty between 2021 and 2022,” said Faris H. Hadad- Zervos, World Bank Country Director for Maldives, Nepal and Sri Lanka.

මේ ප්‍රකාශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිසා ලක්ෂ පහකට පමණ රැකියා අහිමි වී ඇති බව සහ 2021 සහ 2022 යන වසර දෙකේ දී ලක්ෂ 27 ක අතිරේක ජනතාවක් දරිද්‍රතාවට ඇද වැටී ඇති බවයි. මෙම ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම්වලින් දිගුකාලීනව ප්‍රකෘතිමත් තත්ත්වයට පත් වීමේ දී මන්දගාමී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිකට අමතරව, සීමිත බාහිර මූල්‍ය ආධාර සහ අවිනිශ්චිත ගෝලීය පරිසරය යන හේතු නිසා රටේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු අවදානම් ඇති කරන බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ව ඇත. එහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිසා දරිද්‍රතා අනුපාතිකය සියයට 13.1 සිට සියයට 25 දක්වා දෙගුණයක් දක්වා ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇත. කුටුම්භයන්ගේ ජීවනෝපාය සඳහා ඇති බහුවිධ අවදානම් හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ එය සියයට 25 ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයිද ලෝක බැංකුව සිය වාර්තාව මගින් පුරෝකථනය කර තිබේ. මේ නිසා දරිද්‍රතා රේඛාවට ආසන්නව ජීවත් වන බොහෝ දිළිඳු නොවන පවුල්වල ආදායම් මට්ටම් ද කම්පනවලට ගොදුරු වීමේ අවදානම ද වැඩි වී ඇත.

සහන ලැබිය යුතු අය හඳුනාගැනීම

මේ අනුව පැහැදිලි වන්නේ වෙනදාට වඩා වැඩි පිරිසකට සුබසාධක ප්‍රතිලාභ ලබා දීමට රජයට සිදුවන බවයි. මේ සඳහා වැය කරන්නේ මහජන මුදල් වන නිසා අදාළ සහන ලැබිය යුතු අය නිවැරදිව හඳුනාගෙන ඒ අය ඉලක්ක කරගෙන මේ සමාජ ආරක්ෂණ වැඩසටහන් දියත් කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නැතහොත් එම සමාජ ආරක්ෂණ වැඩසටහන්වල අරමුණු ඉටු නොවී අතීතයේ දී මෙන් මහජන මුදල් මකර කටට වැටෙනු ඇත. මේ නිසා රට බංකොලොත් වී ඇති මොහොතේ සැබෑ ලෙස සහන සැලසිය යුතු අය වෙනුවෙන් මේ සුබසාධක ප්‍රතිලාභ සැලසිය යුතුව ඇත. අතීතයේ දී දේශපාලනීකරණය හේතුවෙන් බොහෝ නුසුදුස්සන්ට දිළිඳු සහන ප්‍රතිලාභ ලබා දීම නිසා විශාල වශයෙන් මහජන මුදල් මකර කටට දමා ඇත. ඒ ගැන මේ අවස්ථාවේ අප වඩාත්ම සැලකිලිමත් විය යුතුව ඇත.

‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම්

‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ගැන සාකච්ඡා කිරීමට අපට සිදුවනුයේ මේ පසුබිම තුළය. මෙම “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් 2023 ජූලි මස 01 වැනි දා සිට ආරම්භ කිරීමට නියමිතව ඇත. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ.

මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400ල000ක් සඳහා මාසිකව රුපියල් 2500.00 බැගින් 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වාද අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400ල000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින් 2024 මාර්තු 31 වැනිදා දක්වාද ලබා දීමට නියමිත අතර, දුප්පත් ප්‍රතිලාභීන් 800ල000ක් සඳහා මාසිකව රුපියල් 8500.00 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15ල000.00 බැගින් 2023 ජූලි 01 වැනිදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතය. දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72ල000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින්ද, වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39ල150ක් සඳහා රුපියල් 5000.00 බැගින්ද, වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416ල667ක් සඳහා රුපියල් 2000.00 බැගින්ද ලබා දෙනු ඇත.

මෙම සුබසාධක ප්‍රතිලාභීන් අලුතින්ම හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් පසුගිය කාලයේ දී දියත් කළේය. ඒ අනුව මෙම සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සදහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලැබී තිබුණු අයදුම්පත් සංඛ්‍යාව 3,712,096 කි.

මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියෙන් සියයට 91.5 ක් ඉකුත් මැයි 08 දිනය වන විට අවසන් කර තිබෙන බව රජය කියයි. එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයින් තිදෙනකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර, දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට ආරම්භ කර ඇත. දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් වව්නියාව දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 98 කි. පිළිවෙළින් මහනුවර දිස්ත්‍රික්කයෙන් සියයට 96.5 ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් සියයට 96 ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් සියයට 96 ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් සියයට 95.5 ක් ආදී වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් 3ල362ල040ක තොරතුරු තහවුරු කර ගැනීම මේ වන විට සිදුකර තිබේ. මේ ක්‍රියාවලිය හරහා අදාළ සහන ලැබිය යුතු නිවැරදි ප්‍රතිලාභීන්ට මේ සහන ලැබෙන බවට රජය දැඩිව වගබලාගත යුතු වේ. අප මෙසේ කියන්නේ දිළිඳු සහන වැඩසටහන්වල අත්දැකීම් නිසාය.

ආදායම් බෙදීයාමේ විෂමතාව

2019 වසරේ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව, ජනගහනයෙන් දුප්පත්ම සියයට 20 සඳහා ලැබෙන්නේ රටේ සමස්ත ගෘහ ඒකක ආදායමෙන් සියයට 4.6ක් පමණකි. ජනගහනයෙන් ධනවත්ම සියයට 20 සඳහා සමස්ත ගෘහ ඒකක ආදායමෙන් සියයට 51.3ක් පමණ විශාල කොටසක් හිමිව ඇත. එමගින් රටේ අඛණ්ඩව පවතින ආදායම් විෂමතාව බරපතළ තත්ත්වයක පවතින බව පැහැදිලිය. දරිද්‍රතාවයට අදාළ මෙම ඉලක්කම් අනුව වත්මන් ආර්ථික අර්බුදයට පෙර ද රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් දරිද්‍රතාවයෙන් පසු වී ඇත. ඒ නිසා මේ ආර්ථික අර්බුදයෙන් පසු තත්ත්වය වඩාත් උග්‍ර වී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සමෘද්ධි ප්‍රතිලාභ

සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්වලින් සියයට 33 කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි නොවිය යුතු පවුල් බව පසුගිය අප්‍රේල් 25 දා පැවති රාජ්‍ය ගිණුම් කාරක සභා (කෝපා) කමිටුවේදී අනාවරණය වේ. එනම් පවුල් සියයකට සමෘද්ධි ප්‍රතිලාභ දෙනවා නම් ඉන් පවුල් 33 ක්ම එම ප්‍රතිලාභ ලැබීමට නුසුදුසු පවුල් බවයි. එසේම ඊට ආසන්න පවුල් ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි විය යුතු පවුල් වුවද එම පවුල් සඳහා සමෘද්ධි ප්‍රතිලාභය හිමිවී නොමැති බවත් එම කෝපා කමිටුවේදී අනාවරණය විය. මෙය ඉතා බරපතළ කරුණකි. මෙහි අර්ථය නම් සැබෑ දිළිඳු පවුල් විශාල පිරිසකට සමෘද්ධි ප්‍රතිලාභ නොලැබෙන බව සහ නුසුදුසු පවුල් විශාල ප්‍රමාණයක් එම ප්‍රතිලාභ ලබා ගන්නා බවයි. නුසුදුසු අයට සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමෙන් රටේ දුප්පත්කම අවම කිරීමට කිසිම දායකත්වයක් නොලැබේ. ඒ වෙනුවට වන්නේ දුප්පත්කම තුරන් කිරීමට තිබෙන විශාල මුදල් ප්‍රමාණයක් දිළිඳුකම පිටු දැකීමේ නාමයෙන් නාස්ති වීමයි. අනිත් අතට සිදු වන්නේ සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතුව තිබෙන පවුල් විශාල පිරිසකට එම මුදල් අහිමි වීමයි. මෙයට ප්‍රධාන හේතුවක් වූයේ මෙය ආරම්භයේ පටන් දැඩි ලෙස දේශපාලනීකරණය වූ ව්‍යාපාරයක් වීමයි. මේ ගැන මේ ලියුම්කරු විසින් මීට පෙර ලියූ ලිපි මගින් ද පැහැදිලි කර ඇත.

ඉවත් කළ යුතු පවුල්

මෙලෙස සමෘද්ධි ප්‍රතිලාභ මුදල් අවභාවිත වීම එක අතකට විශාල මහජන මුදල් නාස්තියකි. සමෘද්ධි ව්‍යාපාරයේ මේ යථාර්ථය එය ආරම්භ වූ අවදියේ පටන්ම තිබුණු එකකි. මේ තත්ත්වය නිවැරදි කිරීම සඳහා වරින්වර නොයෙකුත් පියවර ද ගෙන නැතුවා නොවේ. එහෙත් පසුගිය දා පැවති කෝපා රැස්වීමේදීත් හෙළිවන්නේ සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්වලින් සියයට 33 කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි නොවිය යුතු පවුල් බව නම් අලුතින් සුබසාධක ප්‍රතිලාභ මේ සමෘද්ධිලාභීන්ට ගෙවන නව ක්‍රමවේදය කුමක්ද? නව ක්‍රමවේදය මගින් නුසුදුසු පවුල් මේ වැඩසටහනින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ ද? එය රජය, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හෝ සමෘද්ධි බලධාරීන් විසින් රටට ප්‍රකාශ කළ යුතුය. අප ඉහතින් සඳහන් කළ තොරතුරු අනාවරණය වී ඇත්තේ වර්ෂ 2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි කරන ලද සමීක්ෂණයකට අනුවය. මෙම තොරතුරුවලට අනුව සංඛ්‍යාත්මකව පවුල් 449ල979 ක් සමෘද්ධි සහනාධාර ලබා නොදී ඉවත් කළ යුතු පවුල් බව ද මෙහිදී සඳහන් විය. එසේම මෙම සමෘද්ධිලාභීන් තෝරාගැනීම් සිදු කිරීමේදී අවිධිමත් බවක් නිරීක්ෂණය වන බවද ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු මෙම කෝපා රැස්වීමේ දී පැවසූහ. මේ පිළිබඳ අනාවරණය වූයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2019ල 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේදීය.

සමෘද්ධි ප්‍රතිලාභ මුදල මාසිකව ලබා නොගැනීම

මෙහිදී තවත් වැදගත් කරුණක් හෙළි වී ඇත. එනම් ප්‍රජාමූල බැංකු වෙත මාසිකව ප්‍රේෂණය කරනු ලබන සමෘද්ධිලාභී ප්‍රතිලාභ මුදල ඇතැම් සමෘද්ධිලාභීන් විසින් මාසිකව ලබා නොගෙන දීර්ඝ කාලීනව තම බැංකු ගිණුම්වල රඳවා තිබුණු බවයි. නියැදි පරීක්ෂණයන්ට අනුව ප්‍රජාමූල බැංකු 10ක වසම් 41 ක් තුළ සමෘද්ධිලාභීන් 2433 කගේ ඉතිරිකිරීමේ ගිණුම්වල එසේ රඳවා තිබූ මුදල රු. 59ල951ල537 ක් බවත් මෙහිදී අනාවරණය විය. සැබෑ ලෙසම දිළිඳු ජනයා නම් මාසික සමෘද්ධි ප්‍රතිලාභ මුදල මාසිකව ලබා ගත යුතුය. එසේ නොකර මේ මුදල් එකතු වෙන තෙක් සිටී නම් ඔවුන් තවදුරටත් සමෘද්ධි ප්‍රතිලාභ ලැබීමට සුදුසු පවුල් ලෙස සැලකිය හැකි ද? මේ අනුව සමෘද්ධිලාභීන් සවිබලගැන්වීම පිළිබඳව නිවැරදි වැඩපිළිවෙළක් නොමැති බව නිරීක්ෂණය වන බව ද මෙහිදී කෝපා කමිටු සභාපතිවරයා එම කෝපා කමිටු රැස්වීමේ දී සඳහන් කළේය. එළඹෙන මැයි මස 26 වැනිදා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට නැවත කැඳවීමට ද මෙහිදී නියම විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment